වෙන රටවල් සංවර්ධන කටයුතුවලට මුදල් ගත්තත් ලංකාව අරන් තියෙන්නෙ ණය ගෙවන්න

අවුරුදු හැත්තෑවටම දේශීය ණය රු.බි. 6830යි

අවුරුදු හතරට රු.බි. 10222කින් ඉහළට

මේ වසරේ සෑම දිනකම රුපියල් බිලියන 27 ගානේ ණය අරන්

ලංකාවේ උසම කන්ද පිදුරුතලාගල වන්නේ භෞතික වශයෙන් පමණි. සැබවින්ම ලංකාවේ උසම කන්ද බවට මේ වනවිට පත්ව ඇත්තේ මහා මෙරක් තරම් ඇති ණය කන්දය. මෙම ණය කන්ද දවසින් දවස වර්ධනය වනවා මිස එක දශමයකින් හෝ පහළ බසින ආකාරයක් දකින්නට ලැබෙන්නේ නැත. 2024 ජුනි මාසය වන විට මෙරට ණය ප්‍රමාණය ඩොලර් බිලියන 100.65 බවට වාර්තා වී ඇත.

දැන් පත් වී ඇත්තේ අලුත් ජනාධිපතිවරයෙකි. පත්වීමට නියමිතව ඇත්තේ අලුත් ආණ්ඩුවකි. වත්මන් ජනාධිපතිවරයා විපක්ෂය නියෝජනය කරන කාලවකවානුවේ එවක පැවති ආණ්ඩු ණය ගන්නා බව පවසමින් පතුරු ඇරියත් දැන් ඔහුටත් සිදුව ඇත්තේ එම මාර්ගයේම ගමන් කිරීම පමණි.

මෙරට ලබාගත් දේශීය ණය ප්‍රමාණය ඩොලර් බිලියන 57.49 කි. විදේශීය ණය ප්‍රමාණය ඩොලර් බිලියන 37.54කි. ඊට අමතරව රජය ඇපකරුවකු වශයෙන් තබා විවිධ රාජ්‍ය ආයතන ලබාගත් ණය ප්‍රමාණය ඩොලර් බිලියන 5.6කි. කෙසේ නමුත් මෑත කාලය තුළ විදේශ ණය විශාල වශයෙන් ඉහළ යෑමක් දක්නට ලැබෙන්නේ නැත. ඊට හේතුව වන්නේ ණය ශ්‍රේණිගත කිරීමේ විවිධ ආයතන විසින් ශ්‍රී ලංකාව ණය ගෙවීමට අසමත් රාජ්‍යයක්, ණය ගෙවීමට අවදානම් රාජ්‍යයක් වශයෙන් නම් කිරීමත් සමඟ ණය ලබා නොදීම හේතුවෙනි. එසේ නොවන්නට මේ වන වනවිට මේ ණය කන්දට තවත් ඩොලර් බිලියන 10-15 එකතු වී අවසානය.

ණය ප්‍රතිව්‍යුහගතකරණය

රජය විසින් මුලින්ම දේශීය ණය ප්‍රශස්තකරණය කිරීමෙන් අනතුරුව විදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළට අවතීර්ණ විය. එම ක්‍රියාවලිය තවමත් අවසන්ව නොමැති බැවින් ශ්‍රී ලංකාවට ගෙවීමට සිදුවන සමස්ත ණය ප්‍රමාණය තවමත් හරිහැටි ගණනය කළ නොහැක. ඒ කෙසේ වෙතත් එම විදෙස් ණය ප්‍රමාණය අනිවාර්යෙන් ගෙවීමට සිදුවන බව නම් ඒකාන්තය.

මේ වන විට පවතින විදෙස් ණයවලින් 33% ක්ම පවතින්නේ අන්තර්ජාතික ස්වෛරීත්ව බැඳුම්කර මගින් ලබාගත් ණය ය. ඒ තුළ ඩොලර් බිලියන 14.73 ක ණය ප්‍රමාණයක් පවතී. ඊට අමතරව පැරිස් සමාජයේ නොවන රටවලින් 17% කුත් පැරිස් සමාජයේ රටවල් වලින් 11%කුත් ලබාගෙන ඇත. ආසියානු සංවර්ධන බැංකුවට ඇති ණය ප්‍රමාණය 17%කි. ලෝක බැංකුවට 12% ක් ණය වී ඇති අතර අනෙකුත් ණය 6% වශයෙන් පවතී. මේ අනුව මෙම සමස්ත විදේශීය ණය බෙදී ගොස් ඇත්තේ විදේශීය වාණිජ ණය 39% බහුජාතික ආයතන මගින් ලබාගත් ණය 33% ද්වී පාර්ශ්වීයව ලබාගත් ණය 28% වශයෙනි.

එකතු වූ ණය වාරික

වාණිජ හා ද්වී පාර්ශ්වීය ණය ගෙවීම පැහැර හැර මේ වනවිට වසර දෙකකට ආසන්න කාලයක් ගෙවී ගොස් ඇත. මේ කාලය තුළ රටේ නායකයන් බොහෝම උජාරුවෙන් කතා කළත් සිදුවන්නේ ගතවෙන හැම දිනයක් පාසාම එම ණය මුදල් හා වාරික එකතු වීමයි. අප බංකොලොත් රටක් යැයි පවසා අත පිහදා ගත නොහැක. කවදා හෝ මෙම මුදල් ගෙවිය යුතුය. මේ ආකාරයෙන් පසුගිය කාලය තුළ එකතු වූ ණය වාරික ප්‍රමාණය ඩොලර් බිලියන 5.7කි. ඒ තුළ ද්වී පාර්ශ්වීයව ලබාගත් ණය ඩොලර් බිලියන 1.35 කුත් විදේශ වාණිජ ණය පැහැර හැරි ප්‍රමාණය ඩොලර් බිලියන 4.34 වශයෙන් සටහන් වේ.

පසුගිය කාලයේ දිගට හරහට ගත් ණය මේ වන විට කල්පිරෙමින් පවතී. ඉදිරියේ පත්වන ආණ්ඩුවට මුහුණ දීමට සිදුවන බරපතළම අභියෝගය වන්නේ මෙම කල්පිරෙන ණය ගෙවා දැමීමයි. ඉදිරි වර්ෂය තුළ කල්පිරෙන බාහිර වශයෙන් ලබාගත් ණය ප්‍රමාණය ඩොලර් බිලියන 3.9කි. අවුරුදු 1-5 අතර කල්පිරෙන ණය ප්‍රමාණය ඩොලර් බිලියන 9.48කි. අවුරුදු 6-10 අතර කල්පිරන ණය ප්‍රමාණය ඩොලර් බිලියන 3.67කි. මීට අමතරව වසරක් තුළ කල්පිරෙන තවත් ණය ප්‍රමාණයක් පවතී. ඒ තුළ ඩොලර් බිලියන හතරක් ඇත. මේ ආකාරයට අවුරුදු 40 ක් යන තෙක්ම ණය ගෙවීමට සිදුවේ.

ණය ප්‍රතිව්‍යුහගතකරණය නොසලකා හැරියහොත් ඉදිරි වසර දහය තුළ ගෙවීමට ඇති ණය ප්‍රමාණය ඩොලර් බිලියන 21 කට ආසන්න ප්‍රමාණයකි. ආසන්න වශයෙන් එම මුදල රුපියල් බිලියන දෙලක්ෂ හතළිස් නව දහස් අටසීය හැත්තෑවකි. මේ විදෙස් රටවලට පමණි. ඡන්දය ලබා ගැනීමේ අරමුණින් විවිධ පොරොන්දු හා සහනාධාර වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිඵල මතු උපදින පරම්පරාවටත් උරුමකර දී ඇත.

ශ්‍රී ලංකාව ප්‍රධාන වශයෙන්ම ණය වීමට හේතු කාරණා රාශියක් පවතී. ඉන් කිහිපයක් අපට අනාවරණය කළ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ අධ්‍යක්ෂ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා.

“ලොව වෙනත් රටවල් ප්‍රධාන වශයෙන්ම ණය ලබා ගැනීමට හේතුවන්නේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට, ආර්ථික උච්ඡාවචනයන්ට මුහුණ දීමට, ආර්ථික අර්බුද කළමනාකරණයට, සමාජ සුභ සිද්ධියට, ආයෝජන අවශ්‍යතා ඇතිකිරීමට වැනි කාරණාවලටයි. නමුත් ලංකාව වැඩි වශයෙන්ම ණය ලබාගෙන තිබෙන්නේ අයවැය හිඟය පියවීමට සහ ලබාගත් ණය මුදල් පියවීම සඳහායි.”

පැටව් ගහන දේශීය ණය

මේ වන විට සමාජයේ දැඩි කතාබහක් නිර්මාණය වී පවතින්නේ විශාල ලෙස දේශීය වශයෙන් ණය ලබා ගැනීම සම්බන්ධයෙනි. නිදහස ලබාගත් දා පටන් මේ දක්වා කාලය පිළිබඳ සලකා බැලුවහොත් දේශීය ණය මෑතක් වන තුරුම පැවතියේ ඉතා සීමිත ප්‍රමාණයකි. නමුත් පසුගිය අවුරුදු පහ හය තුළ පමණක් වසර හැත්තෑවක් තුළ පැවති ණය මුදල මෙන් තුන් හතර ගුණයකින් දේශීය ණය ප්‍රමාණය ඉහළ ගොස් තිබේ.

2017 වසර වන විට මුළු දේශීය ණය පැවතියේ රුපියල් බිලියන 5664කි. එය 2018 වසර වන විට රුපියල් බිලියන 6071 දක්වාත් 2019 වසර වන විට රුපියල් බිලියන 6830 දක්වාත් වර්ධනය වී තිබිණි. නමුත් 2020 වසර වන විට එක වරම දේශීය ණය ප්‍රමාණය විශාල වශයෙන් ඉහළ යෑමට පටන්ගෙන ඇත. 2020 වසර වනවිට දේශීය ණය රුපියල් බිලියන 9065 දක්වා වර්ධනය වී ඇත. එය තවදුරටත් ඉහළ යමින් 2021 වසර වන විට රුපියල් බිලියන 11099 දක්වාත් 2022 වසර වන විට රුපියල් බිලියන 15034 දක්වාත් 2023 වසර වන විට රුපියල් බිලියන 17052 දක්වාත් 2024 ජුනි මාස වන විට රුපියල් බිලියන 17555 දක්වා වර්ධනය වී තිබේ. 2018 දී රුපියල් බිලියන 6830 වූ දේශීය ණය ප්‍රමාණය ඉන් වසර හයක් ඉක්ම යන තැන පැවති මුදල මෙන් තුන් ගුණයකින් ඉහළ ගොස් ඇත. මේ දේශීය ණය ප්‍රශස්තිකරණ වැඩපිළිවෙළින් පසුව වීම තවත් විශේෂත්වයකි.

දේශීය වශයෙන් ලබාගත් ණය විශාල ලෙස ඉහළ යෑම පිළිබඳව ද මහාචාර්ය වසන්ත අතුකෝරල මහතාට කියන්නේ මෙවැනි කතාවකි.

“මෑත කාලය තුළ දේශීය ණය විශාල වශයෙන් ඉහළ යන ආකාරයක් දක්නට ලැබෙනවා. 2020, 2021, 2022, 2023 යන වර්ෂ හතර තුළ පමණක් දේශීය ණය රුපියල් බිලියන 10222 කින් වර්ධනය වී තිබෙනවා. 2019 සිට 2020 වසර වන විට රුපියල් බිලියන 2235 කින් ණයබර වැඩිවී තිබෙනවා. 2021 වන විට බිලියන 2032 කින් වැඩිවී තිබෙනවා. ඒ වගේම 2022 වන විට රුපියල් බිලියන 2937 කින් දේශීය ණය වර්ධනය වී ඇති අතර 2023 වර්ෂය වන විට රුපියල් බිලියන 2018 වැඩිවෙලා. එක වර්ෂයක් තුළ රුපියල් බිලියන දෙදහසකට වැඩි ප්‍රමාණයකින් දේශීය වශයෙන් ලබාගත් ණය වර්ධනය වී ඇති අයුරු දැක ගන්නට පුළුවන්.”

ඉහළ යන ණය පොලිය

කවුරුවත් අපට නිකම් මුදල් ලබා දෙන්නේ නැත. ඒ සඳහා අනිවාර්යයෙන්ම පොලී මුදලක් අය කරනු ලැබේ. සමහර නායකයන් අසාර්ථක ව්‍යාපෘතිවලට පිළිගත් මූල්‍ය ආයතන වලින් මුදල් ඉල්ලා නොලැබෙන තැන නොයෙක් ආයතනවලින් ගිනි පොලියට මුදල් ලබාගෙන තිබේ. අප 2015 වසර වන විට දේශීය වශයෙන් ලබාගත් මුදල්වලට පොලිය ගෙවීමට රුපියල් බිලියන 425 ක මුදලක් වැය කොට තිබේ. 2016 වසරේදී රුපියල් බිලියන 611 ක් පොලී ගෙවීමට වැයකොට ඇති අතර 2017 වසරේදී රුපියල් බිලියන 725 කුත් 2018 දී රුපියල් බිලියන 820 කුත් 2019 දී රුපියල් බිලියන 901 කුත් 2020 දී රුපියල් බිලියන 886 කුත් 2021 දී රුපියල් බිලියන 1028 කුත් 2022 දී රුපියල් බිලියන 1565 කුත් 2023 දී රුපියල් බිලියන 2135 කුත් වැයකොට ඇති අතර 2024 වන විට එම මුදල රුපියල් බිලියන 2651ක් දක්වාත් වර්ධනය වී තිබේ.

ලබාගත් ණය මුදල්වලට මෙතරම් මුදලක් පොලිය ලෙස ගෙවීම සහ ඒ සඳහා කොපමණ මුදල් ප්‍රමාණයක් ජාතික ආදායමෙන් වෙන් කෙරුවේද යන කාරණය පිළිබඳ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතාගෙන් විමසූ අවස්ථාවේ ඔහු කීවේ මෙවැනි කතාවකි.

“අපි 2015 වන විට ලබාගත් ණය මුදල් වල පොලී ගෙවන්නට වෙන් කළේ අපගේ ආදායමෙන් 25% වැනි මුදලක්. නමුත් එය 2020 වන විට 56% දක්වා වර්ධනය වී තිබෙනවා. 2024 වන විට රටේ ආදායමෙන් 65% ක්ම වෙන් කරන්නට සිදුව ඇත්තේ පොලී ගෙවීම සඳහායි. රටේ අනෙක් සියලු වැඩ කටයුතු වලට වෙන් කරන්නට ඉතිරි වන්නේ 35% පමණයි.”

මේ වසරේ ජනවාරි සිට සැප්තැම්බර් අතර කාලය තුළ රජයේ සාමාන්‍ය මාසික ආදායම රුපියල් බිලියන 308කි. රජයේ මාසික වියදම වාර්තාවන්නේ රුපියල් බිලියන 435ක් වශයෙනි. ඒ අනුව සෑම මාසයකම රජයට රුපියල් බිලියන 127 ක පමණ මුදලක් ණය වීමට සිදුවී තිබේ.

එදා සිට අද දක්වාම බලයට පැමිණී හැම රාජ්‍ය නායකයකුම සඳහන් කළේ නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනගන බවයි. නමුත් මේ දක්වා හදපු නිෂ්පාදන ආර්ථිකයක් නම් දැක ගන්නට නැත. ඒ වෙනුවට හදා ඇත්තේ ණය මතින් ගමන් කරන ආර්ථිකයකි.

කවුරුන් බලයට පත්වුවත් ණය නොගෙන රට පවත්වාගෙන යා නොහැක. “අපි ණය ගන්නෙ නැහැ” යන කතා සුරංගනා කතා බවට පත්වී ඇත. මේ වසරේ ජනවාරි සිට සැප්තැම්බර් අතර කාලය තුළ ආණ්ඩුව විසින් භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කර හරහා මුදල් ලබාගෙන ඇත. ඒ අනුව ජනවාරි මාසයේදී රුපියල් බිලියන 878.65 කුත් පෙබරවාරි මාසයේදී රුපියල් බිලියන 641.49 කුත් මාර්තු මාසයේදී රුපියල් බිලියන 843.20 කුත් අප්‍රේල් මාසයේදී රුපියල් බිලියන 720.03කුත් මැයි මාසයේදී රුපියල් බිලියන 813.25 කුත් ජුනි මාසයේදී රුපියල් බිලියන 1195.82 කුත් ජූලි මාසයේදී රුපියල් බිලියන 608.99කුත් අගෝස්තු මාසයේදී රුපියල් බිලියන 814.14 සැප්තැම්බර් මාසයේදී රුපියල් බිලියන 856.24 කුත් වශයෙන් ණය ලබාගෙන ඇත. ආණ්ඩුව විසින් හැම මාසයකම රුපියල් බිලියන 600-1200 අතර මුදලක් භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කර මගින් ලබාගෙන ඇති බවයි.

දිනෙන් දින වර්ධනය වන ණයකන්ද පිළිබඳව ද අතුකෝරළ මහතා කතා කළේය.

2024 වන විට රටේ ආදායමෙන් 65%ක්ම පොලී ගෙවන්න වෙන් කරන්න සිදුවෙලා

රටේ පිටකොන්ද ඇද කරන ලෝක ණය කන්ද

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පශ්චාත් උපාධි අධ්‍යයන අංශයේ අධ්‍යක්‍ෂ, ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය වසන්ත අතුකෝරල

“මේ වසරේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ ආණ්ඩුව විසින් රුපියල් බිලියන 7371.8ක්

භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර හරහා ලබාගෙන තිබෙනවා. ඒ කියන්නේ සෑම මාසයකම ආසන්න වශයෙන් රුපියල් බිලියන 819 මුදලකුත් සෑම දිනකම රුපියල් බිලියන 27 මුදලකුත් ණය වී තිබෙනවා.”

ආණ්ඩුවට අවශ්‍ය වන අවස්ථාවලදී එම මුදල් ලබා දෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව විසිනි. ඒ භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර විකිණීම හරහායි. මෙලෙස නිකුත් කරන භාණ්ඩාගාර බිල්පත් දින 91, දින 180, දින 365 වැනි කාලයකින් කල්පිරේ. 2024 ඔක්තෝබර් හා 2025 සැප්තැම්බර් යන කාලය තුළ කල්පිරීම හේතුවෙන් ගෙවීමට ඇති මුදල රුපියල් බිලියන 4990කි. භාණ්ඩාගාර බිල්පත් කල්පිරීම හේතුවෙන් රුපියල් බිලියන 3935 කුත් භාණ්ඩාගාර බැඳුම්කර කල්පිරීම හේතුවෙන් රුපියල් බිලියන 1055 කුත් ගෙවීමට නියමිතව ඇත. මේ දිනවල නිකුත් කරන භාණ්ඩාගාර බිල්පත්ද ගෙවීමට ඇති ලයිස්තුවට එකතු වන බැවින් මේ මුදල මීටත් වඩා ඉහළ යනු ඇත.

මීට අමතරව භාණ්ඩාගාර බැඳුම්කර මගින් ලබාගත් ණය හේතුවෙන් ගෙවීමට ඇති මුදලද අතිවිශාලය. ඒ අනුව 2025 වර්ෂයේදී රුපියල් බිලියන 969ක්, 2026 වර්ෂයේදී රුපියල් බිලියන 1325ක් 2027 වර්ෂයේදී රුපියල් බිලියන 1575ක් 2028 වර්ෂයේ දී රුපියල් බිලියන 1619ක් 2029 වර්ෂයේදී රුපියල් බිලියන 907ක් 2030 වර්ෂයේ දී රුපියල් බිලියන 643ක් 2031 වර්ෂයේදී රුපියල් බිලියන 770 ක්, 2032 වර්ෂයේදී රුපියල් බිලියන 775ක්, 2033 වර්ෂයේදී රුපියල් බිලියන 1006ක්, 2034 වර්ෂයේදී රුපියල් බිලියන 738 ක්, 2035 වර්ෂයේදී රුපියල් බිලියන 740 ක්, 2036 වර්ෂයේදී රුපියල් බිලියන 615 ක්, 2037 වර්ෂයේදී රුපියල් බිලියන 615ක් 2038 වර්ෂයේදී රුපියල් බිලියන 615 ක් වශයෙන් මේ දක්වා ගත් ණය පවතී.

මේ වන විට ලබාගෙන ඇති භාණ්ඩාගාර බැඳුම්කර වෙනුවෙන් 2025ත් 2038ත් අතර කාලය තුළ ගෙවීමට ඇති මුදල රුපියල් බිලියන 12920. මෙම මුදල 2038 වසර දක්වා ගෙවීමට ඇති සම්පූර්ණ මුදල පමණක් නොවේ. මේ වන විට බැඳුම්කර හරහා ලබාගන්නා මුදල් ද මේ ලයිස්තුවට එකතු වේ.

පරණ පීල්ලෙ දුවන අලුත් ආණ්ඩුව

අලුත් ආණ්ඩුවටත් කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් ගමන් කිරීමට සිදුව ඇත්තේ පරණ පීල්ලේමය. දැන් පවතින ආණ්ඩුව ඔක්තෝබර් 02 වැනිදා සිට 23 වැනිදා අතර කාලය තුළ පමණක් භාණ්ඩාගාර බිල්පත් මගින් රුපියල් බිලියන 626කුත් බැඳුම්කර නිකුත් කිරීමෙන් රුපියල් බිලියන 137කුත් ලබාගෙන ඇත. ඒ අනුව මාසයකට ආසන්න කාලය තුළ පමණක් රුපියල් බිලියන 763ක් ලබාගෙන ඇත.

රටක් ණය ලබාගත්තාට කිසිදු ප්‍රශ්නයක් නැත. එම ණය මුදලින් රට සංවර්ධනය කරනවානම් කොපමණ ණය ගත්තත් ගැටලුවක් නැත. නමුත් අප ණය ගන්නේ වෙන කිසිවකට නොව එදා වේල ශේප් කර ගැනීමටත් ලබාගත් ණය පියවීමටත් පමණි. දිගින් දිගටම ණය ලබාගැනීම ඉක්මනින්ම නතර නොකළහොත් ඉන්දියන් සාගරයේ මුතු ඇටය ලෝකයේ උසම ණය කන්ද ඇති රට වශයෙන් නම්වනු නියතය.

සමීර කන්නන්ගර

advertistmentadvertistment
advertistmentadvertistment