රට වටේම කැලෑ, ඔසු උයන් තියෙද්දී ඖෂධ ශාක පිටරටින් ගෙන්වන අලුත්ම සෙල්ලම

503

කටුවැල් බටු, එළබටු, ඉඟුරු, කහ ආනයනය නතර කළා…ආයුර්වේද කොමසාරිස්
මේ මහ පොළවේ පයට පෑගෙන සෑම තැනකම තියෙන්නේ ඖෂධ…
ස්වභාවික ඖෂධ ශාකවලින් පිරුණු වනාන්තර ඇති ලෝකයේ එකම රට, ලංකාව…
සංජීවනී ශාකය මිහිපිට උපදින ලෝකයේ ඇති එකම වනාන්තරය සමනළ අඩවිය…
කොමිස් මත යැපෙන දේශපාලන ගොහුරුවක් තුළ බෙහෙත් බඩු ආනයනය සීමා නොවේ…

සිංහල වෙදකමේ ඉතිහාසය පුලතිසි ඉසිවර යුගය දක්වා දිව යන්නකි. වසර එක්ලක්‍ෂ පනස්දහසකට ඈත යුගයේදී පුලතිසි ඉසිවරයා සිංහල වෙදකම ඉන්දියාවට ද ඉගැන්වූ බව දේශීය වෙද පොත්පත්වල සඳහන් කර තිබේ. සිංහල වෙදකම ආයුර්වේද වෙදකමට පෙරළාගත් ඉන්දියාවේ ධන්වන්තරී ඉසිවරයා මීට වසර පන්දහසකට පෙර සිට මෙරට ආක්‍රමණය කිරීමට උත්සුක විය. එහෙත් එකල සිංහල වෙදකමේ ප්‍රබලත්වයට එය ඉටු කරගැනීමට නොහැකි විය.

ලන්දේසී, පෘතුග්‍රීසි සහ ඉංග්‍රීසි ආක්‍රමණිකයන් විසින් මේ රටේ සම්පත් විනාශ කිරීම, කොල්ලකෑම, වෙදකම්, හෙදකම් ක්‍රම, ඖෂධ විනාශ කිරීමත් සමඟ ඉන්දියාව මෙරට තුළ ආයුර්වේද වෙදකම පැළ කිරීමට පටන් ගත්තේය. අනතුරුව 1977 වර්ෂයේ මෙරටට හඳුන්වා දුන් විවෘත ආර්ථික ක්‍රමය තුළ ආයුර්වේද වෙදකම රට පුරා වේගයෙන් ප්‍රචලිත විය. අවසානයේ ආයුර්වේද වෙදකමට ඇවැසි අඩුම, කුඩුම ද ඉන්දියාවෙන් ආනයනය කරන තැනට පසුබිම සැකසිණි. මේ වෙනකොට උණ, සෙම්ප්‍රතිෂ්‍යාවට බොන කටුවැල් බටු, පත්පාඩගම් සහිත පස් පංගුව ද පිටරටින් ආනයනය කරන තත්ත්වයට මෙරට පත්ව සිටින බව වාර්තා වන විට දෑස් අගට කඳුළු ඉණිනි.

වාර්තා වන ආකාරයට මෙරට තිබෙන සහ පහසුවෙන් වගා කළ හැකි දේශීය සහ ආයුර්වේද ඖෂධ නිෂ්පාදනය සඳහා අවශ්‍ය ශාක අමුද්‍රව්‍යවලින් 50% කට අධික ප්‍රමාණයක් ඉන්දියාව, චීනය, පාකිස්ථානය වැනි රටවලින් ආනයනය කරනු ලැබේ. ආයුර්වේද දෙපාර්තමේන්තුව පවසන ආකාරයට ඖෂධ අමුද්‍රව්‍ය එකසිය තිහක් ඉන්දියාව සහ චීනයෙන් ආනයනය කරනු ලබයි. පාඨලී චම්පික රණවක මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා

රැස්වූ ආර්ථික ස්ථායිකරණ කමිටු රැස්වීමේදී ද මේ ගැන සාකච්ඡා කෙරිණි. එමෙන්ම ආනයනික ශාක අමුද්‍රව්‍ය එකසිය අසූවකින් පනහක් පමණ මෙරට වගා නොකරන බවත්, ඉතිරි ශාක අසූවක් වගා කිරීම සඳහා ඉඩම් සහ වෙනත් ගැටලු බාධාවක් වී ඇති බවත් ආයුර්වේද දෙපාර්තමේන්තුව පෙන්වා දී තිබිණි. වන සංරක්‍ෂණ නීති හේතුවෙන් ශාක වැවීම සහ එකතු කිරීමට බාධා ඇතිවන බව ද ආයුර්වේද දෙපාර්තමේන්තු නිලධාරීහු පෙන්වා දුන්හ. පෙළගැසෙන ගැටලුවට විසඳුමක් බලාපොරොත්තුවෙන් අපි ආයුර්වේද කොමසාරිස් ධම්මික අබේගුණවර්ධන මහතාව දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගත්තෙමු.

“මේ වෙනකොට සාමාන්‍යයෙන් ඖෂධ ශාක අමුද්‍රව්‍ය කොටස් 137 ක් ආනයනය කරන්න අවශ්‍යයි. ඒත් දැනට අපි ආනයනය කරන්නේ අත්‍යවශ්‍යම ඖෂධ ශාක අමුද්‍රව්‍ය කොටස් 60 – 70ක් විතරයි. ලංකාවේ වගා කළ හැකි ඖෂධ ආනයනය අපි අනුමත කරන්නේ නෑ. ප්‍රතිනිධි වශයෙන් භාවිතා කරන්න පුළුවන් ඒවත් ආනයනය දිරිමත් කරන්නේ නෑ. මෙරට වගා කරන්න බැරි ඖෂධ ශාක කොටස් ආනයනය කරන්න වෙනවා…” ආයුර්වේද කොමසාරිස්වරයාගේ කතාවට මම බාධා කළෙමි.

සිංහල වෙදමහත්වරු පවසන ආකාරයට දේශීය වෙදකමට අවශ්‍ය සියලුම ඖෂධ මෙරට පොළවේ වැවෙනවා…?

“එහෙම කියන බව ඇත්ත… ඒත් උළුහාල්, සූදුරු, මාදුරු, කොත්තමල්ලි, පෙරුම්කායම් ලංකාවේ හැදෙනවද? ලංකාවේ හැදෙන්නේ නැති ඖෂධීය ශාක ගොඩක් තියෙනවා. ඒවා ආනයනය අත්‍යවශ්‍යයි. ඒ වගේම සමහර සිංහල වෙදමහත්වරුන් ළඟ තියෙන්නෙ ඔවුන්ගේම පාරම්පරික වට්ටෝරු. අපි කතා කරන්නේ සමස්ත ආයුර්වේද ක්‍ෂේත්‍රය ගැන. ඒකෙ බෙහෙත් වට්ටෝරු දහස් ගාණක් තියෙනවා. ඒ අතරින් වට්ටෝරු හාරපන්සීයක් මෙරට භාවිතා වෙනවා. ඒ වගේම අපි නිරතව ඉන්නේ මහා පරිමාණ ඖෂධ නිෂ්පාදන ක්‍රියාවලියක. ඒත් මේ වෙනකොට කටුවැල්බටු, එළබටු, ඉඟුරු, කහ ආනයනය නතර කර එම බෝග වගා කරන්න ගොවීන් දිරිමත් කරගෙන යනවා. මෙරට පොළොවේ වැවෙන ඖෂධ ශාක ටික හදාගන්න අපි උපරිමයෙන් මහන්සි වෙනවා. අපිට ගැළපෙන්නේ දේශීය දේ. පිටරටවලින් ආනයනය කරන ඖෂධවල ප්‍රමිතිය ගැන ගැටලු තියෙනවා. ඒ නිසා නිතරම අපි උත්සාහ කරන්නේ දේශීය වෛද්‍යවරු කරනවා වගේ පුළුවන් තරම් ඖෂධ මෙරට වගා කර භාවිතයට ගැනීමයි. එහෙම කරගෙන යනකොට රටේ ආර්ථිකයට මෙන්ම වෙදකමටත් ගුණදායකයි…” රජයේ උසස් නිලධාරියකුගෙන් එවැනි කතාවක් ඇසීම ද සතුටකි.

එහෙත් දේශීය වෛද්‍යවරු, රජයේ ඇතැම් ඉහළ නිලධාරීන් පෙන්වාදෙන ආකාරයට නිල්ගල රක්‍ෂිතයේ වැවෙන අරළු, බුළු, නෙල්ලි ටිකවත් නෙළාගැනීමට ආයුර්වේද දෙපාර්තමේන්තුවට නිශ්චිත ක්‍රමවේදයක් නැත. මෙරට වගාකර ඖෂධ නිෂ්පාදන ක්‍රියාවලියට ගත හැකි, මෙරටින් සොයාගත හැකි ඖෂධ වර්ග මහා කැලෑවල, ඈත ගම්මානවල විනාශ වී යන බවද රට වටෙන්ම ඇසෙන කතාවකි. ඖෂධ වගාවට අවසර ලබාදෙමින්, එම නිෂ්පාදන මිලදී ගන්න ක්‍රමවේදයන් සකස් කරන්නේ නම් මහා පරිමාණයෙන් මෙන්ම සුළු පරිමාණ සහ ගෙවතු වගා ලෙසින් ඖෂධ වගා කිරීමට කැමැති ගොවීන් ද රට පුරා සිටින බව අපට වාර්තා වේ. ගැටලුව වී ඇත්තේ පාරම්පරික දේශීය වෛද්‍යවරුන් නොසලකා හරිමින් බෙහෙත් පැළෑටියක් හෝ නොහඳුනන, විෂය පිළිබඳ අල්පමාත්‍ර දැනුමක් නැති පුද්ගලයන් අදාළ ආයතනවල ඉහළ පුටුවලට පත් කිරීම සහ සෙසු රාජකාරිවල යෙදවීමය. පෙළගැසෙන කතාවට පාරම්පරික දේශීය වෛද්‍ය රන්ජන් මුහන්දිරම් මහතා ද කරුණු ඉදිරිපත් කළේය. මේ ඔහු කියන කතාවය.

“ලෝකයේ පැරැණිතම වෙදකම සිංහල වෙදකම. ඇස් වෙදකම අදටත් පවතින්නෙ ලංකාවේ විතරයි. සර්පයෙක් දෂ්ට කළ විට කාල හෝරාව, දූත ලක්‍ෂණ පරීක්‍ෂා කර සතාව හඳුනාගෙන ප්‍රතිකාර කරන වෙද මහත්වරු ඉන්නෙ ලංකාවේ විතරයි. කැඩුම්, බිඳුම්වලට පත්තු බැඳලා සුවපත් කරන්නේ සිංහල වෙදමහත්වරු විතරයි. හිසේ සිට දෙපතුළ දක්වා මිනිසුන්ට හැදෙන සියලුම රෝගවලට ප්‍රතිකාර කළ හැකි වෙදකම් ක්‍රම තියෙන ලෝකයේ එකම රට ලංකාව විතරයි. මිනිසුන්ට විතරක් නෙමෙයි, සතා සිව්පාවුන්ට ගහ කොළවලටත් ලෙඩ හැදෙනවා. සියලු සත්වයාටත්, ගහ කොළවලටත් හැදෙන ලෙඩ සුවපත් කරන්න අපේ රටේ මහ පොළවේ බෙහෙත් තියෙනවා. දේශීය වෙදකමට ඉන්දියාවෙන් බෙහෙත් අවශ්‍ය වෙන්නේ නෑ. බටහිර වෛද්‍ය විද්‍යාව උපන් එංගලන්ත රටේ රෝගීන්ටත් අපේ රටේ ඖෂධවලින් බෙහෙත් හදලා ප්‍රතිකාර කර සුවපත් කරලා තියෙනවා. මම කතා කරන්නෙ විශ්වාසයෙන්. මේ මහ පොළවේ පයට පෑගෙන සෑම තැනකම තියෙන්නේ ඖෂධ. මේ රටේ දෙකෝටියක් වූ ජනතාවට පමණක් නෙමෙයි, කෝටි සීයකට වුණත් බෙහෙත් නිෂ්පාදනය කරන්න අවශ්‍ය ඖෂධ මේ පොළොවේ තියෙනවා. එවැනි ඖෂධ වත්තක ඉඳගෙන පිටරටවලින් ඖෂධ ශාක කොටස් ගෙන්වීම ජාතික අපරාධයක්. විශේෂයෙන්ම ඩොලර් ගැටලු, ආර්ථික අර්බුද පවතින මෙවැනි කාලයක මෙරටින් ලබාගත හැකි ඖෂධ ශාක කොටස් ආනයනය කිරීම විශාල අපරාධයක්…” පාරම්පරික දේශීය වෛද්‍ය රන්ජන් මුහන්දිරම් මහතාගේ මුවින් ගිලිහෙන ඒ වචන හදවතට දැනෙන විට, රොබට් නොක්ස් විසින් රචිත ‘හෙළ දිව ග්‍රන්ථයේ’ සඳහන් කරුණක් මගේ සිතට නැඟිණි.

‘ශ්‍රී ලංකාවේ සෑම තැනකම ඇත්තේ ඖෂධය. පාවහන් පැළඳ ඇවිඳීමටවත් සුදුසු නැත…’

මෙරට ගොඩබිම වර්ග කිලෝ මීටර් හැටපන්දහස් හත්සිය හතකි. එම භූමි භාගය පුරා අඩු, වැඩි නැතිව ඖෂධ බෝග විසිරී ඇති බව සැබෑය. මහ පොළවේ පය ගැටෙන විට පෑගෙන තණකොළ පඳුරේ, නිදිකුම්බා ශාකයේ සිට නොයෙක් ඖෂධ පෑළැටි මෙන්ම මහ ගස්වල කොළ, පොතු, මුල් පවා සිංහල වෙදකටම, ආයුර්වේද ප්‍රතිකාර ක්‍රමවලට භාවිතා කරන බව මේ රටේ බොහෝ මිනිස්සු දන්නා කරුණකි. එමෙන්ම ස්වභාවික ඖෂධ ශාකවලින් පිරුණු වනාන්තර ඇති ලෝකයේ එකම රට, මෙරට පමණි. රිටිගල කන්ද, සිංහරාජය, නිල්ගල රක්‍ෂිත, නකල්ස් කඳු පන්තිය ඔසු උයන් වැනිය. ආයු වර්ධන, වීර්ය, කායික සියලු ශක්තීන් වර්ධනය කළ හැකි ‘සංජීවනී’ ශාකය මිහිපිට වැඩෙන එකම වනාන්තරය මෙරට සමනළ අඩවිය පමණි. මෙරට පමණක් නොව ලෝකයේ වෙන එකදු පරිසර පද්ධතියක හෝ ‘සංජිවනී’ ශාකය හට නොගන්නා බව දේශීය වෙද මහත්වරුන්ගේ අදහසය. එමෙන්ම ලෝකයේ හොඳම උඳුපියළිය හට ගන්නේ ද මෙරට පමණි. ජෛව විවිධත්වයෙන් උසස් මෙරට, විවිධ පරිසර පද්ධතීන්වල හට ගන්නා ශාක වර්ගවලින් විවිධාකාර ඖෂධ නිෂ්පාදනය කරගැනීමට හැකියාව තිබෙන බව සිංහල වෛද්‍යවරුන්ගේ මතයකි. එමෙන්ම ඖෂධ නිෂ්පාදනය කරගැනීමේ දැනුම මෙරට ප්‍රාදේශීයව ජීවත් වූ මිනිසුන්ට තිබිණි. එහෙත් මේ වනවිට ප්‍රාදේශීය විවිධත්වයට ලබා දී තිබුණු තැන අවම වී තිබේ. ඒ තුළ වෙදකම පමණක් නොව, ආහාර රටා, දැනුම බොහෝ දේවල් අවම වී තිබේ. තවත් දේශීය වෛද්‍යවරයෙක් කතාවට කරුණු ඉදිරිපත් කළේය. හේ දේශීය වෛi කේ. ඒ. විජේරත්නය. ඔහු රෝග උපත්තියෙන්ම මෙසේ කතාවට ප්‍රවිෂ්ට විය.

රට වටේම කැලෑ, ඔසු උයන් තියෙද්දී ඖෂධ ශාක පිටරටින් ගෙන්වන අලුත්ම සෙල්ලම

“රෝ යනු හිරු. ‘ග’ යනු ගමන. හිරුගේ ගමනට අනුව ශාරීරයේ ඇතිවන තුන්දොස් වෙනස්වීම්වලට තමයි රෝග කියන්නෙ. ඒ රෝග සමනය කරන්න ඖෂධයක් පාවිච්චි කරන්නේ නම්, ඒ ඖෂධය පුද්ගලයා ජීවත් වන තැනට අනුරූප වෙන්න ඕනෑ. මෙරට ජීවත්වන මිනිසුන්ගේ සොබාදහමින් සිද්ධ වන තුන්දොස් අසමතුලිතතාවය සමනය කිරීමට අවශ්‍ය ආහාර, ඖෂධ මේ භූමියේම හටගෙන තිබෙනවා. වෙනත් රටක හට ගන්නා දේවල් මෙරටට ගෙන්වීම ම සොබාදහමේ සංසිද්ධියට පටහැනි ක්‍රියාවක්. මෙරට නිෂ්පාදනය කළ නොහැකි ආහාරයක්, ඖෂධයක් පිටරටකින් ගෙන්වීමේ වරදක් නෑ. අපේ රටේ නිෂ්පාදනය කළ හැකි, සොයාගත හැකි දේවල් පිටරටවලින් ආනයනය කිරීම බරපතළ වරදක්. ඒ වගේම පිටරටින් ආනයනය කරන මෙරට නැති දේවල්වලට ආදේශක තිබෙනවද කියා සොයාබැලිය යුතුය. භාණ්ඩ ආනයනයට වියදම් වෙන්නෙ රුපියල් නෙමෙයි. විදේශ විනිමය. ආර්ථික අර්බුදයක් පවතින, විදේශ විනිමය හිඟයක් පවතින මෙවැනි කාලයක අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනයට විදේශ විනිමය යෙදවීම ආර්ථික වශයෙන් මෙරටට විශාල අවාසියක්. ඒ වගේම අදාළ බලධාරීන් ඖෂධ ආනයනය පිළිබඳ, දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ උපදෙස් ලබා ගන්නෙ පරිපාලන නිලධාරීන්ගෙන්. ඒ මිනිස්සු සිංහල වෙදකම නෙමෙයි, ඖෂධීය ශාකයක් හෝ හඳුනන්නෙ නෑ. ඔවුන්ගේ දැනුම ලඝු වෙලා තියෙන්නෙ ඉලක්කම් මත. ඉලක්කම් හරඹයකින් මේ ගැටලුවට විසඳුම් සොයන්න බෑ. මේක භූමිය පාදක වෙච්ච ගැටලුවක්. මේ ප්‍රශ්නයට විසඳුම් සොයන්න පොළොවට බහින්න ඕනෑ. ග්‍රාම නිලධාරී, ප්‍රාදේශීය මට්ටමෙන් පාරම්පරික වෛද්‍යවරුන්ගේ, දැනුම ලබාගන්න ඕනෑ. මෙරට පොළොවේ වැවෙන ඖෂධ ටික නිසියාකාරව හඳුනාගෙන නිවැරැදිව කළමනාකාරණය කරගැනීම තුළ පිටරටට අපනයනය කිරීමෙන් විශාල විදේශ විනිමයක් රටේ ආර්ථිකයට ලබා දෙන්න පුළුවන්. වෙන්න ඕනෙ අපේකමට මුල් තැන දීමයි…” විජේරත්න මහතාගේ මුවින් අවසාන වචන කිහිපය ගිලිහෙන විට මගේ මුව පොපියන්නට ගත්තේය.

අපේ මිනිසුන් ළඟ නැතිම දේ අපේකමය. දේශීය දේට අගයක් නැත. එමෙන්ම මෙරට බහුතරය සොයනුයේ ක්‍ෂණික සහනයකි. පාර්ලිමේන්තුවේ සහ රජයේ ඉහළ පුටු රත්කරන අය සොයනුයේ කොමිස්ය. දේශීය වෙදකම දියුණු කිරීම තුළින් ඔවුන්ට කොමිස් නොලැබේ. බටහිර වෛද්‍ය විද්‍යාව සහ ඉන්දියාවේ ආයුර්වේද වෙදකම ප්‍රචලිත කිරීම තුළ ඖෂධ ආනයනය වැඩි වේ. එමෙන්ම ආයුධ වෙළඳාම හැරුණු කොට මේ වෙනකොට ලෝකයේ ප්‍රබලම මාෆියාව පවතිනුයේ ඖෂධ වෙළඳාම තුළය. එහෙයින් බටහිර ඖෂධ ආනයනයේදී පමණක් නොව ආයුර්වේද වෙදකමට භාවිතා කරන ඖෂධ ආනයනයේදී ද අදාළ මැති, ඇමැතිවරුන්ට සහ නිලධාරීන්ට කොමිස් කුට්ටි ලැබෙන බවට සැක නැත. එවැනි පසුබිමක දේශීය අමාත්‍යවරයෙක් සිටිය ද ඵලක් නැත. ඔහු මුල් තැන දෙනුයේ කොමිස්වලින් අතමිට සරුවන ආයුර්වේද වෙදකමේ දියුණුවට විනා සිංහල වෙදකමට නොවේ. එහෙයින් කොමිස් මත යැපෙන දේශපාලන ගොහුරුවක් තුළ ‘බෙහෙත් බඩු’ ආනයනය සීමා නොවේ. දේශීය ඖෂධ මත යැපෙන ‘සිංහල වෙදකම’ දියුණු වෙන්නේ ද නැත. අත්දුටුයි. ප්‍රත්‍යක්‍ෂයි. එහෙයින් ඇවැසි කොමිස් මත ජීවත් නොවන දේශපාලන කණ්ඩායමකි.

එමෙන්ම ඉතිහාසයේ සඳහන් ආකාරයට පරාක්‍රම රාජ්‍ය පාලනයේ මෙරට ජනගහනය කෝටි හයකි.

දුටුගැමුණු පාලනයේදී මෙරට ජනගහනය කෝටි හතරහමාරට අඩු වී තිබිණි. එහෙත් එකල දස මහා යෝධයන් බිහි වී ඇත්තේ පිටරට කෑම ආහාරයට ගෙන, පිටරට ඖෂධ භාවිතයෙන් ලෙඩ දුක් සුවපත් කරගෙන නොවේ. මෙරට සම්පත්වලිනි. යෝධ බළඇති මිනිසුන් ජීවත් වූ එකම රට ශ්‍රී ලංකාවයි. එහෙත් අද මෙරට ජීවත්වන දෙකෝටියක ජනගහනයට පිටරට ආහාර සහ ඖෂධ නොමැති වුවහොත් මියැදෙන තත්ත්වයට පත්ව තිබීම කොයි සා ඛේදවාචකයක්ද?

තරංග රත්නවීර

advertistmentadvertistment
advertistmentadvertistment