රට පුරාම නාය යෑම් වාස්තු දෝෂ නිසා!

94

ශ‍්‍රී ලංකාව පුරා ඇදහැළුණු අධික වර්ෂාව සති කිහිපයක සිට පැවතුණි. අධික වර්ෂාව සමඟ ගං වතුර පිළිබඳව බියක් ඇතිවීම ස්වභාවිකය. ඈත අතීතයේ සිටම අධික වර්ෂාවේ ප‍්‍රතිඵලයක් ලෙස ගංවතුර විපත් ඇතිවන බව ජනතාව දැන සිටියේය. එහෙත් මේ බියට තවත් බියක් එකතු වී තිබේ. ඒ වූ කලී නාය යෑමකට ගොදුරු වී තම නිවාස හා ජීවිත පවා අහිමි වේද යන මරණ බියයි. එය තහවුරු වන ආකාරයේ ප‍්‍රවෘත්තිද අසන්නට ලැබුණි. මෙවර වර්ෂාවත් සමගම ද නාය යෑම නිසා පස් කඳුවලට යට වී ජීවිත කිහිපයක් අහිමි විය.

ගං වතුර එන බව අධික වර්ෂාව සමඟ දැනගත හැකිය. ගංඟාවල ජල මට්ටම ඉහළ යමින් ගංවතුර ටිකින් ටික පිටාර යන බව පැය කිහිපයක සිට පෙනේ. එහෙත් නාය යෑම එසේ නොවේ. සමහර විට ගෙයක් අසලින් යන්තම් දිය පාරක් මතුව සුළු වේලාවකදී ගෙය පිහිටි භූමි ප‍්‍රදේශයම ගැල වී පහළට පෙරළී යන්නේ නිවසක් මිනිසුනුන් යට කරමිනි. මෙය ඛේදවාචකයකි. මෙම නාය යෑමේ බිය ඇති වී එතරම් කලක් නැති බව අපගේ වැටහීමයි.

වර්ෂ 1989 පමණ (1989.06.03) එක දිගට ම වර්ෂාව පැවැති අතර මි. මි. 200 ආසන්නව වර්ෂාපතනය වාර්තා වී තිබුණි. ඒ සමඟම ජීවිත විශාල සංඛ්‍යාවක් ද උන්හිටි තැන්ද අහිමි කරමින් බොහෝ ප‍්‍රදේශවලින් නාය යෑම් වාර්තා විය. කෑගල්ල දිස්ත‍්‍රික්කයේ හා රත්නපුර දිස්ත‍්‍රික්කවල මේ බව විශේෂයෙන් වාර්තා වූ බව මතකය. මේ නිසා බොහෝ අය පදිංචි ස්ථානවලින් ඉවත්කර වෙනත් ප‍්‍රදේශවල පදිංචි කරවීමට රජයට සිදුවිය. ඉන් පසුව නොයෙක් අවස්ථාවල නාය යෑම් වාර්තා විය. අරනායක සිදු වූ නාය යෑම ද ගමක්ම අහිමි වීමට හේතුවිය. නාය යෑමේ තර්ජනය ඇති බවට තහවුරුව තම ගම්බිම් අතහැර දැමීමේ තර්ජනයට ලක් වූ බොහෝ අය සිටී.

‘මින් අනතුරුව’ ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය යන නම ජනතාවට හුරු වූයේ නිවසක් ඉදිකිරීමට පෙර අදාළ ඉඩම හා සැලැස්ම එහි අනුමැතියට ලක්විය යුතු බවට නීතිගත වීම නිසාය. නාය යන බවට තහවුරු වූ ඉඩම්වල ගොඩනැ`ගිලි ඉදිකිරීම අනුමත කරනු නොලැබේ.

යූ. ටියුබ් හෝ ගූගල් හරහා පරීක්‍ෂා කරනවිට නාය යෑමේ වාර්තා එතරම් පැරණි නොවන බව පෙනේ. 1990ට ආසන්නව වාර්තා වූ නායයෑම් ඊට පෙර බරපතළ ලෙස නොතිබී අතර මෙයට හේතුව කුමක්ද යන්න සොයා බැලීම කාලීන අවශ්‍යතාවයක් බව පෙනී යයි. මේ වනවිට කඩුගන්නාව අසල පාර ද පසුගිය දිනවල තාවකාලිකව වසන ලද්දේ නාය යෑමට බියෙනි.

රට පුරාම නාය යෑම් වාස්තු දෝෂ නිසා!

මෙම ප‍්‍රශ්නය සාකච්ඡුා කරනවිට නිතැතින්ම සැලකිල්ල යොමු කළ යුත්තේ මෑත ඉතිහාසයේ කරනු ලැබූ ඉදිකිරීම් සිදුකර ඇත්තේ වාස්තු විද්‍යාවට අනුකූලව ද යන කරුණ කෙරෙහිය. පුරාණ වාස්තු විද්‍යාව හුදු නිවසක් ඉදිකිරීම යන කරුණට ම සීමා නොවේ. පදිංචියට නිවාස තැනීම පමණක් නොව විහාරාරාම, දාගබ් ඉදිකිරීම, මෙන්ම වැව් පොකුණු ඇතුළු ජලාශ ඉදිකිරීම ද වාස්තු විද්‍යානුකූල විය යුතු වෙයි. පුරාණ ශ‍්‍රී ලංකාවේ වැව් තිස්හය දහසක් තිබූ බවට ඉතිහාසය සාක්‍ෂි දරයි. ඒ කුඩා වැව් හා මහාවැව් සියල්ලමය. කුට්ටම් පොකුණ වැනි අලංකාර පොකුණු ද මහා පරාක‍්‍රමබාහු සමුද්‍රය මහනුවර බෝගම්බර වැව ආදිය ද වාස්තු නියමයන්ට යටත්ව සාදා ඇති බව පෙනේ. මේ අනුව රුවන්වැලි සෑය සීගිරිය වැනි නිර්මාණ මෙන්ම මිසරයේ පිරමීඩ හා චීන මහා ප‍්‍රාකාරය වැනි ලෝක පුදුම වූ නිපැයුම් ද වසර දහස් ගණනක් පවතින්නේ පුරාණ වාස්තු විද්‍යාව අනුව නිර්මාණය වූ බැවිනි. ලෝකයේ ඉතාම විශිෂ්ට වාරි තාක්‍ෂණය අපේ මුතුන් මිත්තන් සතුවිය.

එහෙත් 1948 පසුව ඉදිකරන ලද මහා විශාල ඉදිකිරීම් තුළ මේ වාස්තු නියමයන් අනුගමනය කර ඇති බව නොපෙනේ. වාස්තු විද්‍යාව යනු කුමක්දැයි පළමුව විමසා බැලීම වටී. වාස්තු විද්‍යාව යනු පෙර නොතිබූ පරිසරයෙන් අලූතින් නිර්මාණය කිරීමේ කලාවයි. ඇත්තට ම එය හඳුන්වන්නේ ‘‘වාස්තු ශාස්ත‍්‍රය’’ නමිනි. පරිසරයන් අලූතින් නිර්මාණය කරනවා යනු පෙර නොතිබූ නිවසක් හෝ ජලාශයන් හෝ නගරයන් නිර්මාණය කරවීම විය හැක. කෙසේ වෙතත් මේ නිර්මාණය සොබා දහමට අනුකූලවම කළ යුතුයි. එනම් ඉඩමක හැඩය හෙවත් ආතතිය, ගුරුත්වාකර්ෂණ බලපෑම, විශ්ව ශක්තිය ගලන ඊසාන දිශාව, හිරු පායන නැෙඟනහිර දිශාව වැනි ස්වභාවික දේට අනුකූලව ඉදිකිරීම කළ යුතු වෙයි. ගඟත් ගලන දිශාව හා ගුරුත්වාකර්ශනය අතර විශේෂ සබඳතාවක් පවතී. ජලය ගලායන්නේ පහළටය. එනම් ගුරුත්ව බලපෑම අනුවය. ‘පනල’ යනු ඉඩමේ ආනතිය අනුව හැල දිශාවයි.

මේ ස්වභාවික පිහිටීමට එකඟව නිවාස ඉදිකළ යුතුය. එමෙන්ම ඇළ මාර්ග, ගංගාවල දිශාව ස්වභාවිකව පිහිටා ඇත්තේ මේ කරුණු පදනම් කරගෙනය. ගඟ ස්වභාවිකව ගලන දිශාව වෙනස් කර උමඟක් හාරා ඒ ගෙඟ් ජලය වෙනස් දිශාවකට හරවා යැවීම සොබා දහම වෙනස් කරන්නට දරන උත්සාහයකි. එය වරදකි. වාස්තු විද්‍යාත්මක නියමයන්ට පටහැනි ක‍්‍රියාවක්වන එය පරිසර විනාශයන් බව කීම වරදක් නොවේ.

1958 පමණ යෝජනා වී 1970 පමණ ආරම්භ වී 70 දශකයේ අග භාගයේ ආරම්භ කළ කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපාරය තුළ සිදු වූයේ ද මෙවැනි වාස්තු දෝෂ හෙවත් සොබා දහමට ප‍්‍රතිවිරුද්ධ නිර්මාණයන් ද යන්න විමසා බැලීම වටී. වික්ටෝරියා, මාදුරුඔය, රංදෙණිගල, පොල්ගොල්ල ආදී ස්ථානවල කරන ලද ඉදිකිරීම් හා උමං මාර්ග හරහා ගංගා ජලය හරවා යැවීම සොබා දහමට එකඟ යැයි කෙසේ සිතිය හැකිද? මෙවැනි උමඟ හරහා ජලය ගලනවිට ද අතිවිශාල ප‍්‍රමාණයක් ජලය රැස්කරන ජලාශ නිසා ද පෙර නොතිබූ උල්පත් ඇති වී භූගත ජල නහර වෙනස් වී ඇති වන පීඩනය නාය යෑම්වලට හේතුව විය නොහැකිද යන්න ගැටලූවකි. අපගේ කුතුහලය දනවන කාරණය වන්නේ ගංඟා හැරවීම සඳහා උමඟක් හාරා ඒ තුළින් ජලය ගලායන කල ද විශාල ජලාශවල රැස්වන ජලයේ අධික බර නිසා ද පෙර නොතිබූ ජල නහර ඇති වී ඒ හරහා ඇතිවන පීඩනයෙන් නාය යෑම ආරම්භ වූවාද යන්නය. තවද උමඟක් හරහා ගංගා ජලය වෙනත් අතකට හැරවීම සොබා දහමට පිටුපෑමකි. ස්වභාවිකව ගලන ජලය කෘතීමව වෙනස් කිරීම වාස්තු ශාස්ත‍්‍රයට පටහැනිය.

ගොඩනැඟිල්ලක් ඉදිකිරීමේදී ඊට යොදාගනු ලබන ඉඩමේ පිහිටීම හෙවත් හැඩය හා ආනතිය පවතින දිශාව අනුව ශුභා ශුභ නිශ්චය කිරීම වාස්තු ශාස්ත‍්‍රය අනුව කරනු ලැබේ. එහෙත් මේ පිහිටීම, ආනතිය, සම්පූර්ණයෙන්ම වෙනස් වන සේ බැකෝ යන්ත‍්‍ර යොදා පස් කපා ඉඩම වෙනස් කරන අවස්ථා ද දක්නට ලැබේ. මෙය ද සොබාදහම වෙනස් කිරීමකි. නැෙඟනහිරට බෑවුම ඇති ඉඩමක් උතුරට හෝ වෙනත් දිශාවකට බෑවුම් වනසේ පස්කැපීම ද සම බිමක්වන අන්දමට මට්ටම් කිරීමද අනතුරුදායකය.

අවසන් වශයෙන් කිව යුත්තේ කුමන මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘතියක් කළ ද එහිදී ස්වභාවික පිහිටීම වෙනස් නොකළ යුතු බවයි. ගඟ ගලන දිශාව, පොළොව පිහිටි අන්දම හා හැඩය, ස්වභාවික වනාන්තර එසේම තිබිය දී නව ඉදිකිරීම් කිරීම කළ යුතු වෙයි. ඉදිකිරීම් උදෙසා භූමියේ හැඩතල වෙනස් නොකළ යුතු අතර උමං මාර්ග හරහා ගංගාවල ජලය ගලන දිශාව වෙනස් කළ යුතු නොවේ. වනාන්තර කපා එළිපෙහෙළි කිරීම ද එසේය. මේ ගැන පුළුල් විමර්ශනයක් කිරීමට කාලය එළැඹ තිබේ.

කලාභූෂණ ප‍්‍රවීණ ජ්‍යොතිෂවේදී

කෑගල්ලේ සුනිල් කුමාර ගම්ලත්

advertistmentadvertistment