රට පැන්න දොස්තරලා දෙන්නා කැඳවා විමර්ශන කරන්න නියෝග

150

ළමා රෝහලේදී අවුරුදු තුනේ ළදරුවාගේ නිරෝගී වකුගඩුව ඉවත් කිරීම:

රිජ්වේ ආර්යා ළමා රෝහලේදී සිදුකළ වකුගඩු සැත්කමකදී නරක්වූ වකුගඩුව මෙන්ම නිරෝගී වකුගඩුව ද ඉවත් කිරීම නිසා වයස අවුරුදු තුනක පිරිමි දරුවකු මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට විදේශගත වී ඇතැයි කියන වෛiවරුන් දෙදෙනා කැඳවා ප්‍රකාශ ලබාගෙන විමර්ශන සිදුකරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා ඊයේ (21දා) බොරැල්ල පොලිසියට නියෝග කළේය. එකී විමර්ශන සඳහා වැඩිදුර නියෝග අවශ්‍ය නම් විධිමත් ආකාරයෙන් තම අධිකරණයෙන් ඉල්ලීමක් කරන ලෙසට ද අතිරේක මහෙස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කළේය.

2022.12.24 වැනිදා සිදුකළ වකුගඩු සැත්කමින් අනතුරුව හටගත් සංකූලතා නිසා ප්‍රතිකාර ලබාදෙමින් සිටියදී 2023.7.28 වැනිදා මුහම්මදු හම්දි ෆස්ලීම් නමැති වයස අවුරුදු තුනයි මාස තුනක් වූ පිරිමි දරුවකු මියගොස් තිබිණි. එම දරුවාගේ මරණය ස්වභාවික මරණයක් නොව වෛiවරුන් නිරෝගී වකුගඩුවක් ඉවත් කිරීම නිසා සිදුවූවක් බවත් එය මිනීමැරීමක් ලෙස අර්ථ දැක්විය හැකි බවත් අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා අධිකරණයට පැවසීය. යහපත් තත්ත්වයෙන් තිබූ එම වකුගඩුව යම්කිසි පාර්ශ්වයකට අලෙවි කළේ දැයි යන සාධාරණ සැකය ද අගතියට පත් පාර්ශ්වයට ඇතැයි ද අධිකරණයට පැවසූ ජනාධිපති නීතිඥවරයා ශල්‍යකර්මයෙන් පසුව එම රෝහලේ සේවය කළ වෛiවරුන් දෙදෙනකු රටින් පලාගොස් ඇති මුත් ඒ සම්බන්ධයෙන් බොරැල්ල පොලිසිය මේ දක්වා විධිමත් විමර්ශනයක් සිදුකර නොමැති බවද අධිකරණයට පැවසීය.

එම දරුවාගේ මරණය සම්බන්ධයෙන් දෙමාපියන් විසින් පැමිණිල්ලක් කර ඇති දැයි අතිරේක මහෙස්ත්‍රාත්වරයා බොරැල්ල පොලිසියෙන් විමසා සිටි අතර එවැනි පැමිණිල්ලක් ලැබී ඇති බවත්, අධිකරණය විසින් නියෝගයක් කරන්නේ නම් එම වෛiවරුන් දෙදෙනා සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ හැකි බවත් පොලිස් නිලධාරීහු අධිකරණයට පැවසූහ.

යම්කිසි අපරාධයක් සිදුවී ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇති විටෙක ඒ සඳහා විමර්ශන කිරීමට පොලිසියට අධිකරණයේ නියෝග අවශ්‍ය දැයි විමසූ අතිරේක මහෙස්ත්‍රාත්වරයා අපරාධයක් සිදුකර විදේශ රටකට පැනගොස් සිටීමට ඉඩදී පොලිසිය නිහඬව සිටින්නේ දැයි විමසා සිටියේය.

එම නඩුව ලබන මාර්තු 27 වැනිදා යළි කැඳවීමට ද අතිරේක මහෙස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කළේය. නීතිඥ වෛi යූ. එම්. ආර්. යුෂුප් මහතා ඇතුළු නීතිඥ මණ්ඩලයක් සමග ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා අගතියට පත් පාර්ශ්වය නියෝජනය කළේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment