රටේ පොල් හිඟයට හේතුව අපේ පොල් 70%ක් රට යවන්න ඉඩ දීමයි

712

සංගමයේ කැඳවුම්කරු

පොල් සංවර්ධන අධිකාරිය බහුජාතික සමාගම් වෙත මෙරට පොල් නිෂ්පාදනයෙන් 70%ක් අපනයනයට ඉඩ ලබාදීමට ක්‍රියා කිරීම හේතුවෙන් රට තුළ උග්‍ර පොල් හිඟයක් සහ අධික ලෙස මිල ඉහළ යෑමක් සිදුව ඇතැයි, සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයන්ගේ සංගමයේ ප්‍රධාන කැඳවුම්කරු බුද්ධික ද සිල්වා මහතා ‘දිවයින’ට ඊයේ (28දා) පැවසීය.

දේශීය පාරිභෝගිකයා පොල් වගාකරුවන් සහ ඒ ආශ්‍රිත නිෂ්පාදකයන්ට මුල්තැන ලබාදීම පොල් සංවර්ධන අධිකාරියේ අංක 46 දරන පනතින් ඔවුන්ට පවරා තිබුණ ද එම අධිකාරියේ ඇතැම් දූෂිත නිලධාරීන්ගේ අක්‍රමිකතා හේතුවෙන් මෙලෙස රට තුළ පොල් සහ ඒ ආශ්‍රිත නිෂ්පාදනවල අසාමාන්‍ය මිල ඉහළ යෑමක් සහ හිඟයක් ඇති වී තිබෙන බව ද හෙතෙම සඳහන් කළේය.

පොල් සංවර්ධන අධිකාරියේ දූෂිත නිලධාරීන්, බහුජාතික සමාගම් සමග එක්ව මෙරට පොල්, පොල් කිරි සහ පොල් පිටි වශයෙන් රට පටවමින් මහා පරිමාණ දූෂණ අක්‍රමිකතා සිදුකරමින් සිටින බවට ඒ මහතා චෝදනා කළේය.

මෙරට නිෂ්පාදනය කෙරෙන පොල් දේශීය පරිභෝජනයට ප්‍රමාණවත් බවත් එම තත්ත්වය යටතේ පොල් ගෙඩියක් රුපියල් 120ත් 125ත් අතර මිලකට ලබාදිය හැකි බවත් හෙතෙම පැවසීය. එසේම සතොස, සමුපකාර වැනි ආයතන තිබියදී ටයි කෝට් ඇන්ද නිලධාරීන් මහ පාරේ පොල් විකිණීම විහිළුවක් බවත් මින් සිදුවන්නේ රජය කෙරෙහි අප්‍රසාදයක් ඇතිවීම පමණක් බවත් පැවසූ ඒ මහතා, මේ වනවිට පොල් අපනයනයෙන් රටට සැලකිය යුතු විදේශ විනිමයක් නොලැබෙන බව ද කියා සිටියේය. පොල් හා පොල් තෙල් මිල පාලනය කිරීම සඳහා පොල් සංවර්ධන අධිකාරිය සතු පී.එස්.එස්. ඔයිල් ෆන්ඩ් වැනි අරමුදල් යොදාගනිමින් පාරිභෝගිකයාට සහ කර්මාන්තකරුවාට සහන ලබාදීමට කටයුතු කළ යුතු බව ද බුද්ධික ද සිල්වා මහතා වැඩිදුරටත් පැවසීය.

සුජීව තත්සර


advertistmentadvertistment