රටේ සල්ලි පිටරටට කිරිපිටි රොඞ්ඩ අපට…කිරි පිටි හිඟය හැබෑවක්ද?නෑ…ප්‍රෝඩාවක් !

343

වරායට ගොඩබාපු කිරිපිටි තොග බදු අඩුකරන තෙක් ගෙන ගිහින් නෑ…ඒ මදිවට මිල වැඩිවීමක් ඉල්ලලා

ඕස්ටේ‍්‍රලියාවේ දියර කිරි ලීටරයක්, පානීය ජල ලීටරයකටත් වඩා මිලෙන් අඩුයි

මේ වනවිට ‘කිරිපිටි’ සම්බන්ධයෙන් පැන නැගී ඇත්තේ අර්බුදයකි. රට පුරාම කිරිපිටි හිඟයක් දකින්නට ලැබේ. මෙරටට කිරිපිටි ආනයනය කරන සමාගම් ගැන කතාව පසෙකින් තිබේවා. මෙරට නිපදවන කිරි පිටිවල ද අඩුවක් දක්නට ලැබේ. කිර පිටි හිඟය ගැන කවර හේතු කාරණා ගෙන හැර දැක්වුව ද ඇත්ත වශයෙන්ම වෙළෙඳපොළේ කිරිපිටි සැඟවෙන්නේ මිල වැඩි කිරීමේ යෝජනාව සමගම බව කිව යුතුය. මුලින් කීවා සේ ආනයනකරුවන්ගේ ‘තග්’ කතාවලට එරෙහිව සටනක් දීමට තරම් මෙරට රාජ්‍ය අංශයට හෝ පුද්ගලික අංශයට හැකියාවක් නැත. මෙරට කිරිපිටි නිෂ්පාදනය කරන සමාගම් දෙකක් ඇති අතර ඉන් එක් සමාගමක් අයත් වන්නේ රජයටය. අනෙක් සමාගම පුද්ගලික අංශයට අයත්ය. එම සමාගම් දෙකෙහි නිෂ්පාදනය මෙරට ඉල්ලූමට ප‍්‍රමාණවත් නොවේ. මේ ‘අර්බුදයක්’ යැයි කියන කතාව තේරුම් ගත යුත්තේ එවැනි පසුබිමකය. ආනයනය අත්හිටුවීමට පසුගියදා රජය ගත් තීරණය ගැන විවිධ මතවාද පැතිරුණ ද මෙරට නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැංවීමෙහිලා එම තීරණය වැදගත් එකකි. එහෙත් ප‍්‍රශ්නය වන්නේ මෙරට තවමත් එවැනි නිෂ්පාදන ආර්ථික රටාවකට හුරු වී නොසිටීමය. නොඑසේ නම් නිෂ්පාදන ආර්ථිකය ගැන උදාසීන ප‍්‍රතිපත්තියක සිටීමය. ආනයනික කිරිපිටි සම්බන්ධයෙන් ද ඇත්තේ එවැනි තත්ත්වයකි. පෙර කී සමාගම් දෙකෙහි නිෂ්පාදන මෙරට කිරිපිටි ඉල්ලූම සපුරාලීමට ප‍්‍රමාණවත් නොවේ.

  • දිස්ති‍්‍රක්ක 21ක කිරි ඒත් පිටරටින් පිටිකිරි

රට තුළ කිරිපිටි නිෂ්පාදනය කරන සමාගම් අඩුවක් දක්නට ලැබීම වත්මන් රජය වැඩි අවධානයක් යොමු කළ යුතු කාරණයක් බවට පත්ව තිබේ. ශී‍්‍ර ලංකාවේ ඒක පුද්ගල කිරි පාරිභෝජනය ලීටර් 35 කි. සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට අනුව 2020 කිරි නිෂ්පාදනය ලීටර් මිලියන 414 කි. ඒ අනුව අපේ රටේ නිෂ්පාදනය වන්නේ මෙරට වාර්ෂික කිරි අවශ්‍යතාවයෙන් 30%ක් පමණි. මෙරට වාර්ෂික කිරිපිටි අවශ්‍යතාව ටොන් අනූපන්දහසකි. එයින් මෙරටට ආනයනය කරන ප‍්‍රමාණය ටොන් අසූතුන්දහසකි. ඒ අනුව වාර්ෂිකව කිරි සහ ඒ ආශි‍්‍රත නිෂ්පාදනයන් මෙරටට ගෙන්වීමට ඩොලර් මිලියන 400කට ආසන්න මුදලක් රජය වැය කරයි. මෙහි ඇති විශේෂිත කාරණය වන්නේ මෙරට දිස්ති‍්‍රක්ක විසිහතරකින් විසිඑකක්ම කිරි නිෂ්පාදනය කරන වටපිටාවක් තුළ විශාල මුදලක් වැය කරමින් පිටරටින් පිටි ගෙන්වීමට සෑම රජයක්ම කටයුතු කිරීමය. 2020 වර්ෂයේ කිරි හා ඒ ආශි‍්‍රත නිෂ්පාදන ආනයනයට රජය ඩොලර් මිලියන 333ක් වැය කර තිබේ. ආහාර වර්ග ඇතුළු ආනයනයන් රැසක් තහනම් කර ඇතිමුත් මේ දක්වාම රජය නිල වශයෙන් කිරි ගෙන්වීම නතර කර නැත.

එහෙත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතා සිය අමාත්‍යාංශ ලේකම්වරයාට කිරිපිටි ආනයනය වසර දෙකක් තුළ සම්පූර්ණයෙන් නතර කිරීම සඳහා ඉදිරි සැලසුම් සකස් කරන ලෙස උපදෙස් දී ඇති බවක් වාර්තා වී තිබිණි. ඒ අනුව 2024 වර්ෂය වනවිට කිරිපිටි ආනයනය නතර කර ජනතාව දියර කිරි සඳහා හුරු කරවීමේ ඉලක්කය සපුරා ගැනීමට සැලසුම් සකස් කළ යුතුව තිබේ.

  • වෙළෙඳපොළේ ඇත්තේ කෘති‍්‍රමව ඇති කළ කිරිපිටි හිඟයක්ද?

කිරිපිටි සම්බන්ධයෙන් මෙවැනි අර්බුදයක් මතුව ඇත්තේ කෘති‍්‍රමව ඇති කළ හිඟයක් නිසා බව ඇතැමුන්ගේ මතයයි. ලොව පුරා ව්‍යාප්තව ඇති කොවිඞ් වසංගතය නිසා එවැනි තත්ත්වයක් නිර්මාණය වී ඇති බව කියන්නෝ ද වෙති. එහෙත් කවර කරුණක් අරබයා වුව මතුව ඇති තත්ත්වය කිරිපිටි ත‍්‍රස්තවාදයක්, කිරිපිටි මාෆියාවක් බවට තල්ලූ වෙමින් පවතින බවක් පෙනෙන්නට තිබේ. මේ කිරිපිටි ත‍්‍රස්තවාදය අදක ඊයෙක ආරම්භ වූවක් නොවේ. වසර ගණනාවක් එපිටට ගිය අතීතයක් ඊට තිබේ.

  • සම්ගම් ප්‍රෝඩාව සහ අපේ රටේ කිරි

මෙරට කිරි ගව කර්මාන්තය 1978 වර්ෂය දක්වාම පැවැතියේ කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේය. මේ වනවිට මෙරට පවතින ආර්ථික ක‍්‍රමයට යටත් වීමත් සමගම එය වෙනත් ආයතනයක් යටතට පත්විණි. කිරිපිටි සමාගම් මගින් ගෙනයන ප්‍රෝඩාවට වර්තමානය වනවිට අප හසු වී සිටිය ද අතීතයේ අපේ කිරිපිටි අවශ්‍යතාවයෙන් 80%ක්ම අප සපුරා ගත්තේ දේශීය කිරි නිෂ්පාදනයෙන් බව සිහිපත් කළ යුතුය. දේශීය වශයෙන් ප‍්‍රමාණවත් අයුරින් කිරි නිෂ්පාදනය කරන්නට නොහැකිය යන්න බහු ජාතික සමාගම් විසින් පතුරවනු ලැබූ මිථ්‍යාවකි.

මේ කිරිපිටි හිඟය මතු වූයේ දැනට මාස තුනකට පමණ පෙරාතුවය. මේ වනවිට කිරිපිටි ආනයනකරුවන්ගේ කෝකටත් තෛලය වී ඇති ‘කොවිඞ්’ වසංගත ප‍්‍රශ්නයක් එදා ඇදුනේ නැත. කිරිපිටි ආනයනකරුවන්ගේ මූලික ඉල්ලීම වී තිබුණේ කිරිපිටි මිල ඉහළ දමන ලෙසයි.

‘‘අපි මිල වැඩි කරන්න ඉල්ලන්නේ මාස ගණනක ඉඳලා. ඩොලරය වැඩි වෙලා ආනයනයේදී කිලෝ එකක මිලත් වැඩියි, කිලෝ එකකින් 270ක් පාඩුයි’’ යන්න ඔවුන් ඉදිරිපත් කළ ප‍්‍රධාන තර්කයයි. විදේශ විනිමය අර්බුදය සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදය ඊට යම් පමණකට හෝ බලපා ඇති බව පිළිගත හැකිමුත්, මතුව ඇති සැකසංකා මතු කරන කාරණා ගැනත් සලකා බැලිය යුතුය.

බදු සහන එන තෙක් බඩු තිබුණේ වරායේද?

පසුගිය ජූලි මාසයේ මැද භාගයේ පමණ කොළඹ වරායට කිරිපිටි මෙටි‍්‍රක් ටොන් 28 බැගින් වූ බහාලූම් 50ක (කි. ග‍්‍රෑම් මිලියන 1.4ක්) කිරිපිටි තොගයක් ගොඩ බෑ බවක් වාර්තා විය. නමුත් එම තොග වරායෙන් නිදහස් කර ගැනීමට අදාළ සමාගම්වලට එපමණ උනන්දුවක් තිබී නැත. ඉන්පසුව සති දෙකක කාලයක් තුළ තවත් මෙ. ටො. 28ක් අඩංගු බහාලූම් 50 බැගින් අවස්ථා දෙකකදී බහාලූම් 100ක් අඩංගු කිරිපිටි තොග වරායට ගොඩබා තිබේ. ඒ අනුව ආනයනය කර ඇති සමස්ත කිරිපිටි තොගය මෙ. ටො. 4200ක් හෙවත් කි. ග‍්‍රෑ. මිලියන 4.2 කි. අදාළ කිරිපිටි තොග නිදහස් කර ගැනීම පමා කිරීම නිසා අදාළ සමාගම් වරායට ගෙවිය යුතු ප‍්‍රමාද ගාස්තුව සහ අනෙකුත් ගාස්තු රුපියල් මිලියන 50ක් පමණ වන බව වාර්තා විය. විශේෂත්වය වන්නේ එම කාලය තුළ ආනයන සමාගම් විසින් රජයෙන් මිල වැඩි කිරීමක් ලබා ගැනීම සඳහා දිගින් දිගටම බලපෑම් කිරීමය. එය නොලැබෙන්නේ නම් ආනයනය නතර කරන බවට (නැවතත් අවධාරණය කළ යුතු වන්නේ ඒ වනවිටත් ආනයනය කරන ලද කිරිපිටි වරායේ තිබූ බවය.) ජනමාධ්‍ය හරහා සෘජුව සහ වක‍්‍රව අවධාරණය කරන්නට ද එම සමාගම් කටයුතු කළේය. එහෙත් ඒ දිනවල මැවූ ගෝණිබිල්ලාගේ තරමට කටයුතු සිදුවූයේ නැත. කිරිපිටි වෙළෙඳසැල්වල විකිණීමට තබා තිබිණි. හිඟයක් ඇතිවන බවට කළ ප‍්‍රචාරය නිසා විශාල කිරිපිටි තොගයක් විකුණා ගැනීමට අදාළ සමාගම්වලට හැකියාව ලැබී තිබිණි.

ඒ මොහොතේ ආණ්ඩුව වහා ක‍්‍රියාත්මකවී පාරිභෝගික අධිකාරී පනතේ බලය යොදා ගනිමින් වරායේ පවතින කිරිපිටි තොග වහා වෙළෙඳපොළට නිකුත් කරන ලෙස සමාගම්වලට කීවේ නැත. එමෙන්ම ජාත්‍යන්තරව මිල වැඩිවීමක් වෙනුවට අඩුවීමක් සිදුව ඇති තත්ත්වයක් යටතේ මිල වැඩි කිරීමක් අපේක්ෂා නොකරන ලෙස ද ආණ්ඩුවට අදාළ සමාගම්වලට දැන්විය හැකිව තිබුණි. එපමණක් නොව ජාතික ආපදා තත්ත්වයකදී මිල වැඩිවීමක් සඳහා ඉල්ලීම් නොකරන ලෙස ද සමාගම්වලට දන්වා යැවීමේ හැකියාවක් තිබිණි. අදාළ සමාගම් මස් රාත්තලම ඉල්ලා සිටීමේ වැනීසියේ වෙළෙන්දා ප‍්‍රතිපත්තිය කොතරම් අශීලාචාරද කිවහොත් 2021 අගෝස්තු මුල සතියේ කිරිපිටි සඳහා බදු සහන ඉවත් කළ පසුද කිරිපිටි කිලෝ එකට රුපියල් 200ක මිල වැඩිවීමක් ඔවුහු ඉල්ලා සිිටියහ. මෙවැනි කරුණු කාරණා ගැන සලකා බලනවිට කිරිපිටි හිඟය කෘති‍්‍රමව නිර්මාණය කරන ලද එකක් බව සිතීම සාධාරණය.

  • දේශීය කිරි කර්මාන්තය ගොඩගන්නට හැකියාවක් ඇත්තේම නැද්ද?

නිදහස ලබා වසර 72ක් ගතවීත් අපිට තවමත් රටේ කිරි කර්මාන්තය ගොඩනඟා නිෂ්පාදන ආර්ථිකයක් ඇති කරන්නට හැකියාව ලැබී නැත. ඩොලර් සංචිත රැක ගැනීමට, එසේත් නැත්නම් විනිමය විශාල ප‍්‍රමාණයක් විදෙස් රටවලට ගලා යෑම නතර කරන්නට නම් ගත යුතු ප‍්‍රමුඛම ක‍්‍රියාමාර්ග අතර කිරිපිටි ආනයනය නතර කිරීමද වේ.

ඉතා දීර්ඝ කාලයක පටන් මේ ගැන ප‍්‍රාමානික දැනුම ඇති විද්වතුන් පෙන්වා ඇත්තේ මෙරටට ආනයනය කරන කිරිපිටිවල ප‍්‍රමිතිය පිළිබඳ ගැටලූ ඇති බවය. ඒ ප‍්‍රමිතීන් ගැන නිසිලෙස තහවුරු කළ අවස්ථාද නැත. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ ගැන වසර ගණනාවක සිට නිරන්තර අරගලයක යෙදෙන්නේය. වෛද්‍යවරුන් බහුතරයක මතය වන්නේ අපට ලැබෙන්නේ ඉතාම බාල, ප‍්‍රමිතියෙන් තොර කිරිපිටි වර්ග බවය. සාමාන්‍යයෙන් කිරිපිටි කිලෝවක් නිෂ්පාදනය කිරීම සඳහා දියර කිරි ලීටර අටක් හෝ නවයක් වැයවේ. ඒ මොහොතේ කිරිවල ඇති ගුණාත්මකභාවය වියැකී යන බව අමුතුවෙන් කිව යුත්තක් නොවේ. දියර කිරි නිෂ්පාදනයටත් පරිභෝජනයටත් රටේ ජනතාව දිරිගැන්වීම වැදගත්වන්නේ එහෙයිනි.

  • නියත පෝෂණ ගුණය තිබෙනවාද? අපි බොන්නේ වස විසද?

අප සාමාන්‍යයෙන් භාවිතා කරන පිටි කළ කිරි ග‍්‍රෑම් 400ක පැකට්ටුවක ඇත්තේ දියර කිරි ලිටර් 3.5 කි. පිටි කළ කිරි නිෂ්පාදනයේදී සෙල්සියස් අංශක 200ට අධික උෂ්ණත්වයට හා අධික පීඩනයට භාජනය වන හෙයින් එහි ඇති ප්‍රෝටීන හා විටමින් විනාශවීම වැළැක්විය නොහැක්කකි. ඊ ළඟට නිෂ්පාදනයන් කරන්නේ ඒ අවශ්‍ය විටමින හා ප්‍රෝටීන පවත්වාගෙන යාම සඳහා එම ද්‍රාවණයට කෘත‍්‍රිම පේ‍්‍රටීන හා සත්ත්ව මේදය එකතු කිරීමය. වෙළෙඳපොළේ ඇති කිරිපිටිවල මෙම රත්කිරීම නිසා ඇතිවන ප්‍රෝටීන වෙනස්කම් නිසා රසයේද වෙනසක් ඇතිවේ. විශේෂත්වය වන්නේ මේ කිරිපිටි සමාගම් මගින් ගෙන යනු ලබන කිරිපිටි මගින් ලැබෙනවා යැයි කියන ‘පෝෂණය’ ගැන ඇද බාන බේගල් රටේ ජනතාවටද ඇත්ත වීමය. ආකර්ෂණීය වෙළෙඳ දැන්වීම්වලින් ජනතාව ගොනාට අන්දවා කිරිපිටි විකුණන සමාගම් ආසියාතික රටවලට නොකියන කාරණයක් තිබේ. ඒ කිරිපිටි නිෂ්පාදනය කරන රටවල ජනතාව ‘කිරිපිටි’ කටේවත් තියන්නේ නැති බවය. ඒ වෙනුවට ඔවුන් පිරිසිදු නැවුම් ‘දියර කිරි’ භාවිතා කරයි.

නවසීලන්තය හා ඕස්ටේ‍්‍රලියාව පිටිකිරි ‘බොන’ හැටි 2020 වර්ෂය වනවිට දළ වශයෙන් නවසීලන්තයේ සිට ලොව පුරා ‘කිරිපිටි’ මෙටි‍්‍රක් ටොන් මිලියන 1.47ක් අපනයනය කර ඇත. නවසීලන්තයේ ඒකපුද්ගල දියර කිරි පරිභෝජන අනුපාතය කිලෝග‍්‍රෑම් 108.72ක් පමණ වේ. කිරි ගැන කියනවිට නිරන්තරයෙන්ම ඕස්ටේ‍්‍රලියාව ගැනද සඳහන් වේ. ‘ ඕස්ටේ‍්‍රලියාවේ වතුරවලට වඩා කිරි ලාභයි’ යන්න බොහෝ ජනප‍්‍රිය කතාවකි. ඕස්ටේ‍්‍රලියාවේ පානීය ජලය ලීටරයකටත් වඩා අඩු මිලකට දියර කිරි ලීටරයක් ලබා ගැනීමට හැකිවීම ඊට හේතුවයි. ඕස්ටේ‍්‍රලියාවේ කිරි වැඩි වශයෙන් අපනයනය කරනු ලබන්නේ අග්නිදිග ආසියානු කලාපයටය. එය 30%ක ප‍්‍රතිශතයකි. ඕස්ටේ‍්‍රලියානුවෙක් දිනකට කිරි ග‍්‍රෑම් 159.3ක් පරිභෝජනය කරයි.

ලෝකයේ කිරිපිටි ආනයනය කරන රටවල් අතරින් හතර වැනි තැන හිමිවන්නේ ශ‍්‍රී ලංකාවටය. අප දෙවැනි වන්නේ චීනය වැනි රටකට පමණය. නවසීලන්තය ඕස්ටේ‍්‍රලියාව වැනි රටවල් කිරිපිටි පරිභෝජනය කරන්නේ ඉතා අල්ප ප‍්‍රමාණයක් පමණි.

අපේ රටේ තේ කෝප්පයක් හදා ගැනීමට ‘දියර කිරි’ වැය වන්නේ මිලිලීටර් හැටකි. එහෙත් කිරිපිටිවලින් තේ කෝප්පයක් හදාගැනීමට මීට වඩා වැඩි ‘කිරිපිටි’ ප‍්‍රමාණයක් වැයවේ. ඒ නිසාම ගුණාත්මක බවෙන් මෙන්ම වියදම අතින්ද දියර කිරි ප‍්‍රචලිත කිරීම වැදගත්ය. දේශීය වශයෙන් කිරි නිෂ්පාදනය කළ නොහැකිය යන බහුජාතික සමාගම්වල මුසාවාදය ප්‍රෝඩාව පරාජය කිරීම එතරම් අපහසු කටයුත්තක් නොවේ.

පැල්වත්ත (දේශීය) කිරි නිෂ්පාදන සමාගමේ දෛනික කිරි නිෂ්පාදන ප‍්‍රමාණය මේ වනවිට දිනකට කිරි ලීටර් 255,000ක් පමණ වේ. හයිලන්ඞ් ආයතනයේ මුළු නිෂ්පාදන ධාරිතාව දිනකට කිරි ලීටර් 420,000ක් පමණ වේ. එහෙත් මෙය රටේ කිරි පාරිභෝජන ඉල්ලීම සපුරාලන්නට තරම් ප‍්‍රමාණවත් නොවේ. එහෙත් රටේ කිරි හිඟයක් නැත. ඇත්තේ තත්ත්වය කළමනාකරණය කර නොගැනීමේ ගැටලූවකි. එසේ තිබියදී පිටරටින් කිරි (පිටි) ගෙන්වන්නටම සැලසුම් සකස් කරන්නේ රටේ කිරි නිෂ්පාදකයන්ගේ, කිරි ගොවීන්ගේ පාර්ශ්වයන් ගැන රටේ ජනතාවගේ සෞඛ්‍යසම්පන්න බව ගැන නොසිතන ‘මී හරක්’ නිසා බව කිව යුතුය. එහෙව් අම්බරුවන් රටේ ඩොලර් පිටරටට ඇදෙන එක ගැන සිතන්නේ නැත.

උදේශ සංජීව ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment