රට ගිය බිරිඳ ගෙන්න ගන්න පියා දරුවන්ට අමානුෂික ලෙස පහර දීලා

399

අකුරැස්ස, ප්‍රදේශයේ නිවසක තම දරුවන් සිව්දෙනාට පහර දුන් දරුවන්ගේ පියා අකුරැස්ස පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගැනිණ.

රාත්‍රී 8.00ට පමණ 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුණ දුරකතන පණිවුඩය අනුව අකුරැස්ස පොලිස් නිලධාරීන් විසින් පහර කෑමට ලක්ව සිටි දරුවන්ගේ පියා අත්අඩංගුවට ගෙන දරුවන් සිව්දෙනා ද පොලිස් භාරයට ගැනිණ.

අකුරැස්ස පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුදත් සුදුසිංහ මහතාගේ උපදෙස් මත ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි කාන්තා පොලිස් පරීක්ෂිකා නෙරංජලා වෙළගෙදර විසින් විමර්ශන කටයුතු ආරම්භ කළාය. අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩී.ජී. ධර්මවර්ධන, උප පොලිස් පරීක්ෂක ලලිත් නූපේහේවා යන නිලධාරීහූ විමර්ශන කටයුතුවලට සහාය වූහ.

මෙම දරුවන්ගේ මව මෙයට මාස දෙකකට පමණ ඉහත දී විදේශ රැකියාවකට ගොස් ඇති අතර බිරිඳ නැවත ලංකාවට ගෙන්වා ගැනීම සඳහා, දරුවන් සිව්දෙනාට අමානුෂික ලෙස පහර දෙමින් එය වීඩියෝගත කර බිරිඳට යවා ඇතැයි මූලික පොලිස් පරීක්ෂණවල දී අනාවරණය කරගෙන ඇත. ලංකාවට පැමිණ තමන්ව බේරාගන්නා ලෙස දරුවන් ලවා කියවමින් වීඩියෝගත කර තිබුණි.

මෙම දරුවන් සිව්දෙනා සැකකාර පියාගේ දෙවන විවාහයේ දරුවන් වන අතර පළමු විවාහයේ බිරිඳ ද විදේශ ගතව සිටී. ඇයට දාව ද දරුවන් දෙදෙනකු සිටින බව අනාවරණය විය.

පොලිස් සැරයන් (19756) සුගතදාස ,(56035) කරුණාතිලක , (52601) උපුල් , (39734) නයනජිත් , (40681) සමන්, කාන්තා පොලිස් කොස්තාපල් (9998) හෂිනි යන නිලධාරීහූ ඇතුළු කාන්තා පොලිස් නිලධාරිනියන් විසින් දරුවන්ට ආහාර සහ ඇඳුම් පැලඳුම් ලබාදී පොලිස් ස්ථානයේ රඳවා ගෙන පසුදින අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කළහ.

දරුවන්ගේ භාරකාරත්වය ලබාගැනීමට පිය පාර්ශ්වයේ හෝ මව් පාර්ශ්වයේ කිසිදු ඥාතියකු ඉදිරිපත් නොවූයෙන් මාතර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත පියා සහ දරුවන් සිව්දෙනා ඉදිරිපත් කරන ලදුව දරුවන් සිව්දෙනා පරිවාස නිලධාරී වාර්තා අනුව ගාල්ල ප්‍රදේශයේ පිහිටි ළමා නිවාසයකට භාර කෙරිණ.

පහරදුන් බවට සැක කෙරෙන දරුවන්ගේ පියා ශරීර ඇප මත මුදාහරිමින් නඩුව අද (03 වැනි දින) කැඳවීමට නියෝග කෙරිණ.

සමන් උපුල් පිනිදිය


advertistmentadvertistment