රට” බඩ සහ රනිල් වික්‍රමසිංහ

2377

ශ්‍රී ලංකාවේ 26 වැනි අගමැති බවට රනිල් වික්‍රමසිංහ පත්වන්නේ නොසිතූ මොහොතක නොසිතූ ආකාරයෙන්ය. අපගේ වැටහීම පරිදි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අගමැති පදවිය භාරගන්නා ලෙස මුලින්ම ආරාධනා කරන ලද්දේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසටය. තමා අගමැතිකමට එනවා නම් ගෝඨාභය ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව සජිත් කීවේය. සමහරවිට ඔහු මෙවැනි දැඩි ස්ථාවරයක පිහිටන්නට ඇත්තේ ගෝල්ෆේස් ගෝඨා ගෝ ගමදී පොහොට්ටු දාමරිකයන් වෙතින් ගුටි කෑ නිසා වන්නට පුළුවන. එහෙත් ආණ්ඩු විරෝධී උද්ඝෝෂණය මුල සිටම ඉල්ලා අස්වීමේ අදහසක් ගෝඨාභය රාජපක්ෂ තුළ තිබුණේ නැත. තම ජනාධිපති ධුරය ආරක්ෂා කරගෙන සාධනීය පියවරකට යෑම ඔහුගේ අරමුණ බව පෙනෙන්නට තිබිණ. සජිත්ගේ ස්ථාවරයට එරෙහිව විරෝධය පළ කළ ප්‍රමුඛයා වූයේ හරීන් ප්‍රනාන්දුය. හතර වටේ බල බලා නොසිට ආණ්ඩුවක් පිහිටුවන ලෙස ඔහු සජිත්ගෙන් ඉල්ලන්නට ඇති. ආණ්ඩුවක් පිහිටුවීම සඳහා සජිත් තුළ ඇති පැකිලීම “ආසයි බයයි ඒ බෝට්ටුවේ නමයි” ලෙස හරීන් විසින් දක්නා ලදී. ඔහු ඒ බව මාධ්‍යට ද කීවේය. ඉන්පසු පාර්ලිමේන්තුව තුළ ස්වාධීන වී එන ආණ්ඩුවක් සමග කටයුතු කරන බවද ඔහු කීවේය. මේ අතර රනිල් වික්‍රමසිංහ අගමැති ලෙස දිවුරන්නට යන බව රට පුරා පැතිර ගියේය. ජනාධිපති වහාම ඉල්ලා අස්විය යුතු බවට කළ ඉල්ලීම ්ාවමිඑ කළ සජිත් නිශ්චිත කාලයක් තුළ ජනාධිපතිතුමා ඉවත් වන්නේ නම් තමා ආණ්ඩුවක් පිහිටුවීමට සූදානම් බව කියමින් ජනාධිපති මන්දිරයට ලියුමක් යැවීය. ලියුම යන අතර රනිල් අගමැති ලෙස දිවුරුම් දුන් අතර සජිත් ඉදිරි අවුරුදු දෙකහමාරක හෝ තුනක කාලය විපක්ෂ නායක ලෙසම කටයුතු කළයුතු බව ඉරණම විසින් තීන්දු කරනු ලැබීය. නිශ්චිත කාලයකින් ගෙදර යෑමේ අපේක්ෂාව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ තුළ තිබේ. ඒ නිශ්චිත කාලය යනු ජනාධිපතිගේ නිල කාලයයි. ඒ කාලයෙන් පසු ඔහු එක්කෝ ගෙදර යනු ඇත. නැත්නම් නැවත වතාවක් ඡන්දය ඉල්ලනවා ඇත. අද සජිත් සිටින්නේ දේශපාලන බස් එක මිස් වීමේ ඛේදවාචකය මත සිට ගෙනය. සජිත් ට ඡන්ද පදනමක් ඇත. රනිල් ට ජාත්‍යන්තර පදනමක් ඇත. මේ මොහොතේදී මේ රටට වැදගත් වන්නේ ඡන්ද පදනම නොව ජාත්‍යන්තර පදනමයි. ඉදිරියේදී අපට හුස්ම ගැනීමට සිදුවන්නේ ජාත්‍යන්තරය ණයට ඩොලර් දුන්නොත් පමණි. එය වඩා හොඳින් කළ හැක්කේ රනිල් වික්‍රමසිංහට බව ඉතා පැහැදිලිය. ඕනෑම හදිසියකදී ප්‍රයෝජනයට ගැනීම සඳහා පළපුරුදු අගමැතිවරයෙක් රටේ සිටීම වාසනාවකි. මෙවැනි පළපුරුදු මිනිහකුට වැඩ ඉගැන්වීමට අවශ්‍ය නැත. පුටුවේ ඉඳගත් මොහොතේ පටන්ම ඔහු දිගටම වැඩ කරගෙන යන්නේය.

යුද ජයග්‍රහණයේ දේශපාලන පීතෘවරයා ලෙස සැලකෙන මහින්ද රාජපක්ෂගේ පොහොට්ටු ආණ්ඩුව එහි උපතේදීම මරණය සටහන් කරගෙන පැමිණි ආණ්ඩුවකි. මුලින්ම කොවිඩ් 19 ට මුහුණ දීමට එම ආණ්ඩුවට සිදුවිය. ඉන්පසු පිට රටින් බඩු ගෙන්වා ගැනීමට රටට ඩොලර් නැති විය. ඩොලර් ප්‍රශ්නය කළමනාකරණය කර ගැනීමට ආණ්ඩුවට හෝ ජනාධිපතිට බැරි විය. මෙය ඉතාම නරක තත්ත්වයකි. මුලින්ම නැති වූයේ රසායනික පොහොරය. ඊට සමාන්තරව වැටුප් විෂමතා නැති කරන ලෙස ඉල්ලා ගුරුවරු පාරට බැස්සාහ. ආණ්ඩුව රසායනික පොහොර වලින් කාබනික පොහොර වලට මාරුවුණේ මළඉලව් වස විස නැති වගා සංකල්පය නිසා නොව රසායනික පොහොර ගැනීමට අතේ සල්ලි නොතිබූ නිසාය. හැබැයි ආණ්ඩුව ඒ බව සඟවාගෙන කාබනික පොහොරවල ගුණ කියමින් රටට බොරුවක් කළේය. ආණ්ඩුවට ප්‍රමුඛ ලෙස හානි වීමට පටන් ගන්නේ මෙතැන් සිටය. රසායනික පොහොර නැති ගොවියෝ මහ පාරට බැස යකා නටන්නට පටන් ගත්හ. ඒ අතර ආණ්ඩුව මගින් ඉදිරිපත් කරන ලද රූකඩ ගොවියන් කිහිපදෙනෙක් මාධ්‍යට ඉදිරිපත් කර කාබනික පොහොර යොදා හදන ගොයම් ගස අඩි 7 ක් පමණ උස යන බව ඔවුන් ලවා කියෙව්වේය. මෙවැනි ගොයම් ගස්වලින් වී නෙළීම සඳහා පොල් ගස් නගින වළල්ලක් දෙපයේ දමාගෙන ගොයම් ගස දිගේ නැගිය යුතු වෙයි. ආණ්ඩුවේ කාබනික පොහොර නාඩගම ඉන්තේරුවෙන්ම බොරුවක් බව මිනිස්සු දැන සිටියහ. ඊළඟට ටිකෙන් ටික ගෑස් මිල ඉහළ යන්නටත් ගෑස් හිඟ වෙන්නටත් පටන් ගත්තේය. ඊළඟ අවස්ථාවේ පෙට්‍රල් හා ඩීසල් හිඟ විය. පසුව ආණ්ඩුව ලයිට් කපන්නට පටන් ගත්තේය. ලංකාවේ ජනගහනයෙන් 75% ට වඩා විදුලිය මත යැපෙති. ඔවුන් සියදිවි නසා ගැනීම හැර සෙසු සියලු කටයුතු සඳහා විදුලිය පාවිච්චි කරති. ගෑස් තෙල් සහ විදුලි ප්‍රශ්නය මිනිසුන්ට ඉතා තදින් දැනුනේය. ඒ අතර රටේ අත්‍යවශ්‍ය ආහාර මිල නගින්නට පටන් ගත්තේය. කිරිපිටි මිලද එහෙ බලා මෙහෙ බලන විට ඉහළ ගියේය. අද හූනු බිජ්ජකට වඩා ටිකක් ලොකු බිත්තරයක් රුපියල් 33 කි. පාන් රාත්තලක් රුපියල් 150 කි. සීනි කිලෝවක මිල තීරණය කරනු ලබන්නේ හෙට්ටි වීදියේ රන් මිල තීරණය කරන්නාක් වැනිම දිනපතා උදේටය. ගෝටා ගෝ ගම ඉදිකරනු ලබන්නේ මේ පීඩනයේ අන්තිම කොනේදීය. ඊට සමාන්තරව මයිනා ගෝ ගම ද ඉදිවිය. ඉරණමේ තරම කොතරම් ද යත් මුලින්ම යන්නට සිදුවුණේ මුලින්ම ඉදිකළ ගෝටා ගෝ ගමේ ගෝඨාභය රාජපක්ෂට නොව මයිනා ගෝ ගමේ මහින්ද රාජපක්ෂට ය. අන්තිමේදී අලුත් ආණ්ඩුවක් සෑදිය යුතු තැනටම රට තල්ලු විය.

අගමැති රනිල් වික්‍රමසිංහ කර ගසා ඇත්තේ එසේ මෙසේ කෙහෙල් කැනකට නොවේ. එම කෙහෙල් කැන ඉදිලා තියා පැහිලාවත් නැත. කෙහෙල් කැනට කුහුඹු වසංගතයක් බෝවී ඇති බැවින් එය කරතබා ගත් එකාගේ උරහිස සම්පූර්ණයෙන්ම විෂ දළ පහරට ලක්වෙයි. හරියට පැහිලා නැති බැවිනුත් බඩුවල කොලිටිය බාලවීම නිසාත් මේ කෙසෙල් කැන මිලට ගැනීමට කවුරුවත් කැමති නැත. ඒ නිසා මෙය ඉදෙනතුරු සෑහෙන කාලයක් බලා සිටීමට සිදුවෙයි. මෙහිදී රනිල් වික්‍රමසිංහ ස්වකීය ජාත්‍යන්තර සම්බන්ධකම් යොදා පිට රටකින් ගානක් කපාගෙන වැසියාගේ උදරය ගොඩ දමනු ඇතැයි මේ මොහොතේදී රට වැසියෝ අපේක්ෂා කරති. රනිල් වික්‍රමසිංහගේ අගමැතිකම තුළ කිසිදු පූර්ව වියදමක් නැත. මෙය ඡන්දයකින් ආ ගමනක් නොවේ. මෙහි ඡන්ද පොරොන්දු ද නැත. ඒ නිසා බැලූ බැල්මට පෙනෙන්නේ රටේ ප්‍රශ්න විසඳෙන තුරු කූල් එකේ වැඩ කරගෙන යෑමට රනිල් වික්‍රමසිංහට ඉඩ ප්‍රස්ථාව ඇති බවයි. ඒත් ඒ සෙල්ලම හරි නොයයි. අගමැති තනතුරේ දිවුරුම් දුන් මොහොතේ පටන් රනිල් වික්‍රමසිංහ පත්වන්නේ ජනතාවගේ අගමැති ධුරයටය. මේ මිනිහා අපේ ඡන්දයෙන් ආ කෙනකු නොවන බව ඒ මොහොතේදී ජනතාව කල්පනා කරන්නේ නැත. ඔවුන් කියන්නේ අගමැතිකමට ආවා නම් රටේ ප්‍රශ්න විසඳීම අගමැතිගේ රාජකාරිය බවය. රනිල් වික්‍රමසිංහ අගමැති බවට පත්වීමත් සමග බටහිර රටවල් සතුටට පත්වූ බව පෙනේ. එයට හේතුව රනිල් එකී බටහිර කඳවුරේ කෙනෙක් වීමය. බටහිර කඳවුර යනු කුඩු කාරයන්ගේ හෝ ගංජාකාරයන්ගේ කඳවුරක් නොව ආර්ථික කඳවුරකි. මේ ආර්ථික කඳවුර සමග සිටින විට ඔවුන් සමග එක්වී වැඩ කරන්නට සිදුවේ. රට ගොඩගැනීම සඳහා රනිල්ට ඩොලර් ලබා ගත හැක්කේ ඒ කඳවුර තුළ ඔහු කටයුතු කරන ආකාරයට අනුවය.

advertistmentadvertistment
advertistmentadvertistment