රටේ ජනතාව වගකීමෙන් වැඩ නොකළොත් නැවත පාසල් වහන්න වෙනවා… රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත

34

කාන්තාව ගැන කතා කරනකොට වැඩියෙන්ම උපදෙස් ලබාදෙන්න ඕන පිරිමින්ට…

ළමා අපයෝජනය, හිංසනය, අඩු වයස් අම්මාවරු විශාල වශයෙන් වැඩි වෙලා…

සීතල කාමරවල ඉඳගෙන වැඩ කරන්න බෑ: රටේ දරුවන් වෙනුවෙන් වැඩ කරන්න බිමට බහින්න…

නොදන්නා දේ ගැන කතා කරලා ඇන ගන්නවට වඩා දන්න විෂය ගැන කතා කරලා මගේ ගමන යන එක හොඳයි…

‘රටේ දරුවන් අනතුරේ. සඳළුතලවලින් බිමට බැස දරුවන් වෙනුවෙන් වැඩ කරන්න පටන් ගන්න…’ ආණ්ඩු පක්‍ෂ දේශපාලනඥයකුගේ මුවින් එවැනි කතාවක් ඇසීමට ලැබීම ද සතුටකි. එහෙත් එම කතාව තුළ සැඟවුණු යථාර්ථය අතිශය භයානකය. එම කතාවේ ඇතුළාන්තය සහ වසර දෙකකට ආසන්න කාලයක් නතර වී තිබුණු මෙරට පාසල් අධ්‍යාපනය නඟාසිටුවීමට රජය ක‍්‍රියාත්මක වන ආකාරය ගැන දැනගැනීමට කාන්තා සහ ළමා සංවර්ධන, පෙර පාසල්, ප‍්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම්, අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා අපි හමු වීමු. මේ පෙළගැසෙන්නේ අපේ ප‍්‍රශ්නවලට පියල් නිශාන්ත ඇමැතිවරයා ලබා දුන් පිළිතුරුය…

මෙරට කොවිඞ් වසංගතයේ ව්‍යාප්තියත් සමඟ වසර දෙකකට ආසන්න කාලයක් පාසල් වසා තැබීම නිසා අධ්‍යාපනය දරුණු අගාධයකට වැටිලා තියෙනවා කීවොත් ඔබ පිළිගන්නවද?

ගෝලීය කොවිඞ් ව්‍යසනය තුළ ලෝකයේ දියුණුම අධ්‍යාපනයක් තියෙන පින්ලන්තය වැනි රටවල දරුවන්ගේ අධ්‍යාපනයත් අඩාල වෙලා තියෙනවා. අපේ වගේ රටවලට එම අභියෝගය දරුණු විදිහට බලපාලා තියෙනවා. කොවිඞ් ව්‍යසනය තුළ මෙරට දරුවන්ට නිසියාකාර පාසල් අධ්‍යාපනය ලබාදීමට හැකියාවක් ලැබුණෙ නෑ. ඒ හේතුවෙන් රටේ දරුවන් අධ්‍යාපන මට්ටමින් යම් පසුබෑමකට ලක් වෙලා තියෙනවා. මේ පසුබෑමට හේතු දෙකක් තියෙනවා. එකක් කොවිඞ් ව්‍යසනයත් සමඟ පාසල් විවෘත නොවීම. අනෙක විදුහල්පතිවරුන්ගේ සහ ගුරුවරුන්ගේ ගුරු වැටුප් විෂමතාව එක්ක ඇති වූ ගැටලූකාරී තත්ත්වය. මොනයම් හෝ හේතු නිසා රටක අධ්‍යාපනයේ කඩා වැටීම එරට පරිහානියේ ආරම්භය. කොවිඞ් මරණයයි, දරුවන්ට අධ්‍යාපනය නොලැබීමයි අතර කිසිදු වෙනසක් නෑ කියලා නිතර මම කිව්වේ ඒ නිසයි. එවැනි භයානක තත්ත්වයකට රටේ අධ්‍යාපනය තල්ලූ වෙමින් තිබුණා. කඩිනමින් ක‍්‍රියාත්මක වෙමින් ජනාධිපතිතුමා, අධ්‍යාපන ඇමැතිතුමා, රාජ්‍ය අමාත්‍යවරු සියලූදෙනා එකට එකතු වී සාකච්ඡා කර රූපවාහිනී නාලිකා කිහිපයක් ආරම්භ කර ඔන්ලයින් අධ්‍යාපනය ලබාදෙන්න කටයුතු කළා. සමහර පාසල් සඳහා පැවරුම් සහ අනෙකුත් ක‍්‍රමවේදයන් පාවිච්චි කළා. ඒ වගේම රටේ දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳ අවබෝධයක් සහිත දේශපාලන නායකත්වයක් තියෙන නිසා තමයි ආර්ථික ගැටලූ කන්දරාවක් මැද විදුහල්පති, ගුරු වැටුප් විෂමතාව එක අදියරෙන්ම විසඳීමට තීන්දු කළේ. ජනාධිපතිවරයා එම තීරණය ගත්තේ රටේ දරුවන්ගේ අනාගතය ගැන හිතලා. එවැනි නායකත්වයක් තිබුණු නිසා තමයි මෙච්චර ඉක්මනට කොවිඞ් ව්‍යසනය පාලනය කරගෙන නැවත පාසල් විවෘත කිරීමට අපට අවස්ථාව උදා වුණේ…

නැවත කොවිඞ් රැල්ලක් මතු වුණොත් විවෘත කළ පාසල් වහන්න වෙයිද?

නැවත කොවිඞ් රැල්ලක් මතු වුණොත් නෙමෙයි, මතු කළොත්… මේ රටේ සාම්ප‍්‍රදායක විපක්‍ෂය හැම වෙලාවේම බලන්නේ හොඳ දේටයි, නරක දේටයි දෙකටම පටු දේශපාලන වාසි ඉදිරියට අරගෙන කටයුතු කරන්න. ඒ නිසා බල ලෝභී විපක්‍ෂය දරුවන්ගේ කොවිඞ් මරණ තුළින් හරි ගුරුවරුන්ගේ කොවිඞ් මරණ තුළින් හරි බලය ලබාගැනීමට උත්සාහ කරනවා. එවැනි අවස්ථා ඇති නොවීමට වගබලා ගත්තොත් නැවත මේ රටේ කොවිඞ් රැලි ඇති වෙන්නේ නෑ. ආණ්ඩු පක්‍ෂය, විපක්‍ෂය, දෙමවුපියො නිවැරැදි අවබෝධයෙන් කටයුතු නොකළොත් රටේ පාසල් නැවත වහන්න වෙනවා. ඒ නිසා රටේ දරුවන්ගේ අනාගතය ගැන හිතලා එවැනි තත්ත්වයක් ඇති නොවෙන්න අපි සියලූදෙනා වගකීමෙන් කටයුතු කරන්න ඕනෑ.

මෙරට බහුතරයකගේ මතය පවතින අධ්‍යාපන ක‍්‍රමය වෙනස් විය යුතු බවයි. ඔබ සිටින්නෙත් ඒ මතයේද?

මේ රටේ අධ්‍යාපන ක‍්‍රමය වෙනස් කරන්න ඉස්සෙල්ලා, ඇතැම් පක්‍ෂ, විපක්‍ෂ දේශපාලනඥයන්ගෙත් දෙමවුපියන්ගෙත් සුබවාදී ආකල්පමය වෙනසක් ඇති කරන්න ඕනෑ. ඒ වෙනස ඇති කළොත් මේ ප‍්‍රශ්නය අපිට කතා කරන්න අවශ්‍ය වෙන එකක් නෑ.

රටේ අධ්‍යාපන ක‍්‍රමයේ යම් පසුබෑමක් තියෙන විත්තිය ඔබ පිළිගත්තා. වැටී තිබෙන අධ්‍යාපනය නඟාසිටුවීමට රජයට අලූත් වැඩපිළිවෙළක් තියෙනවාද?

