රට වටේ ධීවර ප්‍රජාව අමාරුවේ… මාළු කාලා හමාරයි

52

මෙරට ධීවර කර්මාන්තය අපේ රටට ඩොලර් උපයාදෙන ප්‍රධාන ආදායම් මාර්ගයකි. ඒ විතරක් නොව මෙරට අපනයන ආදායමෙන් සැලකිය යුතු පංගුවක් ධීවර ක්ෂේත්‍රයෙන් ලැබෙන අතර කොවිඩ් වසංගත සමයේ දී මෙරටට ඩොලර් උපයාදීම සඳහා ධීවර කාර්මිකයින් විශාල දායකත්වයක් ලබාදෙනු ලැබීය. අපේ රටේ සමස්ත මත්ස්‍ය නිෂ්පාදනයෙන් සියයට 76ක් පමණ සපුරාගනු ලබන්නේ වෙරළ ආශ්‍රිත හා ගැඹුරු මුහුදේ මසුන් ඇල්ලීමෙනි. ඉකුත් වර්ෂයේ දී මෙරට මුහුදු මත්ස්‍ය නිෂ්පාදනය සියයට 1.5කින් පමණ ඉහළ ගියේය. ඒ විතරක් නොව ධීවර අමාත්‍යාංශයේ සංඛ්‍යාලේඛනවලට අනුව මත්ස්‍ය අපනයන ප්‍රමාණය සියයට 25.6කින් ඉහළ ගියේය. 2022 වර්ෂයේ මුල් මාස තුන තුළ මත්ස්‍ය අපනයනය කිරීමෙන් උපයනු ලැබූ ආදායම ඩොලර් මිලියන 67.7කි. මෙරට දළදේශීය නිෂ්පාදනයට ධීවර ක්ෂේත්‍රයෙන් ලැබෙන්නේ සුවිශේෂී වූ දායකත්වයකි. එමෙන්ම රට්ටුන්ගේ පෝෂණ අවශ්‍යතාවය සපුරාලීම සඳහා වැඩි දායකත්වයක් ලබාදෙන්නේ ධීවර කර්මාන්තයෙනි.

ලක්ෂ 20කට ආසන්න පිරිසක් සෘජුව හෝ වක්‍රව මෙරට ධීවර කර්මාන්තයේ නිරතව සිටිති. ඩීසල්, පෙට්‍රල්, ගෑස්, භුමිතෙල් මෙන්ම ධීවර ආම්පන්න මිල වැඩිවීම ධීවර කාර්මිකයාට දරාගත නොහැකිය. මින් ධීවර කර්මාන්තයට එල්ල වී ඇත්තේ මරුපහරකි. ඉන්ධන අර්බුදය ධීවර ක්ෂේත්‍රයට දැඩි ලෙස බලපා ඇත. ඩීසල් නොමැතිකම නිසා බහුදින යාත්‍රා විශාල සංඛ්‍යාවක් මුහුදු යෑමට නොහැකිව ධීවර වරායන්වල ගාල්කොට ඇත්තේය. ඒ විතරක් නොව ධීවර කාර්මිකයින්ට ඩීසල් ප්‍රෙටල් භූමිතෙල් යන ඉන්ධන වර්ග ලබාගැනීම සඳහා දින ගණනාවක් පෝලිම්වල ලැගීමට සිදුවී ඇත.

ඉන්ධන සැපයීමේ දී ධීවර ක්ෂේත්‍රයට ප්‍රමුඛත්වය ලබාදීම බලධාරින්ගේ වගකීමකි. මක්නිසාදයත් මෙරටට ඩොලර් උපයාදෙන ප්‍රධාන ආදායම් මාර්ගයක් බවට ධීවර ක්ෂේත්‍රය පත්ව ඇති බැවිනි. අනික් කාරණය වන්නේ නිරිතදිග මෝසම සක්‍රීය වීමත් සමග ගැඹුරු මුහුදේ සිට මසුන් සුළිකුණාටු හා දියවැල් ඔස්සේ නොගැඹුරු මුහුදු තීරය වෙත ඇදී එති. මෙම කාලසීමාව තුළ වෙනදාට වඩා මත්ස්‍ය අස්වැන්න විශාල වශයෙන් නෙළාගත හැකිය. එහෙත් එකී මත්ස්‍ය අස්වැන්න නෙළාගැනීමට මුහුදුයෑමට ධීවරයින්ට ඉන්ධන නැත. මේ නිසා ධීවරයාට සිදුව ඇත්තේ මහ මුහුද දෙස බලාගෙන හීල්ලීම පමණි.

රට වටේ ධීවර ප්‍රජාව අමාරුවේ… මාළු කාලා හමාරයි

ඉන්ධන අර්බුදය හමුවේ උතුරු පළාතේ ධීවර කාර්මිකයින් ද දැඩි අසරණ තත්ත්වයට පත්ව ඇත. මුලතිව් මුල්ලිවයික්කාල් සිට කෝකිලායි දක්වා වූ මුහුදු තීරයේ ධීවර රක්ෂාවේ යෙදෙන ධීවර බෝට්ටු 2000කට පමණ දින 20කින් ඉන්ධන ලැබී නැත. මෙකී ධීවර බෝට්ටුවල හිමිකරුවන් ඉන්ධන ලබාගැනීම සඳහා ලියාපදිංචි වී ඇති අතර එහෙත් මේ වනතෙක් ඉන්ධන ලැබී නැත. මෙහි ඉන්ධන ජාවාරමක් ද සිදුවන බව මුලතිව් ධීවරයෝ පවසති. ඉන්ධන අර්බුදය නිසා එදිනෙදා මුහුදු රක්ෂාවට ගොස් තම දරුපවුලේ බඩවියත සරිකරගත් ධීවර කාර්මිකයින් කිසිවක් කර කියා ගත නොහැකිව දැඩි අසරණ තත්ත්වයට පත්ව සිටිති.

මෙරට ධීවර වරායන් 22ක් සක්‍රියව පවතින අතර එම ධීවර වරායන්වල ඩීසල් ලීටර් 500 සිට 12000 දක්වා ටැංකි ධාරිතාවය සහිත බහුදින යාත්‍රා 5400ක් පමණ මෙහෙයුම් කරනු ලබයි. කෙසේවුව ද කොලොන්නාවෙන් හා මුතුරාජවෙලින් දෛනිකව ඩීසල් ලීටර් 13200ක අවම ප්‍රමාණයක් මෙකී ධීවර වරායන් වෙත ලබාදෙයි. දිනකට අවම වශයෙන් ඩීසල් ලීටර් 293000කට වැඩි ප්‍රමාණයක් නිකුත් කෙරේ. මෙසේ නිකුත් කරනු ලබන ඉන්ධන ප්‍රමාණය පලදායි ලෙස නිවැරදි අයුරින් ධීවර කාර්මිකයින් වෙත බෙදාහැරෙනවාද යන්න ගැටලුවකි. මේ තුළ ඉන්ධන ජාවාරමක් ක්‍රියාත්මක වන බවටද කණින් කොනින් අසන්නට ලැබේ. මෙම තත්ත්වය තුළ මෙකී ඉන්ධන බෙදාහැරෙන ආකාරය පිළිබඳ විධිමත් පරීක්ෂණයක් කළයුතු බවට ප්‍රබල මතයක් ධීවර සංස්ථාව තුළින්ම මතුවෙමින් ඇත. අනික් කාරණය වන්නේ භූමිතෙල් ජාවාරමය. මෙරට මත්ස්‍ය අස්වැන්නේ සියයට 70ක් පමණ සපයන්නේ කුඩා බෝට්ටුවලිනි. කුඩා බෝට්ටු ක්‍රියාත්මක කිරීම සඳහා භූමිතෙල් අවශ්‍ය වේ. කුඩා බෝට්ටු හිමියන් පවසන්නේ තමන්ට භූමිතෙල් නොලැබෙන බවය. ඇතැම් පුද්ගලික බස්රථ හිමියන් බස්රථවලට යෙදීම සඳහා භූමිතෙල් වැඩිවශයෙන් මිලදී ගන්නා බවද ඔවුහු පෙන්වා දෙති. මේ නිසා තමන්ට බලවත් අසාධාරණයක් වී ඇති බවද ඔවුහු පවසති.

ඒ කොයි හැටි වුවද ඉන්ධන අර්බුදය නිසා ධීවර ක්ෂේත්‍රයට එල්ලවී ඇති බලපෑම පිළිබඳ අපි ධීවර සංගම් නායකයන් සමග කථාබහ කළෙමු. කල්පිටිය කුඩාව සෙමුතු ධීවර සමුපකාර සමිතියේ සභාපති ඩබ්ලිව්. එන්. සුගත් තෙම්මානවඩු මහතා කීවේ මෙවැනි කථාවකි.

කල්පිටිය අර්ධද්වීපය ආශ්‍රිතව දූපත්වල ධීවර කර්මාන්තයේ යෙදෙන ධීවර කාර්මිකයින් ඉන්ධන අර්බුදය නිසා දැඩි අසරණ තත්ත්වයට පත්වෙලා ඉන්නවා. බෝට්ටු සඳහා අවශ්‍ය ඉන්ධන ලබා ගැනීමට නොහැකි වෙලා තියෙනවා. තෙල්ගන්න පෝලිම්වල ඉන්න ඕන. පෝලිම්වල ඉඳලා රක්ෂාව කිරීමට කාලයක් නැහැ. දිනකට ධීවර රක්ෂාව කිරීම සඳහා තෙල් ලීටර් 100ක්වත් අවශ්‍ය වෙනවා. නමුත් අපිට තෙල් ලීටර් 20ක් වත් ලැබෙන්නේ නැහැ. කල්පිටිය ප්‍රදේශයේ මහා පරිමාණයෙන් තෙල් ජාවාරමක් ක්‍රියාත්මක වන බවටත් තොරතුරු ලැබිලා තියෙනවා. තෙල් ප්‍රශ්නය විතරක් නෙවෙයි කල්පිටිය බංතලගුන්ඩුව මන්නාරම් ආශ්‍රිත මුහුදු තීරයට ඉන්දියානු ධීවරයින් ට්‍රෝලර් යාත්‍රාවලින් ඇවිත් අපේ මත්ස්‍ය සම්පත නෙළාගෙන යනවා. මේ සඳහා ක්‍රියාමාර්ගයක් ගෙන නැහැ. උතුරු මුහුදු තීරයේ වැඩි ප්‍රමාණයක් ධීවර රක්ෂාව කරන්නේ ඉන්දියානු ධීවරයින්.

සමස්ත ලංකා බහුදින ධීවර යාත්‍රා හිමියන්ගේ සංගමයේ සභාපති ටිරෝන් මෙන්ඩිස් මහතා මෙසේ කීවේය.

රට වටේ ධීවර ප්‍රජාව අමාරුවේ… මාළු කාලා හමාරයි

ලංකාවේ බහුදින යාත්‍රා 6000කට වැඩි සංඛ්‍යාවක් තියෙනවා. නමුත් ධීවර රක්ෂාව කරන්නේ බහුදින ධීවර යාත්‍රා 4700ක් විතර. සාමාන්‍ය අඩි 40ක පමණ දිග බහුදින ධීවර යාත්‍රාවකට ඩීසල් ලීටර් 5000ක් විතර ගහන්න ඕන. අඩි 50 – 60 බහුදින යාත්‍රාවකට ඩීසල් ලීටර් 11000ක් 12000ක් විතර ගහන්න ඕන. තෙල්වලට විතරක් ලක්ෂ 44ක් 50ක් විතර යනවා. තෙල් මිල වැඩිවීමට පෙර එක් මුහුදු ගමනක් ගිහින් එන්න රුපියල් ලක්ෂ 30ක පමණ මුදලක් තමයි වැයවුණේ. නමුත් දැන් ලක්ෂ 70ක් විතර වැයවෙනවා. කුඩා ප්‍රමාණයේ බහුදින යාත්‍රාවකට එක් මුහුදු ගමනක් ගිහින් එන්න වැයවුණේ ලක්ෂ 10-15 අතර මුදලක්. නමුත් දැන් ලක්ෂ 30 ක පමණ මුදලක් වැයවෙනවා. ඉන්ධන ලබාගැනීමට නොහැකිවීම නිසා බහුදින යාත්‍රා 3000ක් විතර මාස ගණනාවක සිට ලංකාව වටේ ඇති ධීවර වරායන්වල නතරකොට තියෙනවා. දික්ඕවිට, මීගමුව, ත්‍රිකුණාමලය යන ප්‍රදේශවල බුහුදින යාත්‍රාවලින් ගොස් මසුන් අල්ලන්නේ අපනයනය කිරීම සඳහා. යැයිද ටිරෝන් මෙන්ඩිස් මහතා කීවේය.

එක්සත් ධීවර හා ධීවර කම්කරු සංගමයේ ප්‍රධාන ලේකම් එම්. විජේන්ද්‍රන් මහතා සුළුපන්න ධීවරයින් ගැන කථා කළේය. ධීවර කාර්මිකයින්ට භූමිතෙල් කොහෙත්ම නොලැබෙන තත්ත්වයක් තමයි උදාවෙලා තියෙන්නේ. භූමිතෙල් ගන්න පෝලිමේ ඉන්න විට ධීවර රක්ෂාවට යන්න වෙන්නේ නැහැ. ධීවර කර්මාන්තය කියන්නේ රාත්‍රියට කරන රැකියාවක්. රාත්‍රියට මුහුදු ගිහින් ඇවිත් දවල්ට තෙල් ගන්න පෝලිමේ ඉන්න ධීවරයාට පුළුවන්ද. ඉන්ධන පිරවුම්හල්වලින් ක්‍රමවත් විදියට තෙල් බෙදා දෙන්නේ නැහැ. මීගමුව බහුදින යාත්‍රා හිමියන්ගේ සංගමයේ සහ මීගමුව දිස්ත්‍රික් ධීවර සංවිධානයේ සභාපති ජෝශප් පීටර් ප්‍රනාන්දු මහතා මෙසේ කීවේය.

ඉන්ධන ප්‍රශ්නය නිසා ධීවරයන් මුහුදු යන්නේ නැහැ. ධීවරයින් මුහුදු යන්නේ නැති නිසා මාළු නැහැ. මේ නිසා මාළු පිටරට යවන්න බැහැ. මේ නිසා රටට ඩොලර් ලැබෙන්නේ නැහැ. මීගමුවේ තමයි මෙරට තියෙන සියලුම පන්නක්‍රම තියෙන්නේ. නමුත් ඉන්ධන ප්‍රශ්නය නිසා ධීවරයින් අසරණ තත්ත්වයට පත්වෙලා ඉන්නේ. තංගුස්, බිලිකටු, දැල් ආම්පන්න ඇතුළු ධීවර ආම්පන්න ඩොලර් ප්‍රශ්නය නිසා ගෙන්වන්නේ නැහැ. ඩිංගි බෝට්ටුවලට ගනු ලබන 40 ධාරිතාවයෙන් යුතු එන්ජිමක මිල තිබුණේ රුපියල් ලක්ෂ පහක මිලකට. දැන් රුපියල් ලක්ෂ 08ක් වෙනව. ධීවර ආම්පන්නවල මිල ධීවරයාට දරාගන්න බැරි විදියට ඉහළ ගිහින් තියෙනවා. මේවගේ මිලක් කවදාවත් ලැබුණේ නැහැ. මෙම මසුන් අල්ලන්න ඉන්දියානු මුහුදු තීරය ආසන්නයට යන්න ඕන. දූපත් ආශ්‍රිතව තමයි පන්න කරන්නේ. නමුත් ඉන්ධන නොමැතිකම නිසා බහුදින යාත්‍රා මෙතරම් දුරක් යන්නේ නැහැ. ලැබෙන ඉන්ධන ප්‍රමාණය අනුව නොගැඹුරු මුහුදට ගිහින් මසුන් අල්ලාගෙන එනවා. මේ නිසා රටට ලැබෙන ඩොලර් තමයි නැතිවෙන්නේ. අනික් කාරණය තමයි දැල් ආම්පන්න මිල ඉහළයෑම. සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනයේ ජාතික සංවිධායක රත්න ගමගේ මහතාද අදහස් දැකවීය.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment