රත්‍රං පුරාවස්තු තොගයක් සමග පුත්තලමේදී අයෙක් දැලේ

359

පුත්තලම ආලන්කුඩා ප්‍රදේශයේ නිවසක නීති විරෝධී ලෙස ළඟ තබාගත් රත්‍රං බවට සැකකෙරෙන පුරාවස්තු තොගයක් සමග සැකකරුවකු නාවික හමුදාව සහ පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් කළ වැටලීමකදී පෙරේදා (11දා) අත්අඩංගුවට ගෙන ඇත.

වයඹ නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය නිලධාරීන් පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් සමග සිදුකළ මෙම වැටලීමේදී රත්‍රං බවට සැකකෙරෙන කඩුවක්, පත්තිනි දේවරූපයක්, අශ්වයෙක්, ඉබ්බෙකුගේ රූපයක් ඇතුළු පුරාවස්තු කිහිපයක් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු කල්පිටිය ඒත්තාලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී කල්පිටියේ සිය මවට අයත් ඉඩමේ තිබී මෙවා ලබාගත් බවත් මියගිය ඥාතියකු ඒ බව තමාට හීනෙන් පැවසූ බවත් ප්‍රකාශ කර ඇත. පොලිසිය එම ස්ථානයට ගොස් සිදුකළ පරීක්ෂාවේදී එම ඉඩමේ අඩි හතරක් පමණ වළක් හාරා තිබූ බව නිරීක්ෂණය කර තිබේ. සැකකරු මීට සති තුනකට පමණ පෙර මෙම පුරාවස්තු ලබාගෙන ඇති බවත් මේවා අලෙවි කිරීමට තැත් කර ඇති බවත් හෙළි කරගෙන තිබේ.

නාවික හමුදා බුද්ධි නිලධාරීන්ට ලද තොරතුරක් මත සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාගේ උපදෙස් මත පුත්තලම කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එස්.කේ. රූපසිංහ මහතාගේ අධීක්ෂණයෙන් පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්ද්‍රසිරි ලාල් මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂක ආනන්ද, පොලිස් සැරයන්වරුන් වන (43843) හේරත්, (66517) කරුණාදාස, පොලිස් කොස්තාපල්වරුන් වන (83736) ජයසුන්දර, (87153) සමීර ඇතුළු නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදුකරති.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment