රජයේ ඉඩම්වලට හොර ඔප්පු!…මහ ඇමැති ගණනාවකට චෝදනා

ඉඩම් බැහැර නියෝගයට පිටින් අක්කර 714ක් බැහැර කරලා

බදුකරුවන් 285කට නිත්‍යානුකූල ගිවිසුම් නොමැතිව ඉඩම් දීලා

ඉඩම් කොමරිස් ජෙනරාල් දෙපාර්තමේන්තුව රජයට අයිති ඉඩම් ප්‍රමාණය දන්නේ නෑ!

රජයට අයත් ඉඩම් ප්‍රමාණයවත් දන්නේ නැති ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව

කිරිබත්ගොඩ ප්‍රදේශයේ රජයේ ඉඩමක් ව්‍යාජ ඔප්පු සකස්කොට විකිණීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු තිදෙනකු මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතකොට ඇත්තේය. 2010 වර්ෂයේ දී මෙම නීති විරෝධී ක්‍රියාව සිදුවී ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. මෙකී ඉඩම රුපියල් කෝටි 7.5ක වටිනාකමකින් යුතු ඉඩමක් ද පැවසේ. මෙකී නීති විරෝධී ක්‍රියාව සම්බන්ධයෙන් චෝදනා ලැබූ හිටපු රාජ්‍ය ඇමැතිවරයකු වන ප්‍රසන්න රණවීර, හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු, ව්‍යාපාරිකයකු සහ නීතිඥවරයකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විසින් විමර්ශන ආරම්භකොට ඇත. මෙකී සිද්ධියත් සමග පසුගිය කාලය තුළ දී රජයට අයත් ඉඩම් ව්‍යාජ ඔප්පු සකස්කොට විකිණීම පිළිබඳ හිටපු මැති ඇමැතිවරු ගණනාවකට එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භකොට ඇති බව මාධ්‍ය මගින් ද වාර්තා කොට තිබුණි.

ඉඩම් ජාවාරම පසුගිය කාලය තුළ දී මෙරට ජයට ම සිදුවී තිබූ අතර මෙකී ජාවාරම් සඳහා දේශපාලනඥයන්ගේ නම් ගම් ද ගෑවී තිබුණි. ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම් සභාව, ජනතා වතු සංවර්ධන මණ්ඩලය, රාජ්‍ය වැවිලි සංස්ථාව, වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවට හා මහවැලි සංවර්ධන අධිකාරියට අයත් ඉඩම් වැඩි වශයෙන් අවභාවිත වී ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. උදාහරණයක් වශයෙන් ගතහොත් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතු ඉඩම් බැහැර කිරීමට අදාළ වන සියලුම කටයුතු වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව අත්හිටු වීමට හිටපු ජනාධිපතිවරයා විසින් නියෝගකර තිබුණි. මෙ පිළිබඳව ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයකුගේ 2023 මැයි 25 දිනැති ලිපිය මගින් දැනුම් දී තිබුණි. එහෙත් එම ලිපියේ නියමයන් අබිබවා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම් සභාව විසින් 2023 මැයි මස 25 දිනෙන් පසු ඉඩම් අක්කර 714 රූඩ් 05 පර්චස් 8.57ක් බැහැරකර තිබුණි. මෙකී ඉඩම් බැහැරකොට ඇත්තේ කුමන තරාතිරමේ පුද්ගලයන්ට ද යන්න පිළිබඳ වත්මන් රජය මගින් විමර්ශනය කොට සොයා බැලිය යුතුය.

පර්චස් එකක් රුපියල් දහසක මුදලකට ඉඩම් අක්කර 49ක් විකුණලා

එමෙන් ම ඉඩම් ප්‍රතිංස්කරණ කොමිෂන් සභාව විසින් පර්චස් එකක් රුපියල් දහසක වටිනාකමට පර්චස් 20 බැගින් කොමිෂන් සභාවේ නිලධාරීන් 396 දෙනකු වෙත ඉඩම් අක්කර 49ක් පර්චස් 35.64ක් ලබාදී තිබුණි. කොමිෂන් සභාවේ වසර 05ක අඛණ්ඩ සේවයක් හිමි සේවකයන්ට 2009 වර්ෂයේ සිට 2023 දක්වා කාලය තුළදී කොමිෂන් සභාවට අයත් ඉඩම් තුට්ටුවට දෙකට ලබාදී තිබුණි. 1972 අංක 01 දරන ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභා පනතේ 44 ( ඕ) වගන්තිය ප්‍රකාරව කොමිෂන් සභාව විසින් සේවයේ යොදවා ගෙන සිටින තැනැත්තන් සඳහා අර්ථසාධක අරමුදලක් පිහිටු වීම, සුබසාධන හා විනෝද ක්‍රීඩා පහසුකම් සහ නිවාස හා නේවාසිකාගාර හා වෙනත් ඉඩකඩ සැපයීම් සිදුකළ යුතු බව සඳහන් වේ. මෙම වගන්තිය වැරදි ආකාරයෙන් යොදා ගනිමින් සේවකයන් සඳහා කොමිෂන් සභාවට අයත් ඉඩම් බෙදා දී ඇති බව අනාවරණය වී ඇත.

කෝටි 118ක හිඟ ඉඩම් බදු මුදල් අයකරගෙන නැහැ

එමෙන්ම ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සඳහා බදුකරුවන් 401දෙනකුගෙන් රුපියල් එකසිය දහඅටකෝටි, හාරලක්ෂ, තිස්හතරදහස්, හත්සිය හතළිස් තුනක මුදලක් (1,180,434,743) හ`ිග ඉඩම් බදු වශයෙන් ලැබීමට ඇති බැව් අනාවරණය වී ඇත. මින් බදුකරුවන් 285 දෙනකුට නිත්‍යානුකූලව බදු ගිවිසුමකට එළැඹීමකින් තොරව ඉඩම් බදු දී තිබුණි. එම බදුකරුවන්ගෙන් අයවිය යුතු හිඟ ඉඩම් බදු මුදල රුපියල් අනූකෝටි, හතළිස් හතරලක්ෂ, අසූහයදහස්, හයසිය තිස්තුනකි. (904,486,633) බදුකරුවන් 116 දෙනකුට පමණක් බදු ගිවිසුම් ලබාදී තිබුණි. බදුකරුවන් 285 දෙනකුට කොමිෂන් සභාව විසින් නිත්‍යානුකූල ගිවිසුම් නොමැතිව ඉඩම් බදු දී ඇති නිසා හිඟ බදු මුදල් අයකර ගැනීම සඳහා නඩු මාර්ගයකට හෝ යෑමට නොහැකිවී ඇති බවද අනාවරණය වී ඇත. බදුදී ඇති ඉඩම් සඳහා නිත්‍යානුකූල ගිවිසුම්වලට එළැඹීමට කටයුතු කළ යුතු බවට විගණනය මගින් ද නිර්දේශකොට ඇත.

රජය සතු ඉඩම් ප්‍රමාණය කොපමණ ද යන්න පිළිබඳ ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව විසින් පවා මෙතෙක් හඳුනාගෙන නොතිබුණි. ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව විසින් රජයේ ඉඩම් කළමනාකරණ පද්ධතිය (ෑ-ිකසප) සඳහා ඉකුත් වසර දහයක කාලය තුළ රුපියල් දහනවකෝටි, තිස්ලක්ෂ, අසූහයදහස්, පන්සිය විස්සක මුදලක් (193,086,520) වැයකොට තිබුණි. එහෙත් පළාත්, දිස්ත්‍රික්ක හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් සමස්ත රජයේ ඉඩම් ප්‍රමාණය හා ඉන් බැහැර කර ඇති හෝ නොමැති ප්‍රමාණය නිශ්චිතව හඳුනාගෙන නොමැති බවට අනාවරණය වී ඇත.

රජයට අයත් ඉඩම් ප්‍රමාණයවත් දන්නේ නැහැ

රට කන්නට පෙර ඉඩම් කොල්ල කෑ දේශපාලකයෝ

ඉඩම් ලේඛන අනුව දැනට පවත්නා ඉඩම් ප්‍රමාණය කොපමණ ද යන්න හඳුනාගැනීම සඳහා ඉඩම් සම්බන්ධ තොරතුරු පවතින ආයතන සමග සම්බන්ධ වෙමින් මෙකී පද්ධතියේ කටයුතු ඉටුකිරීමට ක්‍රමවේදයක් සකස් කිරීමට කටයුතු කර නොතිබුණි. අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියකින් තොරව රජයේ ඉඩම් කළමනාකරණ පද්ධතිය 2016 වර්ෂයේ දී ජාතික සැලසුම් දෙපාර්තමේන්තුවේ අනුමැතිය සහිතව ආරම්භ කර තිබුණි. මෙකී පද්ධතියේ නඩත්තු සේවා කටයුතු සහ වැඩිදියුණු කිරීම සඳහා පුද්ගලික ආයතනයක් සමග වසර තුනක් සඳහා ගිවිසුම් ගතවී තිබුණි. එම ගිවිසුම අනුව වාර්ෂිකව රුපියල් හතළිස්නව ලක්ෂ පනස්දහස බැගින් (4,950,000) එම ආයතනයට ගෙවීම් කිරීමට ගිවිසුම් ගතවී තිබුණි. මෙකී ව්‍යාපෘති යෝජනාව අනුව මේ සඳහා වැයවන මුදල රුපියල් මිලියන 119.6ක් වූ අතර ව්‍යාපෘතිය වසර පහක් තුළ අවසන් කිරීමට නියමිතව තිබුණි. ගිවිසුම් කාලය 2022 වර්ෂයේ ජූලි මස 11 වැනි දින අවසන් වුවද ප්‍රසම්පාදන කමිටුවේ ආවරණ අනුමැතියට යටත්ව වර්ෂයක් සඳහා රුපියල් 4,950,000ක මුදලක් ගෙවා තිබුණි. මෙකී ව්‍යාපෘතියට ලබාදුන් ටැබ් පරිගණක සඳහා වූ මාසික ඩේටා ප්‍රමාණය සීමාකර නොතිබුණි. නියදී විගණන පරීක්ෂණයට අනුව ඉකුත් වර්ෂයේ මැයි හා ජුනි මාසවලදී මාසික ඩේටා ප්‍රමාණයට වඩා ඩේටා භාවිත කළ සිම්පත් කාඩ් පත් 60ක් විය. මේ සඳහා වැයකොට ඇති මුදල රුපියල් 827,331කි. ඉන් සිම්කාඩ්පත් අටක් වෙනුවෙන් රුපියල් 266,923ක මුදලක් වැයකොට තිබුණි.

කළුගල් කැණීම් කරන ව්‍යාපාරිකින් කෝටි 29ක් පොලු තියලා

ඒ විතරක් නොව, ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් ඉඩම්වල කළුගල් කැණීම් කටයුතු සිදුකරන ව්‍යාපාරිකයන් 65 දෙනකුගෙන් ඉඩම් පරිහරණ ගාස්තු වශයෙන් අයවිය යුතු රුපියල් විසිනවකෝටි, අසූතුන්ලක්ෂ, හැටදෙදහස් අටසියවිසිනවයක මුදලක් (298,362,829) අයකරගැනීමට කටයුතුකර නොතිබුණි. මින් කැණීම්කරුවන් 27 දෙනකුගෙන් අයකර ගතයුතු රුපියල් හයකෝටි, අනූහතරලක්ෂ, විසිතුන්දහස්, තුන්සියයක මුදලින් (69,423,300) කිසිදු මුදලක් අයකරගෙන නොතිබුණි. පසුගිය රජය කාලයේ එනම් 2020 වර්ෂයේ දී අමාත්‍ය මණ්ඩල තීරණයක් මගින් කළුගල් ව්‍යාපාරිකයන්ගෙන් අයවියයුතු හිඟ ඉඩම් පරිහරණ ගාස්තු මුදලින් සියයට 75ක් කපා හැරීමටත් ඉතිරිය වාරික 36කින් ගෙවීමටත් අවසර ලබාදී තිබුණි.

ලබාදුන් සහන කාලසීමාව 2023 වර්ෂයේ අවසන්ව තිබූ අතර එම සහනය අවභාවිත කරමින් කැණීම්කරුවන් 38 දෙනකු ගෙවීමට ඇති මුදලින් ඉතා සුළු මුදලක් පමණක් ගෙවීම්කර නැවත කැණීම් ආරම්භකොට තිබුණි. මෙකී කැණීම්කරුවන්ගෙන් අයකරගත යුතු මුදල රුපියල් විසිදෙකෝටි ,අසූනවලක්ෂ, තිස්නවදහස්, පන්සිය විසිනවයක.ි (228,939,529) ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් සී.එච්.එල් හා වලව කලාපවල පිහිටි ඉඩම්වල කළුගල් කැණීම් කටයුතු සිදුකර තිබුණි.

වලහන්දුව වතුයායේ ඉඩම් මංකොල්ලය

රජයේ ඉඩම් ජාවාරම පිළිබඳ සඳහන් කරනවිට වලහන්දුව වතුයාය තුළ ද පසුගිය කාලය තුළදී විශාල වශයෙන් ඉඩම් අවභාවිත වීම් සිදුවී තිබුණි. කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අක්මීමණ සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී මෙම තොරතුරු අනාවරණය වී තිබුණි. එකල වලහන්දුව වතුයාය තේ, රබර්, පොල්, හා වෙනත් භෝගවලින් යුතු සරුසාර වතු යායකි. මෙකී වතුයායට අයත්ව පැවැති ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර් 401කි. මේ වනවිට එම භූමි ප්‍රමාණයෙන් හෙක්ටයාර් 329.62ක් විවිධ අයුරින් බෙදා දී ඇත. වතු යායයෙන් ඉඩම් විකිණීම සඳහා හෙක්ටයාර් 1.62ක් ලබාදී ඇත. අනවසරයෙන් අල්ලාගෙන ඇති ප්‍රමාණය හෙක්ටයාර් 26.15කි.

රට කන්නට පෙර ඉඩම් කොල්ල කෑ දේශපාලකයෝ

වලහන්දුව වතුයායේ ඉඩම් විශාල ප්‍රමාණයක් අවභාවිත වෙලා තියෙනවා. වලහන්දුව වතුයායේ ඉඩම් දිගින් දිගටම අවභාවිතවීම සම්බන්ධව පාර්ලිමේන්තු විශේෂ උපදේශක කාරක සභාව වෙත යොමුකිරීමට කටයුතු කරලා වගකිවයුතු අංශ කැඳවලා විශේෂ පරීක්ෂණයක් කිරීමට කටයුතු කරනවා. වලහන්දුව වතුයායට අදාළව විශේෂ විමර්ශන කමිටුවක් පිහිටු වීමට කටයුතු කරනවා යැයි ධීවර හා ජලජසම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා පවසන්නේය.

රජයට අයත් කැලෑ ඉඩම් තුළ ද ඉඩම් අල්ලා ගැනීම විශාල වශයෙන් සිදුවේ.

මෙරට ඇතැම් වනාන්තර වන ජාවාරම්කරුවන්ගේ ක්ෂේමභූමි බවට පත්ව ඇත්තේය. රටේ වනාන්තර ආරක්ෂා කිරීමේ වගකීම පැවරී ඇත්තේ වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙතය. වනජාවාරම්කරුවන් පමණක් නොව, ඇතැම් පුද්ගලයන් ද රක්ෂිත වශයෙන් නම්කොට ඇති වනාන්තර අල්ලාගෙන නොයකුත් භෝග වගා කරති. වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පවතින විශාල වනාන්තර ප්‍රමාණයක් රක්ෂිත වනාන්තර ලෙස ගැසට් කර ප්‍රසිද්ධියට පත්කිරීම දිගින් දිගට ම ප්‍රමාද කිරීමට වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් කටයුතු කර ඇත. මේ හේතුවෙන් රක්ෂිත වනාන්තර ආශ්‍රිතව අනවසර ඉඩම් අල්ලා ගැනීම් දිගින් දිගට ම සිදුවේ.

ඒ විතරක් නොව, ඇතැම් වනාන්තර රක්ෂිතභාවයෙන් නිදහස් කිරීමට සිදුවී තිබීමෙන් පවතින ස්වභාවික වනගහන ප්‍රතිශතය ක්‍රමයෙන් පහළ යමින් පවතී. මේ නිසා සිදුවන්නේ තිරසර සංවර්ධන අරමුණු කෙරෙහි අහිතකර බලපෑම් ඇතිවීම උදාහරණයක් වශයෙන් ගතහොත් මොනරාගල දිස්ත්‍රික්කය තුළ 2021 වර්ෂයෙන් පසු රක්ෂිත වනාන්තර ගැසට් කර නොතිබුණි. හෙක්ටයාර් 25,892ක වනාන්තර 147ක් එසේ රක්ෂිත වනාන්තර ලෙස ගැසට්කර නොතිබුණි. අම්පාර දිස්ත්‍රික්කය තුළ 2019 වර්ෂයෙන් පසු ගැසට්කර නොතිබූ වනාන්තර සංඛ්‍යාව 64කි. හෙක්ටයාර් ප්‍රමාණය 22,657.78කි. මෙසේ රක්ෂිත වනාන්තර ගැසට් නොකිරීම වනාන්තර තුළ අනවසරයෙන් ඉඩම් අත්පත්කරගැනීම සඳහා බලාසිටින ජාවාරම්කරුවන්ට හිමිවී ඇත්තේ කදිම අවස්ථාවකි. වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙහිදී සිදුකොට ඇත්තේ වනඅපරාධකරුවන්ට ඉණිමං බැඳීමක් වැනි ක්‍රියාවකි.

හෙක්ටයාර් 25,892ක වනාන්තර 147ක් රක්ෂිත වනාන්තර ලෙස ගැසට්කර නැහැ

උදාහරණයක් වශයෙන් ගතහොත් ගෝමරන්කඩවල අඩවි වන කාර්යාල බලප්‍රදේශය තුළ පිහිටා ඇති යාං ඔය ආශ්‍රිත පලෙයි ඉරක්කම් වැලිමංකඩ පිහිටි ස්ථානය පාරිසරික වශයෙන් ඉතා ඉහළ වටිනාකමකින් යුතු භූමි ප්‍රදේශකි. සංවේදී පරිසරයක් ලෙස මෙම භූමි ප්‍රදේශය හඳුනාගෙන ඇත. එම නිසා මෙකී භූමි ප්‍රදේශය සංරක්ෂිත වනාන්තරයක් ලෙස ආරක්ෂා කළ යුතුය. එහෙත් මෙකී වනාන්තරය වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ රක්ෂිත වනයක් ලෙස පාලනය නොවේ. එම නිසා ප්‍රාදේශීය ලේකම්වරයාගේ නිර්දේශ මත වැලිගොඩ දැමීම සඳහා බලපත්‍ර නිකුත්කිරීමතුළින් පාරිසරික වශයෙන් විශාල හානියක් සිදුවී තිබුණි.

කැබලිත්ත රක්ෂිතයේ ඉඩම්වල ද දිගු කාලයක සිට අනවසරයෙන් වගාකිරීම් සිදුවේ. මේ නිසා අක්කර 25,000කට ආසන්න ප්‍රමාණයක් දෙපාර්තමේන්තුවේ පරිපාලනයෙන් බැහැර කිරීමට සිදුවී තිබුණි. මායිම් කණු සිටුවා දෙපාර්තමේන්තුවට අයත් වනාන්තර ප්‍රමාණය වෙන්කර නොගැනීම, නිලධාරීන්ගේ හිඟකම, නිලධාරීන් සඳහා පවතින යටිතල පහසුකම් අවම වීම, වැනි කරුණු හේතුවෙන් කැබිලිත්ත වනය සුරැකීමට දෙපාර්තමේන්තුවට අසිරු කාර්යයක් වී තිබුණි.

කොට්ටව කොඹල සංරක්ෂිත වනාන්තරය ද ජවාරම්කරුවන්ගේ ග්‍රහණයට නතු වී ඇති වනාන්තරයකි. මෙකී වනාන්තරයේ ඉඩම් අල්ලා ගැනීම පිළිබඳ පසුගිය කාලයේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව තිබුණි. කොට්ටව කොඹල සංරක්ෂිත වනාන්තරයේ අක්කර පනහකට ආසන්න භූමි ප්‍රමාණයක වනවිනාශයක් පසුගිය කාලය තුළ සිදුවී තිබුණි. මේ පිළිබඳ කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා කීවේ මෙවැනි කථාවකි.

වන ජවාරම්කරුවන් සහ වනය විනාශ කරන පුද්ගලයන් සමග කිසිදු ගනුදෙනුවක් තම රජය නොමැති බවත් මෙම වනය 2011 වර්ෂයේ දී ගැසට් කිරීමේ දී එම ප්‍රදේශවල පදිංචිව සිටි පුද්ගලයන්ට යම්කිසි සාධාරණත්වයක් ඉටුවිය යුතුයි. කොට්ටව කොඹළ රක්ෂිතයේ වනහරණය වූ ප්‍රදේශය වනාන්තර ලෙස නැවත සංවර්ධනය කිරීමට කටයුතු කරනවා. අපේ රජය පරිසරයට ආදරය කරන රජයක් පසුගිය කාලය තුළ වනවිනාශය ජීවිකාව කරගෙන ගිය කණ්ඩයාම්වලට මේවා කරනවිට හිත රිදෙනවා ඇති. අපිට බොරු චෝදනා එල්ල කරමින් මඩ ගහනවා. අපි විශ්වාස කරන්නේ ජනතාව. මෙතරම් භූමි ප්‍රමාණයක් වනහරණයට ලක්වෙනකම් වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කුමක්ද කරලා තියෙන්නේ. නිලධාරීන්ට ඇහැකන පියාගෙන ඉන්න වුණේ හිටපු දේශපාලනඥයන්ගේ බලපෑම් නිසාද කියා සොයාබැලිය යුතුයි.

ඉඩම් ජාවාරම්කරුවන් සමග රජයේ කිසිදු ගනුදෙනුවක් නැහැ

වනය තුළ සිදුකොට ඇති නීති විරෝධී වගාවන්, ඉඩම් අල්ලාගෙන ඇති ප්‍රමාණය, පිළිබඳ කිසිදු නිශ්චිත දත්ත ප්‍රමාණයක් නැහැ. 2011 වර්ෂයේ දී තමයි කොට්ටව – කොඹළ රක්ෂිතය ගැසට් කරන්නේ මෙම ගැසට් කිරීමට කලින් මේ ප්‍රදේශවල ජනතාව සිටියාද නැද්ද කියලා නොසලකා තමයි මෙම කටයුත්ත කරලා තියෙන්නේ. දැනට ඉඩම් සඳහා බලපත්‍ර තියෙන පිරිසක් ඉන්නවා ඒ සඳහා ඔප්පු ලබාදෙන්න කියලා අපෙන් ඉල්ලුම් කළා. මෙම රක්ෂිතය ගැසට් කිරීමේදී පැවති ආණ්ඩුවලට වගකීමක් තිබුණා යම් ජනතාවක් අනවසරයෙන් හෝ බලපත්‍රයක් සහිතව එම ප්‍රදේශයේ ජීවත් වෙනවාද කියා සොයන්න. ජනතාව කැළයක් ඇතුළට දමලා ගැසට් කරන්න ජනතාව වනසතුන් නෙමෙයිනේ. එම ප්‍රදේශය තුළ නම් එම ජනතාව ජීවත්වුණේ වනය ගැසට් කිරීමේදී එම ජනතාවට සාධාරණයක් ඉෂ්ට කරලා කටයුතු කළා නම් ගැටලුවක් ඇතිවෙන්නේ නැහැ. ඔප්පු ලබාදෙනවා භයවෙන්න එපා කියලා ජනතාව රවට්ටමින් හිටපු දේශපාලනඥයන් කටයුතු කරලා තියෙනවා.

මේ කණ්ඩායම ඒ නිසා තමයි අපෙන් ද ඉල්ලීමක් කළේ මේ පිළිබඳ ආණ්ඩුව සතුව නිශ්චිත දත්ත පද්ධතියක් තිබුණේ නැහැ. ගූගල් සිතියම්වල හා 2011ට පෙර මෙම කණ්ඩායම මෙහි පදිංචිවෙලා කියා තහවුරුවෙලා තියෙනවානම් ඉඩම් තියෙනවා කියලා සාක්ෂි තියෙනවානම් යම් මැදිහත්වීමක් කරන්න අපිට පුළුවන්. මෙම වනය සංරක්ෂිතයක් විදියට ගැසැට් කිරීමට කලින් මෙහි පදිංචි හිටපු කණ්ඩායම්වල ජීවිතවලට යම් අවදානමක් තියෙනවාද කියා අපි සොයාබැලුවා. මේ ගැන සොයා බැලීමකින් තොරව මාව ඉලක්ක කරගෙන දේශපාලන ප්‍රහාරයක් එල්ල කරනවා යැයිද මන්ත්‍රීවරයා කීවේය.

ලලිත් චාමින්ද


advertistmentadvertistment