රට විවෘත කිරීම සහ ආර්ථිකය

175

 ආර්ථික සහ සෞඛ්‍ය යන දෙපැත්තම එනම් තවත් ලෙසකින් කියනවා නම් ජීවනෝපාය සහ ජීවිතය යන දෙකම සලකා බලා මේ දෙක අතර යම් තුලනයක් සහිතව කටයුතු කිරීමට අපට සිදු වනු ඇත. මේ අනුව ජනජීවිතය සහ ආර්ථික කටයුතු යථා තත්ත්වයට පත් කර ගැනීමට රට විවෘත කළ යුතු බව සැබෑය. එහෙත් නිකන්ම එය කළ නොහැකිය. එනම් කොරෝනා වසංගතය පැතිර යාමේ විශාල අවදානමක් තබාගෙන රට විවෘත කිරීමෙන් ද අපට බලාපොරොත්තු වන ආර්ථික අපේක්ෂා ඉටු කරගත නොහැකිය. මේ නිසා දැන් තිබෙන වසංගත තත්ත්වය තවදුරටත් පැතිරීම වළක්වා ගනිමින් ක‍්‍රමයෙන් රට විවෘත කළ හැකිය.

 ආර්ථික කටයුතු ක‍්‍රියාත්මක වීම සඳහා රට විවෘත කිරීම අවශ්‍ය දෙයකි. එහෙත් එසේ කියා කොරෝනා වසංගතය පැතිරීමට ද ඉඩ දිය නොහැකිය. ආර්ථිකය ගැන සිතා වසංගත තත්ත්වය සුළුකොට තැකුවොත් එහි ප‍්‍රතිඵල ද ඉතා නරක විය හැකිය. අප කැමති වුවත් නැතත් වසංගත තත්ත්වය පැතිර යෑම නිසා ද කොහොමත් ආර්ථික කටයුතුවල අකර්මණ්‍ය වීමක් සිදු වේ. එසේම ජනයාගේ ජීවනෝපාය ද රැුකගත යුතුය. මේ වසංගත තත්ත්වයට මුහුණ දීමට ද ආර්ථික ශක්තියක් තිබිය යුතු වේ. ඒ නිසා මෙහි දෙපැත්තක් තිබේ. මේ අන්ත දෙකින්ම මේ ප‍්‍රශ්නයට විසඳුම් සෙවිය නොහැකිය. මේ නිසා මේ වසංගත තත්ත්වය හමුවේ අපට සෞඛ්‍ය ගැන පමණක් සිතා කටයුතු කිරීමෙන් බලවත් ආර්ථික පසුබෑමකට මුහුණ දීමට ද සිදුව හැකිය.

 ගිය වසරේ (2020) නිරෝධායන ඇඳිරි නීතිය ක‍්‍රියාත්මක කළ සමයේ එනම් 2020 දෙවන කාර්තුවේ දී ආර්ථිකය සියයට 16.3 කින් සෘණ තත්ත්වයට පත් විය. මේ නිසාම ගිය වසරේ රටේ සමස්ත ආර්ථික වර්ධනය ද සියයට 3.6 ක් දක්වා පසුබෑමට ලක්වෙමින් නිදහසෙන් පසු බලවත්ම ආර්ථික පසුබෑමට මුහුණ දීමට ද අපට සිදු විය. මේ නිසා කොරෝනා තෙවන රැුල්ල හමුවේ රජය ගිය වසරේ මෙන් නිරෝධායන ඇඳිරි නීතිය පැනවූයේ නැත. ඒ වෙනුවට කොරෝනා තෙවන රැුල්ල පාලනය කිරීමට රජය ප‍්‍රමාද වී හෝ අනුගමනය කළේ සංචරණ සීමා පැනවීමයි. මේ නිසා ආර්ථික කටයුතු අකර්මණ්‍ය වීම අඩු වුවත් වසංගත තත්ත්වය පැතිර ගියේය. රෝගීන් වාර්තා වීම මෙන්ම මරණ ප‍්‍රමාණය ද වැඩි විය. මේ නිසා සෞඛ්‍ය අංශ මුලින් කී දින 14 වෙනුවට මසකට අධික කාලයක් සංචරණ සීමා පනවා රට වැසීමට ද රජයට සිදු විය. එහෙත් රජය කොරෝනා තෙවන රැුල්ල මුලදී කීවේ රට වහන්නේ නැති බවය. එහෙත් වසංගතය පැතිර යෑම නිසා අකැමැත්තෙන් හෝ රට වැසීමට අවසානයේ සිදු විය. මේ නිසා පසුව වැඩි දින ගණනක් රට වැසීමට සිදු වීමෙන් වැඩි ආර්ථික බලපෑමක් සිදු වන බව ද අපට පෙනෙන දෙයකි. මේ නිසා අපට පැහැදිලි වන දෙය නම් ආර්ථික කටයුතු හරිහැටි පණ ගන්වා ගැනීමට ද මේ වසංගත තත්ත්වය පාලනය කර ගැනීම අවශ්‍ය බවකි.

 එන්නත්කරණය වේගවත් කළහොත් සැප්තැම්බර් මාසය වනවිට රට සම්පූර්ණයෙන්ම විවෘත කිරීමට හැකි තත්ත්වයක් පවතින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා තිබේ. ඔහු මේ බව කියා සිටියේ පසුගියදා ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති වැඩසටහනකට එක වෙමිණි. එසේම ජනාධිපතිවරයා කියා තිබුණේ හැකි ඉක්මණින් රට විවෘත නොකළොත් ආර්ථිකය ඉදිරියට ගෙනයෑමේ හැකියාවක් නොමැති බවය. එහිදී ජනාධිපතිවරයා කියා තිබුණේ මෙවන් අදහසකි.

 ‘එන්නත් මිලියන 9ක් මේ මාසෙට අපිට ලැබෙනවා. මේ තත්ත්වය යටතේ අපිට සැප්තැම්බර් වෙනකොට මේ රට සම්පූර්ණයෙන්ම විවෘත කරන්න පුළුවන්. මොකද අපි ඉක්මනින්ම රට විවෘත නොකළොත් මේ ආර්ථිකය ඉදිරියට ගෙනියන්න පුළුවන්කමක් වෙන්නේ නෑ.’

 එදින පැවති 99 වන ජාත්‍යන්තර සමුපකාර දින සැමරුම් උත්සවය අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඒ බව සඳහන් කර තිබුණි. මේ එන්නත්කරණය සමග අපට මැදි සහ දිගුකාලීන වශයෙන් වශයෙන් මේ ප‍්‍රශ්නයට සෑහෙන විසඳුමක් ලැබේ. එහෙත් අප තවමත් සිටින්නේ එන්නත්කරණය සිදු කරමින් සිටින අවස්ථාවක නිසා මේ මොහොතේ වසංගත තත්ත්වය පාලනය කර ගැනීමට ද සිදු වේ. ඒ සඳහා රජය අවශ්‍ය පියවර ගතයුතු අතර ජනයා ද සිය පුරවැසි වගකීම හරිහැටි ඉටු කළ යුතු වේ. එනම් කොරෝනා වසංගත තත්ත්වය පැතිරීමට දායක නොවන පරිදි සෞඛ්‍ය උපදෙස් අකුරට පිළිපදිමින් ක‍්‍රියා කළ යුතු වේ. එය තමාගේ, තම පවුලේ සාමාජිකයන්ගේ මෙන්ම මුළු මහත් රටේම ආරක්ෂාවට හේතුවන්නකි. දැන් රටටම බලපාන සංචරණ සීමා ඉවත් කර තිබුණත් පළාත් සංචරණ සීමා තවමත් පවතී. එසේම කොවිඞ් අවදානම හමුවේ තවත් සෞඛ්‍ය මාර්ගෝපදේශ ද තවදුරටත් ක‍්‍රියාත්මක වේ. මේ සියලූ දේ නිසා ආර්ථික කටයුතුවල අකර්මණ්‍යවීමක් වෙන බව සත්‍යයක් නමුත් ආර්ථික කටයුතු වේගයෙන් පණගන්වා ගැනීමට හැකි වන්නේ ද වසංගත තත්ත්වය සාර්ථකව පාලනය කර ගැනීමෙනි. ආර්ථිකය පිළිබඳ සිතා රටේ හෙට දවස ගැන තීන්දු තීරණ ගන්නා අය ඒ ගැන ද සිතිය යුතුය. මේ නිසා ‘ අපි ඉක්මනින්ම රට විවෘත නොකළොත් මේ ආර්ථිකය ඉදිරියට ගෙනියන්න පුළුවන්කමක් වෙන්නේ නෑ’ යනුවෙන් ජනාධිපතිවරයා කියන කතාව ඒ අයුරින්ම සිදු වීමට නම් කොරෝනා වසංගත තත්ත්වය ද සියයට සියයක් බැරි වුවත් සෑහෙන දුරකට සාර්ථකව පාලනය කර ගැනීමට සිදුවීම අනිවාර්ය කරුණකි. එය අප නොතකා හැරියොත් අප අපේක්ෂා කරන පරිදි රට විවෘත කිරීම ද එතරම් ප‍්‍රතිඵල රහිත දෙයක් විය හැකිය.

 මෙය මහජන සෞඛ්‍ය ප‍්‍රශ්නයකි. එසේම මේ වෛරසය, එහි ස්වභාවය සහ පැතිරීම මෙන්ම නව කාණ්ඩ යනාදිය ගැන දන්නේ සෞඛ්‍ය අංශ බව ද අප අමතක නොකළ යුතුය. එනම් දැන් තිබෙන්නේ කොවිඞ් පළමු රැුල්ල අවස්ථාවේ පැවති කොරෝනා වෛරසය ලෙස සිතා අපට සැහැල්ලූවෙන් කටයුතු කිරීමට අපහසුය. මේ ගැන සෞඛ්‍ය අංශ කියන්නේ කුමක් ද? පසුගිය දා කොළඹදී කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී ශ‍්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනී විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය මෙසේ සඳහන් කර තිබුණි.

 ‘රෝගය ආසාදනය වෙන සෑම 100  දෙනෙකුගෙන්ම 5කට විතර අසාධ්‍යවීමේ ප‍්‍රවණතාවයක් තියෙනවා තව සති දෙකක් ඇතුළත. ඒකෙන් 2‍්‍රක් විතර මරණයට පත්වීමේ ප‍්‍රවණතාවයක් තියෙනවා තවත් සති දෙකක් විතර යනකොට. අපි අද නොසැලකිලිමත්ව හැසිරුණොත් අපිට ඉන්දියාවට වෙච්ච දේ වෙනවා කියන එක සැකයකින් තොරයි.’

 කොවිඞ් රෝගය පාලනය කිරීමට කළයුතු වැඩපිළිවෙළ තවදුරටත් උනන්දුවෙන් සිදුකිරීම ඉතාම වැදගත් බව ද විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පවසා තිබුණි. ඇය පෙන්වා දෙන්නේ තවත් සති දෙකක් පමණ ගතවන විට රෝගය ආසාදනය වන සෑම 100 දෙනෙකුගෙන්ම 5 දෙනෙකු පමණ අසාධ්‍යවීමේ ප‍්‍රවණතාවක් පවතින බවය. ජීවිතය මෙන්ම ජීවනෝපාය ද වැදගත් බව සත්‍යයකි. එහෙත් අප අද නොසැලකිලිමත්ව හැසිරුණොත් හෝ ආර්ථිකය ගැන සිතා කොරෝනා අවධානම සුළුකොට තැකුවොත් සිදු වන්නේ කුමක් ද? කොරෝනා වසංගතය පැතිරීම ඉහළ ගොස් ජීවනෝපාය කර ගැනීමට පවා නොහැකි තත්ත්වයක් උද්ගත වීමයි. එපමණක් නොව ඇතැම් විට ජීවිත අහිමි වීම් ඉහළ යාම ද සිදුවනු ඇත. කොවිඞ් තෙවන රැුල්ල මෙතරම් මට්ටමකට පැතිරීමට ද ඒ තත්ත්වය හේතු වූවා විය හැකිය.

 කොරෝනා පළමු සහ දෙවන රැුල්ලෙන් පසුව ක‍්‍රමයෙන් අපේ ආර්ථිකය යථා තත්ත්වයට පත් වෙමින් තිබුණි. මේ අනුව ශ‍්‍රී ලංකා මහ බැංකුව පසුගිය අපේ‍්‍රල් මස නිකුත් කළ මහ බැංකුවේ වාර්ෂික වාර්තාව (2020* මගින් පුරෝකථනය කර තිබුණේ මේ වසරේ (2021* අපේ ආර්ථිකය සියයට 6 කින් පමණ වර්ධනය වනු ඇති බවය. එහෙත් එම තක්සේරුව මහ බැංකුව කර තිබුණේ කොවිඞ් තෙවන රැුල්ලේ පසුව ඇති වූ ඉහළ අවදානම් තත්ත්වයට පෙරය. එසේම රට වසා දැමීමට සිදු වනු ඇති බව ද මහ බැංකුව ඒ අවස්ථාවේ නොසිතන්නට ඇත. එහෙත් පසුව ඇති වූ අවදානම් තත්ත්වය නිසා සංචරණ සීමා පනවා රට වැසීමට අකමැත්තෙන් වුවද රජයට සිදුවීම නිසා මේ තත්ත්වය ආර්ථික ක‍්‍රියාකාරකම් කිසියම් දුරකට අඩපණ වීමට හේතු විය. මේ අනුව කොවිඞ් තෙවන රැුල්ල හමුවේ ආර්ථිකය වේගයෙන් යථා තත්ත්වයට පත් වීමේ ක‍්‍රියාවලියට බාධා සිදු විය. මේ අනුව ආර්ථික වර්ධනය සියයට 6 ට මට්ටමට දැන් ගමන් කිරීමට අපහසුය. මේ අනුව මුදල් රාජ්‍ය ඇමැති අජිත් නිවාඞ් කබ්රාල් මහතා පවසන්නේ රට වැසීමට සිදු වූ අලූත් තත්ත්වය හමුවේ සියයට 4.5 ත් සියයට 5 ත් අතර ආර්ථික වර්ධනයක් දැන් අපට ලබා ගත හැකි වනු ඇති බව අපේක්ෂා කරන බවයි. එහෙත් මේ ආර්ථික අපේක්ෂා හෝ ඒ අයුරින් ඉටු කර ගැනීම තීරණය වනු ඇත්තේ කොරෝනා වසංගත තත්ත්වය මර්දනය කර ගැනීමට අප ගන්නා ක‍්‍රියාමාර්ගවල සාර්ථකත්වය සහ ඵලදායිතාව මතය. එනම් වසංගත තත්ත්වය පාලනය කර ගැනීමට ක‍්‍රියාමාර්ග ගන්නා විට ආර්ථික කටයුතු අකර්මණ්‍ය වුවත් වසංගත තත්ත්වය පාලනය කර ගැනීම සාර්ථක වීමෙන් රට ඉක්මණින් විවෘත කිරීමට පහසු වේ. ඒ නිසා යළි ආර්ථික කටයුතු වේගයෙන් පණ ගන්වා ගැනීමට හැකිවන බව ද හොඳටම පැහැදිලි වන කරුණකි.

 මේ පසුබිම තුළ ආර්ථික සහ සෞඛ්‍ය යන දෙපැත්තම එනම් තවත් ලෙසකින් කියනවා නම් ජීවනෝපාය සහ ජීවිතය යන දෙකම සලකා බලා මේ දෙක අතර යම් තුලනයක් සහිතව කටයුතු කිරීමට අපට සිදු වනු ඇත. මේ අනුව ජනජීවිතය සහ ආර්ථික කටයුතු යථා තත්ත්වයට පත් කර ගැනීමට රට විවෘත කළ යුතු බව සැබෑය. එහෙත් නිකන්ම එය කළ නොහැකිය. එනම් කොරෝනා වසංගතය පැතිර යාමේ විශාල අවදානමක් තබාගෙන රට විවෘත කිරීමෙන් ද අපට බලාපොරොත්තු වන ආර්ථික අපේක්ෂා ඉටු කරගත නොහැකිය. මේ නිසා දැන් තිබෙන වසංගත තත්ත්වය තවදුරටත් පැතිරීම වළක්වා ගනිමින් ක‍්‍රමයෙන් රට විවෘත කළ හැකිය. එසේ නැතුව අවදානමක් තබාගෙන නිකන්ම රට විවෘත කිරීමෙන් සහ ජනයා නොසැලකිලිමත්ව සැහැල්ලූවෙන් කටයුතු කිරීමෙන් මේ වසංගත තත්ත්වය තවත් වර්ධනය විය හැකිය. එසේ වුවහොත් අවසානයේ නැවත රට වසා දැමීමට සිදුවන තත්ත්වයකට රට තල්ලූ විය හැකිය. එමගින් සිදුවන ආර්ථික විපතේ ප‍්‍රමාණය ද වැඩි විය හැකිය. එමගින් වඩාත් පීඩාවට පත්වනු ඇත්තේ අතිමහත් බහුතර ජනතාවයි. එසේම රජයේ ආර්ථික කළමනාකරණය දැනටත් වඩා දුෂ්කර සහ අභියෝගාත්මක තත්ත්වයට ද පත්වනු ඇත. ඒ තත්ත්වය අප විසින් වළක්වා ගත යුතු වේ. ඒ සඳහා රජය විසින් වසංගතය මර්දනය කිරීම සඳහා නිසි කලට නිසි තීන්දු ගත යුතු අතරම ජනයා ද සිය පුරවැසි වගකීම් හරි හැටි ඉටු කළ යුතුමය. පවතින ආර්ථික අමාරුකම් හමුවේ රජයට ද ඒ ජනයා වෙනුවෙන් සහන සැලසීම බෙහෙවින් දුෂ්කර තත්ත්වයකට පත්ව ඇත. මේ වසරේ (2021* පළමු මාස හයේ රාජ්‍ය ආදායම අපේක්ෂිත මට්ටමට වඩා පහළ වැටීම නිසා රාජ්‍ය මුල්‍ය කළමනාකරණය ද වැඩි පීඩනයකට මුහුණ දීමට සිදුව ඇත. මේ අතර විදේශ මුදල් හිඟය ඉතාම දරුණු තත්ත්වයට පත්ව තිබේ. ඒ අනුව මාස හයක කාලයකට විදේශ විනිමය පනත අනුව නව නියමයන් පැනවීමට ද රජය පසුගියදා කටයුතු කළේය. මේ අතර බැසිල් රාජපක්‍ෂ මහතා අද දින (08* පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීමට නියමිත අතර ඒ අනුව ඔහුට රටේ ආර්ථික කළමනාකරණයේ වැඩි වගකීමක් පැවරෙන ප‍්‍රබල අමාත්‍ය ධුරයක් හිමිවනු ඇතැයි ද අපේක්‍ෂා කෙරේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment