රට ගිය දොස්තර නෝනාගේ ගේ හොර ලේඛන හදා කුලියට දීලා

4403

කොළඹ ඇතුළු අවට ප්‍රදේශවල වටිනා නිවාස වසාදමා විදෙස්ගත වන පිරිස්වල නිවාසවලට ව්‍යාජ ලේඛන සකසා විකිණීම හෝ කුලී පදනමට ලබාදීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බවට තොරතුරු අනාවරණය වී තිබේ.

බොරැල්ල ඇල්විටිගල මාවතේ මහල් නිවාසයක පදිංචි රසාංජලී රත්නායක නමැති වෛද්‍යවරියක් ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න්වල රැකියාව සඳහා පිටවගොස් නැවත නිවසට පැමිණීමේදී නිවසේ දොරගුළු කඩා වෙනත් යුවළකට පදිංචියට දී ඇති බවට බොරැල්ල පොලිසියට කළ පැමිණිල්ලක් අනුව කළ පරීක්ෂණ ඔස්සේ මෙම ජාවාරම හෙළි වී ඇත.

සිය නිවස අහිමිවීම සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර අනතුරුව ‘දිවයින’ කාර්යාලයටද පැමිණ ඇය මෙසේ පැවැසුවාය.

මම ඕස්fටි්‍රලියාවේ මෙල්බර්න්වල සේවය කරනවා. මම 2023 වර්ෂයේ මුල පැමිණ ඇල්විටිගල නිවසේ සිට ඕස්ට්‍රේලියාවට ගියා. නැවත මම 2024 මාර්තු 18 ලංකාවට ඇවිත් නෑදෑ ගෙදරක ඉදල මාර්තු 17 වැනිදා ඇල්විටිගල නිවසට ගියා. මම මගේ ගෙදරට යනවිට කාන්තාවක් මගේ නිවසේ පදිංචිව සිටියා. මම ඇයගෙන් විමසුවාම බංග්ලාදේශ කාන්තාවක් බව හඳුනාගෙන තවදුරටත් විමසීමේදී මගේ නිවස කුලියට ගත්ත කියලා ලියකියවිලි වගයක් පෙන්නුවා. ඇයගේ සැමියා මෙරට බංග්ලාදේශ තානාපති කාර්යාලයේ සේවය කරන බවත් කිව්වා. ඇය මට නිවස කුලියට ගත් ලියකියවිලි කිහිපයක් ඉදිරිපත් කළා. මගේ නිවස රුපියල් පන්ලක්ෂ හාරදහසකට ගත් බව එහි සටහන්ව තිබුණා. එම ලියකියවිලි ව්‍යාජ ඒවා බවට පෙනී ගියා.

අනතුරුව මම බොරැල්ල පොලිසියට පැමිණිලි කර පොලිස්පති සහන මැදිරියටත් දැනුම්දීමක් කළා. මේක මට වෙච්ච ලොකු අසාධාරණයක්. මට දැන් මගේ නිවස නැති නිසා නැදෑ ගෙවල්වල කාලය ගත කරන්න සිදුවෙලා තියෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල වැඩබලන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සංජීව සිල්වා මහතාගෙන් කළ විමසීමේදී ඔහු කියා සිටියේ මෙම සිද්ධියට සම්බන්ධ බව කියන රුවන් ද සොයිසා නමැත්තා නීතිඥයකු මාර්ගයෙන් ඊයේ (17දා) පොලිසියට භාරවී සිටින බවත් ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත්ය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment