දිඹුල්කුඹුරේ විමලධම්ම මල්වතු අනු නාහිමියෝ
ඡන්දදායකයින් ඇතැම් අපේක්ෂකයින් පසුපස තවලම පසුපස යන ගොනුන් සේ ගමන් කරනවා. පාර දන්න ගොනා ඒ පාර දිගේ ගමන් කරන කොට අනික් ගොන්නු ටිකත් ඒ පස්සේ යන්නං වාලේ ඔහේ යනවා. රට බාරදීමට නියම සුදුස්සා කවුද යන්න තෝරා ගැනීමේදී ජනතාව මේ ආකාරයට ගොනා පස්සේ යනවා වාගේ යන්න
ගියොත් රටක් ඉතුරු වෙන්නේ නැතැයි මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම නාහිමියෝ පවසති.
ජනපතිවරණයේදී අවම වශයෙන් ඡන්ද 1000 ක් හෝ ලබාගන්නට නොහැකි අයද ඇප මුදල් තැන්පත් කිරීමෙන් මේ වනවිට ජනපති අපේක්ෂක ලැයිස්තුව 18 ක් දක්වා ඉහළ ගොස් තිබෙන බවත් මේ නිසා මුද්‍රණ වියදම් ඉහළ යෑමට අමතරව තමන් කැමැති අපේක්ෂයාට ඡන්දය ප්‍රකාශ කිරීමේදී ජනතාවද අසීරුතාවට පත්වනු ඇති බවත් උන්වහන්සේ පැවසූහ. ඇතැම් අප්‍රසිද්ධ පුද්ගලයින් නම ප්‍රසිද්ධ කරගැනීමට ඇති කෑදර කම නිසා ජනපතිවරණයට ඇප මුදල් තැන්පත් කර තිබෙන බවත් ඉදිරියේදී තවත් අය ඇප මුදල් තැන්පත් කිරීමෙන් ඡන්ද පත්‍රිකාව තවත් දිගුවීමට ඉඩ තිබෙන බවත් අනුනාහිමියෝ පැවසූහ.
අනුනාමියන් එසේ පැවසුවේ ‘දූෂණය නවතමු – මව්බිම ගොඩ නගමු’ සන්ධානයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා සහ හිටපු අගවිනිසුරු සරත් එන් ද සිල්වා මහතා ඊයේ (08දා) මල්වතු මහා විහාරයට ගොස් උන්වහන්සේ බැහැදැක ආශිර්වාද ලබාගත් අවස්ථාවේදීය. විධායක ජනපති ධූරය අහෝසි කිරීම ඇතුළු වැදගත් සංශෝධන රැසක් ඇතුළත් දූෂණයෙන් තොර රටක් බිහි කිරීම සඳහා වන නව ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත හිටපු අගවිනිසුරු සරත් එන් ද සිල්වා මහතා විසින් අනුනාහිමියන්ට මෙහිදී පිළිගන්වනු ලැබීය. එහිදී මල්වතු අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම නාහිමියෝ මෙසේද පැවසූහ.
මහ පතරංග ජාතකය මෙන් ඡන්ද පත්‍රිකාව දිගු වීම නිසා රජයේ මුදල් මෙන්ම නිලධාරීන්ගේ කාලය, ශ්‍රමය අමතරව වැය කිරීමට සිදුවෙනවා. ජනපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීමට පැමිණි හිමිනමක් ඒ සඳහා මුදල් ගෙන ඒමට අමතක වූ බව පවසා ආපසු හැරී ගොස් නැවත වෙනත් දිනයක පැමිණ ඇප මුදල් තැන්පත් කළා. ජනපති ධූරයට පත්වීමේ අපේක්ෂාවෙන් වැඩ කරන අයගේ මොළය වැඩ කරන්නේ මේ විදිහට නම් ඒක විශාල ගැටලුවක්. උගත්, බුද්ධිමත් දේශාපලනය ගැන කිසිදු අවබෝධයක් නොමැති අය ජනපති ධූරය සඳහා ඉදිරිපත් වීම විශාල ප්‍රශ්නයක්.
බලයට එන කවුරුවත් බලය අත්හරින්න සූදානම් නැහැ. විධායක ජනපති ධූරය අහෝසි කරන බව කී දෙනෙක් කිව්වද? ජනාධිපති පුටුවේ වාඩි වුණාට පස්සේ ඒවා සියල්ල අමතකයි. හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහත්තයා බලය ටිකක් එහේ මෙහේ කළා. ජේ.ආර්. ජයවර්ධන මහත්තයා මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා අස්වීමේ ලිපිවලට අත්සන් අරන් ඒවා සාක්කුවේ දාගෙන තමයි ඒ අයගේ ඡන්දය ගත්තේ. මේක පුංචි රට කෑලි වලට කඩන්න දෙන්න බැහැ. පළාත් සභාවලට මොන තරම් නම් මුදලක් වැය කරනවාද? මේවා ජනතාවට උහුලන්න පුළුවන් වියදම් නෙවෙයි. දැන් පළාත් සභා නැතුවත් අපූරුවට ඒ වැඩ කරගෙන යනවා. පෘතග්ජන මිනිස්සු බලය අත්හරිනවාට වඩා බදාගන්න තමයි උනන්දුව. ඒ නිසා තමයි අවුරුදු 80-90 වෙලත් දේශපාලනයේ ඉඳන් තනතුරු ගන්න හදන්නේ. ජනාධිපති පුටුවේ ඉඳගත්තට පස්සේ ආයෙත් මන්ත්‍රීවෙලා, ඇමැතිවෙලා ඉන්න හදනවා. මොකක් ද මේ කෑදරකම.
සමන්ති වීරසේකර