රට – ජාතිය – ආගම පළමු කොට තැකූ උදාර මිනිසකු පිළිබඳ කතාව

2235

උපාලි සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ උපාලි විජයවර්ධන මහතාගේ 41 වැනි ගුණ සමරුව අදට (13) යෙදී තිබේ. මේ ලිපිය වරෙක අප පුවත්පතේ සමාරම්භක කර්තෘ එඩ්මන්ඩ් රණසිංහ සූරීන් විසින් ලියන ලද්දකි.

උපාලි මැස්ඩා නිෂ්පාදනය වූ හෝමාගම උපාලි මෝටර් සමාගමේ නිෂ්පාදන අංශය 1970-77 සමයේ ඇමැතිවරුන්ව සිටි ටී. බී. ඉලංගරත්න, මෛත්‍රිපාල සේනානායක, ටී. බී. සුබසිංහ පරීක්‍ෂා කරද්දී උපාලි විජයවර්ධන මහතා ද අසල වෙති.

දිවයින නිර්මාතෘවර උපාලි විජයවර්ධන මහතා අපට නිතර හමු නොවීය. හමුවූ අවස්ථාවලදී ඒ මහතා සමග ගත කළ කාලය මෙතෙක් කියා පැවසීමට අපහසුය. මෙවැනි හමුවීම් විශේෂයෙන් මතකයට නැගෙන්නේ ඒ කාලය තුළදී ලැබූ විනෝදයත් සමගය.

රට - ජාතිය - ආගම පළමු කොට තැකූ උදාර මිනිසකු පිළිබඳ කතාව

දවසක් විජයවර්ධන මහතා හමුවූ අවස්ථාවකදී ඒ මහතා පිළිබඳ ලිපියක් ඇතුළත් සඟරාවක් දිගු කොට එය කියවන්නැයි මට කීය. ලිපිය ටිකක් දිග එකක් විය. එය කියවා අවසන් වූ පසු විජයවර්ධන මහතා මෙසේ කීය.

“මට පහර ගසා ඇත්තේ අන්තිම කොටසට උඩ කොටසින් යයි කියා මහ මඬින් සිනාසුනේය. විජයවර්ධන මහතා ලොකු විනෝදයක් ඉන් ලැබූ බව මට පෙනුණි. එම ලිපිය ලියූ තැනැත්තා කෙරෙහි කිසි කෝපයක් හෝ වෛරයක් විජයවර්ධන මහතාගෙන් නිකුත් නොවීය. ඒ වෙනුවට විජයවර්ධන මහතා විනෝද විය.

රට - ජාතිය - ආගම පළමු කොට තැකූ උදාර මිනිසකු පිළිබඳ කතාව

තම නිෂ්පාදනාගාරයේ එකලස් කළ පළමු මෝටර් රථය එවක කැලණි රජමහා විහාරාධිපති තලේවෙල විජිතධම්මරක්ඛිත නාහිමියන්ට පිරිනැමූ අවස්ථාව.

මා ඇතුළු උපාලි පුවත්පත් සමාගමේ විධායක නිලධාරීන් විජයවර්ධන මහතා හමුවූ සෑම අවස්ථාවකම මිත්‍රයෙක් සමග ගත කළ කාලයක් සේ මට හැඟුණි. විජයවර්ධන මහතා කිසි දිනක “මමයි මෙතැන ලොක්කා” යන ආකල්පය විදහා පෑමට උත්සාහ කළේ නැත. එවැනි ආකල්පයක් තම නිලධාරීන් අවනත කර ගැනීමට යොදා ගත්තේ ද නැත. බලෙන් ගෞරව ලබා ගැනීමට විජයවර්ධන මහතා උත්සාහ නොකළ නිසා සෑම දෙනාගෙන්ම ඒ මහතාට ලැබුණ ගෞරවය වැඩි වූවා මිස අඩු වූයේ නැත.

විජයවර්ධන මහතා කිසි දිනක අපට නියෝග දුන්නේ නැත. “මේ වැඩේ මේ අන්දමට කළහොත් වඩාත් හොඳනේ දැයි” යන ඇමතුමෙන් ප්‍රශ්නය විසඳීම ඒ මහතාගේ සාමාන්‍ය ක්‍රියා පිළිවෙත විය. වැරැද්දක් සිදුවුවත් විජයවර්ධන මහතා වැරැද්ද සිදුවූ තැනැත්තා වෙත කඩා නොපැන්නේ ඒ මහතා ඉසිලූ මේ ආකල්පය නිසා යයි මට සිතේ.

විජයවර්ධන මහතාගේ අදීන බව ඒ මහතා ආශ්‍රය කරන ඕනෑම කෙනකුට ඉතා ඉක්මනට අවබෝධ වන කරුණකි. මේ ගුණාංගය පැහැදිලිව කැපී පෙනෙන සිද්ධියක් මෙහිදී විස්තර කිරීම යෙහෙකැයි සිතේ.

විජයවර්ධන මහතා අධ්‍යාපනික කටයුතු අවසන් කොට මෙරට බහු ජාතික ව්‍යාපාරයක ආධුනික කළමනාකරණ නිලධාරියෙක් ලෙස සේවය ආරම්භ කළේය. හේ සිය නිවසේ සිට මෙම ආයතනයට පැමිණියේ සිය මෑණියන්ගේ මෝටර් රථයෙනි. මෙම ආයතනයේ විජාතික නිලධාරීන් කාර්යාලයට පැමිණියේද විජයවර්ධන මහතා පැමිණි වර්ගයේම රථවලිනි. විජයවර්ධන මහතා ගමන් කළ රථය රියැදුරකු විසින් පදවන ලදී.

සමාගමේ උසස් තැනක වැජඹුණු විජාතික නිලධාරියෙක් පැමිණුන වේලාවටම විජයවර්ධන මහතාගේ රථයද සමාගමට ළඟාවිය. විජාතික නිලධාරියාගේ රථය පසු කොට සමාගමේ ප්‍රධාන දොරටුව ළඟට විජයවර්ධන මහතාගේ රථය ළඟාවීමත් සිදුවිනි. රියැදුරා බැස රථයේ දොර විවෘත කරයි. විජයවර්ධන මහතා රථයෙන් බැස යනවාත් සමග රියැදුරා අත උස්සා ආචාර කිරීම ද සිරිතක් විය. මේ සියල්ල සිදුවූයේ පිටුපස රථයෙන් පැමිණි විජාතික නිලධාරියාගේ ඇස් ඉදිරිපිටය. ඔහු පැමිණි විට අනුගමනය කරනු ලබන ආචාර පිළිවෙත් විජයවර්ධන මහතා පැමිණි විටද අනුගමනය කෙරුණි.

රට - ජාතිය - ආගම පළමු කොට තැකූ උදාර මිනිසකු පිළිබඳ කතාව

පළමු යුනික් රේඩියෝව අලෙවි කළ අවස්ථාව.

අදීන බව විජයවර්ධන මහතා තරුණ ආධුනික කළමනාකරුවෙක් ලෙස සේවය කරන අවස්ථාවේ සිටම විකාශනය වූ ලක්‍ෂණයකි.

බලවතාගේ වුවත් වැරැද්දක් දුටුවහොත් ඒ වැරැද්ද එම තැනැත්තාට කරුණු කියා දීමට හැකි ශක්තියක් සෑම විටම විජයවර්ධන මහතා තුළ තිබෙන බව ඒ මහතා ඇසුරු කළ අය දනිති. විජයවර්ධන මහතාගේ මුවින්ම එක් අවස්ථාවකදී කෙරුණු විස්තරයක් විය.

මේ රටේ බලගතු පුද්ගලයකුගේ නම සඳහන් කරමින් ඒ මහතා මෙසේ කීය. “……ගේ වුවත් වැරැද්දක් දැක්කොත් ඒ බව මම කෙලින්ම ඔහුගේ මුහුණට කියනවා. ඒ මගේ සිරිතක්” විවෘත මනසක් මෙන්ම විවෘත හදවතක්ද තිබුණ විජයවර්ධන මහතා කෙනකුගේ අගය මැන ගැනීමටත් ඒ ගැන තම අදහස් ප්‍රකාශ කිරීමටත් අමතක කළේ නැත.

වෙළෙඳ හෝ වෙනත් අංශවල බලවතුන් සිය බුද්ධියෙන් සහ දැනුමෙන් මෙල්ල කිරීම විජයවර්ධන මහතාට එතරම් අපහසු ක්‍රියාවක් නොවීය.

සිංගප්පූරුවේ ආරම්භ කිරීමට නියමිතව තිබුණු ව්‍යාපාරයකට බැංකුවල ආධාරය අවශ්‍ය විය. දිනක් විජයවර්ධන මහතා බැංකු අධිපතියෙක් හමුවීමට ගිය අවස්ථාවේ ඔහු කාර්යාලයෙන් පිටවීමට සැරසෙමින් සිටියේය. විජයවර්ධන මහතා ඔහු හමුවී කතා කළේ විනාඩි කීපයක් පමණි. අවශ්‍ය සියලුම ආධාර දෙන්නට බැංකු අධිපතිවරයා එකඟ විය.

සිංහලයෙක් වශයෙන් සිය ජාතිය පළමු කොට සැලකීමට විජයවර්ධන මහතා තුළ තිබූ උනන්දුව සහ අභිප්‍රාය දිනක් දිවයින පත්‍රය පිළිබඳ උපදෙස් දෙමින් සිටියදී පළවූ අන්දම කෙරෙහි මම ද ඉතා ආඩම්බර වූයෙමි. සිංහල බලමණ්ඩලය අනුරාධපුරයට සහ මහනුවරට ආරම්භ කළ මහා පෙරහැර පැවැත්වුණු සමයේදී මෙම සංවිධානයේ කටයුතුවලට ප්‍රචාරය දීම පිළිබඳ ප්‍රශ්නයක් මතුවිය. කිසිම හේතුවක් නිසාවත් එම කටයුතුවලට ප්‍රචාර දීම නොනැවැත්වීමට තමා තීරණය කළ බව කී විජයවර්ධන මහතා ඒ පිළිබඳ ක්‍රියා කරන ලෙස මට උපදෙස් දුන්නේය.

කතාවෙහි දක්‍ෂවූ විජයවර්ධන මහතා තීක්‍ෂණ බුද්ධියත් ඒ කෙරෙහි උපයෝගී කරගත්තේය. තමා සමච්චලයට ලක් කිරීමට උත්සාහ ගත් අයට ලැබුණේ වාග් කස පහරකි. දිවයින පත්‍රයේ ආරම්භ කිරීමට පෙර ඒ පිළිබඳ නොයෙක් අංශවල කතාබස් වෙමින් පැවතුණු අවස්ථාවකදී එක්තරා පුවත්පත් අධිපතියෙක් ඔබ මගෙ කුණු කන්දල් ටික ගන්න හදන බව ආරංචියි යයි විජයවර්ධන මහතාට කීවේ යම් කිසි සමච්චලයක ඉඟියක් සමගය. ඔව් ඔව් මම ඉස්සෙල්ලම තමුසෙව තෝරා ගන්නම්. ඉතුරු ටික තමුසේම තෝරා ගන්නවා යයි” කියමින් විජයවර්ධන මහතා ක්‍ෂණික වාග් පහරකින් එම තැනැත්තා කපා හැරියේය.

අවුරුද්දකට අක්කර සියයක් නැවත වගා කිරීමට හැකි යයි කියූ වතු අධිකාරිවරයකුට විජයවර්ධන මහතා කීවේ “සියය මොකක්ද? දාහක් කරන්න බැරිද?” වතු අධිකාරිවරයා එකඟ විය. අක්කර සියය වෙනුවට අක්කර දහසක් සංවර්ධනය විය. විජයවර්ධන මහතා මිනිසාට කළ හැකි දේ පෙන්නුම් කළ එක් ආකාරයක් පිළිබඳ නිදර්ශනයකි ඒ.

“දිවයින” විජයවර්ධන මහතාගේ මනසේ පිළිසිඳගත් ආකාරයත් බිලිඳකු ලෙස බිහිවූ ආකාරයත්, යහපත්ව වැඩෙන ආකාරයත් මම දුටවෙමි.

අභීනත්වය ස්වාධීනත්වයේ ලක්‍ෂණයකි. ස්වාධීනත්වය නිර්මාණයේ පීතෲවරයාය. අදීනත්වයත් ස්වාධීනත්වයත් ආත්ම ශක්තියෙන් බිහිවන නිසා ආත්ම විශ්වාසය සහ ආත්ම ගෞරවය අත්වැල් බැඳගෙන යන යහළුවෝ දෙදෙනෙකි.

දිවයින, දි අයිලන්ඩ් ඇතුළු එතුමා ඇරඹු පුවත්පත් එහි සංකලනයන්ය.

ස්වාධීන පුවත්පතක් පිළිබඳව ද උපාලි විජයවර්ධන මහතා දුටු සිහිනය සැබෑ කරමින් එතුමන් එදා ඇරඹූ දිවයින පුවත්පත මේ රටේ ලක්‍ෂ සංඛ්‍යාත පාඨක ජනතාවකගේ විශ්වාසය හා ආදරය අඛණ්ඩව දිනාගෙන ඇත. විජයවර්ධන මහතා එදා රෝපණය කළ එම කුඩා පැළය අද අතුපතර විහිදූ මහ ගසක් වී මල්ඵල හටගෙන තිබෙනු දැක්ම නිම් හිම් නැති සතුටට හේතුවකි.

දිවයින සමාරම්භක කර්තෘ
කෘතහස්ත පත්‍රකලාවේදී
එඩ්මන්ඩ් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment