රට අර්බුදයෙන් අර්බුදයට…!

190

අද ශ්‍රී ලාංකීය දේශපාලනය මුළුමහත් සියලු රට වැසියන්ටම තිත්ත වී හමාරය. මේ දියාරු වී කුණු වී ඕජස ගලන පාලනය ගැන අද රටේ මුළුමහත් ශ්‍රී ලාංකිකයන්ටම ඇත්තේ අසීමිත අප්පිරියාවකි. අද මිනිසුන් කියන්නේ ‘ගෝඨා – රනිල් දෙදෙනාම ගෙදර යනු’ කියාය. එතැනින් නොනැවතුණු ජනතාව පාර්ලිමේන්තුවේ මුළු 225ම එපා කියති. ඒ ඔවුන් එදා සිටම අපේ රටට කළ වින්නැහිය විපත්තිය නිසාය. පුංචි අත දරුවාගේ සිට වියපත් පුද්ගලයා දක්වාම මේ ව්‍යසනයෙන් බැට කන්නේ තමන් සිහිනෙකින්වත් නොකළ වැරදිවලටය. බඩගින්නට කිරි පිටි උගුරක් ඉල්ලා අඬන දරුවන් අප රටේ අනන්ත අප්‍රමාණය. දියවැඩියාව, අධිරුධිර පීඩනයට හා නිධන්ගත රෝගවලට බෙහෙත් පෙත්තක් ගැනීමට අතේ පිච්චියක් නැතිව සුසුම්හෙළන අපේ රටේ ජනයා අද මරණ මංචකය දක්වාම රැගෙන ගිය තට්ටු මාරු දේශපාළුවන් අද සිටින්නේ මේ කිසිවක් නොදන්නා, නොකළ ගාණටය. මේ කිසිවක් ඔවුන්ට ගැටලු නොවන බව ඔවුහු හොඳින්ම ප්‍රදර්ශනය කරති. ඒ කෙසේද යත් ඔවුන්ට ඉන්ධන ගැටලු, ඖෂධ ගැටලු, ගෙදර කුස්සියේ ගෑස්වල සිට ආහාරයට ගන්නා සියලු දේවල් ඔවුන්ට අඟහිඟ නැති නිසාය. නමුත් ඔවුන් අපට කියාදෙන්නේ මේ ගැටලුවලට මහා පුදුමාකාර අමුතුම ආකාරයේ විසඳුම්ය. විටක ඒවා විහිලු සපයන විසඳුම්ය. තවත් විටෙක ඇඟේ ලේ ධාතුව උණු කරවන ඒවාය. තවත් විටක විශ්මය ජනකය. වරෙක ඔවුන් අපට රුපියල් දෙදහස් පන්සියයකින් හතර දෙනකුගෙන් යුත් පවුලක් මාසයක් ජීවත්වන අන්දම කියාදුන් අන්දම අපට අද වාගේ මතකය. එමෙන්ම මිල අඩුවට භාණ්ඩ මිලදී ගැනීමට ලංකා සතොස හරහා භාණ්ඩ මිලදී ගන්නා ආකාරය විවිධ රූපවාහිනි නාලිකා ඔස්සේ පෙන්වා දුන්නේය. නමුත් පසුදා ඒ වෙත යන රටේ දුක්විඳින පාරිභෝගිකයාට දක්නට ලැබෙන්නේ හිස් සහල් බක්කි හා හිස් රාක්ක පේළියකි. ඔවුන් කියන මිලට භාණ්ඩ අපේ රටේ නැත. ඔවුන් නියම කරන මිලට භාණ්ඩ ඇත්තේ රූපවාහිනිය ඉදිරියේම පමණකි. රජය විසින් නිකුත් කරන ගැසට්ටු අනුව පාලන මිල පැනවූ පසු අත්‍යවශ්‍ය ආහාර වර්ග හිටිහැටියේම අතුරුදන් වීමට පටන් ගනී. අතුරුදන් වූ ආහාර අතර දේශීය සහල් වර්ග ප්‍රමුඛස්ථානයක් ගනී. එම නිසා දේශීය සහල් වර්ග වෙනුවට වැඩි මිලක් දී ආනයනික සහල් ගැනීමට ජනතාවට සිදුවීමෙන් ජනයාට කබළෙන් ළිපටම වැටීමට සිදුවේ. අධික බදු නිසා ආනයනික ආහාර වර්ග දිනෙන් දින ඉහළ යයි. අද රජය විසින් භාණ්ඩ මිල තීරණය කිරීම වෙළෙඳුන් අතට පත්කර ඇත.

 රටේ සෑම අංශයකටම බලපාන තෙල් ප්‍රශ්නයේ බියකරු බව අපේ පාලකයන්ට නොතේරෙන්නේ ඇයිද යන්න අපට ප්‍රශ්නයකි. රටේ තෙල් සංචිතය බිංදුවටම හිස් වනතුරු අපේ පාලකයන් බලා සිටියේ එකිනෙකා පිට වරද පටවමින්ය. එය මුළුමහත් ජාතියේම අවාසනාවකි. අද මුළු රටම එක තැන නැවතී ඇත. රජයේ සේවකයන් මහ පාරේ තෙල් පෝලිම්වලය. පෞද්ගලික සේවකයනුත් එසේමය. ත්‍රිරෝද රථයෙන් එදාවේල හම්බකර කෑ ත්‍රිරෝද රථ රියැදුරන් අද සති ගණන් මහපාරේය. ඔවුනුත් අපේ රටට යම්කිසි සේවයක් කළ පිරිසකි. මේ රැකියාවෙන් අප රටේ දරුපවුල් ලක්‍ෂ ගණනක් ජීවත් වෙති. අද ඒ සියල්ලෝම නන්නත්තාරය.

 සෞභාග්‍ය උදාකර ගැනීමට හැටනව ලක්‍ෂයක් සිය ඡන්දය පාවිච්චි කළෝය. නමුත් ඇත්තෙන්ම අපට අභාග්‍යයක් මිස උදාවූ සෞභාග්‍යයක් නම් නැත. තෙල් පෝලිම්වල මිනිසුන් මැරී වැටෙද්දී තවත් තැනෙක පෝලිම්වල පිහි ඇනුම් කා අපේ රටේ අහිංසක මිනිස්සු මියදෙති. ඇත්තෙන්ම අපට “පෝලිම” යන වචනයද කරදරකාර වචනයකි. එදා සිට අපේ රටේ ජනයා පෝලිමේ සිටියේ රජයේ රෝහලකින් බෙහෙතක් ගැනීමට හා බස් රථයකට ගොඩවීම වැනි කාරණාවලටය. ඒ පෝලිමේ අපේ මිනිසුන් සිටියේ තමන්ගේ වාරය ආපසු තම බලාපොරොත්තුව ඉටුවන බව කිරිගහට ඇන්නා මෙන් අනිවාර්යයෙන්ම ඉටුවන බැවිනි. නමුත් අද පෝලිමේ සිටීම යනු මාරයාට අතවැනීමකි. ඒ කෙසේද යත් තම බලාපොරොත්තුව ඉටුවීමට පෙර කොහේ හෝ සිට පැමිණි මැරවරයකුගෙන් පිහි පහරක් හෝ වෙඩි උණ්ඩයකට ගොදුරුවීමට තමාට සිදුවේ දැයි කියන අනියත බිය නිසාය. එසේත් නැතිනම් පොලිස් ප්‍රහාරයක් තමන්ට කොයි මොහොතේ ලැබේවිද යන්නය. තවත් ආකාරයෙන් පෝලිම කොටස් කීපයකට නම් කිරීමට හා බෙදීමට මේ පෝලිම තුළ හා ඊට පිටතින් සිටින බලපුළුවන්කාර මැරවරයෝ ක්‍රියාකරති. ඉන්ධනහලක නම් සති දෙකක් තිස්සේ පළමුවෙන්ම සිටින කෙනාට පෙර තෙල් පිරවුම් හලට ආ මොහොතේම එතැනට උඩින්පාත්වන පාතාල දාමරිකයා පළමු වැනි ස්ථානය ලබාගනී. ඔවුන් තම වාහනයට පිරෙන්නම තෙල් ගසාගෙන ඊළඟට ඔවුන්ගේ ගෝලබාලයන්ට ද රිසි සේ තෙල් ගසා ගැනීමට සිදුකර දෙයි. ඒ අතරේ පොලිසියේ මහත්වරු සිටගෙනම පුංචි නින්දකට ගොස් තම විඩාව සංසිඳුවා ගැනීමට ක්‍රියාකරයි. පසුව ක්‍ෂණයකින් අවදි වූ එම නිලධාරීන් දින සති ගණන් කල්ගත කළ පෝලිමට තෙල් දීමට පටන් ගැනීමත් සමඟ අලුතින්ම එකතු වූ “ගමේ පෝලිම”ට තෙල් ගැස්සීමටද සලස්වනු ලැබේ. සමහර විට තෙල් පෝලිමේ මැදකින් මේ තෙල් ඉවරවන අවස්ථා ද එමටය. තෙල් ඉවරවන තැන සිටින වාහන හිමිකරුවා ඉන්ධන හල අසලට තම වාහනය ගාල්කර පෝලිමේ ප්‍රමුඛ ස්ථානය හිමිකරගෙන නැවත එම පිරවුම්හලට ඉන්ධන එන දිනයේ පළමු ගැනුම්කරු තමා බව සිහිතබා ගෙදර යයි. නැවත තෙල් එන දිනයේද ඔවුන්ට කලින් කී සිද්ධිදාමයට මුහුණ දෙන්නට වන බව නොරහසකි. මෙවැනි සිද්ධිදාමයන්ට අපේ රටේ ජනයා දැන් නිරන්තරයෙන්ම මුහුණ දෙන බව අපි කවුරුත් දන්නා කාරණයකි. එහෙත් අපි මහපාරේ මැති ඇමැතිවරුන්ගේ ඪ8, ඉන්ටකූලර්, ප්‍රාඩෝ වැනි අති නවීන පන්නයේ සුඛෝපභෝගි වාහන ගමන් කරන අයුරු නිරන්තරයෙන්ම දකිමු. ඉන් සමහරක් වාහන පෙට්‍රල් ලීටරයකින් කිලෝමීටර් 5 ක් 6 ක්වත් දුවන ඒවා නොවේ. ඒවා කොහෙන් තෙල් ගසා ගන්නවාද කියා අපි නොදන්නෙමු. සමහර විට ඒවා කොලොන්නාව තෙල් ගබඩාවෙන්ම සිය වාහනයේ ටැංකිය පුරවා ගන්නවා විය හැකිය. නමුත් තාමත් ජනතාව මහපාරේ අපමණ දුක්විඳිති. අද රටට ඩොලර් ගෙනෙන සංචාරකයෝ පවා මහ පාරේ තෙල් පෝලිම්වල, ෂෙඩ් ගානේ රස්තියාදු වෙති. ඔවුන්ට සංචාරය පසෙකළා තෙල් පෝලිමට වී කාලය කා දමන්නට සිදුවී ඇත. මෙයින් රටේ සංචාරක ව්‍යාපාරයට ඇති වන්නේ මරු පහරකි.

 ඊළඟට මේ රජය සැරසෙන්නේ රටට අවශ්‍ය තෙල් ගෙන්වීමට පෞද්ගලික සමාගමකට පැවැරීමට නොවේද? ඒ සමහර විට ආණ්ඩුවේ ප්‍රබලයකුගේම සමාගමකට විය හැකිය. ඉන්ධන, විදුලිබලය මේ සියල්ලම තම තමන්ගේ හිතවත් සමාගම්වලට පවරා ගතහොත් මේ රටේ ඉදිරි පරම්පරාවට අත්වන ඉරණම ඉතා ඛේදනීයය. අද ඇත්තේ රටේ අත්‍යවශ්‍ය සේවාවක් වන සෞඛ්‍ය සේවයටවත් ඉන්ධන සැපයීමට නොහැකි වූ රජයකි. අද රෝහල්වල මියැදෙන රෝගී ජීවිතවලට මේ රජය සෘජුවම වගකිවයුතුය. රෝගීන් රෝහල් ඇඳන්වල පණ අදිද්දී වෛiවරු තෙල් පෝලිම්වල රස්තියාදු වන තත්ත්වයටම මේ රට ඇද දමා ඇත. එවක පළාත් නවයටම ජෙනරාල්ලා නවයක් ඉල්ලපු රටට අද ඉන්ධන හලකට කෝප්‍රල්ලා දෙදෙනක් පමණක් ලබාදී ඇත. අද පොලිසිය හමුදාව ගුටිබැට හුවමාරුකර ගනියි. ඇතැම් තැනක පොලිසිය හා හමුදාව ඉන්ධන ඉල්ලන අයට පහර දෙති. මෙය කොතරම් විහිළුවක්ද?

