රට ගොඩනඟන පෙරලිකාර වෙනස SYSTEM CHANGE

330

දශක හතක අඳුර මකා සොඳුරු බව රැක ගන්නට නොමඟ යන රට නිවැරදි පීල්ල මත තබන්නට මතු පරපුර වෙනුවෙන් ණය සහ බය නැති අපේම රටක් ඉතිරි කර ගන්නට පවතින මේ වැරදි දේශපාලන ක්‍රමවේදයේ සැබෑ වෙනසක් සිදුවිය යුතුය යන්න අද ප්‍රමුඛතාවය හිමිව තිබෙන සමාජ කතිකාවතයි. යථාර්ථය ද එයමයි.

ඒත් එය කෙසේ සිදුවිය යුතු ද, අපට වැරදුණේ කොතැනද, ඒ සඳහා කළ යුතු සැබෑ වෙනස කෙබඳුද, අරමුණ සහ ඉලක්කය කුමක්ද, පළමුව සහ පිළිවෙළින් ජය ගත යුතු වන අභියෝග මොනවාද, ඒ සඳහා අනායාසයෙන් අප්‍රමාදව සහ සමීපතමව ගත යුතු සරලම තීන්දු තීරණ මොනවාද, ව්‍යුහාත්මකව සිදුකළ යුතු වන සංශෝධන මොනවාද, ශක්තිමත් කළ යුතු වන්නේ කෙබඳු පදනමක් ද, පිහිටා සිටිය යුතු වන මූලික යහපත් ප්‍රතිපත්තිය කුමක්ද, කෙටියෙන් සඳහන් කරනවා නම් ඒ සඳහා අදාළ වන දේශපාලන න්‍යාය පත්‍රය කුමක්ද, ඒ සැබෑ දේශපාලනය අප හඳුනාගෙන තිබෙනවාද, අපගේ අනන්‍යතාවයන් සමඟ එය සැසඳෙන්නේ කෙසේද, එය සම්පූර්ණ විය යුත්තේ සහ පෙළගැස්විය යුතු වන්නේ කෙසේද යන්න පළමුව යථාවබෝධ කර ගත යුතුව ඇත.

එහෙත් ඒ වෙනුවට පැලැස්තරයක් ඇලවීම පිළිබඳ යම් අදහස් යෝජනාවක් ඉදිරිපත් කිරීමට සමත් වුවද කිසිදු දේශපාලනඥයෙක් උගතෙක්, විද්වතෙක්, විවේචකයෙක්, විචාරකයෙක්, පුද්ගලයෙක් හෝ පාර්ශ්වයක් මේ මොහොතේ හෝ ඒ පිළිබඳව සැබෑ සාකච්ඡාවක් නොකිරීම ගොඩනොනැඟීම ඛේදවාචකයක් නොවන්නේද. හේතුව කුමක් ද නොසොයා පවතින අක්‍රමවත්කම මත හටගැනෙන පලය සහ සිදුවීම් පමණක් බදාගෙන විවේචන සහ විරෝධතා පෑම පමණක් ඒ සඳහා ප්‍රමාණවත් ද.

1950 වන විට ආසියාතිකරය තුළ පිහිටි 45 – 50 ක් පමණ වන රටවල් අතර ජපානයට පමණක් සෑම පැතිකඩකින්ම දෙවැනි වූ ලංකාව අද වන විට 23 – 25 මට්ටමට පහත වැටී ඇත. එදා ඒක පුද්ගල ආදායම ඇ. ඩො. 90 ක් ලෙස ජපානය ද ලංකාව 89 ලෙස ද සටහන් කර ගත්ත ද, 2021 වන විට එය පිළිවෙළින් ඇ. ඩො. 42,928 – 3,830 ලෙසින් ද සටහන් වේ. එපමණක් නොව දළ ජාතික ආදායම අතින් ද ආසියාතිකරය තුළ ජපානය, ප්‍රබල චීනයට පමණක් දෙවන වන අතර අපට හිමිව ඇත්තේ 23 වන ස්ථානයයි.

විශේෂයෙන් ම මෙහිදී අප ජපානය සමඟ සැසඳෙන්නට වටිනා හේතු ගණනාවක් ද ඇත. ජපානය ද ආසියාතික රටකි. එහි භූමි ප්‍රමාණය අපට වඩා 6.2 ක් පමණ ය. ජනගහනය වැඩි වන්නේ ද එලෙසින්මය. සියලු සම්පත්වලින් ද අපට වඩා අඩුවක් මිස වැඩි බවක් එහි නැත. ස්වභාවික විපත් සහ ආපදාවලින් ද අපට වඩා සිය දහස් ගුණයකින් බැටකන සහ පාඩු විඳින රටකි. වසරේ දින 365 ම වැඩ කරන්නට අපට මෙන් ස්වභාවික අවකාශ නොමැති රටකි. කෘෂිකර්මාන්තයට සහ කර්මාන්තකරණයට පමණක් ආවේණික මෙන්ම උරුමකම් හිමි රටකි. එම පදනම මත ම ගොඩනැඟුන රටකි.

එය එසේ වී නම් දශකයක් දෙකක් ගතවන්නට ප්‍රථම දියුණුව මතින් හිනිපෙත්තටම ළඟාවීමට ජපානය සමත්වීමටත්, ශ්‍රී ලංකාව දිගින් දිගටම ප්‍රපාතයට වැටෙන තරමට අසමත් වීමටත් හේතුව කුමක්ද? එසේ නම් අපට වැරදුණේ කොතැනද? අපට හරිහමන් නායකයන් නොසිටියා ද, උගතුන් සහ බුද්ධිමතුන් නොසිටියාද, අපගේ දේශාපාලන සාක්‍ෂරතාවය හීන ද. අප කළමනාකරණයෙහි දුර්වල ද? රට ගොඩනඟා ගන්න දැක්මක් නැතිද, වැඩපිළිවෙළක් නැති ද?. නීති රීති දැඩි මදි ද දූෂණය හොරකම සහ මැරකම වැඩි ද? අපේ වැඩ සියල්ල අවිධිමත් ද, විකෘති ද, අපේ මිනිසුන් වැඩ නොකරන කම්මැලි ජාතියක් ද? අපි කාර්මිකකරණයට යෑමට ප්‍රමාද වූවා වැඩි ද? අපට දැනුම හා තාක්‍ෂණය මදි ද? අපි අධිවේගී මාර්ග සහ ගොඩනැඟිලි වැනි ඉදිකිරීම්වලින් අසම්පූර්ණ ද ආදී වශයෙන් විවිධාකාර ප්‍රශ්න හමුවේ අද අප අතරමංව ඇත.

එහෙත් වසර පහක් දහයක් ගතවීමට පෙර සීඝ්‍ර දියුණුවක් ලබන්නට ජපානයට හැකි විය. දළ ජාතික ආදායම ඒක පුද්ගල ආදායම දස දහස් ගණන්වලින් ඉහළ නංවා ගන්නට ඔවුන්ට හැකි විය. සදාකාලිකව උද්ධමනයට තිත තබන්නට මෙන්ම භාණ්ඩ මිල පමණක් නොව වැටුප් සහ ආදායම් පවා ස්ථාවර කරන්නට හැකි විය. ස්වභාවික විපත් සහ ආපදා මුළුමනින් ම ජය ගන්නට අපොහොසත් වුවද, ප්‍රධාන අභියෝග ජයගෙන අනෙකුත් අර්බුද සහ ගැටලු නිර්මාණය වන වටපිටාව දියකර හරින්නට සමත් විය. ආකල්පවලින් පෝෂණය වූ සාධාරණ සමාජයක් නිර්මාණය කරන්නට සහ ශක්තිමත් රාජ්‍යයක් ගොඩනඟන්නට ද ඔවුන් සමත් විය. ඒත් ඒ සඳහා ඔවුන්ට අපට වඩා යම් පහසුවක් හෝ සහනයක් ආශීර්වාදයක් තිබුණාද?

එසේ කරන්නට ඔවුන් සමත් වූයේ සහ අප අසමත් වූයේ ඇයි. රට ගොඩනඟනු පිණිස එදා ඔවුන් නිවැරදි තීන්දු තීරණ ගත් නිසාත්, අප එසේ කිරීමට අපොහොසත් වූ නිසාමය. රටක් ගොඩනඟන්නට නම් මුදල් මැවීමෙන් බැහැරව මුදල් උපයමින් දේශීය ආර්ථිකය ශක්තිමත් කළ යුතු වන වග ඔවුන් වටහා ගත්තේය. ඒ සඳහා ශ්‍රමය සහ දහදිය බිඳු වැඩි වැඩියෙන් වැගිරිය යුතු වන බව වටහා ගත්තේය. ශ්‍රමය සහ දහදිය වැඩියෙන් වගුරන්නට නම් ඒ සඳහා ඉහළ වටිනාකමක් ලබා දිය යුතුය. එසේ කිරීමට ඇති සියලු බාධක ඉවත් කළ යුතුය යන්න වටහා ගත්තේය. ඒ නිසා මුදල් මවන යන්ත්‍ර සියල්ල අක්‍රිය කළේය. පොලිය බැහැර කළේය. ලොතරැයි වැනි සූදු මෙන්ම නිශ්ඵල ක්‍රියාකාරකම් ව්‍යාප්ත නොකළේය. අතරමැදි සහ තැරැව්කාර යැපීම් අවකාශයන් නැති කළේය. ධනය සම්පත් සිතූ සේ රැස් කරමින් නිකමුන්ට යහතින් ජීවත් වීමට ඇති ඉඩකඩ අහිමි කළේය. ධනය සම්පත් සිතුසේ රැස්කරමින් නිකමුන්ට යහතින් ජීවත්වීමට ඇති ඉඩකඩ අහිමි කළේය. වෙහෙසී වැඩ කිරීමෙන් පමණක් යහතින් ජීවත්වීම අත්‍යවශ්‍ය වන බව සපථ කළේය. ඒ සඳහා පමණක් දොරටු විවර කළේය. ජනතාව පෙළගැස්සුවේය. හුරු කළේය.

දැන් අප කළ යුත්තේ කුමක්ද? ඒ වෙනස හඳුනා ගැනීම පමණි. එලෙස ගත යුතු තීන්දු තීරණ මොනවාද යන්න හඳුනාගැනීම පමණි. ආයාසයකින් තොරව බාධාවකින් තොරව පහසුවෙන් කඩිනමින් මෙන්ම සරලව සෘජුව සහ සමීපතමව පමණක් නොව හිතට එකඟව ගත හැකි තීන්දු තීරණ කීපය ගැනීම පමණි. ඒ සඳහා ගැළපෙන ශක්තිමත් පදනම යහපත් මූලික ප්‍රතිපත්තිය අංශානුකුක වන ජාතික ප්‍රතිපත්තීන් කළ යුතු වන සැබෑ සංශෝධන මොනවාද යන්න හඳුනාගෙන ඒ සඳහා වන දේශපාලන න්‍යාය පත්‍රය නිවැරදිව පෙළගස්වා ගැනීම පමණි.

ඒ සඳහා සෘජුව සහ අප්‍රමාදව මෙලෙස තීන්දු තීරණ ගත යුතුව ඇත.

  1. වැටුප් විෂමතාවය 1 – 5 පරතරයට සීමා කිරීම, ශ්‍රමිකයා නියැළෙන වෘත්තියේ පහසු අපහසුතාවය හා උසුලන බර අනුව එය නිගමනය කිරීම අත්‍යවශ්‍ය වේ.
  2. ආදායම් විෂමතාවය 1 – 10 පරතරයට සීමා කිරීම. මෙය ස්වයං රැකියාවට සහ ව්‍යවසායකත්වයට මුල්තැන සහ වටිනාකම දෙමින් කළ යුතු වේ. එපමණක් නොව සෑම භාණ්ඩයක මෙන්ම සේවාවක මිල ගණන් නිගමනය කර ස්ථාවර කළ යුතු වේ.
  3. පාරිභෝගික වැඩි විශ්වාසය සහ ඉල්ලුම වැඩිකරනු පිණිස සියලුම දේශීය නිපැයුම් සහ සේවාවන් ප්‍රමිතිගත කළ යුතු වේ.
  4. සියලුම දේශීය නිපැයුම් සහ ශක්තීන්ට සාපේක්‍ෂව ආනයනය සීමා කළ යුතු වන අතර අදාළ වටිනාකම් ලැබෙන ආනයනයට පමණක් පිවිසිය යුතුය.
  5. අත්‍යවශ්‍ය ආනයනික භාණ්ඩ හෝ අමුද්‍රව්‍ය ලෙස සැලකෙන ඉන්ධන ආශ්‍රිත දෑ සහ පාන්පිටි, පරිප්පු වැනි දේශීයව නොනිපදවෙන දෑ සඳහා බදු සහන නොදීම සහ අපේක්‍ෂිත බදු අයකර ගැනීම මෙන්ම අපේක්‍ෂිත සංවර්ධන ඉලක්ක සපුරා ගන්නා තුරු අධි සුඛෝපභෝගී භාණ්ඩ ආනයනයෙන් වැළකී සිටීම.
  6. ශ්‍රී ලංකා මහ බැංකු අණපනත්වලට යටත්ව සියලු තැන්පතු සහ ණය සඳහා පොලී ප්‍රතිශතය ශූන්‍ය බවට පත්කළ යුතු ය.
  7. රාජ්‍ය වියදම ආවරණය වන පරිදි ගණනය කර බදු බලපත්‍ර සහ මුද්දර ගාස්තු වැනි ආදායම් මාර්ග පැකිළීමකින් තොරව සංශෝධනය කරගත යුතුය.
  8. පිළිවෙළින් ප්‍රමුඛතාවය ලබා දිය යුතු සහ පල ලැබිය හැකි සංවර්ධන කටයුතුවල නියැළීම සහ ඉසිලිය නොහැකි ණය මත කෙරෙන සංවර්ධනයෙන් වැළකී සිටීම.
  9. දෙපයින් නැඟී සිටින පුරවැසියකු නිර්මාණය කරන අරමුණ පෙරදැරි කරගෙන ජනසවිය, සමෘද්ධිය, පිංපඩි වැනි කිහිලිකරු සහමුලින්ම ඉවත්කර ඒ වෙනුවට සැමට සමාන වන 100% ක රක්‍ෂණාවරණයක් සැපයීම.
  10. දැඩි නීති රීති මතම රටක් රාජ්‍යයක් සහ සමාජයක් පාලනය කිරීම ඉතා අසීරු වන බව යථාවබෝධයෙන් යුතුව සැමටම සමව ක්‍රියාත්මක වන සරල නීති රීති පද්ධතියක් සම්පාදනය කර ගැනීම.

විරැකියාව, ආර්ථිකය, මානව හිමිකම්, සමාජ අරගල සහ බාහිර බලපෑම් නමැති ප්‍රධාන අභියෝග පහ එපිළිවෙළින්ම ජයගෙන දිනෙන් දින තැනින් තැන මොහොතින් මොහොත විවිධාකාර වූ ප්‍රවෘත්ති මවමින් හතු පිපෙන්නා සේ නිර්මාණය වන ප්‍රශ්න සහ ගැටලු නිර්මාණය වන වටපිටාව පහසුවෙන් දියකර හරින්නටත්, ධනය, සම්පත්, සේවය ,සුබසාධනය සාධාරණව බෙදෙන සහ මිනිස් මූලික අවශ්‍යතාවයන් ආරක්‍ෂාවන පංචවිධ මූලික ප්‍රතිපත්තියේ පිහිටා කටයුතු කරනු පිණිසත් ඉතාම සරලව සෘජුව සහ සමීපතමව මෙන්ම කඩිනමින් අපගේ සියලු අනන්‍යතාවයන් රැකෙන පරිදි අප අපේක්‍ෂා කරන යහ අරමුණු සහ ඉලක්ක ජය ගනු පිණිසත් මෙම තීන්දු තීරණ දහය අප්‍රමාදව ගත යුතු වනු ඇත.

ඒ සඳහා දස අතේ ණය වෙමින් ලොව වටා හිඟමනේ යෑමටත් තව තවත් මුදල් අච්චු ගැසීමටත් විවිධාකාර වූ ව්‍යාපෘති ආරම්භ කිරීමටත් දැනට තිබෙන කඩමලු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තවදුරටත් බාධාවක් කර ගැනීමටවත් බාහිරින් එන විවිධ වූ බලපෑම්වලට යට වන්නටවත් සිදු නොවන අතර ප්‍රඥාව, වුවමනාව සහ පිටකොන්ද හොඳින් ඇත්නම් තවදුරටත් කාලය කා නොදමා හෘද සාක්‍ෂියට අනුව මෙම තීන්දු තීරණ දහය එකවර ගැනීමේ කිසිදු බාධාවක් නැත.

ඉතාමත්ම සරලව සෘජුව සමීපතමව සහ අප්‍රමාදව රට ගොඩනගන්නට නම් ගෙල වට කර නාසය අල්ලනට වෙහෙසෙන්නා සේ ආයාසයෙන් ඉටුකළ නොහැකි දහසකුත් එකක් බොරු පොරොන්දු දෙමින් තවදුරටත් ජනතාව මංමුලා නොකර මෙම තීන්දු තීරණවලට එළැඹෙනවා හැරෙන්නට වෙනත් කිසිදු විකල්පයක් හෝ විසඳුමක් නොමැති බව යථාවබෝධ කර ගන්නටම සිදුවනවා ඇත.

බී. එම්. එස්. බාලසූරිය


advertistmentadvertistment