රටේ ජනතාවගෙන් 1/4ක් ක්ෂුද්‍ර මූල්‍ය සමාගම්වල ගොදුරු වෙලා – ඇමැති විජයදාස රාජපක්ෂ

51

රටේ ජනතාවගෙන් හතරෙන් එකක් ක්ෂුද්‍ර මූල්‍ය සමාගම්වල ගොදුරු බවට පත්ව ඇතැයි අධිකරණ ඇමැති ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පැවසීය.

බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වුණු කර්මාන්ත ප්‍රදර්ශනයට සමගාමීව පැවැති ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ සම්මන්ත්‍රණයට එක්වෙමින් ඇමැතිවරයා එසේ කීය.

“අපේ රාජ්‍ය ප්‍රතිපත්තිය විය යුත්තේ කර්මාන්ත සහ කෘෂිකර්මාන්තය දියුණු කරන එකයි. නමුත් අඩුම සැලකිල්ලක් තියෙන්නේ ඒකට. සල්ලි තියෙන අයට විතරක් බැංකු සලකන නිසා අන්තිමට මොකද වුණේ? රට පුරා හතු පිපෙන්නා වගේ මූල්‍ය සමාගම් බිහිවුණා. දහස් ගණන් ඒවා ටික දවසකින් කඩා වැටුණා. රුපියල් බිලියන ගණන් එකතු කරගත්තට පස්සේ තමයි ඒවා කඩා වැටෙන්නේ. සමහර නළුවොත් අද බැංකු කරුවන් වෙලා. රට පුරා ග්‍රාමීය බැංකු පටන්ගත්තා. ඒවා කළේ සල්ලි හොරකම් කරපු එක. ක්ෂුද්‍ර මූල්‍ය සමාගම්වලට රටේ ජනතාවගෙන් හතරෙන් එකක් ගොදුරු බවට පත්වෙලා. වන්නිල ඇත්තො පවා මේකට කොටුවෙලා ඉන්නේ. මේ අයගෙන් ජනතාව බේරාගත යුතුයි. ඔබගේ ආයෝජන කර්මාන්තවල ප්‍රතිලාභ රටටයි ලැබෙන්නේ. ව්‍යවසායකයා කිසියම් විදිහකින් අසාර්ථක වෙනවා නම් ඔහුට අතදෙන ක්‍රමයක් අවශ්‍යයි. එම කඩා වැටුණු ආයතන ප්‍රතිව්‍යුහගත කරන ක්‍රමයක් අවශ්‍යයි. එහෙම තමයි ලෝකයේ බැංකු කටයුතු කරන්නේ. එවැනි අතරමැදි ක්‍රමවේදයක් සකස් කිරීමත් අප විසින් කළ යුතු යැයිද ඇමැතිවරයා එහිදී කියා සිටියේය.
රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment