රට වනසන නඩයම ගෙදර යැවිය යුතු පණිවිඩය හඬගා කියන ගාලු මුවදොර අරගලය

354

ගාලු මුවදොර විරෝධතාවෙහි ගිනි පුපුරු ඇතැම් ගම් දනව් කරා ද විහිදෙමින් තිබුණත් ආණ්ඩුව එයට එතරම් සංවේදී නොවන බව සැඟවිය නොහැක. එම විරෝධතාව දියකර හැරීමට හෝ එයට උඩින් පැනයෑමට හෝ ආණ්ඩුවට අවශ්‍ය වුවත් ඒ වටා පෙළ ගැසෙන ජනබලය දකින ඔවුන් පියවරක් නොව, පියවර කීපයක්ම පසු පසට ගත් බව ද පැහැදිලිය. පොලිස් ට්‍රක් රථවලින් උද්ඝෝෂණ භූමිය වට කළත් ඒවා ඉවත් කර ගැනීමට ද ආණ්ඩුවට සිදු විය. එම සිද්ධිය නීතිඥ සංගමය ඇතුළු සිවිල් සංවිධානවල විවේචනයට ද ලක් විය. කුමක් වුවත් මෙම නිර්දේශපාලනික අරගලය විසින් මෙරටේ වත්මන් දේශපාලන අධිකාරිය පමණක් නොව, මුළු පාර්ලිමේන්තුවම ප්‍රතික්‍ෂේප කරනු ලැබ ඇත. එය නිසැකයෙන්ම රාජපක්‍ෂ පාලනයට දක්වන නිර්දය ප්‍රතිචාරයක් මෙන්ම මෙරටේ දූෂිත දේශපාලනයට ම එල්ල කරන ලද විරෝධයකි. එහි තේමාව ගෝඨා ගෝ හෝම් වුවද එහි අවධාරණය පාර්ලිමේන්තුවෙහි සිටින 225දෙනා ම ගෙදර යා යුතු බවය. පාර්ලිමේන්තුව නියෝජනය කරන කිසිදු පක්‍ෂයකට සම්බන්ධ කිසිවෙක් මෙම විරෝධතා භූමියට නොගියහ. ගෝඨා ගෝ ගම දේශපාලන අපතයන් විසින් කිලිටි කළ නොයතු සටන් භූමියක් ලෙස පවත්වා ගෙන යෑම මේ මෙහෙයුමෙහි නන්නාඳුනන භාරකාරත්වයෙහි අපේක්‍ෂාව බව පැහැදිලිය. එහෙත් මෙහි පෙරටුගාමී පක්‍ෂයේ හා විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාවගේ නියෝජනයක්ද දැකගත හැකිය.

ලංකාව ඉංග්‍රීසීන්ට පාවා දුන් උඩරට ගිවිසුමට අත්සන් කරන ලද්දේත් මාර්තු මාසයකදී ය. ඒ 1815 මාර්තු 02 වැනිදා ය. එදා ඉංග්‍රීසින් විසින් අල්ලා ගන්නා ලදුව, පසුව 1948 දී ඔවුන්ගේම අභිමතයෙන් නිදහස ලත් අප රටේ පාලනය හිමි වූයේ ඒ බටහිර පන්නය අනුදත් වරප්‍රසාද පන්තියකට ය. එලෙස අපට උරුම වූ වෙස්ට් මිනිස්ටර් පාර්ලිමේන්තු සම්ප්‍රදාය දසක හතකටත් වැඩි කාලයක් (අවුරුදු 74) මෙරටේ ක්‍රියාත්මක වේ. ඒ පාර්ලිමේන්තු ක්‍රමය කුණු වී දුගඳ හමවන දූෂිත ව්‍යාපාරයක් බවට පත් වූයේ ද අපේ ම දේශපාලන පක්‍ෂ නායකයන්ගේ අනුහසිනි. 1978 දී විධායක බලය අතට ගත් ජේ. ආර්. ජයවර්ධන ඇති කළ පාර්ලිමේන්තු ක්‍රමය රටේ නීච හා ග්‍රාම්‍ය දේශපාලන සංස්කෘතියකට දොර හැර දුන්නකි. 2022 මාර්තු 31 වැනිදා ඉතිහාසයට එක් වන්නේ ඒ දූෂිත, අමන පාර්ලිමේන්තු ක්‍රමයට ද එරෙහිව නැඟුණු මහජන විරෝධතා ව්‍යාපාරයක් ලෙස ය. ඒනිසා “මිරිහාන විරෝධතාව” මෙරටේ සදාචාර සම්පන්න දේශපාලන සම්ප්‍රදායක් වෙනුවෙන් උපන් ජන අරගලයකි. මෙරටේ රාජ්‍ය නායකයකුගේ පෞද්ගලික නිවාසයක් වැටලීමට තරම් නිර්භය වූ ඒ උද්ඝෝෂකයෝ අලුත් යුගයකට වෙඩි මුරයක් දැල් වුවෝ නොවෙත් ද? මිරිහාන විරෝධතා එතැනින් අගමැතිගේ කාල්ටන් නිවස ඉදිරිපිටදීත් ප්‍රකාශ විය. ඒ හැර තමන් ඇමැති නිවෙස් කීපයක් ද ඒ විරෝධතාවට ලක් වී ඇත.

ජේ. ආර්. ජයවර්ධන විසින් හඳුන්වාදෙන ලද 1978 ව්‍යවස්ථාව ඉන්පසු මුළු රටේ ම විවේචනයට ලක් විය. චන්ද්‍රිකා කුමාරතුංග එය හැඳින්වූයේ බහුබූත ව්‍යවස්ථාවක් ලෙසය. පසුව බලයට පත් මහින්ද රාජපක්‍ෂට හෝ එම ව්‍යවස්ථාව වෙනස් කිරීමේ අවංක වුවමනාවක් නොවීය. 2015 දී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ලෙස පත් වූයේ ද මූලික වශයෙන් එම ව්‍යවස්ථාව අහෝසි කිරීමටත් සදාචාර දේශපාලන සංස්කෘතියක් බිහි කිරීමටත්ය. ඔහු ඒ සඳහා කැප වූ අතර 19 වැනි සංශෝධනය එහි සාධනීය පියවරකි. එහෙත් එදා අගමැතිව සිටි රනිල් වික්‍රමසිංහගේ දේශපාලන න්‍යාය පත්‍රය වෙනම එකක් විය. එයින් බිහි වූ දේශපාලනය අච්චාරුවක් විය. මෛත්‍රීපාලත් ආපසු හැරී පැරණි දේශපාලන මාර්ගයට ම අවතීර්ණ විය. රට යළි අවුලක් විය. ජනතාව රාජපක්‍ෂවරුන් දෙසට නැවත හැරුණේ මේ අවුල් ලිහා ගෙන රට ඉදිරියට ගෙන යෑමට ය. ගෝඨාභය ජනාධිපති ලෙස පත් වන්නේ ඒ පසුබිම තුළය. ඔහුට අවුලකින් තොරව පාලනය විධිමත්ව සිදු කිරීමට 20 වැනි සංශෝධනය මගින් තවත් සුපිරි බලයක් ද ලැබුණි.

අද ජනතාව ගෙදර යන ලෙස කියන්නේ ඒ සුපිරි ජනාධිපතිවරයාටත් ඒ රාජපක්‍ෂවරුන්ටත් පමණක් නොව, මුළු මහත් පාර්ලිමේන්තුවටම ය. ගෝඨාභය පාලනයේ දුබලතා, ඥාති මිත්‍ර සංග්‍රහ පමණක් නොව, විවිධ දූෂණ හා අක්‍රමිකතා ගැන ද චෝදනා නැඟුණි. ආන්දෝලනාත්මක මහ බැංකු මංකොල්ලය යටපත් වූ අතර රාජපක්‍ෂ පාලනයට ද එහිදී චෝදනා නැඟුණි. සීනි වංචාව, බදු වංචාව මෙන්ම චීනයේ පොහොර නැවකට මුදල් ගෙවීමේ දූෂිත ගනුදෙනුව වැනි අයථා ක්‍රියාකාරකම් සමාජ දේශපාලන සබඳතාවලට යොමු වුවත් පාලකයන්ට ඒ කිසිවක් බැරෑරුම් ඒවා නොවීය. ජනාධිපතිවරයාට අමතරව රාජපක්‍ෂ සහෝදරයන් තිදෙනෙක් ද පුතෙක් ද කැබිනට් මණ්ඩලයට අයත් වූහ. ලංකාවේ පවුල් පාලනයේ ඉහළම නියෝජන වාර්තාව රාජපක්‍ෂවරුන්ට අයත් විය. ජනාධිපති අගමැති මුදල් ඇමැති වැනි ප්‍රබල ධුර හිමි වූයේ ද රාජපක්‍ෂ පවුලට ය.

මේ රාජපක්‍ෂ පවුල් ගස මුලින්ම සිඳ දැමිය යුතුය යන්න ජනතාව අද හඬ නඟන රාජපක්‍ෂ පවුල් හා සම්බන්ධ වත්කම් ගැන ද විවිධ විවේචන ඇසෙනයි. ගාලු මුවදොර විරෝධතාවට දවසින් දවස එක්වන පිරිස අතර මෙරටේ ප්‍රමුඛ කලාකරුවෝ ද වෙනත් සිවිල් සංවිධාන හා වෘත්තිකයෝ ද සිටිති. ගාලු මුවදොර රැව් දුන් විරෝධතාවට ඔවුන්ගෙන් ලැබුණේ අප්‍රමාණ ශක්තියකි. ආචාර්ය නන්දා මාලනී, මහාචාර්ය සුනිල් ආරියරත්න, ස්වර්ණා මල්ලවාරච්චි, මෙන්ම ආචාර්ය රෝහණ වීරසිංහ, ආචාර්ය වික්ටර් රත්නායක වැනි අය ගාලු මුවදොර විරෝධතාවට එක් වූහ. (තවත් කලාකරුවෝ රැසක් වූහ.) ජගත් ක්‍රීඩා ක්‍ෂේත්‍රයෙහි බුහුමනට ලක් වූ සනත් ජයසූරිය හා රොෂාන් මහානාම ද මේ විරෝධතාවට දායක වූහ.

මේ වනවිට ත්‍රෛනිකායක මහ නාහිමිවරුන්ගේ මෙන්ම රාමඤ්ඤ නිකායේ මහ නාහිමියන්ගේ අනුශාසනාව වී ඇත්තේ ද අගමැති ප්‍රමුඛ ඇමැති මණ්ඩලය ඉවත් විය යුතු බවය. මල්වතු මහ විහාර පාර්ශ්වයේ ලේඛකාධිකාරි ආචාර්ය පහමුණේ සුමංගල, අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී මැදගම ධම්මානන්ද, ශ්‍රී ලංකා අමරපුර මහ නාකායේ ලේඛකාධිකාරි මහාචාර්ය පල්ලෙකන්දේ රතනසාර, රාමඤ්ඤ නිකායේ ලේඛකාධිකාරී අත්තංගනේ ශාසනරතන යන නාහිමිවරුන් විසින් ද නිවේදනයක් මගින් අනුශාසනා කරන ලද්දේ මහ නාහිමිවරුන්ගේ යෝජනා මාලාව අනුව අගමැති ප්‍රමුඛ ඇමැතිවරුන් ඉවත් කර තාවකාලික පාලනයකින් අර්බුද විසඳිය යුතු බවය. වත්මන් පාලනයට ජනතා ප්‍රශ්න විසඳාලිය නොහැකි බව ද උන්වහන්සේලාගේ අදහස වී තිබේ. තිරිකුණාමලයේ ආනන්ද මහ නාහිමියන්ගේ අනුශාසනාව වන්නේ ද අගමැති ඉවත් කර පක්‍ෂ විපක්‍ෂ දෙපසින්ම කැබිනට්ටුව පත් කළ යුතු බවය. එසේම ජනතා උද්ඝෝෂණ මර්දනය කිරීම කිසිසේත් නොකළ යුතු බව ද එහිමියෝ දක්වති.

මෙම බොදුනුවන්ගේ උත්තම සංඝ පිතෘන් වහන්සේලාට අමතරව කිතුනුවන්ගේ උතුම් නායක මැල්කම් රංජිත් කාදිනල්තුමා ද මෙම රාජපක්‍ෂ පාලනය අවසන් විය යුතු බව අවධාරණය කර ඇත. කාදිනල්තුමා වරක් සඳහන් කළේ මෙම පාලනයට පාස්කු ප්‍රහාරයේ ශාපය වැදී තිබෙන බවය.

කෙසේ හෝ රාජපක්‍ෂවරුන්ට හා ගෝඨාභය ජනාධිපතිවරයාට එල්ල වී තිබෙන මෙම විරෝධය මෙරටේ කිසිදු රාජ්‍යනායකයකුට මුහුණ දීමට සිදු නොවූ බරපතළ තත්ත්වයකි. තිස් වසරක ත්‍රස්තවාදී යුද්ධයක් පරාජය කළ මහින්ද, ගෝඨාභය රාජපක්‍ෂ දෙබෑයන්ට හිමි වී තිබෙන ඓතිහාස බුහුමන සුළුපටු නොවේ. එහෙත් අද දවසින් දවස උණුසුම්වන රාජපක්‍ෂ විරෝධය එකහෙළාම පවසන්නේ ඔවුන් රටේ විධායක අසුන්වලින් බිමට බැස ගෙදර යා යුතු බවය. මහාචාර්ය සුනිල් ගේ හා ආචාර්ය නන්දා මාලිනිය ගේ සෞන්දර්ය ප්‍රකාශනයෙන් අවධාරණය කළ පරදී ම පූජාසනයේ ඔබ හිඳුවා ඔබට පුදන ලෝකයමයි හෙට ඔබට එරෙහි වී නැඟිටින්නේ යන්න මොනතරම් සත්‍යයක් ද? විමල් ,වාසු, ගම්මන්පිල හා මෛත්‍රී ඇතුළු පක්‍ෂ එකොළහේ එකමුතුව විසින් යෝජනා කර ඇත්තේ ද මහින්ද නැති කැබිනට් මණ්ඩලයක් පත් විය යුතු බවය. අද ස්වාධීන කණ්ඩායමක් ලෙස සිටින 42දෙනා වුව ද ගෝඨාභයට ද කැමැත්තක් නො දක්වති. එසේ වුවද තාවකාලික හෝ අන්තර්වාර පාලනයකට හෝ නායකත්වය දිය යුත්තේ ද ජනාධිපතිවරයා බව විකල්ප කණ්ඩායම දනී. ජනාධිපති හා අගමැති යන ධුරවලට සැණකින් අභිනව පත්වීම් ද කළ නොහැකි බව ද අමුතුවෙන් කිවයුතු නැත. ගාලු මුවදොර ජන අරගලය අපේක්‍ෂා කරන වෙනස වුවද වහාම කළ නොහැක.

කෙසේ හෝ වේවා ජනාධිපතිවරයා මෙවර තෝරා ගන්නා ලද කැබිනට් මණ්ඩලය දෙස බලද්දී ඔහු දැනට උද්ගතව තිබෙන මහජන විරෝධය පිළිබඳව ද තැකීමක් කළ බව ද පෙනී යයි. මහින්දට අගමැති ධුරය නොදිය යුතුය යන ජනතා උද්ඝෝෂණත්, විකල්ප කණ්ඩයම්වල හා වෙනත් සංවිධානවල ඉල්ලීමත් ඔහු බැහැර කර තිබේ. එහෙත් මෙතෙක් කැබිනට්ටුවේ සිටි බහුතරයක් එහි තිබුණු රාජපක්‍ෂ නියෝජනයත් ඔහු වෙනස් කර ඇත. දූෂිතයන් ලෙස මහජන අප්‍රසාදයට ලක් වූ විවිධ චෝදනා එල්ල වූ ඇමැතිවරුන් කීපදෙනෙක් හෝ ඉවත් කිරීම හොඳ ප්‍රවණතාවකි. අලුත් මුහුණු හා තරුණයන් ද එයට එක්ව තිබේ. විපක්‍ෂයේ දායකත්වයක් ද නොලැබීම නිසා තම සීමාව තුළම කිසියම් අමුත්තක් කිරීමට ද ඔහු පෙළඹී සිටියි. මේ අලුත් ඇමැතිවරුන්ගේ කාර්යසාධනය ආණ්ඩුවේ ඉරණම මෙන්ම රටේ පැවැත්ම ද කෙරෙහි බලපාන බව පමණක් දැනට සඳහන් කළ යුතුයි.

මේ සියල්ල ගාලු මුවදොර විරෝධතාවෙහි ජයග්‍රහණයන් බව නිසැක ය. අධිපතිවාදී පාලකයන් පිරිසක් දණ ගැස්සවීමට තරම් ප්‍රබල මහජන බලයක් ද ගොඩනැඟුණි. ඒ අබියස රාජපක්‍ෂ පවුල් වෘක්ෂයෙහි අතු කීපයක් ද සිඳ දමා ඇත. ඇමැති සැප විඳිමින් සිටි දේශපාලන ජාවාරම්කාරයෝ ද සැලුම් වෙවුළුම් ගෙන සිටිති. තම ආත්මාර්ථය උදෙසා රාජපක්‍ෂ කඳවුරට කුලී හේවාකම් කළ බොහෝ දෙනෙක් ද ජනතාව අබියස පාපෝච්චාරණය කළහ. ආගමික නායකයෝ ද සත්‍ය හා ජාතික වටිනාකම් වෙනුවෙන් හඬ නැඟූහ. එහෙත් තවමත් ගෝඨා ඕනෑ යැයි කියන පිරිස් ද සිටිති. බුදු බණට ජාතිවාදී හා ආගම්වාදී වසුරු තවරන්න හිමිවරු ස්වල්ප දෙනෙක් ද සිටිති. මහජන දේපොළ කොල්ලෑ කෑ, රාජ්‍ය මූල්‍ය වංචා කළ නීතියට උඩින් පියඹා ගිය කිසිවකුට ද දඬුවමක් හෝ ලබා දී නැත. ඔව්හු සුව සේය. ජනතාව දුක සේය. ඒ ජනතාවට යුක්තිය සාධාරණය ඉටුවිය යුතුය. ජනතා මුදල් අවභාවිත කළ බවට චෝදනා ලත් සියල්ලන්ම විනිශ්චයට භාජන විය යුතු වෙති. බදු වංචා කළ කොමිස් කපුටන්, ඒවාට අනුබල දුන් රාජ්‍ය නිලධාරීන් හා දේශපාලන හෙංචයියන් ඇතුළු සියල්ලෝම නීතිය ඉදිරියට පැමිණවිය යුත්තාහ. අල්ලස්, දූෂණ වංචා චූදිතයන්ට රිංගා යා හැකි පරිදි නීතිය නැවූ නීති බලධාරීහු ද ජනතාවට වගකිව යුතු වෙති. ජේ. ආර්ට වුවමනා පරිදි මෙන්ම ගෝඨාභයට රිසි ලෙස සකසා දුන් සංශෝධන ඇතුළු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ජනතා පරමාධිපත්‍යය සුරැකෙන පරිදි වෙනස් කිරීම හා පාර්ලිමේන්තු මන්ත්‍රීන් විගණනයට යටත් කිරීමට ද වහා පියවර ගත යුතුය යන යෝජනා තව දුරටත් කල් දැමිය යුතු නැත. ක්‍රමය වෙනස්වීම ඒවායින් සංකේතවත් වනු ඇත.

මේ අතර ගාලු මුවදොර විරෝධතාව ඉවත් කිරීම සඳහා පාලක අවධානය යොමු වෙමින් තිබෙන බවට විවිධ ඇඟවීම් කර තිබේ. එය ස්වභාවික ප්‍රතිචාරයකි. මන්ද යත් දිගින් දිගට ම මෙබඳු විරෝධතාවක් සඳහා ඉඩ ලබාදීමට කිසිදු පාලනයකට නොහැකිය. දැනට ම පොලිසිය අධිකරණයට ද ඒ ගැන වාර්තා කර තිබේ. දේශපාලන නායකත්වයක් හෝ සංවිධානයක් නොමැති අරගලයක් වුවද ඒ සඳහා නිශ්චිත සැලැස්මක් අත්‍යවශ්‍ය වේ. මහාචාර්ය ජයදේව උයන්ගොඩ සඳහන් කර තිබුණේ මෙම විරෝධතාව ගැඹුරු දේශපාලන අභිලාෂයක අපේක්‍ෂාවක් බවය. මතු පිටින් පෙනී යන විනෝදාත්මක හා ප්‍රාසාංගික ලක්‍ෂණවලට වඩා ගැඹුරක් එහි තිබෙන බවය. මර්දනකාරී හා පීඩක මානසිකත්වයෙන් මිදුණු නව නිදහසක සතුට එයිනු ප්‍රකාශ වුවත් එය දේශපාලනිකව වටහා ගත යුතුබව ඔහුගේ අදහස ය. නිසැකයෙන්ම අද රටට ජනතාවට වුවමනා මේ දූෂිත, අමන ගර්හිත දේශපාලනය නඩත්තු කරමින් රට වනසා මහජන දේපළ කාබාසිනියා කළ දේශපාලනය තක්කඩි ව්‍යාපාරයක් බවට පත් කරගත් සමස්ත නඩයම ගෙදර යැවීමට ය. ‘මාගේ දේශය අවදි කළ මැනවි’ යන ප්‍රාර්ථනාව මෙම ගාලු මුවදොර විරෝධයෙන් මුළු ජනතාවට ම ලබා දී තිබේ.

රට වනසන නඩයම ගෙදර යැවිය යුතු පණිවිඩය හඬගා කියන ගාලු මුවදොර අරගලය

ගාමිණී සුමනසේකර

advertistmentadvertistment
advertistmentadvertistment