නව වසරේ හිස තෙල් ගෑමේ මංගල්‍යය ඊයේ (16 දා) කොළොන්නාව පුරාණ රජමහා විහාරයේදී අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරියගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.
ආශිර්වාද සෙත් පිරිත් සජ්ඣායනයෙන් අනතුරුව පූර්ව භාග 9.04ට යෙදුණු සුබ නැකැතින් විහාරාධිපති පූජ්‍යපාද කොළොන්නාවේ ධම්මික ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් හිසතෙල් ගෑමේ චාරිත්‍රය ඉටු කෙරිණි.
මෙහිදී පැමිණ සිටි ජනතාවට නව අවුරුදු සුබ පැතුම් එක්කළ අගමැතිවරිය,
”සිංහල දෙමළ අලුත් අවුරුද්ද කියන්නෙ අපේ රටේ තියෙන වැදගත්ම උත්සවයක්. අපේ සිරිත් විරිත් හා ඥාතීන් මතක් කරගෙන අපේ පවුල මූලික කරගෙන සමරන උත්සවයක්.
මේ උත්සවය තුළින් තමයි අපේ එකමුතුකම, ආදරය, බැඳීම මේ සියල්ලම අලුත් කරගන්නේ. මේව රටකට අවශ්‍යයි. රටක සංවර්ධනය කියන්නේ එක පැත්තකින් විතරක් නෙමෙයි. සැබෑ සංවර්ධනයේදී අපේ ආධ්‍යාත්මය, සම්බන්ධතා සහ බැඳීම් මේ සියල්ලම වැදගත්. මෙවැනි උත්සවවල මෙවැනි සිරිත් විරිත් අපි අනුගමනය කරන්නේ ඒවා අපිට සිහි කරන්න. ඒවායේ වැදගත්කම ඊළඟ පරපුරට කියල දෙන්න.
ඒ නිසා මේක හරිම වැදගත් දවසක්. මේ සතියම අපි එකතුවෙලා විවිධ දේවල් කළා. ඊළඟට අපි රැකියා සඳහා යන්නත් පටන් ගන්න ඕනේ. මේ රට ගොඩනඟන්න අපි සියලු දෙනා එකතු වෙලා වැඩකරන්නත් පටන් ගන්න ඕනේ.
උදා වූ නව වසර ඉතාමත්ම සෞභාග්‍යමත්, සාමකාමී සියලු දෙනාට සතුට ලැබෙන, සියලු දෙනාගේ බැඳීම් තහවුරු වෙන, සියලු දෙනාට ආරක්ෂිත නව වසරක් වේවා කියා ප්‍රාර්ථනා කරනවා” යැයි අගමැතිවරිය පැවසුවාය.
මෙම අවස්ථාවට මහා සංඝරත්නය වැඩම කළ සිටි අතර තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර, කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් ප්‍රියනාත් පෙරේරා, නාගරික ලේකම් නෙළුම් කුමාරි ගමගේ යන මහත්ම මහත්මීන් ඇතුළු ප්‍රදේශයේ ජනතාව එක්ව සිටියහ.