රටේ බොහෝ පාපන්දු ලීග නමට පමණක් සීමා වෙලා

91

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය විසින් ශ්‍රී ලංකාවට ජගත් පාපන්දු තහනමක් පනවා දැන් මාස 6 ක් පමණ වේ. එදා පටන් ඉබාගාතේ ගිය ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩාව සක්‍රීය කරන්නට වෙර දරන පාපන්දු ලීගයක් ලෙස සිටිලීග් පාපන්දු ලීගය හැඳින්විය හැක. දිවයිනේ ප්‍රධාන පාපන්දු කණ්ඩායම් 5 ක සහභාගීත්වයෙන් සිටිලීග් පාපන්දු සභාපති කුසලාන තරගාවලිය මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින්නේ ඒ අනුව යි. සෝන්ඩර්ස්, ජාවාලේන්, මොරගස්මුල්ල, කොළඹ සහ මාලිගාවත්ත යූත් ක්‍රීඩා සමාජ එම තරගාවලිය යටතේ තරග වදී. සිටිලීග් පාපන්දු සභාපති ආර්.පුවනේන්ද්‍රන් මහතා සමග එම තරගාවලිය සහ රටේ පාපන්දු ක්‍රීඩාව පිළිබඳව ‘දිවයින ඉරිදා සංග්‍රහය’ සිදු කළ සාකච්ඡාව පහත දැක්වේ.

ප්‍රශ්නය – සිටිලීග් සභාපති කුසලාන පාපන්දු තරගාවලිය මේ වන විට පැවැත්වෙනවා. රටේම පාපන්දු ක්‍රීඩාව පණ අදිමින් තිබියදී ඔබ ඇයි මේ තරගාවලිය පවත්වන්නේ?

රටේ බොහෝ පාපන්දු ලීග නමට පමණක් සීමා වෙලා
සිටිලීග් පාපන්දු සභාපති ආර්. පුවනේන්ද්‍රන්

පිළිතුර – සිටිලීග් සභාපති කුසලාන තරගාවලිය ආරම්භයේ පටන් පවත්වා නැත්තේ අවස්ථා දෙකකදී පමණයි. කොරෝනා වසංගතය අවස්ථාවේත්, කොළඹට බෝම්බ ප්‍රහාර එල්ල වූ අවස්ථාවේත් සභාපති කුසලාන අපි පැවැත්වූයේ නැහැ. එහෙම වුණේ ආණ්ඩුවෙන් අපට තරගාවලිය කරන්න එපා කියපු නිසා. දැන් මේ අවස්ථාවේදීත් අපි මේ තරගාවලිය මගහැර සිටියොත් ශ්‍රී ලංකා පාපන්දුව නම් මේ පණ අදින ලෙඩා අපිට නැති වෙලාම යන්න පුළුවන්. ඒ නිසා අපි මේ කරන තරගාවලිය පාපන්දු ක්‍රීඩාවට ඔක්සිජන් දීමක් ලෙස තමයි හඳුන්වන්න වෙන්නේ.

ප්‍රශ්නය – තරගාවලිය සඳහා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයෙන් අනුග්‍රහයක් තිබෙනවාද?

පිළිතුර – ඔවුන්ගෙන් කිසිම අනුග්‍රහයක් නැහැ. කොටින්ම තරගාවලිය සඳහා පාපන්දු ක්‍රීඩාංගනයේ නඩත්තු වියදම් පවා දරන්නේ අපි. ඉස්සර නම් පාපන්දු සම්මේලනයෙන් ලීගයකට වසරකට ලක්ෂ 2 1/2 ක් පමණ ලැබුණා. දැන් ඒ මුදලවත් ලැබෙන්නේ නැහැ. පහුගිය අවුරුදු තුනේදීම ලැබුණේ ලක්ෂ දෙක හමාරයි. අපේ ලීග් එක දුවන්නේ තනිකරම අපේ මුදලින්. මෙවර සභාපති කුසලාන තරගාවලියට ලොකු මුදලක් වියදම් වෙනවා. ඒ සියලු මුදල් අපේ කමිටුවේ සාමාජිකයන් ගෙන් තමයි ලබා ගන්නේ. එක තරගයකට පමණක් රුපියල් තිස් දහසක් පමණ වැය වෙනවා.

ප්‍රශ්නය – පාපන්දු ක්‍රීඩාව මෙවැනි අර්බුදයක පවතින අවස්ථාවක ඔබ මේ තරම් කැපවීමෙන් වැඩ කරන්නේ පාපන්දු සම්මේලනයේ තනතුරක් බලාගෙනද?

පිළිතුර – අපොයි නැහැ. පාපන්දු සම්මේලනය පැත්ත පළාතේ යන්නෙ නෑ කියලා තමයි මම හිතාගෙන ඉන්නේ. සම්මේලනයේ තනතුරු කෙසේ වෙතත් මේ සිටිලීග් සභාපති තනතුරෙන් පවා මම තව මාස කීපයකින් ඉවත් වෙනවා. අවුරුදු විස්සක් මම සිටිලීග් සභාපති ලෙස කටයුතු කළා. මේ සභාපති කුසලාන තරගාවලිය මගේ සංකල්පයක්. ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ මුදල් කමිටුවේ සාමාජිකයකු ලෙස වසරක් පමණ මම වැඩ කළා. ‘රීජනල් මැනේජර්’ ලෙස අවුරුදු තුනක් වැඩ කළා. මේ කාලය තුළ කිසිම දවසක මම පාපන්දු සම්මේලනයේ මුදල් අරගෙන විදේශ සංචාරවල ගිහිල්ලා නැහැ. පාපන්දු සම්මේලනයේ වාහන පාවිච්චි කරලා නැහැ. පාපන්දු සම්මේලනය අපිට ණය මිසක් අපි එයාලට ණය නැහැ.

ප්‍රශ්නය – වසර ගණනාවක් පාපන්දු පරිපාලනය හා සම්බන්ධව සිටින ඔබගේ අදහසට අනුව අපි මේ ජාත්‍යන්තර තහනමෙන් මිදෙන්නට මොනවද කළ යුතු වන්නේ ?

පිළිතුර – අපිට ජාත්‍යන්තර සම්මේලනයත් එක්ක හැප්පෙන්න බැහැ. ඔවුන්ගේ රෙගුලාසි අනුව කටයුතු කළ යුතුයි. ඒ අනුව ඉක්මනින්ම ඡන්දයක් තියන්න ඕන. හැබැයි ඒ පත්කරගන්න මනුස්සයා පාපන්දුවට ආදරය ඇති කෙනෙක් වෙන්න ඕන. සම්මේලනයේ සල්ලිවලින් රට යන්න, සම්මේලනයේ සල්ලිවලින් පෝසත් වෙන්න හදන අය අපි යළි පත් කර ගන්න හොඳ නැහැ. කොටින්ම සම්මේලනයේ තනතුරු දරපු කිසිවකු යළි ඒ සඳහා සුදුසු නැහැ කියන එකයි මගේ පෞද්ගලික අදහස. වංචා දූෂණ නැති, පාපන්දුව ගැන කැක්කුමක් ඇති අලුත් මුහුණක් ඒ සඳහා ඕන.

ප්‍රශ්නය – රටේ අනෙකුත් පාපන්දු ලීග පිළිබඳව ඔබේ අදහස කුමක්ද?

පිළිතුර – කනගාටුයි කියන්න. බොහොමයක් ඒව තියෙන්නෙ නමට පමණයි. ක්‍රීඩකයන්ට තරග නැහැ. සම්මේලනයේ නිලවරණයේදී ඡන්දය දාන්න විතරක් තියෙන ලීග තමයි වැඩිපුර තියෙන්නේ. රටේ තියෙන පාපන්දු ලීග් 65 න් 30 ක් වත් ක්‍රියාකාරී මට්ටමේ නැහැ. එම බොහෝ ලීගවලට ඇකඩමියක් නැහැ. ඉතින් කොහොමද පාපන්දු ක්‍රීඩකයන් බිහි වෙන්නේ? අඩුම තරමින් පාපන්දු සම්මේලනයට වත් ඇකඩමියක් නැහැ. ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයෙන් හම්බවෙන ඩොලර් කන්දරාවට මෙයාලා මොකද කරන්නේ? අපි යටතේ තිබෙන පාපන්දු සමාජවලට ඇකඩමි ගණනාවක් තියෙනවා. ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ සහ ආසියානු පාපන්දු සම්මේලනය පාපන්දු ලීගයකින් හෝ ඇකඩමියකින් හෝ බලාපොරොත්තු වන සියලු අංගවලින් අපි සම්පූර්ණයි. ඔවුන් බලාපොරොත්තු වෙන ප්‍රමිතිය අපේ ලීගයේ මෙන්ම අපේ ඇකඩමිවල තිබෙනවා. සියලුම පාපන්දු තරගාවලි සංවිධානය වන රටේ එකම ලීගය තමයි කොළඹ සිටිලීග් එක. අවුරුදු 19න් පහළ ජාතික කණ්ඩායමේ සිටින ක්‍රීඩකයන්ගෙන් 3/4 ක් පමණ අපේ 19 න් පහළ තරගාවලිය නියෝජනය කළ ක්‍රීඩකයන්. පිටින් ඉන්නේ ක්‍රීඩකයන් තුන් හතර දෙනෙක් පමණයි. කොළඹ සිටිලීග් එකයි රටේ අනෙකුත් ලීගයි අතර තිබෙන වෙනස මේ 19 න් පහළ කණ්ඩායමෙන් හොඳට පේනවා.

ප්‍රශ්නය – ක්‍රීඩාවක් දියුණු වෙන්න ක්‍රීඩකයන් අවශ්‍යයි. අනෙක් ක්‍රීඩා වටා ක්‍රීඩකයන් එක්වෙද්දී පාපන්දුවලින් ක්‍රීඩකයන් ඉවත් වෙනවා. ඇයි මෙහෙම වෙන්නේ?

පිළිතුර – පාසල්වලින් ක්‍රීඩා සමාජවලට එකතුවෙන ක්‍රීඩකයන් වැඩිකල් ඒවායේ රැඳෙන්නේ නැහැ. මොකද ඔවුන්ට තමන්ගේ අනාගතය ගැන විශ්වාසයක් නැහැ. කොටින්ම ජාතික කණ්ඩායමට ගියත් ඔවුන්ට හොඳ අනාගතයක් අහිමියි. එහෙම වෙන්නේ ඔවුන්ට රැකියාවක් ලැබෙන්නේ නැහැ. ඉස්සර ක්‍රීඩකයන්ට රජයේ රස්සාවක් ලැබුණා. දැන් ඒ තත්ත්වය නැහැ. අවුරුදු ගාණක් ෆුට්බෝල් ගහලා ඒක ඉවර වුණාම ඔවුන් මොකද කරන්නේ? කවුද එයාලව බලා ගන්නේ? මේ වගේ ප්‍රශ්න නිසා පාපන්දු ක්‍රීඩාවට දැන් ළමයි එකතු වෙනවා අඩුයි.

සාකච්ඡා කළේ
කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment