රට බංකොලොත් භාවයෙන් මුදාගත් රනිල් ජනපතිවරණයෙන් ඓතිහාසික ජයක් ලබනවා – එජාප සභාපති වජිර අබේවර්ධන

58

රට බංකොලොත් බවින් මුදවාගෙන රට ගොඩගත් ජාතික නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා මෙවර ජනපතිවරණයෙන් ඓතිහාසික ජයක් හිමි කරගන්නා බවත්, එම ඓතිහාසික ජයග්‍රහණය ලබාදීම වෙනුවෙන් ජනතාව මේ වනවිටත් පෙළගැසී සිටින බවත් එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය.

එසේම නැවත නැවත වැරැදි කළහොත් එම ප්‍රතිඵල භුක්ති විඳීමට සිදු වන්නේ මෙරට අනාගත දරු පරපුරට බවත්, ඒ නිසා රටේ සමස්ත මහජනතාව කල්පනාවෙන් ක්‍රියාකළ යුතු බවත් ඒ මහතා අවධාරණය කළේය.

අබේවර්ධන මහතා මෙම අදහස් පළකළේ පසුගිය 06 වැනිදා ජනපති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් ගාල්ල එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන කාර්යාලයේ පැවැති එජාප ගාල්ල දිස්ත්‍රික් සම්මේලනය අමතමිනි.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය.

“රටට ජාතියට නායකත්වයක් දුන් ජනාධිපතිවරයා අද මෙහි පැමිණ සිටිනවා. දෙකෝටි විසි ලක්ෂයක් ජනතාව හිඟමනට පත්ව සිටි මොහොතක රට භාරගෙන ඔවුන් හිඟමනින් මුදාගත් නායකයා රනිල් වික්‍රමසිංහ මැතිතුමා බව මා ඔබට කිව යුතුයි.

වගකීම් භාර ගැනීම සියලු දෙනාම මඟහැර යන විට රනිල් වික්‍රමසිංහ මැතිතුමා පෙරටවිත් රටත් රටේ සිටින දෙකෝටි විසිලක්ෂයක් ජනතාවගේත් වගකීම භාර ගත්තා. හිටපු කිසිම ජනාධිපතිවරයෙක් මෙවැනි පින්කමක් කර තිබේ යැයි මා සිතන්නේ නෑ.

අපි 2015 සිට පැමිණි ගමන් මඟ වෙනස් කළහොත් අමාරුවේ වැටෙන බව ජනාධිපතිතුමා 2020 වසරේ දී පැවසුවා. නමුත් ජනතාව ඒ පාර වෙනස් කළා. අප පරාජයට පත්වුණා. අපට ලැබුණේ එක ආසනයක් පමණයි. පසුව එක ආසනයකින් ජනපති ධුරයට පත්වී එක්සත් ජාතික පක්‍ෂය ලෝක දේශපාලන වාර්තාවක් තබා තිබෙනවා. අප කිසි විටෙක බෙදෙන්න හොඳ නෑ. අපට පොදුජන පෙරමුණේ සිටින සියලුම මහජන නියෝජිතයන් අවශ්‍යයි. අපට ශ්‍රී ලංකා එකත් අවශ්‍යයි. අනුර කුමාර දිසානායක මහත්මයගෙ කණ්ඩායමත් අපට අවශ්‍යයි. අපි සියලු දෙනාම එකතු වුණොත් තමයි අපිට මේ රට ගොඩ නඟන්න පුළුවන්.

ජනපති රට භාරගත් සැණින් සියලුම දුප්පත් ජනතාවගේ ගිණුමට රුපියල් පහළොස් දහස බැගින් බැර කිරීමට ඔහු සමත් වුණා. එමෙන්ම සහල් කිලෝ දහය බැගින් හැම පවුලකටම ලබා දෙන්න හැකියාව ලැබුණා. ඔහු මෙසේ කළේ බංකොලොත් වූ රටකයි.

නිදහසින් පසුව සියලුම නායකයන් කළ වැරැදි රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් නිහඬව භාරගෙන නිවැරැදි කරමින් සිටිනවා. ලබන ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ඓතිහාසික ජයක් ලබාදිය යුතුව තිබෙනවා. ඒ වෙනුවෙන් මේ වනවිට සමස්ත ශ්‍රී ලාංකික මහජනතාව පෙළ ගැසෙමින් සිටිනවා.

මේ ස්ථානයට දැන් පැමිණ සිටිනවා කරාපිටිය ජාතික රෝහලේ ඇතුළු ගාල්ලේ සිටින වෛද්‍යවරුන්. ඔවුන් පවා පවසන්නේ මේ අවස්ථාවේදී රනිල් වික්‍රමසිංහ මැතිතුමා වටා පෙළ

ගැසෙන බවයි. ඔවුන්ට දේශපාලනයක් අවශ්‍ය නෑ. ඔවුන්ට අවශ්‍ය වන්නේ ජාතික වශයෙන් මේ රට ගොඩනැඟීමයි. ඉතින් ඒ කාරණාව සඳහා ඔවුන් රනිල් වික්‍රමසිංහ මැතිතුමා වටා පෙළ ගැසී සිටිනවා.

2024 වසරේදී ආසියාවේ බලවත් රටක් බවට ශ්‍රී ලංකාව පත්කිරීම සඳහා ඓතිහාසික තීන්දුවක් ගත යුතුව තිබෙනවා. අපට නැවත වැරැදි කර කර ඒවා හදාගන්නට කාලයක් නෑ. රට ගොඩගන්න නම් රටට දේශපාලන ස්ථාවරත්වයක් අවශ්‍යයි. අපට ගැළපෙන නොගැළපෙන සියලු දේශපාලන පක්ෂ කණ්ඩායම් මේ මොහොතේ රට වෙනුවෙන් එකතු විය යුතුව තිබෙනවා. අපට ලෝකයේ බලවත් රටක් වීමට අවශ්‍ය නම් ඒ දේශපාලන සහයෝගීතාව ඉතාමත් වැදගත් බව මම ඔබට ප්‍රකාශ කරනවා.

advertistmentadvertistment
advertistmentadvertistment