රණවිරුවන්ගේ බ්‍රිතාන්‍ය තහනමට ඇමැති විජිතගේ උත්තරය ‘පතෝලයි’ – උදය ගම්මන්පිල

40

බ්‍රිතාන්‍ය ආණ්ඩුව විසින් දෙමළ බෙදුම්වාදීන්ගේ ඡන්ද කුට්ටිය ඉලක්ක කරගෙන මෙරට රණවිරුවන් තුන්දෙනකුට පැනවූ තහනම සම්බන්ධයෙන් විදෙස් ඇමැති විජිත හේරත් මහතා ලබාදී ඇති පිළිතුර “පතෝල” පිළිතුරක් ලෙස තමන් දකින බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

පිවිතුරු හෙළ උරුමය නායකයා මේ බව සඳහන් කර සිටියේ (27) පිටකෝට්ටේ එම පක්‍ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. එහිදී නීතිඥ උදය ගම්මන්පිල මහතා වැඩිදුරටත් මෙසේ ද අදහස් දැක්වීය.

බ්‍රිතාන්‍ය ආණ්ඩුව විසින් දෙමළ බෙදුම්වාදීන්ගේ ඡන්ද කුට්ටිය ඉලක්ක කරගෙන අපේ රණවිරුවන් සිව්දෙනකුට පැනවූ තහනම පිළිබඳ කල් මරමින් සිටි ආණ්ඩුව වෙනුවෙන් විදෙස් ඇමැති විජිත හේරත් මහතා ඊට ප්‍රතිචාර දක්වා තිබෙනවා. හැබැයි ඒක ගුණත් නැති අගුණත් නැති පතෝල ප්‍රතිචාරයක්. ආණ්ඩුව කියනවා බ්‍රිතාන්‍ය කළේ ඒකපාර්ශ්වීය තීරණයක්. ඒක අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ. ලංකා ආණ්ඩුව එක්ක කතා කරලා හවුලේ ගත්තු තීරණයක් කියලා ඒ ප්‍රකාශයේ නෑනෙ. විදේශ ඇමැතිතුමා කියන ආකාරයට මෙම තීන්දුව නිසා ශ්‍රී ලංකාවේ සංහිඳියා ක්‍රියාවලිය තවදුරටත් ව්‍යාකූල වන බව කියන කතාව නම් සහතික ඇත්ත.

බ්‍රිතාන්‍ය මේ ආකාරයෙන් අපේ රණවිරුවන්ට බරපතළ චෝදනාවකින් දමලා ගහද්දී ආණ්ඩුවෙන් අපි මීට වඩා ප්‍රබල ප්‍රතිචාරයක් බලාපොරොත්තු වුණා. මොකද රණවිරුවන් රණ බිමට ගියේ රට වෙනුවෙන් සේනාධිනායකගේ නියෝගයෙන් මිස හිතුමතේ නොවේ. අපේ රණවිරුවන් රැකගැනීමේ යුතුකමක් වගකීමක් ලංකා ආණ්ඩුවට තියෙනවා. මේ පිළිබඳ ජනතා විමුක්ති පෙරමුණේ ස්ථාවරය කුමක් ද කියන එක අපටත් ලොවටත් අදාළ නෑ. මේ පිළිබඳ මාලිමා ආණ්ඩුවේ මාලිමාවේ ස්ථාවරය අපිටත් ලොවටත් අදාළ නෑ. නමුත් රණවිරුවන් යුද බිමට තල්ලු කරපු ලංකා ආණ්ඩුව මේ සම්බන්ධයෙන් දක්වන ප්‍රතිචාරය පිළිබඳ මුළු ලෝකයම අවධියෙන් බලා ඉන්නවා.

චිල්කොට් වාර්තාවෙන් යුද අපරාධ සම්බන්ධයෙන් වැරදිකරු වී ඇති බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති ටෝනි බ්ලෙයාර්ට එරෙහිව කිසිම පියවරක් නොගන්නා බ්‍රිතාන්‍ය ආණ්ඩුව ලංකාවේ රණවිරුවන්ට පදනම් විරහිත චෝදනා නැඟීම සම්බන්ධයෙන් “ඔවා දෙනු පර හට – තමා සම්මතයේ පිහිටා සිට” කියලා බ්‍රිතාන්‍ය ආණ්ඩුවට කියන්න තරම් කොන්දක් අපේ ආණ්ඩුවට නැති වීම ගැන අපි රටක් විධියට ලැජ්ජාවට පත්වෙලා තියෙනවා. ඒ කිසිවක් ආණ්ඩුවේ ප්‍රකාශයේ නෑ. දේශප්‍රේමි ජනතා ව්‍යාපාරයේ සිටි දේශප්‍රේමියකු විධියට විජිත හේරත් ඇමැතිතුමා අනිවාර්යයෙන්ම මේ ප්‍රකාශය මේ විධියටම ලියන්න ඇති. නමුත් වර්තමානයේ මේ ආණ්ඩුවටත් උඩින් ඉඳන් අපේ රට පාලනය කරන ඇමරිකාවෙන් පත් කළ ලංකාවේ අග්‍රාණ්ඩුකාර ජූලී චංග් මහත්මිය ඒ ප්‍රකාශය කපා කොට වෙනස් කරන්න ඇතියි කියන සාධාරණ සැකය අපට තිබෙනවා.


advertistmentadvertistment