රට පළමුව ලෙස සළකා ඉතිහාසයෙන් පාඩම් ඉගෙන නිසිමග යමු

93

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිටියාස් බාකීර් මාකාර් මහතා විසින් ඊයේ (21) පාර්ලිමේන්තුවේදී අයවැය දෙවැනි වර කියවීමේ විවාදයට එක්වෙමින් සිදුකළ කතාවේ සාරාංශයකි.

ගරු කථානායකතුමනි,

මේ දිනවල මේ අයවැය විවාදය පිළිබඳව අප සාකච්ඡා කරන්නේ අපේ රට ඉතිහාසයේ ඉතා දුෂ්කර සහ ඉතා සංකීර්ණ වාතාවරණයකට මුහුණ දී ඇති කාලයක. මෙය දුෂ්කර අභියෝගාත්මක අවදියක් වුවත්, ඒ තුළ අපේ රට නිවැරදි මගට අවතීර්ණ කර ගැන්මට ඉතිහාසය විසින් ලබාදුන් ධනාත්මක අවස්ථාවක් ලෙස මෙම අවදිය සැලකිය යුතු යැයි මම තරයේම විශ්වාස කරනවා. ඉතිහාසය විසින් වැරදි නිවැරදි කරගෙන ඉදිරියට යෑමට අපට මෙවැනි අවස්ථාවල් කිහිපයක්ම විටින් විට ලබා දී තිබුණා. අපේ නායකයන් ඒ අවස්ථාවල් නිසි ලෙස ප්‍රයෝජනයට ගැනීම මඟහැර තිබෙනවා. මම මේවා සඳහන් කරන්නේ ඒ පිළිබඳව කිසිවකුට පහර ගැසීමේ චේතනාවෙන් නොව ඒ ඓතිහාසික වැරදිවලින් පාඩම් ඉගෙන මේ ලැබී ඇති අවස්ථාව මඟහරවා නොගෙන, නිසි මඟ යෑමට තීන්දු ගැනීමේ ඇති අවශ්‍යතාව අවධාරණය කරන්නටයි.

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනපති ලෙසත් රනිල් වික්‍රමසිංහ අගමැති ලෙසත් ජනතා වරමකින් පත්ව සිටි අවස්ථාව පොදු න්‍යාය පත්‍රයකට එකඟව මේ රට ඉදිරියට ගෙනයෑමට අපට ලැබුණු ස්වර්ණමය අවස්ථාවක්. සීමාව ඉක්මවූ මමත්වය නිසාදෝ වෙනත් හේතූන් නිසාදෝ ඇතිකරගත් ගැටුම් නිසා ඒ අවස්ථාවෙන් නිසි ප්‍රයෝජන ගැනීම කරගත නොහැකි වුණා. ඊළඟට 2009 යුද්ධයෙන් පසු 2010 වසරේ පැවැති ජනපතිවරණයෙන් අති විශාල ජයග්‍රහණයක් ලැබූ මහින්ද රාජපක්ෂයන්ට බෙදී සිටි ජාතියක් එක්සත් කරගනිමින්, ශ්‍රී ලාංකීය අනන්‍යතාවය ශක්තිමත් කරගනිමින් රට නව ගමනකට ප්‍රවේශ කරන්නට තවත් ස්වර්ණමය අවස්ථාවක් ලැබුණා. ඒ අවස්ථාවත් අපේ නායකයන් මඟහැර ගත්තා.

ඒ වගේම මට මතක් වෙනවා මේ අවදියේ ජනාධිපති මහින්ද රාජපක්ෂයන් යම් කරුණකට දුරකථනයෙන් මට කතා කළ අවස්ථාවකදී මා එතුමන්ගෙන් කළ ඉල්ලීම. ඒ ඇමතුම ලැබුණු අවස්ථාව ප්‍රයෝජනයට ගෙන, මම මෙහෙම ඉල්ලීමක් කළා.

“ජනාධිපතිතුමනි, ඔබට අනගි අවස්ථාවක් ලැබී තිබෙනවා. මේ වෙලාවෙ එක්සත් ජාතික පක්ෂය නැතිකිරීමේ අරමුණට යන්නෙ නැතුව පොදු න්‍යාය පත්‍රයකින් රට ඉදිරියට ගෙන යෑම ගැන කල්පනා කරලා බලන්න.” කියන ඉල්ලීම මම එතුමන්ට එදා ඉදිරිපත් කළා. එදා එතුමන් මට දුන් ප්‍රතිචාරය මට සිහිපත් වෙනවා. එදා එතුමා මට මෙහෙමයි කිව්වේ.

“මම ඔයගොල්ලොන්ගෙ නායකයාව නම් විශ්වාස කරන්නේ නැහැ. ඔයගොල්ලො රුක්මන් වගේ කෙනෙක්ව නායකයා කරගන්න. එතකොට ඔය යෝජනාව ගැන හිතන්න පුළුවන්.”

ඒත් දැන් රනිල් වික්‍රමසිංහ මැතිතුමත් එතුමත් දෙන්නම විශ්වාසය ගොඩනඟාගෙන තියෙනවා. එහෙත් මේ පාලනය ගැන ලෝකයේ විශ්වාසය නැහැ. රටේ ජනතාවගේ විශ්වාසය නැහැ. ජනවරමකුත් නැහැ. ලෝකය දකින්නේ මෙම පාලනය ජනතාව විසින් ප්‍රතික්ෂේප කර ඇති පරණ පාලනයේම දිගුවක් ලෙසයි. ලිබරල් ආර්ථික දැක්මක් ගැන කතාකරමින් ෆැසිස්ට් මර්දනකාරී පිලිවෙතක් අනුගමනය කරන විට එවැනි පාලනයකට ලෝකයේ විශ්වාසය දිනාගන්න පුළුවන්ද? ජනතා අභිලාෂයන් තේරුම් නොගෙන ඒවාට ගරු නොකරමින් මර්දනය තුළින් පමණක් පැවැත්ම රැකගන්න උත්සාහ කරන පාලනයක් ස්ථාවර පාලනයක් යැයි ලෝකය විශ්වාස කරාවිද? රටත් ලෝකයත් විශ්වාස නොකරන අස්ථාවර පාලනයක් ඇති රටකට ආයෝජනයන් ගෙන එන්නට ආයෝජකයෝ ක්‍රියා කරාවි යැයි විශ්වාස කරන්නට පුළුවන්ද?

මේ තත්ත්වය ගැන අපි කව්රුත් අවංකවම තේරුම්ගත යුතු වෙනවා. රටක් හැටියට අපි මේ අළු ගසා දමා යළි නැඟිටින්නට නම් ජනතා විශ්වාසය දිනාගන්නා ජනවරමකින් යුතු පාලනයක් අපේ රටේ ඇතිකරගත යුතු වෙනවා. ඡන්දයකින් ඒ වරම ලබාගන්නා රජයකට රටේ ජනතාවගේ විශ්වාසයත් ලෝක ප්‍රජාවගේ විශ්වාසයත් දිනාගන්නට පුළුවන් වේවි. මේ තිත්ත ඇත්ත අපි කුමන පැත්තේ සිටියත් තේරුම්ගත යුතුයි.

මේ ඇතිකර ඇති විනාශයෙන් රට ගොඩගැන්මට නම් “රට පළමුව” යැයි සිතන සියලු පුරවැසියන් යථාර්ථය තේරුම් ගනිමින් ජනතා අභිලාෂයන් තේරුම් ගනිමින් වගකීමෙන් කටයුතු කළ යුතුව තිබෙනවා. විපක්ෂයක් ලෙස අපේද අරමුණ සාම්ප්‍රදායික විපක්ෂයක් නොවී ධනාත්මක ආකල්පයකින් “රට පළමුව” ලෙස සළකා කටයුතු කිරීමයි. “සක්වල” වැඩසටහන “හුස්මක්” වැඩසටහන ඇතුළු වැඩසටහන් කිහිපයකින්ම අපේ සජබ මන්ත්‍රී දායකත්වය, දේශීය සහ විදේශීය පක්ෂ සංවිධාන මෙන්ම සමග හිතවතුන්ගේ දායකත්වය ලබාගනිමින් ඉතිහාසයේ කිසිදු විපක්ෂයක් කටයුතු නොකළ අයුරින් රට පළමුව සලකා අප කටයුතු කරමින් සිටීම මුළු රටම දන්නා කරුණක්. අද පරම්පරාව සිතන විදිහ වෙනස්. ගතානුගතික සිතුම් පැතුම් මෙන්ම සම්ප්‍රදායික දේශපාලන ගති පැවතුම් අද යුගයේ වලංගු නැහැ. අද ලෝකයේ අන්ත වම මෙන්ම අන්ත දකුණ ප්‍රතික්ෂේප කර තිබෙනවා. එය අප චීනය තුළින් මෙන්ම වියට්නාමය තුළින් එය දකිනවා. අන්ත ධනවාදී මග ගිය අන්ත දක්ෂිණාංශික රටවල් අද සමාජ වෙළෙඳපොළ ආර්ථිකය ගැන කතා කරනවා. ස්කැන්ඩිනේවියානු රටවල අප එය දකිනවා.

අපේ රටේත් අන්ත වාමාංශික පක්ෂ දැන් “සාදුකින් පෙළෙනවුන්.. දැන් ඉතිං නැඟිටියව්… අන්තිම සටනට සැරසියව්.. සහ ධනපති පන්තිය භංග වේවා” කියන සටන් පාඨවලට සමුදීලා තිබීම අපි දකිනවා. පෞද්ගලික අංශ සහභාගිත්වය, පෞද්ගලික විශ්වවිද්‍යාල, පුද්ගල ප්‍රාග්ධන ආයෝජන අවකාශය ආදියට විරුද්ධ නැති සමාජයකට එම පක්ෂ අද පැමිණ සිටීම අපි දකිනවා. ඒ වගේම නව ලිබරල් අන්තවල සිටින නායකයන් දැන් සමාජ වෙළෙඳපොළ ආර්ථික ක්‍රම ගැන කතා කරනවා. අද ලෝකය බොහෝ වෙනස්වෙලා – අපේ රට වෙනස් වෙලා. මේ වෙනස්වීම් තේරුම් ගැන්ම සහ ඒ අනුව හැඩගැසීම අවශ්‍යයි. නැත්නම් ඒ පක්ෂ මෙන්ම, ඒ පුද්ගලයන්ද ප්‍රතික්ෂේප වෙනවා. අවලංගු වෙනවා. අන්ත දක්ෂිණාංශික ඇමෙරිකාවේ ට්‍රම්ප් පරදා බයිඩ්න් සැන්ඩර්සන් සන්ධානය ජයගෙන තිබෙනවා. එදා සමාජවාදය තහනම් වචනයක් ඇමෙරිකාවේ. ධනපති සමාගම්වල මුදල් අනුග්‍රහයෙන් වසර ගණනාවක් ජය ලැබූ උදවිය ගෙදර යවා අද ජනතාවාදී අලුත් පරපුරක් කොංග්‍රසයට තේරී තිබෙනවා.

“ලතින් ඇමෙරිකාවේ ට්‍රම්ප්” ලෙස සැලකූ අනිත දක්ෂිණාංශික බොල්සරානෝ පරදවා, ලූලාද සිල්වා වැනි ප්‍රගතිශීලී නායකයන් ජය ලබා තිබෙනවා. මේ අන්ත දෙකට මැද්දෙන් ප්‍රගතිශීලී ආර්ථික ගමන් මගක් ගැන කතා කළ පිලිප් ගුණවර්ධන මහතා මේ මොහොතේ මට මතක් වෙනවා. ඔහු ශ්‍රී ලංකාවේ මාක්ස්වාදයේ පියා. ඔහු ඩඩ්ලිගේ රජයේ කර්මාන්ත ඇමැති වුණා. “බළලා කළු වුවද සුදු වුවද කම් නැත අවශ්‍ය ප්‍රතිඵලය ලබා දෙන්නේ නම්.” යන ඔහුගේ ඒ කියමන මට සිහිපත් වෙනවා. ඩෙංග් ෂියාවෝ පෙංග්ට පෙර මේ කතාව පිලිප් ගුණවර්ධනයන් කිව්වා. ඔහුගේ නායකත්වයෙන් ඓතිහාසික කර්මාන්ත ප්‍රගතියක් 65-70 දී වාර්තා කළා, කර්මාන්ත ඇමැති ලෙස ඔහු ඩඩ්ලි ගැන කී දෑ මට මතක් වෙනවා. “මගේ ජීවිතයේ වැඩි කාලයක් නාස්ති කළ බවක් හැඟෙනවා. මේ තීන්දුව මට කලින් ගන්න තිබුණා.” පිලිප් ගුණවර්ධනයන් ගැන කියද්දී මට මතක් වෙනවා මගේ තරුණ නියෝජනත්වය පිළිබඳ යෝජනාව. දැන් එය තිබෙන්නේ අගමැතිවරයාගේ මේසය මත. ඔහුගේ නිර්දේශය ලද විගස එය සම්මත කරගන්නට පුළුවන්. 18ට වැඩි අයට ඡන්ද අයිතිය ලබාදීමටත් මැලිකම් දැක්වූ ප්‍රතිගාමී කොටස් එදා සිටියා. අපේ අගමැතිවරයා ප්‍රගතිශීලී නායකයෙක් ලෙස මම විශ්වාස කරනවා.

“තමන් ගැන තීන්දු තීරණ ගන්නා තැන්වල අපේ හඬටත් අවස්ථාව දෙන්න. අපට එයට හවුල් වෙන්නට අවස්ථාව දෙන්න.” කියන තරුණ ප්‍රජාවගේ ඉල්ලීමට හිස නමන්න කියලා මම ඉල්ලනවා.

වචනවලට වඩා හැසිරීමයි වැදගත් වන්නේ. තරුණ අපේක්ෂා ඉටුකිරීම ගැන, තරුණයන් ගැන අයවැයේ ගොඩක් කතාකරලා තියෙනවා. ඒ කතාවන් අව්‍යාජනම් මේ නියෝජනත්වයේ හඬට ඇහුම්කන් දීමෙන්, ඔබේ සද්භාවය පෙන්වන්නට පුළුවන්. හිස් වචන කතාකිරීමෙන් හෝ සුරංගනා ලෝක මැවීමෙන් අද පරපුර වල්මත් කරන්නට සිතීම මුළාවක්. අපේ රට ප්‍රචණ්ඩ කැරලි දෙකකට මුහුණ දුන් රටක්. ඒවායින් පාඩමක් උගත් අද තරුණ පරපුර තමන්ගේ හඬ අවදි කළේ සාමකාමීව. අවිහිංසාවාදීව. ගින්දරත් සමග සෙල්ලම් කරන්නට සිතන්න එපා. රටේ ඉතිහාසයේත් ලෝක ඉතිහාසයේත් පාඩම් ඉගෙනගත්ත කියා වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටිනවා. හිස් කතා, වචන සහ හැසිරීම අතර ලොකු වෙනසක් පෙන්වන අපේ සාම්ප්‍රදායික දේශපාලනයෙන් අද ජනතාව හෙම්බත් වෙලා. එම නිසයි කිසි දිනෙක වීදි නොබැස්ස පිරිස් වීදි බැස්සේ. කිසි දිනක දේශපාලන කටයුතුවලට සම්බන්ධ නොවූ පිරිස් මහ මගට බැස්සේ. මේ ජනතාවගේ හඬ මර්දනය කරන්නට ත්‍රස්ත විරෝධී පනත, පොලිස් ආඥා පනත කිසිදු ලැජ්ජාවකින් තොරව අවභාවිතා කරනවා. මේ විදයට මේ පාලනයට මේ තත්ත්වයට විරුද්ධව ජීවත්වෙන්න දඟලන මිනිස්සු සහ ඒ වෙනුවෙන් පෙනී සිටින උදවිය මතු කරන ජනතා විරෝධය මර්දනය කිරීමට උපායමාර්ග 02ක් රජය පාවිච්චි කරමින් සිටිනවා.

