රට වසා දමා තිබුණත් ඔබේ මනසට විවේකයක් තියෙනවාද?

172

පූජ්‍ය රාජගිරියේ
අරියඥාන ස්වාමින්වහන්සේ

පිංවත, හේතුවක් නිසාමයි ඵලයක් සකස් වෙන්නේ, අපි ඉපදුන නිසාමයි, මේ ජරා, ව්‍යාධි, මරණ දුක අපට උරුමවෙලා තිබෙන්නේ. අවිද්‍යාව නිරෝධය වුණ තැනදි සංස්කාරයන් කෙරෙහි තෘෂ්ණාව නිරෝධයවෙලා යන්නේ, හිරු දුටු පිනි වගේමයි. මෙවන් සුන්දර හේතුඵල ධර්මයන් අපි නුවණින් නොදකින නිසාම, අපේ ජීවිත ජරා, ව්‍යාධි, මරණ විසින් නිරතුරුවම සංස්කාරයන්ටම නැලවිලි ගීත ගයනවා. අවිද්‍යා තොටිල්ලේ, දානය, ශීලය, මෛත‍්‍රියේ, සෙල්ලම් බඩු තුරුල්කොටගෙන මේ සෙල්ලම්බඩු සැපයි, සුභයි, ස්ථිරයි යැයි දකිමින් පංචනීවරණ අඩ නින්දේ, කිරි සිහින දකින අපි, උපාදානයන් ඔස්සේ, නැවත නැවතත් භවාත‍්‍රයටම බැඳීයන්නේ කිරි දරුවන් වගේමයි.

කොරෝනා අකුසල් වසංගතය හේතුවෙන් බබාලා හම්බවෙන්න ඉන්න අම්මලා කිහිපදෙනෙක්ම මියගිහිල්ලා, මෙලොව එළිය දකින්නට නොහැකිව, මවු කුස තුළදීම අහිංසක දරුවෙක් තම දයාබර මෑණියන් සමඟ මිය යන්න පෙර ජීවිතයක මොනතරම් නම් අකුසලයක් කරලා තිබෙන්න ඕනේද. මෙවන් සද්ධර්මයේ එ්හිඵස්සික ගුණයන් ඉදිරියේ හේතුඵල ධර්මයන් නොදකින අපි, සැබෑ හේතුව යටගසා ඵලය අහිංසක කොරෝනාවට භාරදෙන්නේ, සංස්කාරයන්ට සිත්සේ තව තවත් කොරෝනා අකුසලය පෝෂණය කොට දෙමින්මයි.

ගැබ්බරව සිටින එළදෙනුන් ඇතුළු, ගැබ්බරව සිටින තිරිසන් සතුන් ලක්ෂ කීයක් දිනකට මරාගෙන කන ලෝකයකද අපි ජීවත් වෙන්නේ, මාළු පැටවුන් දහස් ගණනක් කුස දරාගෙන සිටින, මාළු අම්මලා ලක්ෂ කීයක් දිනකට මරාගෙන කන ලෝකයකද අපි ජීවත් වෙන්නේ. කෘමිනාශක වසවිස හේතුවෙන්, ගැබ්බර කෘමිසතුන් ලක්ෂ කීයක් දිනකට මරාදමන ලෝකයකද අපි ජීවත් වෙන්නේ. අහිංසක මනුෂ්‍යයින්ට වසවිස සහිත ආහාර කවලා, අම්මලා වඳභාවයට පත්කරන, දරු කළල ගබ්සාකොට දමන සිදුවීම්, කොතෙක් ඇති ලෝකයකද අපි මේ ජීවත්වෙන්නේ. අයාලේ යන සිතුවිලි පාලනය කොටගැනීමට නොහැකිව, සෙල්ලමක්සේ සිදු කරන ගබ්සාවන් දිනකට කොතෙක් සිදුකරන ලෝකයකද අපි මේ ජීවත් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, සත්වයා කර්මය මගේ කොටගෙන උපදියි කියලා. පිංවත් මනුෂ්‍ය සමාජය තෙරුවන් කෙරෙහි ශ‍්‍රද්ධාවෙන්, ශීලයෙන්, මෛත‍්‍රියෙන්, දුර්වලවෙලා යන කොට, මේ උතුම් ධර්මතාවයන් සමාජයෙන් පිරිහිලා යනකොට, වෛද්‍ය විද්‍යාව කොතෙක් දියුණු වුණත්, මනුෂ්‍යයාගේ අකුසල් නිසාම, ගැබ්බර මව්වරුන්ගේ ජීවිත අවදානමට ලක්වීමේ ප‍්‍රවණතාවයන් හුඟාක් අනාගතයේ වැඩිවෙනවා. තම දයාබර බිරිඳත් මෙලොව එළිය නොදුටු අහිංසක දරුවාත්, අහිමිවීමේ දුක දරාගන්න තාත්තලාගේ ප‍්‍රතිශතය වැඩිවෙනවා. මේවා අනාගත සමාජයේ විවෘතව බබලන ධර්මයේ එ්හිඵස්සික ගුණයන්.

මෙවැනි වියරු සංස්කාර විකෘතීන් අවම කොටගැනීමට, ප‍්‍රමාද කොටගැනීමට, මුළු ලෝකයටම පූර්වාදර්ශයන් දියහැකි උතුම් සම්මා දිට්ඨියේ අර්ථයන් ජීවමානව පවතින මේ උතුම් මාතෘභූමිය ඉදිරියේ, ලොකු වගකීමක් තිබෙනවා. තෙරුවන් කෙරෙහි ශ‍්‍රද්ධාවෙන්, ශීලයෙන්, මෛත‍්‍රියෙන්, ත්‍යාගයෙන්, කර්මය කර්මඵල විශ්වාසයෙන්, ලෝකයාට පූර්වාදර්ශයන් දෙන්න. නමුත් අකුසලයෙන් හෙම්බත් වූ ලෝක ප‍්‍රජාවගේ, අකුසලයක මහත නිසාම, අපේ රටේ පක්ෂ සහ විපක්ෂ දේශපාලනය බලය උදෙසාම අසමඟියට පත්වී සිටින්නේ, ලෝකයා ඉදිරියේ අපේ සද්ධර්මයේ පෞරුෂත්වය බිංදුවටම බංකළොත් කොට දමලා. තෙරුවන් කෙරෙහි ශ‍්‍රද්ධවෙන්, කර්මය කර්මඵල විශ්වාසයෙන්, අන්ධ වූ අපේ දේශපාලනය, අකුසලයෙන් අනාරක්ෂිත ලෝකය තුල, කොන්ක‍්‍රීට් සංවර්ධනයේ සිහින මාළිගාවන්ම ගොඩනගනවා. අවිද්‍යාවේ අත්තිවාරම් උඩ ඉදිකරන මේ සෑම තෘෂ්ණාවේ සිහින මාළිගාවක්ම අනාගතයේ සමාජයට ජරා, ව්‍යාධි, මරණ, ශෝක පරිදේව, දුකේ ප‍්‍රතිලාභයන් දෝතපුරාම බෙදාදේවි. මේ අනාගත විනාශයන් ඇසින් දකින්න, මනසින් විඳින්න, අපිත් සංසාරයේ පව් කරලා තිබෙනවා. එ්ත් භික්ෂුවත් පිංවත් ඔබත් සිදුකොටගත් සංසාරික පිනකුත් තිබෙනවා. භික්ෂුව එය දෙස ධර්මයේ උපේක්ෂාවෙන්ම දකිනවා.

භික්ෂුව මෙසේ සටහන් තබත්දි, පිංවත් ඔබට බියක් ඇතිවෙන්නේ නැද්ද? ඔබේ දරුවන්ගේ අනාගතය ගැන. බිහිවෙන අනාගත මතු පරම්පරාවන් ගැන. වර්තමානයේ අපි අවිද්‍යාවේ අත්තිවාරම් මත ඉදිකරන මේ කොන්ක‍්‍රීට් සිහින මාළිගා, අනාගතයේ කවදාහරි දවසක අපේම සොහොන් කොත් බවට පත්වීම ගැන. ලෞකික ප‍්‍රඥාවේ මන්දබුද්ධිකභාවය, ශීලයේ, මෛත‍්‍රියේ, දානයේ, අර්ථයන්, අකුසල් මූලන්ගෙන් කේඩෑරි වී ගිය, අවිද්‍යාවේ ඇටසැකිල්ලක් බවටම පත්වීම ගැන. සියලූ සංස්කාරයෝ වෙනස්වෙලා යනවා. සංස්කාරයෝ වෙනස්වෙලා යන්නේ, දැනීම හෙවත් විඤ්ඤාණයන් අපි ළඟ ඉතිරිකොට තබලා. එ් විඤ්ඤාණයෝ ආයෙ ආයෙමත් සංස්කාරයන්මයි පෝෂණය කොටදෙන්නේ. අපිට නොතේරෙන හතර බීරි කතාවක් බුදුරජාණන් වහන්සේ අපිට සරලව තේරුම්කොට දී තිබෙනවා. එ්ත් අපි තවමත්, රූපයන් කෙරෙහි තෘෂ්ණාවෙන්, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණයන් ලූහුබඳිමින් අතුරේ යන ගමනක් යන්නේ, හරියට අධිවේගී මාර්ගයේ වේග සීමාවන් ඉක්මවා යන රියදුරු මහත්තයෙක් වගේමයි.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මාර බලය සේ, දුක සේ වීර්යයෙන් පරාජය කළ යුතු වෙන එකදු බලයක් මේ ලෝක ධාතුව තුළ මම නොදකිමියි කියලා. මේ වියරු සහ රුදුරු, අති දීර්ඝ භව බන්ධනාගාරයන්ට අපිව කොටු කළ මේ වියරු මාර බලය අපි මුල් අදියරේදී පරාජය කරන්න නම්, සක්කායදිට්ඨිය, තෙරුවන් කෙරෙහි විචිකිච්චාව, අන්‍ය ශීලවෘත කෙරෙහි බැඳීම නිරෝධයකොට දමන්න ඕනේ. අපි දෙවැනි අදියරේදී මේ වියරු මාර බලයට අභියෝග කරන්න නම් කාම, රාග, පටිඝයන්, නිරෝධය කරන්න ඕනේ. අපි පරිපූර්ණ වශයෙන් මේ වියරු මාර බලය නිරෝධය කරන්න නම්, පංචඋපාදනස්කන්ධය කෙරෙහි තෘෂ්ණාව නිරෝධය කොට දමන්නට ඕනේ. කාම, රාග, පටිඝයන් නිරෝධය කළ අවබෝධාත්මක විදර්ශනා නුවණින් ජීවිතය කෙරෙහි තෘෂ්ණාව අතහැරෙන්නම ඕනේ.

බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාල, මේ මාර බලය, අපි හඳුනාගන්නේද, අපි ධමනයකොට ගන්නේද, අපි පරාජය කොට දමන්නේද, උතුම් ආර්ය අශ්ඨාංගිකමාර්ගයේ ශක්තියෙන්මය. අපි ආර්ය අශ්ඨාංගික මාර්ගයේ ශක්තියෙන් දුර්වලවෙලා යද්දී, අපිව මෙහෙය වන්නේ දුකටම අධිපති මාර බලයයි. වර්තමානයේ සමස්ත ලෝකයම, සක්කායදිට්ඨියේ, විචිකිච්චාවේ, අන්‍යශීලවෘතයන්ගේ වියරු මාර බලයට ගොදුරුවෙලා. අපි හැමෝගේම ඵස්සය, ලෝභ, ද්වේශ, මෝහයන්ගෙන් ගැබ්බරවෙලා. අවිද්‍යාවෙන් ගැබ්බර ඵස්සය, බිහිකරන සෑම සිතුවිල්ලක්ම අනිත්‍ය, දුඛ්‍ය, අනාත්ම, ධර්මයන්ට අකීකරු සක්කාය දිට්ඨියේ දරු මුණුපුරන්මයි බිහිකරන්නේ. මමය, මගේය, අපිය, අපේය කියන සක්කායදිට්ඨියේ කුණු හැව, වර්තමානයේ කොරෝනා මාර බලයෙන් පංචඋපාදනස්කන්ධ ලෝකය බිලිගන්නවා වගේම, අනාගතයේදී වියරු යුධ වියරුවන්ගෙන් සමස්ත පංචඋපාදනස්කන්ධ ලෝකයම බිලිගැනීමේ දිශාවට අරගෙන යන්න පුළුවන්. කොරෝනාවෙන් සමස්ත ලෝකයේම ආර්ථිකය බිඳවැටෙන මොහොතක, අනෙකාගේ දෙය අයිති කොටගැනීමට කෙරෙන යුද්ධය, මාර බලයට වාජීකරණ ඖෂධයක්ම වෙත්වා.

විවේකී මනසින් පිංවත් ඔබ දෙස, ඔබ මොහොතක් බලන්නකෝ, රට වසාදමා තිබුණත් සත්තකින්ම ඔබේ මනසට විවේකයක් තිබෙනවාද? අකුසලය විසින්ම රටේ ලෝකයේ රඟදක්වන මාර සෙල්ලම පසුපස ඔබත් සිතුවිලි වලින් මැරතන් දුවනවාද. මේ දිනවල ලෝකයේ සහ අපේ රටේ, වගකීම් දරණ හුඟාක් පිංවතුන්ලාට, රාත‍්‍රියට නින්ද නොයෑමේ රෝගය උත්සන්න වෙන්න පුළුවන්. අපේම අකුසල් ඵස්සය හරහා, විඳීම් ඔස්සේ මැරතන් දුවත්දි, දෑස් කෙසේ නම් නිදිගන්නද.

පිංවත සමාජය තුළ සිදුවන දුක සහ සැප උපද්දවන ධර්මතාවයන් ඔබ කර්මය කර්මඵල විශ්වාසය තුළ විසිරුවා දකින්න. කුළුඳුලේ දරු සම්පත් බලාපොරොත්තුව සිටින අම්මා කෙනෙක්, තම අහිංසක කළල රූපයත් සමඟ කොරෝනා රෝගයෙන් මිය යද්දී, ඔබ එ් අහිංසකයින් දෙදෙනාගේ මරණය, කර්මය කර්මඵල විශ්වාසය තුළ විසිරුවා දකිනවාද. එසේත් නැතිනම් රජයට හෝ සෞඛ්‍ය අංශයන්ට චෝදනා කරනවාද. අපේ සම්මාදිට්ඨියේ ඇති දුර්වභාවයන් නිසාම, මෙවැනි විනාශයන් අපි විසිරුවා දකින්නේ ”රූපය’’ සැපයි, නිත්‍යයි, සුභයි, ආත්මයි කියන ධර්මතාවයන් තුළමය. පංචඋපාදානස්කන්ධ ලෝකය ගිනි තබන මාර බලයට අපි තව තවත් අවිද්‍යාවේ තෙල්මයි එකතු කරන්නේ.

වර්තමානයේ දෙමාපියන් සහ දරුවන් මුහුණ දෙන බලාපොරොත්තු බිඳවැටීම් දෙස බලනකොට, ස්වභාවධර්මය අපිට බලකරනවා, සමාජයේ ජීවත්වෙන සෑම අම්මා සහ තාත්තා කෙනෙක්ම, සම්මා දිට්ඨියේ අර්ථයන්ට අදාළව, දෙමාපියන් සතුවිය යුතු මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා මහා බ‍්‍රහ්ම ගුණයන් තුළින්, තම දරුවන්ට පූර්වාදර්ශයන් දෙන්නය කියලා. රත් පැහැ රුධිරය, මව් කිරි බවට පත්කොට දෙන මාතෘත්වයේ, පීතෘත්වයේ උත්තරීතර මහා බ‍්‍රහ්ම ගුණයන්ට, තම ජීවිත තුළින් සැබෑම වටිනාකම දෙන්නය කියලා. දෙමාපියන් මහ බ‍්‍රහ්ම ගුණයන්ගෙන් පිරිහී ගියොත්, එහි ඵලය වෙන්නේ දෙමාපියන් සහ දරුවන් යන දෙපාර්ශවයම සම්මාදිට්ඨියේ අර්ථයන්ගෙන් පිරිහි අධර්මයෙන්ම අයාලේ යාමයි.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රූපය මාරයාය කියලා. දෙමාපියන්ට දරුවාත්, දරුවන්ට දෙමාපියනුත් මාර බලයක්ම වෙන්න පුළුවන්. අපි සම්මාදිට්ඨියේ අර්ථයන්ගෙන් බැහැර වුණොත්. වර්තමානයේ ගැබ්බර මව්වරුන් කොරෝනා අකුසලයෙන් මියයනවා දකිද්දී, භික්ෂුවට සිහිපත්වෙන්නේ පෙර ජීවිතවල දෙමාපියන් සහ දරුවන් සම්මා දිට්ඨියේ අර්ථයන්ට අකීකරුවීමේ විපාකයන්මයි. වර්තමානයේ දමාපියන් වන ඔබ ඔබේ තරුණ දරුවන්ට කියලා දෙනවාද, දරුවනි ඔබලායි අනාගතයේ අම්මලා සහ තාත්තලා වෙන්නේ එම නිසා තරුණ කාලයේ සිටම තෙරුවන්ට කීකරුභාවයෙන් එ් උතුම් බ‍්‍රහ්ම ගුණයන් ජීවිතයට පුහුණු කොට ගන්නය කියලා. පිංවත අපි වපුරා ගත්ත දෙය, අපි අස්වැන්න හැටියට ලබනවා. මේ නිමේෂයේදී නිවාස වලට කොටුවී අපි මේ ලබන්නේ අපිම වගා කළ අස්වැන්නමය. පිංවත් සංස්කාර ලෝකය තම සුපුරුදු රිද්මයෙන් වියරු ගමනක් යනවා. පිංවත් ඔබට මේ සංස්කාර රිද්මය නුහුරු නම්, කරුණාකර උතුම් සම්මාදිට්ඨියේ අර්ථයන් දැන්වත් නිවැරදිව ජීවිතයට එකතු කොටගන්න.

advertistmentadvertistment
advertistmentadvertistment