රට කරවන මැතිඳුනි… ආබාධිතයන්ට තැනත් දෙන්න

168

අදට යෙදී ඇති ජාත්‍යන්තර ආබාධිතයන්ගේ දිනය නිමිත්තෙනි

සංඛ්‍යා ලේඛනවලට අනුව ශ‍්‍රී ලාංකික ජනගහනයෙන් සියයට දහයක් පමණ යම් ආකාරයක ආබාධයකින් පෙළෙන බව පෙනී ගොස් ඇත. 2021 වසර වන විට, මෙරට ජනගහනය මිලියන 21.6 ක් පමණ වේ. ඒ අනුව මිලියන දෙකක පමණ පිරිසක් කිසියම් ආබාධයක් සමඟ ජීවත් වේ. මෙවැනි ආබාධ, කායික සහ මානසික ආබාධ වශයෙන් ප‍්‍රධාන කාණ්ඩ දෙකකට බෙදීමට හැක. වර්තමානයේ, කායික ආබාධවලට ප‍්‍රධානම හේතුව මෝටර් රථ අනතුරු නිසා සිරුරට වන හානි වීමයි. මෙම තත්ත්වය සෑම වසරක් පාසාම ක‍්‍රමයෙන් ඉහළ යන බව නිරීක්ෂණය වේ. අනෙක් අතට අපේ රට පසුගිය දශක දෙකහමාරක් තිස්සේ සිවිල් යුද්ධයකට මුහුණ දී සිටි අතර එමඟින් විශාල පිරිසක් ආබාධිත තත්ත්වයට පත්ව ඇත. ශ‍්‍රී ලංකාවේ ද වයස්ගත ජනගහනයක් සිටී. 2030 වර්ෂයේදී ජනගහනයෙන් 20%ක් පමණ වයස අවුරුදු 60ට වැඩි අය වනු ඇතැයි ගණන් බලා ඇත. මෙයින් අදහස් කරන්නේ සෑම පස් දෙනකුගෙන්ම එක් අයෙකු ජ්‍යෙෂ්ඨ පුරවැසියෙකු වනු ඇති බවයි. ආබාධිතභාවය වැඩිහිටියන් අතර පොදු සංසිද්ධියකි. ඒ නිසා රට තුළ ආබාධ සහිත පුද්ගලයන් සංඛ්‍යාව ඉහළ යමින් පවතී.

ආබාධ සහිත පුද්ගලයන්ට ඔවුන් ජීවත්වන සමාජයේ ප‍්‍රජා ක‍්‍රියාකාරකම් සඳහා ඔවුන්ගේ ක‍්‍රියාකාරී සහභාගිත්වය සහතික කිරීම සඳහා ප‍්‍රවේශය වැදගත් අවශ්‍යතාවකි. ප‍්‍රවේශ්‍යතාව ලබා දීමෙන් ආබාධ සහිත පුද්ගලයන්ගේ ස්වාධීනත්වය, ආරක්ෂාව සහ අභිමානය සහතික කළ හැක. ආබාධ සහිත පුද්ගලයන්ට පොදු ගොඩනැඟිලිවලට ප‍්‍රවේශ විය හැකි නම්, සමාජීය හා ආර්ථික වශයෙන් දායක විය හැකි ක‍්‍රියාකාරකම්වලට සහභාගි වීමට ඔවුන්ට අවස්ථාව ලැබේ. ප‍්‍රවේශ විය හැකි පරිසරයක් නිර්මාණය කිරීම රෝද පුටු භාවිත කරන්නන්ට පමණක් නොව අනෙකුත් ආබාධ සහිත පුද්ගලයන්ට මෙන්ම වැඩිහිටි පුරවැසියන්ට, ගර්භනී කාන්තාවන්ට සහ ළදරුවන් සිටින මවුවරුන්ට ප‍්‍රයෝජනවත් වේ.