පළමුවැන්න – විවිධ අනපනත් අවභාවිතා කරමින් කරන මර්දනය අවිහිංසාවාදී ලෙස මර්දනයට එරෙහිව සාමකාමී විරෝධයට මහ මඟට බැස්ස කාන්තාවන් දෙදෙනා සම්බන්ධව නීති විරෝධී ලෙසින්, ඔවුන්ගේ අයිතිය පැහැරගනිමින්, නින්දා සහගත ලෙසින් පොලිසිය මෙහෙය වූ අයුරු මුළු රටම දැක්කා. පසුගිය කාලය තුළ ත්‍රස්ත විරෝධී පනත යටතේ

රැඳවියන් විශාල කාලයක් රඳවාගෙන ඉන් අනතුරුව චෝදනා නැතිව නිදහස් කරනවා. මේක පැහැදිලිවම දේශපාලන දඩයමක්. මේ තරුණයන්ගේ ජීවිත ගැන කල්පනා කරන්න. ඔවුන්ගේ ජීවිතවල හොඳම කාලය ඔවුන් රඳවාගෙන සිටින්නේ. ඔවුන්ගේ ජීවිතය අඳුරේ දැමීමට විරුද්ධව කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් ගැනීමට ඔවුනට අවකාශයක් නැහැ. ජීවිතවල හොඳම කාලය අඳුරු කර තැබීමට විරුද්ධව නිදහස් වූ පසු කිසිදු ක්‍රියාමාර්ගයකට අවකාශයක් නැහැ. මේ මොන අපරාධයක්ද? පැහැදිලිවම මේවා දේශපාලන දඩයම්.

මේ අයුරින් සිදුවන මානව අයිතීන් උල්ලංඝනයන්ට විරුද්ධව, මානව හිමිකම් කොමිසම අපේ රටේ පාලනයට ඇඟිල්ල දික්කර තිබෙනවා. ක්ෂමා ආයතනය ඇතුළු ලෝකයේ මානව හිමිකම් සංවිධානය මෙන්ම ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදී රටවල් බහුතරය අපට චෝදනා කරනවා. මේ තත්ත්වය අපි දුටුවා. ජිනීවාවල මෙවර පැවති මානව හිමිකම් සමුළුවේදීත් මේ හැසිරීම අපව ලෝකය ඉදිරියේ හුදෙකලා කරන හැසිරීමක් බවට පත්කර තිබෙනවා.

මානව හිමිකම් උල්ලංඝනයට අමතරව ආර්ථික ඝාතන ගැනත් කොමිසම සඳහන් කර තිබෙනවා. ඒවා ගැන සොයා බලන්නට හෝ ඒ දූෂිත ගනුදෙනු තුළින් අහිමිවූ මුදල් කන්දරාව නැවත අපේ රටට ලබාගැන්මට හෝ අවශ්‍ය පියවර ගැන්මට මේ පාලනයේ කිසිදු සූදානමක් නැහැ. ඒවා ගැන සඳහනක්වත් අයවැයේ නැහැ. “දූෂණය සහ සොරකම් සොයා බැලීම ගැන කරන කතාවන් ඡන්ද කාලෙදි කරන ප්‍රලාපයන් පමණි.” යන, වියන්ගොඩගෙන් මම කියන උපුටා ගැන්ම තුළින් ජනපතිවරයා දුන් පණිවිඩය වූයේ ඒවා ගැන සොය බැලීම තමන්ගේ ප්‍රමුඛතාවය නොවන බව නොවේද?

අපේ රටේ මේ ඓතිහාසික වින්නැහියට ඇද දැමූ, මැදි ආදායම් ලබන රටක් ලෙස පැවැති රටක් බංකොළොත් රටක් බවට ඇද දැමූ, මේ ක්‍රියාවලියන් ගැන සොයා බැලීමක් කරන්නට මේ පාලනය සූදානම් නැහැ. වගකීමක් නැහැ. වගවීමක් නැහැ. මොන තරම් දූෂිත ගනුදෙනු, සොරකම්, වංචාවන් ගැන පාර්ලිමේන්තුවේ කමිටු මගින් මාධ්‍ය මගින් හෙළිදරව් කිරීම් කර තිබෙනවාද? ඒ සියල්ල යටපත් කර දමන රටක් බවට, දූෂිතයන් රකින රටක් බවට අපේ රට පත්වී තිබෙනවා. මොන තරම් නින්දාසහගත තත්ත්වයක්ද මේ? වැඩවසම් යුගවලදී මෙන් ප්‍රශස්ති කීම්, වැඳ වැටීම් මිසෙක, මේ විනාශයෙන් බැටකන ජනතාවට ජීවත් වෙන්නට සංවේදී වන්නට වුවමනාවක්, සූදානමක් පෙනෙන්ට නැහැ. මේ වින්නැහියට අපේ රට බඳුන් වෙන්නට මුල්වූ ආසන්න හේතූන් කිහිපය දෙස බලන්න.

පළමුවැන්න – මේ රටේ ඉහළම ධන කුවේරයන්ට ලබාදුන්නු බදු සහන. කොපමණ බිලියන ප්‍රමාණයක ආදායමක් මේ නිසා අපේ රටට අහිමි වුණාද?

දෙවැන්න – කාෂි ක්ෂේත්‍රයේ ගත්තු තීරණය. ලෝකයේ කිසිදු රටක් නොගත්තු තීරණයකට අපි ගියා. පැය 24න් එය ක්‍රියාත්මක කරන්නට. එයින් වී නිෂ්පාදනය අඩුවුණා. තේ නිශ්පාදනය අඩුවුණා. කෘෂි ක්ෂේත්‍රයේ නිෂ්පාදන සියල්ල ඇද වැටුනා. අපේ අපනයන ආදායම් නැතිවී ගියා.

තුන්වැන්න – මුදල් කන්දරාවක්, ටි්‍රලියන ගණනක් මුදල් අච්චු ගසන්නට පටන් ගත්තා. මුදල් අච්චු ගැසීම සහ උද්ධමනය අතර ඇති සම්බන්ධය ගැනවත් නොසිතා මේ අයුරින් කටයුතු කිරීම නිසා අපේ රුපියලට අත්වූ ඉරණම කනගාටුදායක තත්ත්වයක්. මේ සියල්ල කළේ පාර්ලිමේන්තුවට පවා නියම තත්ත්වය වසන් කරමින්.

සතරවැන්න – කොවිඩ් උවදුරේදී වගකිවයුත්තන්ගේ හැසිරීම සහ ගත්තු තීන්දු තීරණ. විපක්ෂය දිගින් දිගටම මේ වසංගතය පිළිබඳව අනතුරු ඇඟෙව්වා. එන්නත් කල් ඇතිව ගෙන්වාගන්න කිව්වා. කල් ඇතිව ඇනවුම් කළයුතු බෙහෙත් ආදිය ගැන කිව්වා. ආරම්භයේදීම මුව ආවරණ ගෙන්වා ගැන්ම ගැන පවා කිව්වා.

එදා එතුමන්ට සිනහවුණා. බොරුවට ජනතාව බය කරන්න එපා කිව්වා. යුද්ධය ජයගත් අපට මෙය මොන කජ්ජක්ද කියලා ඇහුවා. එතුමා පමණක් නොවෙයි, දේශීය මෙන්ම විදේශවල සිටින ශ්‍රී ලාංකික වෛද්‍ය විශාරදයන් කී උපදෙස් පවා මායිම් කළේ නැහැ. කල් ඇතිව දුන් උපදෙස් අනතුරු ඇඟවීම් නොසලකා හරිමින්, නූතන විද්‍යාව, නූතන දැනුම වෙනුවට පැණිය සහ මුට්ටිය පසුපස හඹා ගියා. මිත්‍යාවන් පසුපස ගියා. ඒවායේ විපාකයනට වන්දිගෙවීම්වලට රට බඳුන් වුණා. මේ වැරදි උද්ධච්ඡ තීන්දු තීරණ මෙන්ම, නම පවතින්නට ඉදිකළ සුදු අලි ව්‍යාපෘතිවලට ගත් අධික පොලී සහිත ණය කන්දරාවත්, සිදුකළ දූෂිත ගනුදෙනුත්, මේ රටට මේ වින්නැහිය උරුම කරදී තිබෙනවා. මෙවැනි තත්ත්වයන් ඉදිරියේ ඇති නොවන්නට නම් මේවා ගැන විධිමත් සොයාබැලීම් සිදුකළ යුතුව තිබෙනවා. ඒවායින් විපාක විඳින, බැට කන ජනතාව මත තවදුරටත් ඒවායේ බර නොපැටවිය යුතුව තිබෙනවා. මේ විනාශයන්හි බරපතළකම් ගැන කියමින් ජනතාව මත තවදුරටත් බර පටවන අතර ඒ ලබන බදු ආදායම් නිසි ලෙස පරිහරණය කිරීම රජයේ වගකීමක්. ඒත් එසේ නොකර මැති ඇමැති පදවි වැඩි කරගන්නට රජය කටයුතු කරන්නට යනවා නම් රජයට සාධරණීකරණය කරන්නට පුළුවන්කමක් තිබෙනවාද?

අපේ විශ්වවිද්‍යාලවල විශේෂයෙන් පේරාදෙණියේ කෘෂිකර්ම පීඨයන් තිබෙනවා. ඒවාට පහසුකම් දී ඒවා උසස් කළ හැකිව තිබියදී, නව විශ්වවිද්‍යාල ඇතිකිරීම් තුළින්, ඒවායේ ඉදිකිරීම් ආදිය සඳහා දරන වැයබර ආදිය, අපේ ජනතාව ජීවත්වන්නට දඟලන, අරගල කරන මොහොතක දරාගත හැක්කක්ද යන්න ගැන මේ මොහොතේ නැවත සිතා බලන්න.

ලිබරල්වාදී ආර්ථික දැක්මක් ගැන කතා කෙරුණද, මේ පාලනයේ දේශපාලන හැසිරීම් ඊට හාත්පසින්ම වෙනස්. මුලදී අරගලයට තම සම්පූර්ණ සහය සහ පක්ෂපාතීත්වය ප්‍රකාශ කළද, ජනපති ධුරයට පත්වීමෙන් පසු ඒ පිළිබඳව වූ හැසිරීම ඊට පුළුමණින්ම ප්‍රතිවිරුද්ධ එකක්වීම අප දුටුවා. ඒ හැසිරීම ආරක්ෂක හමුදාව ඉදිරියට දමමින් කඳුළු ගෑස්, බැටන් ප්‍රහාර, වෙඩි උණ්ඩවලින් බලය සහ පැවැත්ම රැකගන්නා වූ හැසිරීමක්. මේ දෙබිඩි රංගනය රටේ ජනතාව දකිනවා. ලෝකයේ විශ්වාසය දිනාගන්නට බැරි පාලනයකට, රටේ ජනතාවගේ විශ්වාසය දිනාගන්න බැරි පාලනයක, ඒ සියලු දෙනා සමග ගැටුම් ඇතිකර ගන්නාවූ පාලනයකට රට ස්ථාවර කරගන්නට හැකියාවක් ඇද්ද යන්න කල්පනා කළ යුතු වෙනවා.

ඔබතුමන්ට බොහොම ස්තුතියි කාලය ලබාදීම ගැන.

advertistmentadvertistment
advertistmentadvertistment