රත්න ශ්‍රී විජේසිංහයන්ගේ 71 වැනි උපන් දිනය නිමිත්තෙනි

රත්න ශ්‍රී විජේසිංහ වනාහි සුදුර්ලභ ප්‍රතිභානයෙන් පොහොසත් කවියෙකි. ගේය කාව්‍ය රචකයෙකි. ඔහු අයත් වන්නේ ආනන්ද සමරකෝන්, චන්ද්‍රරත්න මානවසිංහ, මහගම සේකර, මඩවල ඇස්. රත්නායක වැනි අද්විතීය ගේය කාව්‍ය රචකයන්ගෙන් පැවැත එන පරපුරටය. දැනට සුජීවත්ව සිටින මහාචාර්ය සුනිල් ආරියරත්න හැරුණු කොට මෙරට සිටින ප්‍රවීණතම ගේය කාව්‍ය රචකයා රත්න ශ්‍රී විජේසිංහය. කවිය නම් සෞන්දර්ය වස්තුව ගීතයේ ගොදුරක් බවට පත් කළේ යැයි නූතන විචාරකයන්ගේ අධිචෝදනාවට ලක් වුව ද රත්න ශ්‍රී විජේසිංහ හොඳ කවි පොත් දහයක් ද ගේය කාව්‍ය රචනා පොත් නවයක් ද ප්‍රකාශයට පත් කළ විශිෂ්ට ගණයේ නිර්මාණකරුවෙකි.

රත්න ශ්‍රී විජේසිංහ 1979 දී රචනා කළ “බිය නොවන් අයියණ්ඩි” ප්‍රථම කාව්‍ය සංග්‍රහය පළ කර අවුරුදු දාහතරකට පසුව එනම් 1983 දී ‘සුදු නෙළුම’ නම් කුළුඳුල් ගේය කාව්‍ය සංග්‍රහය පළ කළේය. 1994 දී හොඳම ගේය කාව්‍ය සංග්‍රහයට හිමි රාජ්‍ය සම්මානය සුදු නෙළුමට හිමි විය. සිය ප්‍රථම ගේය කාව්‍ය සංග්‍රහයට රාජ්‍ය සම්මාන හිමිකර ගැනීමට තරම් රත්න ශ්‍රී ගේ ගී ලකුණු සතතාභ්‍යාසයෙන් පොහොණිව තිබුණි. එනිසා රත්න ශ්‍රී “ගී ලියන්නෝ කවීහු නොවෙත්” දැයි ප්‍රශ්න කළා මතකය. ඒ අර්ථයෙන් ගත් කල හොඳම ගේය පද රචකයා හොඳම කවියෙකි. ඒ නිසර්ග කාව්‍ය ප්‍රතිභානය “රත්න ශ්‍රී ගේ ගී ලකුණු” වල ප්‍රතියමාන වෙයි. ‘සුදු නෙළුම’ ගේය කාව්‍ය සංග්‍රහයෙහි එනමින් එන රචනය සාහිත්‍යයේ හා සංගීතයේ මධුර සුසංයෝගයකි.

සුදු නෙළුම කෝ – සොර බොර වැවේ
මල් සුවඳ දුන් මහියංගනේ
පුන් පෝය දා පාළොස්වකේ
මල් නෙළා විකුණූ පංසලේ

සංගීත විශාරද ආචාර්ය පණ්ඩිත්

අමරදේවයන්ගේ ස්වර රචනයෙන් ද ගායන ප්‍රතිභාවයෙන් ද හැඩ වූ “සුදු නෙළුම” ගීතය රචනා කිරීම සඳහා අනුභූති ප්‍රතිනිර්මාණය කළ ආකාරය රත්න ශ්‍රී වරෙක මෙසේ පැහැදිලි කළේය. “වර්ෂ එක්දහස් නවසිය අසූ තුනේ වකවානුවේ මම මොනරාගල ප්‍රදේශයේ දුෂ්කර පාසලක ගුරුවරයකු ලෙස සේවය කරමින් සිටියෙමි. ඔක්කම්පිටිය දෙමටමල් විහාරය අසල පදිංචි කුඩා දැරියක් මේ පාසලේ වුවාය. ඕ දිනපතාම හැන්දෑවට වැවට බැස මල් නෙළා වෙහෙර අසල තබා විකුණන්නීය. දරිද්‍රතාව දැවැන්ත පිඹුරකු මෙන් සියොළඟ වෙලාගෙන සිටියේය.”

