රට බංකොලොත්භාවයෙන් මුදවා ගත් පසු තරුණ තරුණියන්ට රැකියා ලබාදීම හා නවීන කෘෂිකර්මය ගමට ගෙන යෑම ආරම්භ කරනවා

74

ජනාධිපති රනිල් වික්‍රමසිංහ යාපනයේ තරුණ සමුළුවට එක්වෙමින් කියයි
වව්නියා සරසවියට නව වෛද්‍ය පීඨයක්

වව්නියාව රෝහල ශික්‍ෂණ රෝහලක් බවට පත් කර වව්නියාව විශ්වවිද්‍යාලයට නව වෛද්‍ය පීඨයක් ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (26දා) පැවැසීය.
මාන්කුලම් මූලික රෝහලේ ඉදිකළ වෛද්‍ය පුනරුත්ථාපන චිකිත්සක සහ මානසික සෞඛ්‍ය සංවර්ධන මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා එසේ කීය.
බස්නාහිර පළාත මෙන් උසස් සෞඛ්‍ය සේවාවක් සහිත පළාතක් ලෙස උතුරු පළාත දියුණු කිරීම තම අරමුණ බවද ජනාධිපතිවරයා කියා සිටියේය.

රට බංකොලොත්භාවයෙන් මුදවා ගත් පසු තරුණ තරුණියන්ට රැකියා ලබාදීම හා නවීන කෘෂිකර්මය ගමට ගෙන යෑම ආරම්භ කරනවා

ඒ වෙනුවෙන් ගතවූ වසර 2ක කාලය තුළ උතුරු පළාතේ රෝහල් ඒකක 4ක් විවෘත කළ බවද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.

මෙම වසර තුළ රට බංකොලොත්භාවයෙන් මුදවා ගැනීමෙන් අනතුරුව රැකියා විරහිත තරුණ තරුණියන්ට රැකියා අවස්ථා ලබාදීමේ වැඩසටහන ආරම්භ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ඒ සමඟ අපනයන ආර්ථිකයක් නැවත ඇති කිරීම වෙනුවෙන් පෞද්ගලික සමාගම් සමඟ සම්බන්ධ වී නවීන කෘෂිකර්මය ගමට ගෙන යෑමේ වැඩපිළිවෙළ ලබන වසරේ සිට ආරම්භ කරන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ ජාතික තරුණ සේවා සභාව මගින් යාපනය, දොරේඅප්පා ක්‍රීඩාංගණයේදී ඉකුත් (24)දා සංවිධානය කර තිබූ යාපනය දිස්ත්‍රික් තරුණ සමුළුවට එක්වෙමිනි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.

උතුරු පළාතේ භාවිතයට නොගත් ඉඩම් විශාල ප්‍රමාණයක් තිබෙන බව අද මෙතැනදී සඳහන් වුණා. යාපනය පමණක් නොව ශ්‍රී ලංකාවේ අනෙක් ප්‍රදේශවලද භාවිතයට නොගත් ඉඩම් විශාල ප්‍රමාණයක් තිබෙනවා. එම ඉඩම් වගා කටයුතුවලටද යොදාගෙන නැහැ. නමුත් ඈත අතීතයේ අපේ රටේ කෘෂිකර්මාන්තය අපනයන මට්ටමක පැවතුණා. අනුරාධපුර රජ දවසේදී ශ්‍රී ලංකාව ධාන්‍ය අපනයනය කළා. ඉන් පසුව තේ, කෝපි, කුරුඳු, රබර් වැනි බෝග අපනයනය කළා. නමුත් මේ වන විට මෙම අපනයන කටයුතු අඩාල වී තිබෙනවා.

එම නිසා කෘෂිකර්මාන්තය නවීකරණය කර අපනයන ආර්ථිකයක් නැවත ඇති කිරීමට කටයුතු කළ යුතුයි. තරුණ තරුණියන්ටද කෘෂිකර්මයේ යෙදීමට අවස්ථාව ලබාදිය යුතුයි. රජය සහ පෞද්ගලික සමාගම් එක්ව සුහුරු කෘෂිකර්මාන්තය ගමට හඳුන්වාදීමට අප බලාපොරොත්තු වෙනවා. එමඟින් ශ්‍රී ලංකාවට ඩොලර් ඉපයීමට ඇති හැකියාව ඉතා ඉහළයි. හෙක්ටයාර් එකකින් මෙට්්‍රක් ටොන් අටක පමණ වී අස්වැන්නක් නෙළා ගැනීමට හැකි නවීන කෘෂිකර්මාන්තයක් අද තිබෙනවා. එය භාවිතයට ගැනීම තුළින් අපනයන ආර්ථිකයක් මෙන්ම නොවැටෙන ආර්ථිකයක් නිර්මාණය කළ හැකියි.

ඒ වගේම සංචාරක ව්‍යාපාරය සංවර්ධනය කිරීමටත් රජය අවධානය යොමු කර තිබෙනවා. තවද පුනර්ජනනීය බලශක්තිය කෙරෙහි වැඩි අවධානයක් යොමු කර බලශක්තිය අපනයනය කිරීමටත් බලාපොරොත්තු වෙනවා. කිලිනොච්චිය, මන්නාරම සහ යාපනය ප්‍රදේශවල සුළං විදුලිය උත්පාදනය කිරීමට හැකියාව තිබෙනවා. එම විදුලි බලය අප නිපදවන්නේ මෙගාවොට්වලින් නොව ගිගාවොට්වලින් බව පැවසිය යුතුයි. වැව් මත සූර්ය පැනල ස්ථාපනය කරමින් විදුලිය උත්පාදනය කිරීමටත් රජයේ අවධානය යොමුව තිබෙනවා. පූනරීන් සහ ඉරණමඩු යන වැව් මේ සඳහා භාවිත කිරීමට සැලසුම් කර තිබෙනවා. පුනර්ජනනීය බල ශක්තිය වැඩි වශයෙන් නිපදවීමට හැකියාව තිබෙන්නේ උතුරු පළාතටයි. එසේම මෙගාවොට් 700ක ධාරිතාවයකින් සමන්විත ආසියාවේ ලොකුම සූර්ය පැනල බැටරිය මෙම ප්‍රදේශයේ ස්ථාපිත කිරීමට අප කටයුතු කරනවා. එය ආරම්භයක් පමණයි. මේ සමඟ ආසියාවේ විශාලතම පුනර්ජනනීය බල ශක්තිය උත්පාදන මධ්‍යස්ථානය බවට උතුර පත් කළ හැකියි. බලශක්ති ක්ෂේත්‍රයේ ඉදිරියට යෑමේදී මීට වඩා විදුලි උත්පාදනයක් සිදු කළ යුතුයි. කන්කසන්තුරය සිමෙන්ති සංස්ථා භූමිය කේන්ද්‍ර කරගෙන ආයෝජන කලාපයක් පිහිටුවීමට නියමිතයි. මාන්කුලම ප්‍රදේශයේද ආයෝජන කලාපයක් පිහිටුවීමට ද බලාපොරොත්තු වෙනවා. අපේ ධීවරයන් වෙනුවෙන් අපේ මුහුද ආරක්ෂා කරගැනීමට අපට වගකීමක් තිබෙනවා. නවීන ධීවර ක්‍රම තුළින් ධීවර කර්මාන්තයද දියුණු කරනවා.

පසුගිය වසර හතරක කාලය තුළ ශ්‍රී ලංකා ආර්ථිකය විශාල වශයෙන් පසුබෑමකට ලක්වුණා. එහිදී ජනතාව විශාල ලෙස දුක් පීඩාවට ලක්වුණා. වර්තමානය වන විට රට බංකොලොත්භාවයෙන් මිදෙමින් තිබෙනවා. රට බංකොලොත්භාවයෙන් ඉවත් වූවායින් පසුව රැකියා විරහිත තරුණ තරණියන් රැකියා ලබාදීමටත් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඔබේ ඉල්ලීම පරිදි ඉදිරි මාස දෙක තුළදී දකුණු ඉන්දීය කලාකරුවන් සමඟ විශාල ප්‍රසංගයක් යාපනයේ පැවැත්වීමට කටයුතු කරන ලෙස මා ජාතික තරුණ සේවා සභාවේ සභාපතිවරයාට දැනුම් දුන්නා. බංකොලොත් ආර්ථිකයෙන් රට මුදවාගෙන ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ දැමීමට රජයක් හැටියට අප ඉදිරියටත් කටයුතු කරනවා.

මෙහිදී තරුණ තරුණියන් මතු කළ ප්‍රශ්න කිහිපයක් සහ ඒවාට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබාදුන් පිළිතුරු පහත දැක්වෙයි.

ප්‍රශ්නය

ජනාධිපතිතුමනි, ලෝකයේ ප්‍රකට ව්‍යාපාරිකයකු වන ඊලොන් මස්ක් ලංකාවට පැමිණෙන බව සඳහන් වෙනවා. එයින් තරුණයන්ට ලැබෙන ප්‍රයෝජනය කුමක්ද?

පිළිතුර –

මම ඊලොන් මස්ක් සමඟ ගෝලීය ”Starlink˜ ජාලය ශ්‍රී ලංකාව හා සම්බන්ධ කිරීම පිළිබඳව සාකච්ඡා කළා. ”Starlink˜ සමඟින් කොළඹින් පිටත Wi-Fi ප්‍රශ්නය බොහෝ දුරට විසඳෙනවා. ඒ වගේම ඔහු සමඟ අප රට සතු පුනර්ජනනීය බලශක්තිය විශේෂයෙන් සූර්යබලශක්ති විභවය පිළිබඳව ද සාකච්ඡා කළා. අපේ රටට වැදගත් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ඔහුට මෙරටට පැමිණෙන ලෙස මා ආරාධනා කළා.

මෙම අවස්ථාවට අමාත්‍ය ඩග්ලස් දේවානන්ද, උතුරු පළාත් ආණ්ඩුකාර පී. එම්.සී. චාර්ල්ස්, ජාතික තරුණ සේවා සභාවේ සභාපති/අධ්‍යක්ෂ ජනරාල් පසිඳු ගුණරත්න යන මහත්ම මහත්මීන් ඇතුළු තරුණ තරුණියන් විශාල පිරිසක් එක්ව සිටියහ.

දියසේන රතුගමගේ සහ මුලතිව් – ප්‍රසන්න ප්‍රදීප්

advertistmentadvertistment
advertistmentadvertistment