 මහජන උපයෝගිතා කොමිසම කියන්නේ විදුලි බිල වැඩි කිරීම ජනතාවගෙන් අසා කළයුතු බවයි. ඇත්තෙන්ම රජය මිල වැඩිකිරීම් සියල්ල සිදුකළේ රටේ මහජනතාවගෙන් අසාද යන්න අපට ප්‍රශ්නයකි. අපේ රටේ ඉදිරි පරම්පරාවට, ඉදිරි අනාගතයට මේ අර්බුදය කොතෙක් දුරට බලපානවා ද යන්න සොයා බැලීමට දේශපාලනඥයන්ට වුවමනාවක් නැත. ඔවුන්ට වුවමනා වී ඇත්තේ සිය බලය රැකගැනීම හා බලය

 ලබාගැනීමයි. පාසල් නිවාඩු දෙමින් ප්‍රශ්නවලට පිළිතුරු සොයන ආණ්ඩුවට අපේ දරුවන්ගේ මියැදෙන අනාගතය ගැන සොයා බැලීමට වටී. ඔවුන් කියන පරිදි ඔන්ලයින් අධ්‍යාපනය ඇත්තෙන්ම ප්‍රායෝගික ද නැද්ද කියන කාරණය සලකා බැලිය යුතුවේ. එදා වේල ඉතා අමාරුවෙන් ගැටගසාගාන්නා ගෙදරකට ළමුන්ගේ ඔන්ලයින් අධ්‍යාපනයට අමතර මුදලක් කෙසේ වියදම් කරන්නද? ෆෝන් සිග්නල් හැම ප්‍රදේශයකම තිබේද?

 අද අපේ රටට ඩොලර් ගෙනෙන තේ කර්මාන්තයද පණ අදින්නේ මේ තෙල් ප්‍රශ්නය නිසාය. කර්මාන්තශාලාවල තේ දලු ප්‍රවාහනයට අද තෙල් නොමැත. මේ නිසා විශාල සංඛ්‍යාවකට තම ජීවනෝපාය අහිමි වෙමින් පවතී. පොහොර වැඩිවීමෙන් දුෂ්කරතාවයට පත්වූ තේ හිමියෝ දැන් තෙල් ප්‍රශ්නයෙන් බැට කන තත්ත්වයට පත්වී ඇත. ඇත්තෙන්ම ඔවුන් කබළෙන් ළිපට වැටී ඇත.

 අපේ රටේ රජයේ රෝහල් දිනෙන් දින වැසීයමින් පවතී. රටේ වෛiවරු මේ රට හැර යමින් සිටිති. රෝහල්වල අත්‍යවශ්‍ය ඖෂධ නැත. සර්පයන්, බල්ලන් කෑ විට දෙන එන්නත් කිසිවක් රජයේ රෝහල්වල ඉතුරු වී නැත. නමුත් වෛiවරුන් කියන්නේ සතුන්ට කියා නොකවා ගන්නා ලෙසය. අපේ රටේ අර්බුද දවසින් දවසම උග්‍ර වෙනවා මිස එහි අඩුවීමක් පෙනෙන තෙක් මානයක නැත.

 රමින්ද ලසන්ත මාවතගේ

advertistmentadvertistment
advertistmentadvertistment