රට ඉදිරියට යනවාද නැද්ද තීරණය ජනතාව අතේ

67

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගාල්ලේ දී කියයි

මැතිවරණ කොමිසම ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ විට රට පවතින තත්ත්වයෙන් ඉදිරියට ගෙන යන්නේ ද නැද්ද යන්න තීරණය කිරීමේ බලය ලබන සැප්තැම්බර් හෝ ඔක්තෝබර් මාසයේදී ජනතාවට හිමිවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවැසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ ගාල්ල උළුවිටිකේ පිහිටි ගාල්ල දිස්ත්‍රික් ප්‍රධාන කාර්යාලයේ පැවැති ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ දිස්ත්‍රික් සමුළුව අමතමිනි.

රට ඉදිරියට යනවාද නැද්ද තීරණය ජනතාව අතේ

මෙම දිස්ත්‍රික් සමුළුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර පක්ෂයේ ක්‍රියාකාරීන් විශාල පිරිසක් එක්ව සිටියහ.

එහිදී වැඩිදුරටත් කතා කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවැසීය.

“ඉෂාක් මොහිදීන් බෙග් මහතා ගීතයක් ගායනා කළා, රටේ අනාගතය මගේ අතේ කියලා. මම කියන්න කැමතියි මගේ අතේ නෙමෙයි රටේ අනාගතයේ තියෙන්නේ ඔබේ අතේ කියලා. මැතිවරණ කොමිසම සැප්තැම්බර් හෝ ඔක්තෝබර් දිනයක් නම් කළාම ඔබ තීරණය කරන්න ඕන අපි මේ මාර්ගයේ යනවද නැද්ද කියල. අපි දැන් එතනටයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් දැන් ඔබටයි තිබෙන්නේ මේ අනාගතය ආරක්ෂා කරනවාද නැද්ද කියලා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විපක්ෂයට ආරාධනා කළාම මේ ගැන සාකච්ඡා කරන්න එන්න කියලා, ගියේ මමයි දෙමළ පක්ෂයි විතරයි. විපක්ෂ නායකයා වගකීම භාරගන්නේ නැතිව පැනලා ගියා. ජේවීපී එක හොයාගන්නත් හිටියෙ නෑ. පැනල ගියාද බඩගා ගියාද කියලා මම දන්නෑ. කොහොමත් කවුරුවත් හිටියේ නෑ. කොහොමද මම මේ ආණ්ඩුව ගත්තේ. සජබෙන් මම ඇහුවා මට සහයෝගය දෙන්න කියලා. මනුෂයි හරිනුයි ආවා. පොහොට්ටුවේ කට්ටියක් අනිත් පැත්තට ගියා. ගිහින් සජබෙ එක්ක එකතු වෙලා ඉන්නවා දැන්. රට බේරගන්න කියලා ආව ගොඩහේවලා දැන් සජබෙ එක්ක එකතු වෙලා ඉන්නවා. සමහරු ඇමැතිකම් නැතුවත් ඇවිල්ලා අපිත් එක්ක එකතුවෙලා වැඩ කළා. හොඳ කණ්ඩායමක් ඇවිල්ලා ඉන්නවා. හොඳ කණ්ඩායමක් ඉන්නවා රට ගෙනියන්න. දේශපාලනය ගැන හිතන්නේ නැතුව වැඩ කරපු නිසා, මම හැමවෙලේම කියන්නේ විපක්ෂයට, එන්න ඇවිල්ලා අපිත් එක්ක එකතුවෙලා වැඩ කරන්න කියලා. තවත් වැඩ කරන්න තිබෙනවා, රටේ තරුණයන්ට හොඳ අනාගතයක් ලබාදෙන්න ඕන”.

මෙම සමුළුව සංවිධානය කළ එක්සත් ජාතික පක්ෂයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා කතා කරමින් මෙසේ කීවේය.

“ අපි බෙදෙන්න හොඳ නැහැ. අපිට රමේෂ් පතිරණත් ඕන, පොදුජන පෙරමුණේ ඉන්න අයත් ඕන, සියලුම f්ශපාලන පක්ෂත් ඕන. අන් සියලු දෙනාත් ඕන. මුළු ජාතියම එකතු වෙන්න ඕන. එතකොට ශ්‍රී ලංකාව ගොඩඅරගෙන ඔබේ දරුවන්ට හොඳ අනාගතයක් උදාකරන්න පුළුවන්. 2024 මැතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ නමැති ජාතික නාකයාට ඉතිහාසගත ජයග්‍රහණයක් ලබාදිය යුතුයි.”

එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, උපනායක අකිල විරාජ් කාරියවසම් යන මහත්වරු ද ජනතාව ඇමතූහ.

හිනිදුම – රවීන්ද්‍ර චන්ද්‍රලාල්

advertistmentadvertistment
advertistmentadvertistment