රට අරාජික වෙද්දී ජනපති ඉදිරිපත් වී විශාල කැපවීමක් කළා

119

පොදුජන එක්සත් පෙරමුණ ප්‍රමුඛ නව සන්ධානය පිටුවීමේ උළෙලේදී අනුර ප්‍රියදර්ශන යාපා කියයි
ජනපතිවරණයට ශ්‍රීලනිප ප්‍රමුඛ වමේ පක්ෂ සන්ධානගත වීමේ උත්සවය

අප පත්කළ ජනාධිපතිවරයකු 2022 දී ජනතා අරගලය නිසා සිය තනතුර අත්හැර රටින් පිටවී යන්න සිදුවුණා. පවතින ආර්ථික ක්‍රමය සැමදා පිළිගන්න බැරි නිසා ජනතාවට මහ පාරට බහින්න සිදුවුණා. අපගේ ආර්ථිකය කඩාවැටීම පිළිබඳව ආර්ථිකය දෙස අප ඇස් ඇරලා බලලා නැහැ. කුමන අභියෝග පැමිණියත් රනිල් වික්‍රමසිංහ මහතා වගකීම භාර ගනිමින් රට භාර ගත්තා. අප අද ආරම්භ කළ නව සන්ධානය නායකත්ව මණ්ඩලයක් හරහා සියලු දේශපාලන පක්ෂ, ජාතීන් ජනකොටස් ඒකරාශී කරන බැව් පොදුජන එක්සත් පෙරමුණ, වාමාංශික පක්ෂද එක්කර ගනිමින් ඊයේ පිහිටු වූ නව සන්ධානයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අනුර ප්‍රියදර්ශන යාපා මහතා කීය.

ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් හා යුගයේ අවශ්‍යතාවක් ඉටු කරමින් නව සන්ධානය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ වාමාංශික දේශපාලන පක්ෂ, සංවිධාන පොදුජන එක්සත් පෙරමුණ සමග සන්ධානගත වීම ඊයේ (14 දා) බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේදී පැවැත්විණි. පොදුජන එක්සත් පෙරමුණ 21 දෙනකුගෙන් යුත් නායකත්ව මණ්ඩලයක් යටතේ ක්‍රියාත්මක වේ.

පොදුජන එක්සත් පෙරමුණේ නිලධාරි මණ්ඩලයේ ප්‍රධාන අනුශාසක ලෙස නව සන්ධානය නියෝජනය කරමින් ජෝන් සෙනවිරත්න, නායක ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා, ලේකම් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලසන්ත අලගියවන්න, භාණ්ඩාගාරික ලෙස නව සන්ධානයේ චාමර සම්පත් දසනායක, ජාතික සංවිධායකවරුන් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දුමින්ද දිසානායක, නව සන්ධානයේ නලීන් ප්‍රනාන්දු යන මහත්වරුන් කටයුතු කරනු ලබයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න, ජගත් පුෂ්පකුමාර, සූරේෂ් රාඝවන්, නීතිඥ ෆයිසර් මුස්තාපා, නව සන්ධානය නියෝජනය කරමින් අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් ප්‍රෙම්ජයන්ත, ජෝන් සෙනවිරත්න, නිමල් ලාන්සා, ප්‍රියංකර ජයරත්න, නලින් ප්‍රනාන්දු, චාමර සම්පත් දසනායක, උදයකාන්ත ගුණතිලක, සුදත් මංජුල, ජගත් ප්‍රියංකර, ඊළාම් ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පක්ෂයේ නායක ඩග්ලස් දේවානන්දා, ඉලංගෙයි මහජන කොංග්‍රසයෙන් ස්වාධීන වූ එස්.එම්.එම්. මුසාරෆ්, සමගි ජන බලවේගයෙන් ස්වාධීන වූ ඉෂාක් රහුමාන්, මුත්පෝක්කු තමිලර් කලකම් පක්ෂයෙන් ස්වාධීන වූ එස්. වියාලේන්ද්‍රන්, ජාතික නිදහස් පෙරමුණෙන් ස්වාධීන වූ මොහොමඩ් මුසම්මිල්, නිදහස් ජනතා සභාවෙන් ස්වාධීන වූ උදයන කිරිඳිගොඩ, ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක අසංක නවරත්න, ලංකා සමසමාජ පක්ෂයේ මහාචාර්ය තිස්ස විතාරණ, යුතුකම ජාතික සංවිධානයේ ස්වාධීන වූ අනූප පැස්කුවල්, එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයේ නසිර් අහමඩ්, ස්වාධීන කණ්ඩායමක් ලෙස දකුණු පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන, ස්වාධීන කණ්ඩායමක් ලෙස හිටපු ශ්‍රී ලංකා ඉන්දියානු තානාපති මිලින්ද මොරගොඩ, නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර, දේශ විමුක්ති ජනතා පක්ෂයේ ඩී. කලංසූරිය යන මහත්වරුන් පොදුජන එක්සත් පෙරමුණ සමග සන්ධාන ගතවී සිටියි.

පොදුජන එක්සත් පෙරමුණ ප්‍රමුඛ සන්ධානයේ නිල වෙබ් අඩවියද මෙහිදී එළිදක්වනු ලැබීය. සැමට වෙනස් දැක්මක් සැමටම සුබවාදී අනාගතයක් යන මැයින් ඡැදචකැ’ි ්කකස්බජැ වෙබ් අඩවිය එළි දක්වනු ලැබීය.

මෙහිදී අදහස් දැක්වූ පොදුජන එක්සත් පෙරමුණේ ජාතික සංවිධායක, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන්‍ ලේකම් දුමින්ද දිසානායක මහතා,

අද අපි අලුත් දේශපාලන ගමනකට මුල පුරනවා. අද විශාල පිරිසක් මේ ස්ථානයට පැමිණ සිටින්නේ මෙරට සන්ධාන ඉතිහාසයේ අලුත් පිටුවක් සංකේතවත් කරන්න. සන්ධාන ඉතිහාසයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රබල ස්ථානයක් හැමදාමත් හිමිකර ගත්තා. සුසිල් ප්‍රේම්ජයන්ත, අනුර ප්‍රියදර්ශන යාපා යන දෙපළම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් මෙරට සන්ධාන දේශපාලනයේ ශක්තිමත් අඩිතාලම් දැමූ දෙපළක්. මේ නිර්මාණය වන්නේ මෙරට දැවැන්තම සන්ධානයයි. පොදුජන එක්සත් පෙරමුණ ගොඩනගන මෙම සන්ධානය ඉදිරියේදී මුළු රටේම අනාගතය තීරණය කරන ප්‍රබල සාධකයක්. අද රට ඔසවා තබන්නට හැකිවන්නේ අප නිර්මාණය කළ මෙම සන්ධානය තුළින්. ඒ අනුව අද අපි අලුත් දේශපාලන ගමනක් යන්නට සූදානම්.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති නිමල් සිරිපාල ද සිල්වා –

පොදුජන එක්සත් පෙරමුණ ප්‍රමුඛ පැරණි සන්ධානය මේ රටේ දේශපාලනය තීරණාත්මක තැනකට අරන් ආ කඳවුරක්. පැරණි සන්ධානය නූතන යුගයට සරිලන පරිදි සකස් කර ගනිමින් ජනතා අභිලාෂයන් මුදුන් පමුණුවාලීමට තීරණය කළා. ව්‍යවස්ථාව වෙනස් කරමින් නීතිමය තත්ත්වයන් සංශෝධනය කරමින් අපි අලුත් සන්ධානයක් ගොඩනැඟුවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නායකයා විසින් විනාශ කරද්දී දේශපාලනයට ප්‍රවේශ වීම සඳහා අනෙකුත් සාමාජිකයින්ට ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයක් ගොඩනැගීමට සිදුවුණා. පක්ෂයක් කෑලිවලට කැඩෙද්දි දේශපාලනය කළ නොහැකියි. පසුගිය කාලය තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාර්ලිමේන්තුවේ විවිධ කණ්ඩායම්, දේශපාලන පක්ෂ සමග සාකච්ජා කරනු ලැබුවා. ජාති ආගම් භේද නොතකා සියලුම ජන කොට්ඨාසයන්වලට ඒකාබද්ධ විය හැකි සන්ධානයක් ගොඩනැඟුවා.

ඕනෑම තරාතිරමක අයෙකුට අපේ දේශපාලන කදවුර තුළ ඉහළටම යා හැකි ආකාරයේ ප්‍රජාතන්ත්‍රවාදයක් සුරක්ෂිත කර තිබෙනවා. පුරුදු දේශපාලනය අවසන් කරමින් ආර්ථිකය ශක්තිමත් තැනකට ඔසවා තබමින් අපි මේ මොහොතේ රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දිය යුතුයි යන්න තීරණය කළා.

පොදුජන එක්සත් පෙරමුණේ නායක අනුර ප්‍රියදර්ශන යාපා –

අපි පසුගිය කාලය තුළ විශාල කාලයක් වෙන්කළා අලුත් දේශපාලන වැඩපිළිවෙලක් වෙනුවෙන්. අපේ සන්ධානයේ විශේෂත්වය තමා නායකත්ව මණ්ඩලයක් තුළින් සියලු දෙනා සමගම සාකච්ජා කිරීම. අපි ළඟ විශේෂත්වයක් තියෙනවා. ප්‍රජාතන්තවාදය වඩාත් පුළුල් ලෙස ක්‍රියාවට නැංවීම. මෙරට දේශපාලන ඉතිහාසය තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට උරුමයක් තිබෙනවා පොදුජන අයිතීන් සුරක්ෂිත කිරීම වෙනුවෙන්. අපි සියලු දෙනාම මේ මොහොතේ ඒ වෙනුවෙන් කැපවෙන බව ප්‍රකාශ කරන්න කැමතියි. මම මොන සන්ධානයේ නායකත්වය දැරුවත් නිමල් ලාන්සා මහතා නොවන්නට මේ ආකාරයේ පුළුල් දේශපාලන සන්ධානයක්

ගොඩනැගීම අපහසුයි. එතුමාගේ අසිමිත කැපකිරීමට අපි සියලු දෙනාගේ ස්තූතිය පුදකර සිටිනවා. පසුගිය කාලයේ ආර්ථික කඩාවැටීමත් සමග අපිටම ආවේණික වූ රටාවක් නිර්මාණය කර ගැනීමට අපට සිදුවුණා.

නව සන්ධානයේ ලේකම් ශ්‍රීලනිප භාණ්ඩාගාරික ප්‍රවාහන රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න-

1994 වර්ෂයේදී යුගයේ අවශ්‍යතාව සලකා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ආශිර්වාදයෙන්, චන්‍ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ මැදිහත්වීමෙන් බිහිවූ පොදුජන එක්සත් පෙරමුණ ජනාධිපතිවරණ දෙකක්, පාර්ලිමේන්තු මැතිවරණ තුනක්, පළාත් සභා මැතිවරණ හා පළාත් පාලන මැතිවරණ දෙක බැගින් ජයගත් බවත් තම පෙරමුණ වත්මන් අවශ්‍යතාව තේරුම් ගෙන නව සන්ධානයක් ලෙස පක්‍ෂ ගණනාවක් අද (14) දිනයේ නව සන්ධානයක් ලෙසින් එළිදැක්වූ බැව් පොදුජන එක්සත් පෙරමුණේ හා ශ්‍රීලනිප භාණ්ඩාගාරික ප්‍රවාහන රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මහතා පැවසීය.

මෙහිදී පොදුජන එක්සත් පෙරමුණේ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා විසින් නව නිලධාරී මණ්ඩලය හා නායකත්ව මණ්ඩලය සභාවට හඳුන්වා දීමද සිදු විය.
ජූඩ් ඩෙන්සිල් පතිරාජ


advertistmentadvertistment