දිනක මල් නෙළන්නට ගිය අතරතුරේදී ඕ හදිසියේ ම දියේ ගිලී මිය ගියාය. ගුරු මණ්ඩලයේ වූ අප සැවොම ඇයට අවසන් ගෞරව දැක්වීම පිණිස ඇගේ නිවසට රොක් වීමු. ඉඩකඩ රහිත ගෙපැලක ඈ නිසලව උඩුකුරුව වැතිර සිටියාය. එහෙත් ඇගේ මව්පියන්ගේ දෙනෙත් තෙත්ව නොතිබුණි. සැබැවින්ම ඔවූහු නොහැඬූහ. හඬන්නට ඔවුන්ට කඳුළු නැති නිසාවෙනි. ජීවිතයේ අතොරක් නැති දුක්ඛදෝමනස්සයන් ඔවුන්ගේ කඳුළු වියළා තිබුණි.

මේ අත්දැකීම් කාලාන්තරයක් තිස්සේ මගේ ඇතුළු හදගැබ තුළ නිදන්ගතව පැවැතුණි. එක්දාස් නවසිය අනුවේදී ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් එකල ජනප්‍රිය ගුවන්විදුලි වැඩසටහනක් වූ මධුවන්ති යළි ඇරඹීමට මට ආරාධනා කළේය. මම, පෙර මා විඳි අත්දැකීම් සත් වසරකට පසු ‘සුදු නෙළුම කෝ සොරබොර වැවේ’ නමින් මධුවන්ති උදෙසා ගීතයකට පෙරළුවෙමි.”

රත්න ශ්‍රී ඉහතින් විස්තර කළ පුද්ගලානුභූතිය රසවත් ගීතානුභූතියක් බවට ප්‍රතිනිර්මාණය කිරීමේදී මුළුමනින්ම වාර්තාගත ස්වරූපයෙන් මිදී ඇති බව පෙනේ. ඒ සඳහා ඔහු යොදාගත් ගීත මාධූර්යයෙන් යුත් කාව්‍යමය භාෂාව, ඔහුගේ අභිමතාර්ථය සඵල කර ඇත. ඔහු මෙහිලා විචිත්‍ර උපමා රූපකාලංකාර මගින් ගීතයේ භාවාත්මක ගුණය පොහොණි කරනු වෙනුවට, ප්‍රබල ඉන්ද්‍රීය රූප මැවීමෙන් ගීතාකෘති ගොඩනැංවීමේ ස්වකීය අනන්‍යතාව පෙන්වීමට උත්සාහ ගෙන ඇති බව පෙනේ.

ආචාර්ය පණ්ඩිත් අමරදේවයන්ගේ සුලකළකුරු මියුරු ස්වරයෙන් ගැයෙන ‘සුදු නෙළුම’ ගීතයේ ඉහළ ස්ථායි කොටස ජන විඥානයේ ඉතා සියුම් තැන් ස්පර්ශ කර තිබේ. මේ සිද්ධිය කවියා අත්දකින්නේ මොනරාගල දෙමටමල් විහාරය අසබඩය. එහෙත් ඔහු ගීතය ප්‍රතිනිර්මාණයේදී දෙමටමල් විහාරය මහියංගනය බවටත් ඒ අසල වූ වැව සොරබොර වැව බවටත් පරිවර්තනය කර ඇත. ඒ වෙනස මේ ගීතයේ සාර්ථකභාවයට හේතු වී ඇත. ‘සොරබොර’ වැව යැයි කී විට මැවී යන්නේ, හෝ හෝ ගා වේගයෙන් වතුර ගලායන භයංකර ජලාශයකි. එවන් ජල පහරකට හසුවූ “සුදු නෙළුම කෝ” යන්නෙන් ගොඩනඟන ප්‍රශ්නාර්ථය දැරියගේ ජීවිතයේ අනපේක්ෂිත බිඳී යෑම ධ්වනිත කරයි.

දසහැවිරිදි කුඩා දියණිය වැවට බැස මල් නෙළා විකුණුවේ දෙමටමල් විහාරය අසලය. රත්න ශ්‍රී එය “මල් සුවඳ දුන් මහියංගනේ” යනුවෙන් ප්‍රතිනිර්මාණය කිරීම නිසා ගීතය බෞද්ධ ජන විඥානයේ ප්‍රබල රූපකාත්මක සංකේතයක් බවට පත් වෙයි. මහියංගනය යැයි කී විට බුදුන්ගේ පාද සංස්පර්ශය ලැබූ පුණ්‍යභූමියක් ය යන විශ්වාසයෙන් බෞද්ධ ජනයාට පොදු අත්දැකීමක් රසවිඳින්ට අවස්ථාව සලසා දෙයි. පසළොස්වක පෝය දවසේ පන්සලේ මල් විකුණූ “සුදු නෙළුම කෝ” යන්නෙන් නඟන ප්‍රශ්නාර්ථය රසිකයාගේ අතිසංවේදී ඉන්ද්‍රියන් පවා කම්පනයට පත් කරයි.

ගීතයේ මධ්‍ය කොටස අමරදේවයන්ගේ සංගීත ස්වර රචනයේ නාද මාලාවත්, ගායන ප්‍රතිභාවත් නිසා රසිකයාගේ ඉසියුම් රුධිර නාළ පවා සංස්පර්ශය කරයි. රත්න ශ්‍රී, ගීතයේ කිසිම තැනක දැරිය දියේ ගිලී මියගිය බව ඍජුව ප්‍රකාශ නොකරයි. එහෙත් ඔහු එම සිද්ධිය ජන විඥානය ප්‍රකම්පනය වන අයුරින් ගොඩනැංවීමට භාෂාව ප්‍රබල අවියක් කර ගනියි. “වැවට කළුවර යා වුණා – සංසාර දුක බෝ වුණා” යන වචන මගින් ජීවිතයේ ශෝක පක්ෂය සංකේත කෙරෙන අතර සංසාරයේ පවතින දුක සහිත ජීවිත ස්වභාවය ධ්වනිත කිරීමට ද උත්සාහ ගෙන ඇත. දැරියගේ සියලු පැතුම් ගිලිහුන ජීවිතය කවියා පරිකල්පනය කර ඇත්තේ ඉතා ධව්නි පූර්ණ භාෂාවකිනි.

“නෙළුෑ මල් මිට ලිහී විසිරී – එහා ඉවුරට පාවුණා” රත්න ශ්‍රී ගේ යෙදුම් අමරදේවගේ ශෝකී හඬනැඟෙන සංගීතයෙන් හා භාවාත්මක ගායනයෙන් ඔපගැන්වෙන කල දියෙහි ගිලී මියගිය දැරිය පිළිබඳ ඉසියුම් කම්පනයක් රසික ජනයාගේ හදවතට ගලා එන්නේ නිරායාසයෙනි. තනුව නිමැයුමේදී උච්ච ස්වර හා මධ්‍ය ස්වර සුසංයෝගයෙන් ගීතයේ අර්ථ මාධූර්ය තීව්‍ර කර ඇති බව පෙනේ.

සිහින් සිරිපොද වෑහුණා
ඉවුරු දෙකොපුල සේදුණා
සුදු නෙළුම් මල දෑස පියවී
මෙහා ඉවුරට පාවුණා

ගීතයේ මෙම පහළ අන්තරා කොටස මගින් දැරියගේ ශෝකජනක මරණයෙන් කවියා ප්‍රමුඛ රසික ජනයා පමණක් නොව, පරිසරය ද කම්පනයට පත්ව ඇති බව හඟවා තිබේ. වැවේ ඉවුර නමැති කම්මුල් සිරිපොද නමැති කඳුළින් සේදී යන්නා සේ දෙකොපුල් කඳුළු වැල්වලින් තෙත්ව සිය දියණිය දෑස් පියවී මෙහා ඉවුරට පාවූ බව හඟවා ඇති වචන භාවාත්මක ගුණයෙන් පොහොසත් නිසාම ඇතිවන අනුවේදනීය හැඟීම් විසින් මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් පවා ටවර් හෝල් රඟහලේ කඳුළු පිරි දෑස පිසදා හැඬූ බව ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහයෝ කීහ.

“ එහෙත්, සිය සූසැට වන ජන්ම දිනයේ උපහාර පිදුම් ලබන්නට එදා ටවර් රඟහලට පැමිණ සිටි අමරදේවයන්, මහැදුරු සරච්චන්ද්‍රයන් වේදිකාවේ මුලසුනෙහි සිටියදී බොහෝ පිරිස් මැද සුදු නෙළුම ගීය ගයද්දී ඇතැම්හු කඳුළු සැලූහ. ඒ, කඳුළු මල් නෙළන්නට ගොස් කලලෙහි එරී වැව් දියෙහි ගිලී මියගිය ඒ දසහැවිරිදි නන්නාඳුනන දැරියගේ මළගම වෙනුවෙන් නොවේ ද?”

සුදු නෙළුම ගීතය ජනාදරප්‍රාප්ත වීමට රත්න ශ්‍රී ගේ ගේය පද මාලාව මෙන්ම අමරදේවයන්ගේ ස්වර රචනයත්, ගායන ප්‍රතිභාවත් ඉවහල් වූ බව අපි පෙර ද කීවෙමු. අමරදේවයන් මෙහි ස්වර රචනය සඳහා ඉන්දියාවේ ප්‍රකට ආශා මාන්ඩි රාගයේ ස්වර සංගතිය ඉවහල් කරගත් බව කීවේය.

රත්න ශ්‍රී ගී ලකුණේ තිඹිරිගෙය සුදු නෙළුම

“සංසාර දුක බෝ වුණා” එය අපූරු යෙදුමක් කරුණා රසය තියුණු කරන යෙදුමක්. මෙම රචනයේදී ඉස්මතු කොට දැක්වීම අවශ්‍ය වන්නේ කරුණා රසයමයි. එහිදී පණ්ඩිත් ජස්රාජ් නමැති සුප්‍රකට භාරත ගායන ශිල්පියාගේ ගායනයෙන් මා ලැබූ ආභාසයෙන්, මගේ පරිකල්පනය පුබුදු වුණා. මෙම ගීතයේ නාද රටාව නිර්මාණය වුණේ, එයින් ලැබුණු ආස්වාදයෙනුයි.”

ළහිරුකැන් මිහිමත වැටෙන සඳ නානා වර්ණ ගන්වමින් දිලෙන අෂ්ටවංක මාණික්‍යයක් සේ සුදු නෙළුමෙහි එන බොහෝ ගීත අපි දකිමු. සුදු නෙළුම රත්න ශ්‍රී ගේ ගී ලකුණෙහි තිඹිරිගෙයයි. එහි එන “යෞවනය” ගේය කාව්‍යය තරුණ පරපුර විෂයය කර ගත්තකි.

සුවඳ මුවරද බරිනි ආකුල
යෞවනය දොරකඩ හිඳියි
මලක් වී ඔබ පිපෙනු නිසැකයි
වසන්තය ළඟ ළඟම එයි

මෙබඳු මියුරු පදැති ගේය කාව්‍ය රචනා නිමැයුමෙහිදී රත්න ශ්‍රීට සමකළ හැකි කෙනකු වෙතොත් ඒ මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ම පමණි. එපමණටම ඔවූහු රමණීය අරුත් ප්‍රතිපාදනය කිරීමෙහිලා සමතෙක් වූහ. ගීතයෙහි ඉහළ කොටසෙහි “සුවඳ මුවරද බරිනි ආකුල” යන වචන සුසංයෝජනය නිසා සුවඳින් පිරී ආකීර්ණ වූ (අවුල් වූ) මකරන්දය (මල් රේණු) පිළිබඳ චිත්ත රූප මැවී යන්නේ නිරායාසයෙනි. “යෞවනය දොරකඩ හිඳියි” යන වචනයන්හි පෙළගැස්ම නිසා බලාපොරොත්තු පිපෙන ළඟ ළඟම එන වසන්තය පිළිබඳ ඉඟි සපයයි.

දරුවනේ වන මලක් යනු
එක රැයෙක අසිරිය නම් නොවෙයි
ගහත් පොළොවත් වින්ද දුක් ගිනි
මලක රුව ගුණ බිහි කරයි

දරිද්‍රතා ළැව් ගින්නේ පිච්චෙන තරුණයන්ට වසන්තය සැබෑවටම එන්නේ නැත. “වසන්තය ළඟ ළඟම එයි” යන්න සදය උපහාසය දනවන ප්‍රබල යෙදුමකි. “දරුවනේ වන මලක් යනු එක රැයෙක අසිරිය නම් නොවෙයි” යන වචන සංයෝගය මගින් වසන්තය එක රැයකින් උදාකර ගත නොහැකි බව ධ්වනිත කරයි. “ගහත් පොළොවත් වින්ද දුක්ගිනි” කාව්‍යෝක්තිය මගින් ජීවිතයේ වසන්තය උදාකර ගැනීමට ඉමහත් දුක් වේදනා විඳින්නට සිදුවන බව ඉඟි කරයි. එසේ වුවද ගීතයේ සමාප්තියේදී “උපන් බිම මහ පොළොව” සිහිපත් කළ යුතු බව අවධාරණය කරයි.

“රොන් සලා පිනිබරව හිනැහෙන
කුසුම සතු යුතුකම මෙයයි
උපන් බිම මහ පොළොව දූවිලි
නිබඳ සිහිපත් කළ යුතුයි.”

රත්න ශ්‍රී ගේ මේ ගේය පද මාලාවේ අගය සාහිත්‍යමය පැත්තෙන් ගෙන විමසා බැලුව ද එහි සාර්ථකත්වයට ගේය කාව්‍ය රචකයා, සංගීත ස්වර රචකයා, ගායකයා හෝ ගායිකාව යන ත්‍රිපුද්ගල සුසංයෝගයම වැදගත් වෙයි. කවිය පෞද්ගලික කටයුත්තක් වුව ද ගීතය සාමූහික උත්සාහයක ප්‍රතිඵලයක්මැ වන්නේ එබැවිනි. එනිසා ගීතයේ සමස්තාර්ථයම කැටිකර ගත් කළ ආචාර්ය පණ්ඩිත් අමරදේවයන්ගේ සංගීත ස්වර රචනයත්, මියුරු ගායනයත් නිසා මේ නිමැයුම සුප්‍රකට වූ බව කිව යුතුය.

සුදු නෙළුමෙහි එන “ගුරු තරුව” ගීතය රත්න ශ්‍රී පෞද්ගලික අත්දැකීමකට අනුව රචනා කළ නිර්මාණයකි. ඔහු ඉගෙනුම ලැබුවේ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේය. එම විiාලයේ වසර ගණනාවක් අඛණ්ඩව සේවය කළ බණ්ඩාර නමැති ගුරුවරයකු විශ්‍රාම යන අවස්ථාවේදී සිසුන් කණ්ඩායමක ඉල්ලීම නිසා මේ ගීතය රචනා කළ බව රත්න ශ්‍රී කීවේය. ඒ පද මාලාවේ වූ සාර්ථකත්වය නිසා සංගීත විශාරද ආචාර්ය පණ්ඩිත් අමරදේවයෝ තනු නිර්මාණයෙන් ද ගායන ප්‍රතිභාවෙන් ද “ගුවන් විදුලියේ මධුවන්ති” වැඩසටහන අර්ථවත් කළහ.

රත්න ශ්‍රී ගේ ගේය පද රචනයේ ස්ථායි කොටස මෙසේය.

“ගුරු තරුව හෙමින් බැස යයි
ගැලූ එළිය නොයා නවතියි
නුඹ කොපුල් තලා වැහි බිඳු තවරා
ගුරු තරුව හෙමින් බැසයයි”

මේ ස්ථායි කොටසේදී ‘ගුරු තරුව’ යන යෙදුම දෙවරක් පුනරුච්චාරණය කෙරෙයි. ‘ගුරු තරුව‘ යනු ග්‍රහ ලෝකයක නමෙකි. එනම් බ්‍රහස්පතීය. එහෙත් ‘ගුරු’ යනු ගරු අරුත්හි යෙදෙන පදයකි. ශිෂ්‍ය ජනයාට ශිල්ප ශාස්ත්‍රාදීය උගන්වන තැනැත්තා ‘ගුරු තරුව’ යන්නෙන් ගතහොත් රත්න ශ්‍රී ගේ වචන සුසංයෝගය හරවත්ය. ‘ගුරු තරුව’ බ්‍රහස්පතී තාරකාව බැස යන්නේ සෙමිනි. එහෙත් අහස් ගර්භය සිසාරා ඒ මඳ එළිය පවතියි. ගුරුවරයා කලක් සේවය කොට විශ්‍රාම ලැබුවේ වීද ඔහු දැල්වූ පහන්වල ආලෝකය නොනිමි දිලෙයි. එසේ දිලෙන්නේ පීතු ස්නේහයෙන් ලොව කියා දුන් බැවිනි. එවැනි උත්තම ගුරුවරයකුගේ “ගුරු පාද පියුම් සුවඳයි” යන රූපකය දෙවරක්ම පුනරුච්චාරණය කිරීමෙන් ගුරුවරයා උත්තම පුරුෂයකු බව හඟවන අන්තරා කොටස මෙබඳුය.

“පරපුරක සිහින යාත්‍රා
තොටුපළට යවා හරවා
පිතු සෙනේහයෙන්
ලොව කියා දුන්නු
ගුරුපාද පියුම් සුවඳයි”

පරපුරක සිහින සැබෑ කළ උත්තම ගුරුවරයා බ්‍රහස්පති තාරකාවකට රූපක කිරීම කාව්‍යෝචිතය. පහළ අන්තරා කොටසේ වචන සංයෝගය ඉතා පරිස්සමෙන් සිදුකර ඇති බව සැලකුව මනාය.

“එක මලක නම් නොවේ මැයි
මල් යායක සිරස නැමෙයි
පිතු සෙනේහයෙන්
ලොව කියා දුන්නු
ගුරු පාද පියුම් සුවඳයි”……

ගීතයේ පහළ අන්තරා කොටසේ සංකේත ගොඩනැංවීම ද විචිත්‍රය. මලක,මල් යායක යන විශේෂණය සංකේතවත් කරනුයේ ළමා පරපුරය. මල එහි සෞන්දර්ය පක්ෂයයි. මලෙක, මෙලෙකය, සුවඳවත්ය, ලොව නේක වර්ණ මල් පිපෙයි. එමල්වල පවා නැති සොඳුරු ගුණ ළමයින් තුළ වෙයි. එනිසා උත්තම පරමාදර්ශී ගුරුවරයා තම ජීවිතයේ වටිනාම කාලය පරපුරක සිහින ඵලගැන්වීම සඳහා සැප කරයි. ඔහුගේ ලේ, කඳුළු, දහඩිය, නව පරපුරක අනාගතය වෙනුවෙන් මුසු කරයි. ඒ වැනි උතුම් ගුරුවරයකුගේ පාද සංස්පර්ශය කරනුයේ එක ළමයකු නොවේ. “මල් යායක සිරස නැමෙයි” යන වචන මගින් ගුරුවරයාගේ පා පියුම් නමස්කාර කරන දැයේ මල් වැනි දරුවන්ගේ හිස අතගා කමටහන් දෙන අවස්ථාව ස්මරණයට නංවයි.

සංගීත විශාරද ආචාර්ය පණ්ඩිත් අමරදේව ස්වර රචනයෙන් සහ ගායන ප්‍රතිභාවයෙන් දැක්වූ කුසලතාව නිසා ගීතය කරුණාරසයෙන් පොහොණිව ඇතිව පමණක් නොව, ඉතා ජනප්‍රිය ගීතයක් වූ බව කිව හැකිය.

රත්න ශ්‍රී මුල් කාලයේදී පණ්ඩිත් අමරදේව, මාලනී බුලත්සිංහල, බුද්ධදාස දහනායක, ඉන්දීවරී අබේවර්ධන, සමන් ජයනාත් ජිනදාස, අමරසිරි පීරිස්, කෝකිල දේව වීරතුංග, ප්‍රදීපා ධර්මදාස, ආරියරත්න යාපා, ජයතිලක බණ්ඩාර, නිශ්ශංක දිද්දෙණිය, ගීතානි චම්පිකා යටිවැල්ල,සුනිල් පළිහවත්ත, කරුණාරත්න දිවුල්ගනේ, රංජනී මෛත්‍රීගේ, වික්ටර් රත්නායක, දීපිකා ප්‍රියදර්ශනී පීරිස්, මෙරිල් ලියනගේ, මාලි රේණුකා ජයමහ ආදී ගායක ගායිකාවන්ට ගේය පද රචනා කළේය. කලක් මහගම සේකර – පණ්ඩිත් අමරදේව සුසංයෝගය වූවා සේම, රත්න ශ්‍රී – කපුගේ සුසංයෝගය ද හොඳ ගීපද මාලා අතළොස්සක් වුව ද බිහිවීමට තුඩුදුන් සේය. පසු කලෙක රත්න ශ්‍රී වැඩිපුරම ගේය පද මාලා රචනා කළේ කපුගේටය. ‘සුදු නෙළුම’ පොතෙහිද ඔහුට ලියූ රචනා දෙකක් ඇත. එකක් මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රගේ “මළගිය ඇත්තෝ” නවකථාවෙන් ලද ආලෝකයෙන් රචනා කළ “දෙවෙන්දොරා සංගේ සමුදීම” නමැති නිමැයුමයි. ඒ ගේය පද මාලාවේ ස්ථායි කොටස මෙබඳුය.

“ඔබට යන්නම ඕනෑ නම් ඔබ
යන්න ඉතින් නික්මී
මේ කාමරයේ පුරා රැඳුණු
සුවඳත් අරගෙන
ඒ සුවඳ ඇවිත්
මගෙ සිත පාරයි”

විප්‍රලම්බ ශෘංගාරය දනවන මේ ගීතයේ ස්වර රචනය හා ගායන ප්‍රතිභාව ගුණදාස කපුගේ සතුය. ව්‍යක්ත පද මාලාවක් නොවන මේ ගීතය රසික ජනයා ආකර්ෂණය කරගනු ලැබුවේ කපුගේ සතු හඬ පෞරුෂය හා සංගීත නාද ධ්වනිය බව කිව හැකිය. කපුගේ කව් රස යටපත් කොට සංගීත රසයම මතුකර ඇති මේ ගීතයෙන් කියැවෙන්නේ කලක් පෙමින් බැඳී සිටි යුවළක් වෙන්ව යෑමෙහි පුවතකි. පෙම්වතියක පෙම්වතෙකුට හෝ පෙම්වතෙකු පෙම්වතියකට කරන වේදනා බර ආයාචනයක් මෙහි අන්තර්ගතය.

මහාචාර්ය සරච්චන්ද්‍රගේ ‘මළගිය ඇත්තෝ’ චම්පු කාව්‍යයේ නොරිකො සං දෙවෙන්දොරා සංට කියන්නේ ද මෙවැන්නකි.

“යන්න එපා දෙවෙන්දොරා සං” ඈ මගේ මුහුණ දෙස දුක්බර බැල්මක් හෙළමින් කීවාය.

“කොහොමද නොගොහින්? මං ඉඳලා ඵලක් නෑ නේ. තව කොච්චර කල් මෙහෙම තියෙයිද? අපට හැමදාම බෑනේ මේ විදියට. කවද හරි වෙන් වෙන්න වෙනවා. දැන් වෙන්වෙන එක වඩා ලේසි නැද්ද?”

“යනවා නම්, දෙවෙන්දොරා සංගෙ සිරුරේ සුවඳ මේ ඇඳුම්වල සුවඳ තියල යන්න” යි මඳ වේලාවකට පසුව ඈ කීවාය.”

“දෙවෙන්දොරා සං” නැත්නම් ඔහුගේ සුවඳවත් නැත්නම් නොරිකොට ජීවිතයක් නැත. මින් යෞවන ප්‍රේමයේ ඇති අතිමහත් බැඳීම ගැන කියැවෙයි. රත්න ශ්‍රී ගේ රචනයේ කථකයා කියන්නේ කුමක්ද?” සුවඳත් අරගෙන නික්මී” යන ලෙසය. ඒ ඇයි? “ඒ සුවඳ ඇවිත් හිත පාරන” බැවිනි. ඒ අනුව මේ ගීතයේ එන පෙම්වතුන්ට ප්‍රබල ප්‍රේමනීය බැඳීමක් තිබී නැත. ඔවුන්ට අවශ්‍ය වන්නේ සිත පෑරෙන එක වළක්වා ගැනීම පමණි. එහෙත් ගීතයේ පහළ කොටසේදී පරාදිත කථකයා සියදිවි හානි කරගන්නා බව කියයි. එබැවින් ‘සුදු ඇඳගෙන හෙට මළගෙදරට ඇවිත් ඉන්නැ’ යි පවසයි.

පුරහඳ දිය වෙනවා සේ
කළුවරටත් නොකියා
ඔබ යන්න කලා සොළොසම සපුරා
හෙට මළගම දා දියවක වී
හිඳින්න සුදු ඇඳලා

මෙහි එන උපමා රූපක අලංකාර, ගීතයට යම් ආලෝකයක් සපයා ඇත්තේ රත්න ශ්‍රී ගේ සෙසු ගේය පද මාලා සමඟ සසඳා බලන සඳ මේ ගීතය සුසුම් පද වැලක් පමණි. ගීතයේ මධ්‍ය කොටසේ එන මේ දෙපේළිය බලන්න.

“හෙට මළහිරුගේ ඉහ අද්දර
ඉන්න ඇවිත් පායා”

මෙය රත්න ශ්‍රී ගේ සෙසු නිර්මාණවලින් ප්‍රකට කෙරෙන ජීවන දර්ශනයට හාත්පසින්ම ප්‍රතිවිරෝධීය. ප්‍රේමයෙන් පරාද වීමට එකම විසඳුම මරණය ද? එහෙත් රත්න ශ්‍රී “බියනොවන් අයියණ්ඩි” කෘතියේදී කීවේ “අයියණ්ඩිය බිය නොවන්න. මම පෙන්වන්නම් මැරෙන හැටි නොව, ජීවත් වන හැටි” යනුවෙනි. ඒ නිසා මේ ගීතය සමස්තාර්ථයෙන් ගත් කල ගේය පද රචනයක් ලෙස අසාර්ථක වුව ද, කපුගේ නිමැයුම් කළ සංගීත තනු නිර්මාණය හා ගායන ප්‍රතිභාව විසින් අර දුබල තැන් වසා සුවිශාල රසික ලෝකයක් ආකර්ෂණ කරගෙන ඇත.

● ආචාර්ය මහේෂ් ක්‍රිශාන්ත

advertistmentadvertistment
advertistmentadvertistment