රට බේරා ගත් රණවිරුවන්ට හරි හැටි යුතුකම් ඉටු නොකිරීමෙන් විදෙස් යුද්ධයකට මැදිව මියයන්නට සිදු වෙලා

41

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගාල්ල නෙලු‍වේදී කියයි

තිස් වසරක ත්‍රස්තවාදයේ ගොදුරක් බවට පත්ව තිබූ අප රට දැය බේරා ගත් අප රටේ රණවිරු ප්‍රජාව ආදරයෙන් සිහිපත් කරන බවත් මේ යුද ජයග්‍රහණයෙන් පසු ආදරණීය රණවිරු ප්‍රජාවට නිසි යුතුකම් ඉටු වූයේද කියා නැවත වරක් සිතා බැලිය යුතු බවත් අද වන විට රණවිරුවන් හා එම පවුල් අන්ත අසරණ වී ඇති බවත් දරාගත නොහැකි ආර්ථික සමාජීය පීඩනයකට ලක්ව ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

රට දැය දේශය වෙනුවෙන් ඇස් ඉස් මස් ලේ රුධිරය ශරීරයේ ඉන්ද්‍රියන් මෙන්ම ජීවිත පරදුවට තබා කැපකිරීම් කළ රණවිරුවන් ආර්ථික අපහසුතාවලින් පීඩනයට පත්ව ඇති බවත් ඔවුන් අපේක්ෂා කළ සහන අහිමි වීම නිසා රණවිරු පරපුර දරිද්‍රතාවේ පතුලටම වැටී ඇති බවත් මේ නිසා ඔවුන් වැඩි වැටුපකට වැඩි වේතනයකට වෙනත් ආදායම් මාර්ග සොයා ගෙන විදේශ රටවලට ගොස් අනාථ වී ඇති බවත් සමහරු රුසියාවට සිවිල් රැකියා සොයා ගියත් අවසානයේ යුද පෙරමුණට යාමට සිදුව ඇති බවත් මේ නිසා විශාල පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බවත් මෙම මරණවලට හේතුව රජය මෙම රණවිරුවන් වෙනුවෙන් හරිහැටි යුතුකම් ඉටු නොකිරීම නිසා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ 18දා ගාල්ල නෙලු‍ව දෙල්ලව මහ විද්‍යාලයට සක්වල සුහුරු පන්ති කාමර වැඩසටහනේ 192 වැනි අදියර යටතේ රුපියල් 1,177,000ක් වටිනා සුහුරු පන්ති කාමරයක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙහිදී පාසල් සංවර්ධන අරමුදලට රුපියල් ලක්ෂයක මුදලක්ද පරිත්‍යාග කළේය.

රට බේරා ගත් රණවිරුවන්ට රටේ ඉන්න බැරිව විදේශ රටවලට යන බවත් මේ මොහොත වන විට රණවිරු පරපුරට ලැබිය යුතු සහන කප්පාදු වී ඇති බවත් ආබාධිත රණවිරුවන්ට හිමි සහන පවා අහිමි වී ඇති බවත් මෙවැනි තත්ත්වයක් තුළ මොවුන් ආරක්ෂා කරගැනීමට කටයුතු කිරීම අප සැමගේම වගකීම බවත් සමගි ජන බලවේග රජය එම සියලු‍ සහන ලබාදෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

තියෙන අයගෙන් අරගෙන නැති තැනට බෙදනවා කියා තමාට චෝදනාවක් එල්ල වී ඇති බවත් එය සමාජ යුතුකමක් ලෙස තමා සැලකු බවත් රටේ උග්‍ර පොහොසතුන් සමාජ සේවයට ජනතා සේවයට කැමැත්තක් දක්වනවා නම් තියෙන අයගෙන් අරගෙන නැති තැනට ලබාදීමේ වරදක් නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

පසුගිය කාලයේ ජාතික පාසල් දහසක් බිහි කරනවා කියා ලක්ෂ 20 බැගින් බෙදා බෝඩ් ලෑල් ජාතික පාසල් බිහි කළ බවත් එම රුපියල් ලක්ෂ 20න් පාසලකට සුහුරු පන්ති කාමර 2ක බැගින් ලබාදීමේ හැකියාවක් තිබූ බවත් මෙවැනි අමනෝඥ ක්‍රියා නිසා රටක් ලෙස බංකොලොත් වූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සමගි ජන බලවේග රජයක් තුළ තේ ගොවියා හට දරාගත හැකි මුදලකට යෙදවුම් ලබා දෙනවා සේම නව තාක්ෂණය උපයෝගී කර ගෙන සීමාසහිත භූමියෙ උපරිම ඵලදාවක් ලබාගත හැකි ආකාරයට වර්ධනය කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment