රට මලින් සරසන නුවරඑළියේ මල් වගාව වල් වැදුණු හැටි

722

* අහක දාන මල් කාබනික පොහොරවලට

 * පිටරට  යවලත් ඉවරයි

 ‘‘අපේ ජීවිත මල් තරම් ලස්සන නෑ. අපි ජීවත්වුණේ, දරුවන්ට ඉගැන්නුවේ හැමදෙයක්ම කළේ මල් වගා කරලා. පාස්කු ප‍්‍රහාරය නිසා උත්සව, සම්භාෂණ තහනම් වීමත් සමඟ මල් ගොවීන්, ව්‍යාපාරිකයන් විශාල පිරිසක් අසරණ වුණා. ටිකෙන් ටික ඔළුව උස්සන්න හදද්දි කොවිඞ් වසංගතය ආවා. දැන් පොහොර  ගැටලූවක් ඇවිත්. මේ හැමදේම නිසා මල් කර්මාන්තය කඩා වැටිලා තියෙන්නේ. අනෙක් ක්ෂේත‍්‍ර ගැන අවධානය යොමු කරනවා වගේම මල් කර්මාන්තය ගැනත් බලධාරීන්ගේ අවධානය යොමු විය යුතුයි. මේ රටේ ආර්ථිකය ගොඩ නඟන්න අපිත් විශාල සහයෝගයක් දෙනවා”

රට මලින් සරසන නුවරඑළියේ මල් වගාව වල් වැදුණු හැටි

කොවිඞ් වසංගතයත් සමඟ මෙරට බොහෝ අංශ ක‍්‍රම ක‍්‍රමයෙන් කඩා වැටෙද්දී තමන්ගේ වගා කටයුතු ද නිසි අයුරින් සිදුකරගත නොහැකි තරමටම අසරණව සිටින බවට වී ගොවිතැනෙහි මෙන්ම එළවළු, පලතුරු වගාවේ නියැළෙන ගොවියෝ පවසති. ඒත් සමඟම රසායනික පොහොර ගැටලූවද ඇති වූ නිසා එළවළු, පලතුරු, වී ගොවියන් මෙන්ම මල් ගොවියන් ද දුෂ්කරතා රැුසකට මුහුණ පා සිටින බවට දිවයිනේ විවිධ ප‍්‍රදේශවලින් තොරතුරු වාර්තා වේ.

රට මලින් සරසන නුවරඑළියේ මල් වගාව වල් වැදුණු හැටි

බදුල්ල, නුවරඑළිය, හාලිඇල, වැලිමඩ ඌවපරණගම ආදී ප‍්‍රදේශවල මෙන්ම අනෙකුත් ප‍්‍රදේශවලත් මහා පරිමාණ ලෙසින් හා සුළු පරිමාණ වශයෙන් විසිතුරු මල් පැළ සහ කැපුම් මල් ආශ‍්‍රිතව ජීවිකාව සිදුකරගනු ලැබූ බොහෝ පිරිසක් තමන්ගේ ආදායම් මාර්ග බිඳ වැටීම නිසා පීඩාවට පත්ව සිටිති. විවිධ උත්සව සඳහා කැපුම් මල් සපයමින්, විසිතුරු මල් පැළ අලෙවි කරමින් හා විදේශ රටවලට පවා මල් සපයමින් මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීමට සහයෝගය ලබාදුන් මල් ගොවීන්, සැපයුම්කරුවන් සහ අලෙවිකරුවන් මෙන්ම මල් කර්මාන්තය ආශ‍්‍රිතව වක‍්‍ර ලෙසින් ජීවිතය ගැටගසා ගත් පිරිස තමන්ගේ වෘත්තීන්හි හුරුපුරුදු ලෙස නිරත වීමට කොවිඞ් වසංගතය අවසන් වනතුරු දෑස් අයා බලා සිටිති.

රට මලින් සරසන නුවරඑළියේ මල් වගාව වල් වැදුණු හැටි

 ‘‘වැලිමඩ – ඌව පරණගම ප‍්‍රදේශයේ මල් ගොවීන් විශාල ප‍්‍රමාණයක් ඉන්නවා. ඔවුන් කැපුම් මල් හා විසිතුරු පැළ වගා කරනවා. මල් ප‍්‍රමිතියකට හදන්න ගොවියන්ට විශාල පිරිවැයක් වගේම මහන්සියක් දැරීමට සිදු වෙනවා. මල් පැළයක් හිටවන එකේ ඉඳලා වෙළඳපොළට එනකම්ම ඒවාට සාත්තු කළ යුතුයි. අවුරුදු දහයක් ගියත් මලක මිල ඒ තරම් වෙනස් වෙන්නේ නැති වුණාට බීජවල, පැළවල, පොහොරවල මිල බලාගෙන ඉද්දි වැඩි වෙනවා.’’ ලෙස ඌවපරණගම මල්  ගොවියකු වන සමන් අරුණ කුමාර මහතා පවසයි.

* මල් වගාවට රසායනික පොහොර අත්‍යවශ්‍යයි.

 මල් ගොවියන් පවසන ආකාරයට මේ වන විට මල් වගාව සඳහා ඇති ප‍්‍රධානතම ගැටලූව වන්නේ වගාකිරීමට රසායනික පොහොර  හිඟ වීමයි. මල් පැළයක් සිට වූ දිනයේ සිට මල් අස්වැන්න නෙළා ගන්නා තුරුම විවිධ බෙහෙත් පොහොර හා දිලීරනාශක එක් කළ යුතු බව ගොවීන් පවසයි. ඒ අනුව පැළය වර්ධනයට, මල් පොහොට්ටු සෑදීමට, මල්වල වර්ණය ඇතිවීමට, පොහොට්ටු පිබිදීමට, කෘමි සතුන්ගෙන් ආරක්ෂා වීමට ආදී සියල්ලටම විවිධ රසායනික පොහොර වර්ග ලබා දිය යුතුව ඇත. එම බෙහෙත් පොහොර ලබා නොදුන් විට මල් සහ පැළ නිසි ප‍්‍රමිතියකට වර්ධනය නොවන නිසා විකිණීමේදීද ගැටලූ ඇතිවන බව මල් ගොවියන් පවසයි.

 මල් වගාවන් සඳහා රසායනික පොහොර අත්‍යවශ්‍ය වුවත් මේ වන විට වෙළඳපළේ රසායනික පොහොර හිඟයක් නිර්මාණය වී ඇති බව වැලිමඩ කැප්පෙටිපොළ ප‍්‍රදේශයේ කැපුම් මල් ගොවියකු වන ජීවන්ත මහතා කියා සිටියි.

 ‘‘වෙනදට නිල් කැට, දම් කැට කිලෝ එකක් රුපියල් 120 කට වගේ මුදලකට මිලදී ගත්තේ. දැන් රුපියල් තුන්සිය විස්සක් තුන්සිය හැත්තෑවක් දක්වා වැඩි වෙලා. වැඩි මුදලටවත් මිලදී ගන්න රසායනික පොහොර හොයාගන්නත් අමාරුයි. මල් අලෙවියත් අඩුවීම නිසා ආදායමකුත් නෑ. ගොවීන්ට වියදම් දරා ගන්න අමාරුයි.”

 කෙසේ වෙතත් මෙරට කෘෂිකර්මාන්තය මුළුමනින්ම කාබනික පොහොර භාවිතයට යොමු කළ යුතු බව ‘‘සෞභාග්‍යයේ දැක්ම” ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයෙන් සඳහන් බවත් එලෙස ජනතාවට දුන් පොරොන්දු ඉටු කරමින් ක‍්‍රියාත්මක වීම රජයක වගකීමක් ලෙසත් ජනාධිපතිවරයා පැවසූ බවට ජනාධිපති කාර්යාලය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

 කාබනික පොහොර භාවිතය ප‍්‍රචලිත කිරීමට මීට පෙර පැවති රජයන් උත්සාහ කළ ද එය අඛණ්ඩව පවත්වාගෙන යෑමට නොහැකි වූ නිසා ඒ අනිවාර්යෙන්ම ක‍්‍රියාත්මක කළ යුතුයි. රසායනික පොහොර ආනයනය කළ සමාගම් කාබනික පොහොර නිෂ්පාදනය ආරම්භ කරන්නේ නම් ඊට අවශ්‍ය පහසුකම් සැලසීමට රජය සූදානම්,” යැයි ද ජනාධිපතිවරයා පවසා ඇත.

 * කාබනික පොහොර ගැන මල් ගොවියන්ට දැනුමක් නෑ.

 රසායනික පොහොර හිඟතාවට විසඳුමක් ලෙස වගාවන් සඳහා කාබනික පොහොර යෙදවීමට ගෙන ආ යෝජනාව හොඳ එකක් වුවද බොහෝ කාලයක් රසායනික පොහොරවලටම හුරු වී සිටින ගොවියන්ට කාබනික පොහොර වගාවන් සඳහා යොදවා සරු අස්වැන්නක් ලබා ගැනීම සම්බන්ධයෙන් අවබෝධයක් නොමැති බව ඇතැම් මල් ගොවියන් පවසයි.

 ‘‘අවුරුදු ගාණක් රසායනික පොහොර භාවිතයෙන් වගා කළ ගොවීන්ට එක පාරටම කාබනික පොහොරවලට හුරුවෙන එක අමාරුයි. කාබනික පොහොර භාවිතයෙන් සරු අස්වැන්නක් ලැබෙනවා ද කියන එක ගැන අපිට අවබෝධයක් නෑ. මල්ගස් වගේම මල්වල වර්ධනය බාල වුණොත් වෙළෙඳපොළේ ඒ මල් වලට හොඳ මිලක් නියම වෙන්නේ නෑ. ගොවියන්ට කාබනික පොහොර භාවිත කරන්න කියනවා නම් ඒ යෝජනාව සාර්ථක කර ගන්න අදාළ බලධාරීන් ප‍්‍රදේශ මට්ටමින් හරි ගොවියන් දැනුවත් කළ යුතුයි.” ලෙසන් ඌවපරණගම මල්  ගොවියෝ රජයෙන් ඉල්ලා සිටිති.

 *  කාබනික පොහොරත් ගිනි ගණන්.

 ‘‘වෙනදාට රුපියල් සීයට එකසිය පනහකට ගන්න ගොම පොහොර මිටියක් දැන් රුපියල් තුන්සියකටත් වැඩියි. ගොම පොහොර හොයා ගැනීමත් අපහසුයි. මල් වගා කරන අතරේ ඒවාට අවශ්‍ය හරිතාගාර නිර්මාණය කරන ගමන්ම කාබනික පොහොර නිෂ්පාදනය කිරීමටත් අපට සිද්ධ වෙලා. සේවකයන් යොදවලා පොහොර නිෂ්පාදනය කරන්න පුළුවන් වුණත් ආදායමක් ලැබෙන්නේ නැති හින්දා සේවකයන්ගේ වැටුප් ගෙවා ගන්න බැරි වෙනවා. විවිධ යෝජනා ගෙනාවටම ඒවා සාර්ථක වෙන්නේ නෑ.” ගොවියන්ට පහසු මිල ගණන් යටතේ කාබනික පොහොර මිලට ගැනීමට වැඩපිළිවෙළක් ඉල්ලා සිටියි.

 * අමාරුවෙන් හදන මල් වලට ඉල්ලූමක් නෑ.

 දුෂ්කරතා මැද විශාල පිරිවැයක් දරමින් වුවද ඇතැම් ගොවියන් තවමත් වගා කටයුතු සිදු කළ ද මේ දිනවල කැපුම් මල් මෙන්ම විසිතුරු මල් පැළ සඳහා ඇති ඉල්ලූම අඩු වීම නිසා නෙළාගත් මල් අස්වැන්න විකිණීමට නොහැකිව පාඩු ලබන බවට බණ්ඩාරවෙල ඇල්ල මල් සංගමයේ හිටපු සභාපති ප‍්‍රසන්න ඉන්දික මහතා පවසයි.

 දිවයින පුරා උත්සව, ප‍්‍රිය සම්භාෂණ ආදිය පැවැත්වීම නතර වීමත් සමඟ මල් කර්මාන්තයෙන් ජීවිතය හැඩ කරගත් පිරිස දුෂ්කරතා රැුසකට මුහුණ දෙමින් සිටියි. ඇතැම් මල් අස්වනු නෙළා විසි කර දමන්නට වූ බවද ඉන්දික මහතා පැවසුවේ මහත් වේදනාවකිනි. විශාල වියදමක් දරා ලබාගත් අස්සවැන්න නිකරුණේ විසි කර දමා තමන් ජීවත් වන්නේ කෙලෙසකදැයි මල් ගොවියෝ බලධාරීන්ගෙන් ප‍්‍රශ්න කරයි.

 * මල් කර්මාන්තයටත් වටිනාකමක් දෙන්න.

 මල් වගාවේ ප‍්‍රමිතිය සම්බන්ධයෙන් සමීක්ෂණ කිරීමට කොවිඞ් වලට පෙර බොහෝ පිරිසක් පැමිණියද මේ වන විට කිසිවකුත් තම කර්මාන්තය සම්බන්ධයෙන් සොයා නොබලන බවද ගොවියන් පවසයි.

 ‘‘මුලින් කෘෂිකර්ම නිලධාරීන් ඇවිත් ෆොටෝ අරගෙන ගියා. ඔවුන් ප‍්‍රමිතිය පරීක්ෂා කරනවා කියලා කියනවා. බීජ ලබා දීමේ, පොහොර ලබාදීමේ වැඩසටහන් දියත් කරනවා කිව්වට අපිට කිසිම කෙනෙක්ගෙන් සහයෝගයක් ලැබෙන්නේ නැහැ. මල් වගා කිරීමට වගේම හරිතාගාර නිර්මාණය කරන්න විශාල මුදලක් වැය වෙනවා. සමහර මහා පරිමාණ මල්

 වගාකරුවන් ලක්ෂ පහ හය යට කරලා තමයි වගාකටයුතු සිදු කරන්නේ. ඇතැම් පිරිස් කණකර පවා උකස් කරනවා. දැන් අපිට බැංකු ලෝන් ගෙවාගන්නවත් බැරි තත්ත්වයක් උදා වෙලා තියෙන්නේ. බඩු මිල වැඩි වීමත් එක්ක ආදායමක් නැති වුණත් වියදම ඉහළ ගිහිල්ලා. තව ටික දවසකින් දරු පවුල්වලට බඩගින්නේ ඉන්න සිද්ධ වෙනවා.”

 මල් කර්මාන්තය කඩා වැටීමත් සමඟ මල් වගාකරුවන්, අලෙවිකරුවන් මෙන්ම එයින් යැපුන බොහෝ පිරිසක් අසරණව සිටිති.

 මෙරට සංචාරක ව්‍යාපාරය ද අඩපණ වීම නිසා විසිතුරු මල් පැළ අලෙවි කරන්නන්ටද විශාල පාඩුවක් සිදුවූ බව බණ්ඩාරවෙල ඇල්ල ප‍්‍රදේශයේ පදිංචි නිශාන්ති පැවසුවාය. ඇය විදේශ රටවලින් පවා මෙරටට මල් පැළ ගෙන්වා ගනිමින් විසිතුරු මල් වගාව සිදු කරන තැනැත්තියකි. මේ අතරම ගෘහාශ‍්‍රිතව හරිතාගාර නිර්මාණය කර ගනිමින් සුළු පරිමාණ ලෙසින් මල් වගාව සිදු කරන පිරිසක් ද සිටියි. ඔවුන් පෙන්වා දුන්නේ කාබනික පොහොර භාවිතයෙන් ද සරු අස්වැන්නක් ලබා ගත හැකි බවයි. නුවරඑළිය, බණ්ඩාරවෙල, බදුල්ල ඇතුළු ප‍්‍රදේශ රැුසක්ම මල් වලින් වර්ණවත් වෙමින් අන් කවරදාටත් වඩා විචිත‍්‍රවත් බවකින් හැඩ වී ඇති නමුත් මලින් ජීවිතය වියා ගත් මිනිසුන්ගේ ජීවිත මුකුලිතව  ගොසිනි. තමන් මුහුණ දෙන ගැටලූ වලට විසඳුම් ලැබී, කොවිඞ් වසංගතය යම්තාක් දුරට හෝ පාලනය වී හුරුපුරුදු රැකියාවන්හි නිරත වීමට දිනයක් උදා වනතුරු මලින් ජීවිතය ගැට ගසා ගත් මිනිසුන් බලා සිටියි.

 *  නිරෝෂා වාසල

advertistmentadvertistment
advertistmentadvertistment