කොවිඞ් ව්‍යසනයෙන් රට මුදාගෙන පාසල් විවෘත කිරීමට නම් එකම විසඳුම එන්නත්කරණය බව ජනාධිපතිවරයා මුල සිට විශ්වාසයෙන් සිටියා. ඒ විශ්වාසයෙන් රටේ ජනතාවට එන්නත් ලබාදෙන්න පටන් ගන්නකොට ‘එන්නත් ලබාගන්න එපා’ කියලා විපක්‍ෂය වැරැදි මත ප‍්‍රචාරය කරන්න පටන් ගත්තා. ඒත් සෞඛ්‍ය අංශය, ආරක්‍ෂක අංශවල මැදිහත්වීමෙන් රට තුළ සාර්ථක එන්නත්කරණයක් සිද්ධ කිරීමට අපිට පුළුවන් වුණා. එම කැප කිරීම සම්බන්ධයෙන් සුවවිරු, රණවිරු දෙපාර්ශ්වයටම රටේ පුරවැසියන් විදිහට අපි ස්තූතිවන්ත විය යුතුයි. ලෝකයේ සාර්ථකව එන්නත්කරණය සිද්ධ කරපු රටවල් අතර අපේ රටත් අද ඉදිරියෙන්ම සිටිනවා. ඒත් එන්නත්කරණය සම්බන්ධයෙන් විපක්‍ෂය ගෙන ගිය වැරැදි ප‍්‍රචාරවල බලපෑම අදටත් තියෙනවා. රටේ ජනතාව අවබෝධයෙන් සහ විනායානුකූලව වැඩකටයුතු කරගෙන ගියොත් කිසිම දෙයක් අපිට අභියෝග නෙමෙයි. පන්ති කාමරයක් තුළ දරුවකුට අධ්‍යාපනය ලබාදීම තමයි සාර්ථකම ක‍්‍රමවේදය. දැන් අපි එතැනට ඇවිත් තියෙනවා. මෙච්චර ඉක්මනට පාසල් විවෘත කරන්න පුළුවන් වුණේ එන්නත්කරණයේ සාර්ථකත්වය නිසයි.

පාසල් විවෘත කිරීමට සමගාමීව ටියුෂන් පන්ති ආරම්භ කිරීමටත් අවසර දීලා තියෙනවා. ළමයි විශාල සංඛ්‍යාවක් සහභාගි වන මහ පරිමාණයෙන් පවත්වාගෙන යන ටියුෂන් පන්ති ආරම්භ කිරීමටත් අවසරය ලබා දීලා තියෙනවාද?

සෑම රාජ්‍ය ආයතනයකටම, පෞද්ගලික ආයතනයකටම වැඩ කරගෙන යෑමට සෞඛ්‍ය උපදෙස් මාලාවක් ලබාදීලා තියෙනවා. සෑම ආයතනයක්ම එම සෞඛ්‍ය උපදෙස් මත පවත්වාගෙන යා යුතුයි. එම වෛද්‍ය උපදෙස් මත ක‍්‍රියාත්මක නොවෙන ආයතනයවලට නීතිය ක‍්‍රියාත්මක කරන්න ඕනෑ. දැඩි තීන්දු, තීරණය අරගෙන එම නීති ක‍්‍රියාත්මක කරවිය යුතුයි. අපේ රට තවම කොවිඞ් අවදානමෙන් සම්පූර්ණයෙන් නිදහස් වෙලා නෑ. එවැනි අවදානමක පුද්ගල අභිමතයට වැඩ කරන්න බෑ. රටේ සාමාන්‍ය ජනතාවත්, දේශපාලනඥයොත්, ආයතන ප‍්‍රධානීන් සියලූ පාර්ශ්ව මේ ගැන අවධානයෙන් කටයුතු කරන්න ඕනෑ.

සෞඛ්‍ය උපදෙස් මත ටියුෂන් පන්ති පවත්වාගෙන යනවාද කියා සොයා බැලීමට යම් අධීක්‍ෂණයක් කරනවාද?

කොවිඞ් මර්දන ජාතික කමිටුවක් තියෙනවා. විවිධ ක්‍ෂේත‍්‍ර නියෝජනය කරමින් විද්වත් උපදේශක කමිටුවක් පත් කරලා තියෙනවා. රටේ නීතිය ක‍්‍රියාත්මක කරන ආයතන තියෙනවා. යම් ආයතනයක සෞඛ්‍ය උපදෙස් පිළිපදිනවද? නැද්ද කියා සොයාබැලීම එම පාර්ශ්වල වගකීම. ඒත් තමන්ගේ ආරක්‍ෂාව තමන් සපයා ගන්නවා නම්, සමාජය තුළ විනයානුකූලව ජීවත් වෙනවා නම් කාටවත් වගකීම් පවරන්න අවශ්‍ය වෙන්නේ නෑ. තමනුත් පරිස්සම්. සමාජයත් පරිස්සම්.

ගුරුවරයෙක් විදිහට මෙරට ටියුෂන් අධ්‍යාපනය ගැන ඔබගේ මතය කුමක්ද?

මම රජයේ ගුරුවරයෙක් විතරක් නෙමෙයි. අතිරේක ගුරුවරයෙක් විදිහටත් ජනප‍්‍රිය වෙච්ච කෙනෙක්. ලෝකයේ තියෙන තරගකාරී අධ්‍යාපන රටාව තුළ රාජ්‍ය අධ්‍යාපනය පමණක් නෙමෙයි, පෞද්ගලික අධ්‍යාපනයත් අවශ්‍ය වෙනවා. ඒත් මේවා නිවැරැදි නියාමනයක් සහිතව ක‍්‍රියාත්මක කරවීම රජයක් හැටියට අපගේ වගකීම. ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් අපි ක‍්‍රියාත්මක වෙනවා.

රටේ මොන ප‍්‍රශ්නය ආවත් මුලින්ම වහන්නේ ටියුෂන් පන්ති කියලා ටියුෂන් ගුරුවරු චෝදනා කරනවා. ටියුෂන් ගුරුවරුන්ට කුඩම්මාගේ සැලකිලි දක්වන්නේ ඇයි…?

අතිරේක පන්ති ගුරුවරුන්ට කුඩම්මාගේ සැලකිලි දැක්වීමට අපි ඉඩ තියන්නේ නෑ. අතිරේක ගුරුවරු රටේ අධ්‍යාපනයට විශාල දායකත්වයක් ලබාදෙනවා. ඒත් අතිරේක පන්ති පවත්වන සියලූ ගුරුවරු ළමයින්ට ආදරේ නෑ. මුදල් හම්බ කිරීමේ චේතනාවෙන් ව්‍යාපාරයක් විදිහට අමතර පන්ති කරගෙන යන අයත් ඉන්නවා. එම ගුරුවරුන්ගෙන් දරුවන්ට නිසි අධ්‍යාපනයක් ලැබෙන්නේ නෑ.

මෙරට ප‍්‍රාථමික අධ්‍යාපන නැංවීමට, වර්තමාන රජය මොනවද කරලා තියෙන්නේ…?

ප‍්‍රාථමික අධ්‍යාපන ක‍්‍රමයේ යම්, යම් වෙනස්කම් කිරීමට අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමඟ සාකච්ඡා කරගෙන යනවා. පන්ති කාමරයෙන් බාහිරව, නිවස තුළදීත් අධ්‍යාපනය සම්බන්ධයෙන් යම් යම් වැඩසටහන් ක‍්‍රියාත්මක කරවීමට ළමයි යොමු කරන්න ඕනෑ. ඒ වගේම මේ වන විට පෙර පාසල් සම්බන්ධයෙන් ජාතික ප‍්‍රතිපත්තියක් නිර්මාණය කර තියෙනවා. පෙර පාසල් සඳහා අවශ්‍ය වන සියලූ පහසුකම් ලබාදීලා තියෙනවා. පෙර පාසල් ගුරුවරුන්ගේ දීමනාව වැඩි කරලා තියෙනවා. ජාත්‍යන්තර මට්ටමේ පෙර පාසල් ගුරුවරු නිර්මාණය කිරීමට මහ බි‍්‍රතාන්‍යය වගේ රටවල විශ්වවිද්‍යාල කිහිපයක් සම්බන්ධ කරගෙන කටයුතු කරගෙන යනවා. තිබුණට වඩා ප‍්‍රාථමික අධ්‍යාපනයේ සංවර්ධනයක් තියෙනවා. ඒත් කොවිඞ් ව්‍යසනයත් සමඟ එම සංවර්ධනය මතු වෙලා පෙන්නේ නෑ.

රටේ දරුවන් අනතුරේ. සඳළුතලවලින් බිමට බැහැලා දරුවන් වෙනුවෙන් වැඩ කරන්න කියලා ඔබ කියනවා. ඇයි දරුවන් අනතුරට වැටිලා ඉන්නේ…?

මගේ අමාත්‍යාංශය හරහා රටේ සියලූම දරුවන්ගේ අවශ්‍යතා ගැන සොයා බලනවා. බිමට බැහැලා වැඩ කරන්න පටන් ගත්තට පස්සෙ තමයි අපි දැක්කෙත් මේ රටේ කොච්චර ළමයි අපයෝජනයට ලක් වෙලා ඉන්නවද කියලා. ළමා හිංසනය විශාල වශයෙන් වැඩි වෙලා. අඩු වයසින් ගැබ් ගන්නා දැරිවියන් වැඩි වෙලා. විථි දරුවො වැඩි වෙලා. මේ, අද ඊයේ වර්ධනයක් නෙමෙයි. දශක කිහිපයක ඉඳලා අපේ දරුවො මේ අවාසනාවන්ත ඛේදනීය තත්ත්වයට පත්වෙමින් ඉන්නවා. ඒත් මේ ළමයින්ගේ ප‍්‍රශ්න විසඳන්න අදාළ නිලධාරීන්, බලධාරීන් කොළඹ සීතල කාමරවල ඉඳගෙන සැලසුම් සකස් කළා විතරයි. ඒ සැලසුම් මහ පොළොවේ පැළ කරන්න බැරි වුණා. සීතල කාමරවල කරන සැලසුම් ප‍්‍රායෝගික නෑ කියලා දැන් සනාථ වෙලා තියෙනවා. ඒ නිසා සියලූදෙනාට බිමට බැහැලා දරුවන් වෙනුවෙන් වැඩ කරන්න වෙලා තියෙනවා. මට, මගේ නිලධාරීන්ට මේ රටේ සෑම අස්සක් මුල්ලකට රිංගලා ළමයින්ගේ ප‍්‍රශ්න සොයා බලන්න පුළුවන් නම්, අනිත් ආයතනවල නිලධාරීනුත් සැලසුම්වලට සීමා නොවී, බිමට බැහැලා දැනෙන්න වැඩ කරන්න පටන් ගන්න ඕනෑ. මේ රටේ සියලූ අනාරක්‍ෂිත දරුවො සුරක්‍ෂිත තත්ත්වයට ගේනකම් බිම ඉඳගෙන වැඩ කරන්න වෙනවා.

පසුගිය දිනක ආණ්ඩු පක්‍ෂ මන්ත‍්‍රීවරයෙක් කාන්තාවන්ට අපහාස වන ආකාරයට පාර්ලිමේන්තුවේ කතා කළා කියලා චෝදනාවක් තියෙනවා. කාන්තා කටයුතු අමාත්‍යවරයා විදිහට ඒ සම්බන්ධයෙන් ඔබගේ මතය කුමක්ද?

විපක්‍ෂය, ආණ්ඩු පක්‍ෂයේ ඉන්න කාලේ කාන්තාවන්ට වෙච්ච දේවල් ඛේදනීයයි. ශෝචනීයයි. පහුගිය දිනක පාර්ලිමේන්තුවේ වෙච්ච ඒ කතාව දිහා බලන්නේ දේශපාලන කෝණයකින්. තිස්ස කුට්ටිආරච්චි මන්ත‍්‍රීවරයද, පියල් නිශාන්ත මන්ත‍්‍රීවරයා ද නැති නම් වෙනත් කෙනෙක් ද? කාන්තාවන් සම්බන්ධයෙන් වැරැදි චේතනාවෙන් ප‍්‍රකාශයක් නිකුත් කරලා තියෙනවා නම්, ඒක වැරැද්දක් හැටියට අපි දකින්න ඕනෑ. අවබෝධයෙන් යුක්තව එවැනි ප‍්‍රකාශයක් නිකුත් කළා නම් ඒක බරපතළ වරදක්. මහජන නියෝජිතයො හැටියට එවැනි ප‍්‍රකාශ නිකුත් කිරීම සුදුසු නෑ. ඒත් ඔය වගේ වචනයක් අල්ලගෙන පස්සෙන් දුවනවට වඩා මේ රටේ කාන්තාවන් සම්බන්ධයෙන් වගකීමෙන් යුක්තව අපිට කරන්න වැඩ කන්දරාවක් තියෙනවා. කාන්තා අභිවෘද්ධිය වෙනුවෙන් උනන්දු වෙන අය කාන්තා කටයුතු අමාත්‍යාංශයටත් ඇවිත් අපි කරන දේවල් ගැනත් සොයාබලන්න. මේ රටේ අන්ත අසරණව දුක්විඳින කාන්තාවන් වෙනුවෙනුත් හඬක් නඟන්න අපිත් එක්ක එකතු වෙන්න. රටේ කාන්තාවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් අපි වැඩසටහන් රාශියක් හඳුන්වාදීලා තියෙනවා. අම්මාවරුණේ, පළමු පාසල මව් කුසයි, මාතෘ අභිමානි, අතිශයින්ම පිරිමින්ට පමණයි. මේ සියලූ වැඩසටහන් මේ වන විටත් දිස්ත‍්‍රික්ක මට්ටමින් ක‍්‍රියාත්මක වෙනවා. කාන්තාව ගැන කතා කරනකොට වැඩියෙන්ම උපදෙස් ලබාදෙන්න ඕන පිරිමින්ට. ‘අතිශයින්ම පිරිමින්ට පමණයි’ වැඩසටහන තුළින් ගම් මට්ටමින් පිරිමි එකතු කරලා කාන්තාවන්ගේ ගෞරවය ආරක්‍ෂා වන ආකාරයට වැඩ කරන්නේ කොහොමද යන්න විද්වත් සහ සෞන්දර්යාත්මක වැඩසටහනක් කරගෙන යනවා.

රසායනික පොහොර තහනම ඉවත් කරගෙන නැවත රසායනික පොහොර, කෘමි නාශය, වල් නාශක ගෙන්වීමට පෞද්ගලික අංශයට අවසර ලබා දී තියෙනවා. කාබනික වගාවෙන් රජය පේල් වුණාවත්ද?

නොදන්නා විෂය පථයක් ගැන කතා කරලා ඇන ගන්නවාට වඩා දන්න විෂය පථය ගැන කතා කරලා මගේ ගමන යන එක හොඳයි. කොහොම වුණත් රට තුළ කාබනික වගාව ප‍්‍රචලිත කිරීමට ජනාධිපතිතුමා ගත්ත තීන්දුව අද ඊයේ එකක් නෙමෙයි. ක‍්‍රමානුකූලව රට තුළ කාබනික වගාව ප‍්‍රචලිත කරන බව සෞභාග්‍ය දැක්මෙත් සඳහන් කරලා තියෙනවා. ඒ නිසා රටේ කෘෂිකාර්මාන්තය සම්බන්ධයෙන් ජනතාවට සුබවාදී තීන්දුවක් ඉදිරියේදී ගනී කියලා මම විශ්වාස කරනවා. ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති මේ පොහොර ගැටලූව විසඳන බවට සීයට, දෙසීයක් අපිට විශ්වාසයි. ඒ වගේම තව කන්නයක්, දෙකක් යනකොට මේ තත්ත්වය වෙනස් වෙනවා. ගොවියො කාබනික පොහොර ඉල්ලන තත්ත්වයට පත් වෙනවා.

සාකච්ඡා කළේ
තරංග රත්නවීර

advertistmentadvertistment