රටේ තෙල්මිලට ගේමක් ගහන අයි.ඕ.සී. ගැටය

117

ආණ්ඩුත් නොදැන මිල තීරණය කරන ඉන්දියාව

මඟුල් බෙර සක් හඬ මැද ති‍්‍රකුණාමලය තෙල් ටැංකි සමූහය සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා රජය ඉන්දියාව සමඟ නව ගිවිසුමක් අත්සන් කරනු ලැබුවේ මීට සති දෙක තුනකට ඉහතදීය. මෙම නව ගිවිසුමත් සමඟ බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතා නම් කීවේ ගිවිසුම් ති‍්‍රත්වයකට අනුව කාලයක සිට ඉන්දියාවට ලබා දී තිබූ ති‍්‍රකුණාමලය තෙල් ටැංකි සමූහය යළි ශී‍්‍ර ලංකාව සතුවූ බවකි.’’ උදය ගම්මන්පිල මහතා පී‍්‍රති ප‍්‍රමෝදයට පත්ව එසේ පවසද්දී අපට නම් ඇති වූයේ ගැටලූවකි. මන්ද කුඹුර අපේය. එය අඳේට දුන්නේ අපේ දේශපාලකයන්ය. ලැබුණු ලාභයකුත් නැත. කවුරුත් සිටියේ අඳ ගොවියා කුඹරෙන් පන්නාගත නොහැකිවය. උයද ගම්මන්පිල මහතා කියන්නේ සුපිරි ගේමක් දී උපක‍්‍රමශීලීව යළි කුඹුර ගත් බවකි. එහෙත් අඳ ගොවියා තවමත් කුඹුරේය. ඉතින් බලශක්ති ඇමැති මෙසේ පැවසීම බරපතළ උභතෝකෝටිකයක් නොවන්නේද?

මෙහිදී උදය ගම්මන්පිල මහතා සඳහන් කළ ගිවිසුම් ති‍්‍රත්වය වූයේ 1987 ඉන්දු ලංකා ගිවිසුම, 2003 දී අත්සන් කෙරුණු ඉන්දීය ඔයිල් සමාගමට අදාළ ගිවිසුම සහ 2017 ඉන්දු ලංකා අවබෝධතා ගිවිසුමය.

බලශක්ති ඇමැතිවරයා කියන පරිදි මේ ගිවිසුම් ති‍්‍රත්වයම රටක් වශයෙන් ගත් කල දැවැන්ත අන්දමින් ශී‍්‍ර ලංකාවට අවාසි සහගතය. එනිසා ඉන්දීය බලධාරීන් සමඟ දීර්ඝ වශයෙන් සිදු කළ සාකච්ඡාවලින් අනතුරුව ති‍්‍රකුණාමලය තෙල් ටැංකි සමූහයේ ටැංකි රැසක අයිතිය මෙරටට හිමිවන පරිදි විජයග‍්‍රාහී අවසානයකට ළඟා වීමට ඔහු යටතේ ඇති බලශක්ති අමාත්‍යාංශය සමත්වූ බවද හේ කියන්නේය.

මේ නව ගිවිසුමට අනුව සිදුව ඇත්තේ කුමක්ද? ති‍්‍රකුණාමලය තෙල් ටැංකි සමූහයෙන් ටැංකි 24 ක් ලංකා ඛනිජ තෙල් සංස්ථාවට හිමිවී ඇත. ටැංකි 14 ක් මෙතෙක් සිදුවූ පරිදිම ඉන්දීය ඔයිල් සමාගමේ මෙහෙයුම් කටයුතු සඳහා ලබාදී තිබේ.

ඉතිරි ටැංකි 61 ක ප‍්‍රමාණය තෙල් සංස්ථාවට කොටස් 51 ක් සහ ඉන්දීය ඔයිල් සමාගමට කොටස් 49 හිමිවන පරිදි ස්ථාපිත කරනු ලබන නව සමාගමක් යටතේ සංවර්ධනය කර කි‍්‍රයාත්මක කිරීමට නියමිතය.