ගොඩනඟන ලද පරිසරයට ප‍්‍රවේශ වීම අද ගෝලීය ගැටලූවක් බවට පත්ව ඇත. ප‍්‍රවේශ්‍යතා බාධක ජය ගැනීම සඳහා රටවල් විවිධ ක‍්‍රියාකාරී වැඩසටහන් හඳුන්වා දී ඇත. 1990 දී, ආබාධ සහිත පුද්ගලයන් සඳහා ඇමරිකානුවන්ගේ පනත (Americans with disability Act) එක්සත් ජනපද කොංග‍්‍රසය විසින් සම්මත කරන ලදී. මෙම පනත මගින් ආබාධිතභාවය නිර්වචනය කරයි. එමෙන්ම ආබාධ සහිත ප‍්‍රජාවට වෙනස්කොට සැලකීම ප‍්‍රතික්ෂේප කරයි. ආබාධ සහිත පුද්ගලයන් සඳහා ඇමරිකානුවන්ගේ පනත හි ප‍්‍රවේශ්‍යතා මාර්ගෝපදේශ (Accessibility guidelines), 1992 වසරේ දී සම්මත කරන ලදී. එක්සත් ජනපද ප‍්‍රවේශ පහසුකම් සැලසීමේ මාර්ගෝපදේශ පදනම් කරගනිමින් බොහෝ රටවල තමන්ගෙ මාර්ගෝපදේශයන් නිර්මාණය කර ඇත. මෙම මාර්ගෝපදේශ පදනම් කරගනිමින් ලොව පුරා විවිධ රටවල ප‍්‍රවේශවීම පිළිබඳව පර්යේෂණාත්මක අධ්‍යයනයක් සිදු කොට ඇත. ඉහත සියලූ අධ්‍යයනයන්හි පොදු සොයාගැනීම් වූයේ ප‍්‍රවේශ්‍යතාව මැනීමේ මාර්ගෝපදේශයන්ට බොහෝ ගොඩනැගිලි 100% අනුකූල නොවීමයි.

ශ‍්‍රී ලංකාවේ, පොදු ගොඩනැගිලි සඳහා රෝද පුටු ප‍්‍රවේශවීමේ අවශ්‍යතාව වෘත්තීයවේදීන් මෙන්ම රෝදපුටු භාවිත කරන්නන් විසින් ඔවුන්ගේම සංවිධාන හරහා මහජනතාව අතරට ගෙන එන ලදී. ආබාධ සහිත පුද්ගලයන් ප‍්‍රධාන ධාරාවේ සංවර්ධන කටයුතුවලට ඇතුළත් කර ගැනීම ප‍්‍රවර්ධනය කිරීම සඳහා ‘ආබාධ සහිත පුද්ගල ඒකාබද්ධ පෙරමුණ’ (DOJF) සහ තවත් සමහර රාජ්‍ය නොවන සංවිධාන දීප ව්‍යාප්ත ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් දියත් කරන ලදී. මෙවැනි වැඩසටහන් මහජනතාවගේ මෙන්ම රජයේ අවධානයට ලක්විය. ශ‍්‍රී ලංකාවේ සමාජ සේවා අමාත්‍යාංශය ප‍්‍රවේශ්‍යතාව පිළිබඳ මාර්ගෝපදේශයක් කෙටුම්පත් කරන ලද අතර ”පරිසරය ගොඩනැගීමට ප‍්‍රවේශවීම ප‍්‍රවර්ධනය කිරීම” නම් මාර්ගෝපදේශ පොත 1998 දී ප‍්‍රකාශයට පත් කරන ලදී. එතැන් පටන් රෝද පුටු ප‍්‍රවේශය ප‍්‍රවර්ධනය කිරීම සඳහා රජය සහ රාජ්‍ය නොවන සංවිධාන විසින් ක‍්‍රියාකාරකම් රාශියක් සිදු කරන ලදී. 2006 දී රජයේ රෝහල් හතරක් ඇතුළුව රජයේ ගොඩනැගිලි නවයකට ප‍්‍රවේශ විය හැකි විය. 2005 නොවැම්බර් 14 වැනි දින රජයේ ගැසට් පත‍්‍රයේ නියාමනය ප‍්‍රකාශයට පත් කිරීමෙන් පසු ප‍්‍රවේශ්‍යතාව දැන් නීතිමය අවශ්‍යතාවකි. අද, ‘‘පොදු ගොඩනැගිලි, පොදු අවකාශයන් සහ පොදු සේවාවන්” ඉදිකිරීමේදී භෞතික ප‍්‍රවේශ්‍යතාව අනිවාර්ය නීතිමය අවශ්‍යතාවකි. ශ‍්‍රී ලංකා රජය 2007 වසර ‘ප‍්‍රවේශවීමේ වසර’ ලෙසද ප‍්‍රකාශයට පත් කිරීමෙන් මෙහි ඇති වැදගත්කම තහවුරු වේ.

ශ‍්‍රී ලංකාවේ විවිධ පර්යේෂකයන් රෝද පුටු වලින් ගොඩනැ`ගිලිවලට ප‍්‍රවේශ වීම අධ්‍යයනය කොට අධ්‍යයන වාර්තා එළිදක්වා ඇත. මෙම වාර්තා සමාලෝචනය කිරීමේදී පෙනී යන්නේ රෝද පුටු වලින් ගොඩනැගිලිවලට ප‍්‍රවේශවීම ශ‍්‍රී ලංකාවේ නීතිමය අවශ්‍යතාවක්ව තිබියදීත් පොදු ගොඩනැගිලිවල වාස්තුවිද්‍යාත්මක බාධක තවමත් පවතින බවයි. ප‍්‍රවේශ පහසුකම් සැලසීමේදී වඩාත්ම ප‍්‍රවේශ පහසුකම් ඇති ගොඩනැගිලි වන්නේ සෞඛ්‍ය සේවා පහසුකම් සපයන ස්ථානයි. රෝද පුටු භාවිත කරන්නන්ට අනිවාර්යයෙන් යා යුතු සෞඛ්‍ය සේවා පහසුකම් සපයන ස්ථානවලට යෑමට එය උපකාර වුවද, අනෙකුත් ගොඩනැගිලි සහ පොදු ස්ථානවල ඇති දුෂ්කරතාවන් නිසා රෝදපුටු භාවිත කරන්නන් සමාජ ක‍්‍රියාකාරකම්වලට සහභාගි වීමෙන් වැළකී සිටී. එය ඔවුන්ගේ ජීවිතය සම්පූර්ණයෙන් ගත කිරීමට බාධාවකි.

ශ‍්‍රී ලංකාවේ පොදු ස්ථාන සහ ගොඩනැගිලි වලට රෝද පුටු ප‍්‍රවේශ්‍යතාව අනිවාර්ය අවශ්‍යතාවක් වුවද, ක‍්‍රියාත්මක කිරීම තවමත් හොඳින් අධීක්ෂණය හා මඟ පෙන්වීමක් සිදු නොවේ. මේ නිසා රෝද පුටු භාවිත කරන්නන්ට පොදු ගොඩනැගිලි භාවිත කිරීමේදී විශාල දුෂ්කරතාවලට මුහුණ දීමට සිදුවේ. ආබාධ සහිත පුද්ගලයන් තම මෝටර් රථය පදවා ගෙන යෑමේදී වාහන නැවැත්වීම සඳහා වෙන් කොට තැබිය යුතු ස්ථාන සකස් කර නොතිබීම නිසා අපහසුතාවට පත් වේ. මෙයට හේතු විය හැක්කේ බොහෝ ශ‍්‍රී ලාංකික ආබාධ සහිත පුද්ගලයන් බොහෝ විට රිය පැදවීම නොකිරීමයි. කෙසේ වෙතත්, ආබාධ සහිත පුද්ගලයන් බොහෝ දෙනෙක් තම පෞද්ගලික වාහන සහ කුලී රථ වල පවා ගමන් කරති. මෙම පුද්ගලයන්ට වාහන නැවැත්වීමේදී ඔවුන්ට ස්ථානයක් නොමැති බැවින් විශාල දුෂ්කරතා වලට මුහුණ දිය හැකිය.

ප‍්‍රවේශ වීම පිළිබඳව කළ අධ්‍යනයන්ට අනුව වාහන නැවැත්වීමට මාර්ගෝපදේශක වලට අනුකූලව ස්ථානයක් සකස් කර තැබීම ඉතාම පහළ අගයක් ගනී. ඊට හේතුව අදාළ බලධාරීන්ගේ අධීක්ෂණය නොමැතිකම සහ ගොඩනැගිලි හිමියන්ගේ නොසැලකිල්ලයි. එසේ වුවද බොහෝ ගොඩනැගිලිවල එම ගොඩනැගිල්ලට ඇතුළුවන දොරටුව රෝද පුටු භාවිත කරන්නන්ට පහසුවෙන් ඇතුල්විය හැකි පළලට සකස් කර තිබේ. එම නිසා ආබාධ සහිත පුද්ගලයන් හට තම වාහනය නැවැත්වීමට ප‍්‍රධාන ඇතුළු වන ස්ථානයට ආසන්නව ඉඩ වෙන් කිරීමෙන් ඔවුනට පහසුවෙන් එම ගොඩනැගිල්ලේ පිහිටි ආයතනයෙන් සපයන සේවාවන් ලබාගත හැක. ආබාධ සහිත පුද්ගලයන් හට වැසිකිළි පහසුකම් ලබාදීමට ගොඩනැගිලි හිමියා අදාළ බලධාරීන් දිරිමත් කළ යුතුයි. පටු දොර, පටු මාර්ග, රෝද පුටු දෙකක් හුවමාරු කිරීම සඳහා ප‍්‍රමාණවත් නොවන පටු ඉඩ, අල්ලා ගැනීමට අත් ආධාරක නොමැතිවීම, රෝද පුටු ළඟා විය නොහැකි තුවා-අත් වියළන යන්ත‍්‍ර සහ ආබාධ සහිත පුද්ගලයන් හට නම් කර, වෙන් කරන ලද වැසිකිළි ඉදි කර නොතිබීම ප‍්‍රධාන බාධාවන් වේ. අතීතයේ මෙන් නොව, උසස් තාක්ෂණය සහ විශ්වීය සැලසුම් (Universal Designs) යොදා නිෂ්පාදනය කර ඇති විදුලි සෝපාන ආබාධ සහිත පුද්ගලයන්ට භාවිත කිරීම සඳහා නිසි ප‍්‍රමිතියකින් සකස් කොට ඇත. මෙම අධ්‍යනයන්ට අනුව, පෞද්ගලික හෝ රජය සතු ගොඩනැගිලිවලට සපයා ඇති ප‍්‍රවේශ පහසුකම් මාර්ගෝපදේශවලට සම්පූර්ණ අනුකූලතාව නොදක්වන අතර මෙම අංශ දෙකෙහි ප‍්‍රවේශ පහසුකම් සැපයීමේ තත්ත්වය සමාන බවක් පෙන්වයි. මෙයින් පෙන්නුම් කරන්නේ ප‍්‍රවේශ්‍යතාවට අනුකූල වීම අංශ දෙකෙහිම සමාන වූ අතර ප‍්‍රවේශ්‍යතාවයේ තවදුරටත් වැඩිදියුණු කිරීම් අවශ්‍යතාවයි.

මෙම අධ්‍යනයන්ට අනුව, 1998 දී ප‍්‍රකාශයට පත් කරන ලද ප‍්‍රවේශ්‍යතා මාර්ගෝපදේශයෙන් පසුව ශ‍්‍රී ලංකාවේ පොදු ගොඩනැගිලි සඳහා රෝද පුටු ප‍්‍රවේශ්‍යතා ක්ෂේත‍්‍රයේ බොහෝ දේ ඉටු කර ඇති බව පෙන්වා දෙයි. එසේ වුවද බහුතරයක් ගොඩනැගිලිවල ප‍්‍රවේශ්‍යතාව තවදුරටත් වැඩිදියුණු කළ හැකිය. ඵලදායි ලෙස ප‍්‍රවේශවීම ක‍්‍රියාත්මක කිරීම සඳහා රෝද පුටු ප‍්‍රවේශ්‍යතාවට අනුකූල වීම නිරීක්ෂණය කළ යුතු බව ද පෙනී යයි. මෙම ක‍්‍රියාවලිය සාක්ෂාත් කරගනු ලැබිය හැක්කේ රෝද පුටු භාවිත කරන්නන් සහ වෘත්තීය චිකිත්සකයන් වැනි අදාළ සෞඛ්‍ය වෘත්තිකයන්, ඉංජිනේරුවන් සහ ගෘහ නිර්මාණ ශිල්පීන් වැනි වෘත්තිකයන් සමඟ සම්බන්ධ වීමෙනි.

ආචාර්ය නන්දන වෙලගෙ
ජ්‍යෙෂ්ඨ වෘත්තීය චිකිත්සක භෞත චිකිත්සක හා
වෘත්තීය චිකිත්සක විදුහල කොළඹ

advertistmentadvertistment
advertistmentadvertistment