රණාලේ අනතුර – බස් දෙක ඉගිලෙයි – සිසුහු 22ක් – ගුරුවරු 6ක් තුවාල ලැබූවන් අතර

282

ලොකු ශබ්දයක් ආවා: සිසුන් විසිවුණා -ගුරුවරයෙක්

“සිසු සැරිය බස් රථය වේගයෙන් ධාවනය වුණා. රණාල හන්දියේදී දඩාස් ගාලා විශාල සද්දයක් ආවා. ඒ එක්කම හිටගෙන හිටපු දරුවෝ ටික විසිවෙලා එකා පිට එකා ඇදගෙන වැටුණා. ඉදිරියේ තිබූ සීට් එකේ මගේ නළල වැදිලා තුවාල වුණා” යැයි රණාල ප්‍රදේශයේ දී පෞද්ගලික බස් රථයක් හා පාසල් සිසු දරුවන් ගමන් ගත් සිසුසැරිය බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ බිහිසුණු අනතුර පිළිබඳ විස්තර කරමින් තුවාල ලැබූ ගුරුවරයෙක් පැවසීය.

මෙම අනතුර ඊයේ (19 දා) පස්වරු 2.10ට පමණ සිදුවී තිබිණි. මෙම අනතුරින් පාසල් සිසු දරුවන් ඇතුළු 50 දෙනකු පමණ තුවාල ලබා නවගමුව හා අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත් බව හංවැල්ල පොලිසිය පවසයි.

කොළඹ දෙස සිට මාර්ග අංක 148 ලබුගම දක්වා ධාවනය වූ සිසුසැරිය පෞද්ගලික බස් රථයක් හා මාර්ග අංක 03 ඇඹිලිපිටිය සිට කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් මෙලෙස මුහුණට මුහුණ ගැටී අනතුර සිදු වී ඇතැයි පොලිසිය පවසයි. අනතුර සිදුවන අවස්ථාවේදී මද වර්ෂාවක් පැවති බවද පොලිසිය කියයි.

තුවාල ලැබූවන්ගෙන් 6 දෙනකු පාසල් ගුරුවරුන් බවද පොලිසිය පවසයි.

නවගමුව රෝහලට ඇතුළත් කළ පිරිසෙන් 5 දෙනකු සවස කොළඹ ජාතික රෝහල වෙත මාරුකර යැවීමට පියවරගත් බව නවගමුව රෝහලේ ප්‍රකාශකයෙක් “දිවයින”ට පැවසීය.

අනතුර පිළිබඳව තවදුරටත් විස්තර කළ පාසල් ගුරුවරයා මෙසේද කීය.

“පාසල නිමාවෙලා මමත්, තවත් ගුරුවරයකුත් සීට් එකක වාඩිවෙලා ආවා. දරුවෝ වාඩිවෙලත් ආවා. බස්රථය වේගයෙන් ගමන් කළා. ඒ යනකොට එකපාරටම දඩාස් ගාලා විශාල සද්දයක් ඇහුණා. ඒ සමගම ඉදිරි සීට් එකේ බාර් එකේ නළල වැදුණා. ඒ වගේම සීට් එකද ගැලවී ඉදිරියට ගියා. හිටගෙන හිටපු පාසල් දරුවෝ එකාපිට එකා ඇදගෙන වැටුණා. දරුවෝ මහහයියෙන් කෑගැහුවා. සමහර දරුවන්ගෙ දත් කැඩී තිබුණා. තවත් දරුවන්ගේ අත් සීරි තුවාල වෙලා තිබුණා. පසුව එතැනට ආපු ප්‍රදේශවාසීන් සහ පොලිසිය, බසයේ සිරවී සිටි අපිව එළියට අරගෙන, මාර්ගයේ ආපු 143 පිටකොටුව – හංවැල්ල බස් රථයක මගීන්ව බස්සවා, තුවාලකරුවන්ව නංවා රෝහල් කරා පිටත් කළා. මගෙත් ඔළුව රිදෙනවා.”

සිද්ධිය විස්තර කළ නවගමුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පාසල් සිසුවකු මෙසේ කීය.

“මමයි, යාළුවෝ ටිකදෙනෙකුයි හිටගෙන කතා කර කර ආවේ. අපි කඩුවෙල බෝමිරිය ජාතික පාසලේ. එකපාරටම විශාල සද්දයක් ආවා. ඒ සමගම අපි විසිවෙලා වැටුණා. වීදුරු කටුත් අපේ මුහුණේ වැදුණා. අපි දැක්කා ඉදිරියේ තව බස් එකක් අපි ගිය බසයේ වැදී තිබෙනවා. මගේ අත තුවාල වෙලා තියෙන්නේ. තව මගේ යාළුවෝ කීපදෙනෙකුත් තුවාල වුණා. සිසු සැරිය බස් එකත් වේගයෙන් ගියා. අපිට හිතාගන්න බැරිවුණා මොකක්ද වුණේ කියලා”

අනතුරින් බස්රථ දෙකේ ඉදිරිපසට දැඩි අලාභහානි සිදුව ඇතැයි ද පොලිසිය පවසයි.

අනතුරින් ඇඹිලිපිටිය සිට කොළඹ බලා පැමිණි පෞද්ගලික බස් රථයේ මගීහු කීපදෙනකුම තුවාල ලබා ඇතැයි ද පොලිසිය පවසයි.

හංවැල්ල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රදීප් කුමාර මහතාගේ උපදෙස් මත පොලිස් සැරයන් ඒකනායක (54580) ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදුකරති.

බස් රථ දෙකේම නොසැලකිලිමත් ධාවන රටාව හේතුවෙන් මෙම අනතුර සිදුවී ඇතැයි ද පොලිසිය කියයි.


ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ සුගත් ප්‍රේමතිලක – කඩුවෙල

advertistmentadvertistment
advertistmentadvertistment