මේ අනුව අදාළ නව සමාගමේ කොටස් බෙදී යෑමේ ප‍්‍රතිශතාත්මක තත්ත්වය ද සැලකිල්ලට ගෙන බැලීමේදී ති‍්‍රකුණාමලය තෙල් ටැංකි සමූහයෙන් ටැංකි 55 ක් තෙල් සංස්ථාවට හිමි වන අතර ඉතිරි ටැංකි 44 හිමිවන්නේ ඉන්දීය ඔයිල් සමාගමටය. අතීතයේ පවුම් දෙලක්‍ෂ පනස් දහසක් වැනි අති විශාල ධනස්කන්ධයක් බි‍්‍රතාන්‍යයට ගෙවා ලංකා ඛනිජ තෙල් සංස්ථාව මගින් තම අයිතියට ලබා ගත් ති‍්‍රකුණාමලය තෙල් ටැංකි සමූහය පිළිබඳ මෙකී අලූත් කතාව දෙස බැලීමේදී සැබවින්ම සිදුව ඇත්තේ අඳ ගොවියා තවමත් කුඹුරේ වැනි දෙයක් නොවේද?

ටැංකි අනූනවයකින් සමන්විත ති‍්‍රකුණාමලය තෙල් ටැංකි සමූහයෙන් පනස්පහකම අයිතිය තිබෙන්නේ ශී‍්‍ර ලංකාවට නොවේදැයි දැන් මෙහිදී ඇතැමෙකු කියන්නට පුළුවන. එහෙත් ගෙඩිය පිටන් අප සතුවූ සම්පතක් කාලයෙන් කාලයට මේ රට පාලනය කළ දේශාලනඥයන් විසින් මේ අන්දමට ජාත්‍යන්තර සල්පිලේ වෙන්දේසි කිරීම මොනතරම් යුක්ති යුක්තද? කෙතෙරම් ජාතතිකවාදීද?

ති‍්‍රකුණාමලය තෙල් ටැංකි සම්බන්ධයෙන් නව ගිවිසුම අත්සන් කිරීමට සමගාමීව බලශක්ති අමාත්‍යාංශය මගින් මුද්‍රණය කර බෙදා හරින ලද ලස්සන පොතේ හැටියට මෙම නව ගිවිසුම ඇති කිරීමේදී උපාය මාර්ගික නායකත්වය සපයා ඇත්තේ අප දන්නා ජාතිකවාදී කඳවුරේ ප‍්‍රබලයකුව සිටි වත්මන් බලශක්ති ඇමැති වන නීතිඥ උදය ප‍්‍රභාත් ගම්මන්පිලය.

ඒ අනුව බලන කල මේ කියැවෙමින් තිබෙන්නේ උයද ගම්මන්පිල මහතාත් දැන් මේතාක් තමන් ඇවිද ගිය මාවතෙන් ඉවතට යමින් සිටින බවක්ද?

සිදුවන සියල්ල දෙස බැලීමේදී අපට නම් පෙනෙන්නට තිබෙන්නේ ඒ කිසිවක් නොව දකුණු ආසියාවේ ලොකු අයියා අසල්වාසී පොඩි මල්ලීට කරන කෙනහිළිකමේ තරමය. බලපෑම්වල දරුණු තත්ත්වයය.

එහෙත් එම සාධාරණ නොවන තත්ත්වය පිළිබඳ ඉන්දියාව සමඟ කතා කරන්නට හැකි කො`දු සහිත දේශපාලනඥයෝ අපට නැත්තාහ. අපට සිටින්නේ ඒ වත්තත් අපේ තමයි. මේ වත්තත් අපේ තමයි. වතු යායම අපේ තමයි කියමින් සුරංගනා කතා පවසා රට රවටන අයියලාය. ඇතැම් විට කොන්දක් තිබුණද විජාතික බලපෑම්වලට එරෙහිවීමට හැකියාවක් ඒ කිසිවකුටත් නැත. එයට හේතු වී තිබෙන්නේ තමන්ගේම රාජ්‍ය තාන්ත‍්‍රික ප‍්‍රතිපත්තීන් තමන්ට එරෙහි වී තිබීමය. එනිසා රටක් වශයෙන් ශී‍්‍ර ලංකාවට සිදු වන්නේ තවත් ශතවර්ෂ ගණනාවක් යනතුරුම තුන්වන ලෝකයේ දියුණු වෙමින් පවතින රටක් යැයි යන ලේබලය යටතේම පවතින්නටය.

අමනෝඥ ඞීල් දේශපාලනය විසින් මේ රට පාලනය කරන තුරාවට ශී‍්‍ර ලංකාවට එකී මර උගුලෙන් ගැළවීමක් නම් කිසිසේත්ම හිමි නොවනු ඇත. රටේ ජනතාවට සිදු වන්නේ වෙලාවට ලෙඩකට බෙහෙත් පෙත්තක් ලබා ගත නොහැකි, නගරයේ රෝහලක පහසුකම් දුෂ්කර ගමට නොලැබෙන, දරුවන්ගේ අධ්‍යාපනය සඳහා පහසුකම් ඇති පාසල් ගමට නැති දුප්පත්කම පිරී ගිය අ`දුරු කොදෙව්වක ජීවත්වන්නටය.

එසේ වුවද රට පාලනය කරන සහ නොකරන සියලූ දේශපාලනඥයන්ට නම් සියලූම සම්පත් හිමිය. ඞීල් තුළින් හරි හම්බ කරගත් එතෙර මෙතෙර සම්පත් නොදුටු පරම්පරාවන් සඳහාද රැස්කර ඇති ඔවුනට නැත්තේ අප ජීවත් වන මේ විශ්වයේ නාමයෙන් අමරණීය වන්නට ක‍්‍රමයක් පමණි.

එල්ටීටීඊය පරදා රටට සැබෑ නිදහස දිනා දුන් මහින්ද රාජපක්‍ෂ යුගය හැරෙන්නට තමන්ගේම ප‍්‍රතිපත්ති හමුවේ එල්ල වන විජාතික බලපෑම් ඉදිරියේ අපේ පාලකයන් හැමදාමත් කළේ විවිධ ගිවිසුම්වලට එළැඹීමය. රට විකුණාගෙන කෑමය. ඉන් එහා සිදු කෙරුණු කිසිවක්ම නැත. හැමදාමත් වේදිකාවේ දිගහැරුණේ අලි බබා සහ හොරු හතළිහේ කතාවය.

හාස්‍යය උපදවන අයුරින් ඔක්කොම අපට ලැබුණේ යැයි කියන ති‍්‍රකුණාමලය තෙල් ටැංකි සම්බන්ධයෙන් වූ ඉන්දීය – ශී‍්‍ර ලංකා නව ගිවිසුම අරබයා එසේ සඳහන් කරනු හැර වෙන කුමක් කරන්නද?

කෙසේ වෙතත් දැන් සියල්ල සිදුවී අවසන්ය. අනාගතයේ සුදු අලියකු බවට පත්ව රටට බරක් වනු ඇතැයි අනුමාන කළ හැකි තවත් සමාගමක් ලංකා ඛනිජ තෙල් සංස්ථාව යටතේ බිහිවෙද්දී සමස්ත ආසියාවටම වැදගත් මර්මස්ථාන භූමියක් ලෙස සැලකෙන ති‍්‍රකුණාමලය වරාය සමීපයේම පිහිටි ති‍්‍රකුණාමලය තෙල් ටැංකි සමූහය පාලනයේ නිල අයිතිය දැන් ඉන්දියාවට හිමිවී ඇත.

කවුරු කෙස් කිව්වත් මහ පොළොවේ සත්‍ය වී තිබෙන්නේ එහි වැඩි කොටසක නාමික අයිතිය පමණක් ශී‍්‍ර ලංකාවට හිමිවූවේ යැයි යන්නය. මේ තත්ත්වය තුළ ඉන්දීය ඔයිල් සමාගම සමඟ එක්ව ති‍්‍රකුණාමලය තෙල් ටැංකි පාලනයට සියයට 51-49 නව සමාගමක් අරඹන්නේ යැයි බලශක්ති ඇමැති හෙවත් ආණ්ඩුව උදම් අනද්දී අද වෙනත් පැත්තකින් සිදුව ඇත්තේ කුමක්ද?

මේ වන විට මෙරට ඉන්ධන මිල තීරණය කිරීමේ ප‍්‍රධාන බලවේගය බවට ඉන්දීය ඔයිල් සමාගම හෙවත් ඉන්දියාව පත්ව නොසිටින්නේද? මීට මාස දෙකකට පමණ ඉහතදී ද මෙරට ඉන්ධන මිල ඉහළ දැමීමක් සිදු කෙරුණි.

එහිදී මුලින්ම සිදුවූයේ බලශක්ති ඇමැතිවරයාත් ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති නීතිඥ සුමිත් විජේසිංහ මහතාත් ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ගැන කියමින් අනේ තෙල් සංස්ථාව අම්බානක පාඩු ලබන්නේ යැයි පවසා රට ඉදිරියට පැමිණ කම්පා වීමය.

සියල්ල සිදු කෙරුණේ රටේ ජනතාව ඛනිජ තෙල් සංස්ථාව සූරාගෙන කන්නේ යැයි නොකියා කියන පරිදිය. ඇමැතිවරයාත් සභාපතිවරයාත් එසේ තෙල් සංස්ථාව කෙරෙහි උපන් ශෝකයෙන් කම්පිතව රටේ ජනතාව ඉදිරියට පැමිණි ගණන්හිලව් ඇතිව කරුණු කියද්දී කාටත් රහසේ සිදුවූයේ කුමක්ද?

කිසිදු නියාමනයකට යටත් නොවූ දේශපාලන ගිවිසුම් අනුව මෙරට ඉන්ධන බෙදා හැරීමේ කාර්යට අතපොවා සිටින ඉන්දීය ඔයිල් සමාගම හිටි හැටියේම සිය ඉන්ධන හල් මගින් බෙදාහරින පෙට‍්‍රල් සහ ඞීසල් මිල ඉහළ දැමීය. ඒ සමගම වැඩි මිල නිසා ඉන්දීය ඔයිල් සමාගමේ පාරිභෝගිකයන්ද ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්ධන හල් වෙත පැමිණීමෙන් සංස්ථාවේ පාඩුව දෙගුණ තෙගුණ වී ඇතැයි ඇමැතිවරයාත් සභාපතිවරයාත් කියන්නට වූ අතර පසුව ඉන්දීය ඔයිල් සමාගමට සාපේක්‍ෂව ඉන්ධන මිල ඉහළ දැමීමට ආණ්ඩුව කටයුතු කළේය.

එක් අතකට බලන කල එය සුපිරි සයිකොලොජිකලි ඔපරේෂන් එකක් හෙවත් මානසික මෙහෙයුමක් ලෙසද පෙන්වා දිය හැකිය. මුලින්ම කියැවෙන්නේ ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ගැනය. ඉන් පසුව කියැවෙන්නේ සංස්ථාවේ පාඩුව ගැනය. මේ අතරේ විටින් විට ඉන්ධන හල්වල ඉන්ධන හිඟ වන්නේය. මේ ටික සිදු වෙද්දී ඉන්ධන මිල වැඩි කර හෝ තෙල් ටික දීපන් යැයි කියන තැනට රටේ මිනිස්සුන්ගේ ඔලූව හැදී අවසන්ය.

අවසාන ජවනිකාව ලෙස සංස්ථාවට කණවැල අල්ලමින් ඉන්දීය ඔයිල් සමාගම පළමුව ඉන්ධන මිල ඉහළ දමද්දී ඒ පසුපස යන ආණ්ඩුවද ඉන්ධන මිල ඉහළ දමන්නේය. එතැනට සියල්ල ළඟා වන විට රටේ ජනතාව ස්වේච්ඡාවෙන්ම ඉන්ධන මිල වැඩි කරගෙන අවසන්ය.

ඉතින් එය මානසික මෙහෙයුමක් විනා වෙන කුමක්ද? ලොව වෙනත් බොහෝ රටවල නම් මෙවැනි මානසික මෙහෙයුම් සිදු කෙරෙන්නේ ජනතාවගේ හිතසුව පිණිසය. එහෙත් එහේ එහෙම වුණාට මෙහේ එහෙම නැත. අපේ වැඩ හරිම වෙනස්ය.

ඉන්ධන මිල අරබයා මෙසේ සාර්ථක ලෙස රටේ ජනතාවගේ ඔලූ හදන්නට ආණ්ඩුව සමත් වුවද අනෙක් බොහෝ කාරණාවලදී එසේ නැත. එහිදී බොහෝ විට සිදු කෙරෙන්නේ ඇතැම් දේ කරන්නට ගොස් ආණ්ඩුව ඔලූව කචල් කර ගැනීමය. එසේ නොවුණේ නම් බලයට පැමිණ දෙවසරක් ඉක්ම ගිය මේ මොහොතේ කොරෝනා අස්සේ ගොස් අනුරාධපුර සල්ගාදු පිටියේ රැස්වීමක් තබා පැමිණි මිනිසුන්ගේ ඔලූ ගණන් කිරීමට ආණ්ඩුවට සිදු වන්නේද නැත.

එය කෙසේ වෙතත් දැන් යළිත් වරක් මෙරට ඉන්ධන මිල තීරණය කිරීමට ඉන්දියාව කටයුතු කර අවසන්ය. නැවත්ත් බලශක්ති ඇමැතිවරයා සහ සංස්ථා සභාපතිවරයා සිටින්නේ සංස්ථාවට වන පාඩුව ගැන කියමින් කම්පනයට පත්වය.

ඇමැතිවරයාගේත් සභාපතිවරයාගේත් ඒ කතා අසද්දී අපට නම් දැනෙන්නේ ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ඇතැම් ලොකු පුටුවල සිටින ගෙවලයන් කෝටි ගණන් සොරකම් කිරීම නිසා නොව මේ රටේ ජනතාවට සහනදායි ක‍්‍රමයක් යටතේ ඉන්ධන බෙදාහැරීම නිසා තෙල් සංස්ථාව අද කළුකුහරක් ආසන්නයටම ළඟා වී මහා අලකලංචියක් සිදුවී ඇතැයි යන්නය.

මේ වන විට සුපුරුදු පරිදි සංස්ථාවට මඟ පෙන්වමින් ඉන්දීය ඔයිල් සමාගම සිය ඉන්ධන මිල ඉහළ දැමීමට කටයුතු කර ඇත. ඒ අනුව දැන් ආණ්ඩුවට තිබෙන්නේ සුපුරුදු ලෙස අවසන් අදියර කි‍්‍රයාත්මක කිරීමේ අවස්ථාවය.

ඉන්දීය ඔයිල් සමාගම මිල වැඩි කළ නිසා නුදුරේදීම ඛනිජ තෙල් සංස්ථාවටද ඉන්ධන මිල ඉහළ දැමීමට සිදු වනු ඇතැයි පවසමින් එකී අවසන් අදියර කි‍්‍රයාත්මක කිරීමේ පළමු වෙඩි මුරය තැබීමට ඉකුත් සතියේ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වූ ජනමාධ්‍ය ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා කටයුතු කළේය.

එහිදී ඩලස් අලහප්පෙරුම මහතා නොදැනුවත්වම මෙන් නොකියා කී ඇත්තම කතාව වූයේ ආණ්ඩුවටත් නොදන්වාම ඉන්දියාව දැන් ශී‍්‍ර ලංකාවේ ඉන්ධන මිල තීරණය කරන්නේ යැයි යන්නය.

මේ තත්ත්වය තුළ සියලූ විරෝධතා පයිසෙකට මායිම් නොකොට ඉතාම කඩිනමින් ඇමෙරිකාව සමඟ යුගදනවි බලාගාරය සම්බන්ධයෙන් වන ගිවිසුමද අත්සන් කර ආණ්ඩුව ඒ වැඩෙත් අවසන් කළේ නම් හරියටම හරිය.

ඉන්දියාව මෙසේ රටේ තෙල් මිල පාලනය කරද්දී යුගදනවි ගිවිසුම අත්සන් කෙරුණේ නම් ඇතැමුන් කියන පරිදි එවිට මේ රටේ විදුලිය පාලනය කරනුයේ ඇමෙරිකාවය. එතකොට මේ රට පට්ට ස්වාධීනය. හොඳටෝම ස්වෛරීය. භෞමික අඛණ්ඩතාව ගැන එතකොට අපිට පස්සේ කතා කළ හැකිය.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment