රතු කොඩිය හකුලා සිංහ කොඩිය ඔසවා රට දෙකඩ කිරීමේ මෙහෙයුම පැරදූ… සෝමවංශ අමරසිංහ

202

පසුගිය 15 වනදා වන විට සෝමවංශ අමරසිංහ නම් වූ සුන්දර මිනිසා, මිත‍්‍රයා, සහ ගුරුවරයා වසර 46ක දේශපාලන ජීවිතයට හෙවත් තම අධ්‍යාත්මයට සහ භෞතික ජීවිතයට එකවිට සමුදී වසර 5 ක් ගතවී ඇත. ශ‍්‍රී ලංකාවේ දේශපාලඥයකුට තම අධ්‍යාත්මයට සහ භෞතික ජීවිතයට එකවිට සමුදීමට ඉඩ ලැබෙන්නේ කැස්බෑවා විය සිදුරින් අහස දකින්නා වූ තරම් කලාතුරකිනි. එයට හේතුව දේශපාලනඥයෝ අතිබහුතරය තම භෞතික ජීවිතයට සමුදීමට බෝහෝ කලකට පෙර දේශපාලන අධ්‍යාත්මයට සමුදීමය. ඒ අතින් සෝමවංශයන් විජේවීරයන් සේම වාසනාවන්තයෙකි. නමුත් විජේවීරයන්ට සේම ඔහුටද ඉතිහාසය කිසිසේත්ම සාධාරණ වූයේ නැත. ඒ ඔවුන් දෙදෙනාම ඉතිහාසයට සරදම් කළ සහ ඉතිහාසය වෙනස් කළ උඩුගං බලා පිහිනූ දැවැන්තයන් වූ බැවිනි. විජේවීයන්ට ඉතා ප‍්‍රචන්ඩ සහ කෲර මරණයක් හිමිකරදීමට තරම් ඉතිහාසය ඔහුට අකරුණාවන්ත විය. සෝමවංශයන්ට ඉතිහාසය කෙසේ වෙතත් සොබාදහම විසින් වේදනාවෙන් තොර නිහඬ, සාමකාමී මරණයක් හිමිකරදීමට කරුණාවන්ත විය. එසේ වුවත් විජයවීරයන් සේම සෝමවංශයන්ද මරණය තමා වෙත පැමිණෙන ඕනෑම මොහොතක ඊට නිරවුල් මනසින් මුහුණ දීමට සූදානම්ව සිටියහ.

එහෙත් සෝමවංශයන් තම ජීවිතයේ වසරකට ආසන්න අවසාන කාලය තුළ විඳින ලද දුක් කරදර, විශේෂයෙන්ම මානසික පීඩා ඊට පෙර වසර 45ක් තුළ අත්දුටු සියලූ පීඩාවන්ට වඩා බරපතළ විය. ජීවිත කාලයක් තම දිවි දෙවැනි කොට ගොඩනැගූ පක්ෂයෙන් පිටමං වීම තරම් වේදනවක් ඔහුට තවත් නොවීය. තම දේශපාලන දරුවන් විසින් එල්ලකළ ද්වේශ සහගත නින්දා අපහාස දරාගැනීම ඔහුට පහසු නොවීය. විශේෂයෙන්ම ඔහු ඊට පෙරළා ප‍්‍රතිප‍්‍රහාර දීමට කල්පනා නොකිරීම නිසා එම වේදනාව වඩාත් බරපතළ විය. අනුකම්පා විරහිතව ප‍්‍රතිප‍්‍රහාර දෙන්නන්ගේ සිත් සැහැල්ලූ වේ. එහෙත් මැදිහත් සිතින් ඒවා දරාගැනීමට සහ එම ප‍්‍රහාර මැද තම ප‍්‍රතිපත්ති මත නොසැලී සිටීමට උත්සාහ දරන්නා බරපතළ මානසික පීඩනයකට ගොදුරු වේ. සෝමවංශයන් වැනි දේශපාලන සදාචාරය ‘‘අකුරට රැකීමට’’ වෙර දැරූ අයෙකුට එය වඩාත් බරපතළ වේ. සෝමවංශයන් කිසි දිනෙක තම පුද්ගලික ජීවිතයට අදාළ හේතු නිසා මානසික පීඩාවට ලක් වූ අයෙකු නොවේ. ඔහුගේ ජීවිත කාලය තුළ රට මුහුණ දුන් විවිධ දුෂ්කර අවධි වලදී රට වෙනුවෙන් ඔහු විසින් ඉටුකළ භූමිකාව තුළ ඔහුට බොහෝ දුක් කම්කටුලූ වලට මුහුණ දීමට සිදු විය.

ඔහුගේ මරණයට පෙර දින රාත‍්‍රියේ මා මුණගැසුනු ප‍්‍රවීණ මාධ්‍යවේදී ධර්මන් වික‍්‍රමරත්න මහතා විසින් යම් පිරිස් සිරි අයියාගේ (සෝමවංශ අමරසිංහ) කීර්තිමත් අතීතයටද මඩ ගැසීමට උත්සාහ කරන බව පැවසීය. එම අවලාද නිශ්ප‍්‍රභ කෙරෙන යම් අතීත සිදුවීම් පිළිබඳ විස්තර ප‍්‍රමාණයක් මා වෙතින් දැනගැනීමට ඔහුට අවශ්‍ය විය. සෝමවංශයන්ගේ අන්වර්ථ නාමය සිරි අයියා විය. ඔහුගේ කිට්ටුවන්තයන් සිරි අයියා යන ගෞරව නාමයෙන් ඔහු ඇමතීමට කැමැත්තක් දැක්විය. කෙසේ වෙතත් සිරි අයියාගේ අවසරය නොමැතිව කිව හැකිදේ සහ මා ජීවත්ව සිටින තුරු කිසි දිනෙක කිසිවකුට නොකියනවා යයි තීන්දු කොට ඇති දේ හැර අනෙක් විස්තර ඔහුට ලබාදුනිමි. ඔහු ඉන් සෑහීමකට පත්විය. එම කථාබහ අවසානයේදී මා විසින් ඔහුට එක් ඉල්ලීමක් ඉදිරිපත් කරන්නට යෙදුනි. මගේම වචනයෙන් කිවහොත් ‘‘සිරි අයියාට ඉතාහාසය විසින් සාධාරණය ඉටු කළේ නැහැ, ඔහුගේ පක්ෂය ඔහුට සාධාරණය ඉටුකළේ නැහැ, ඔබලා වැනි ඔහුට ආදරය කරන මාධ්‍යවේදීන්වත් ඔහු මිය යන්නට පෙර ඒ යුතුකම ඉටුකළ යුතුයි’’ යනුවෙන් මම ඉල්ලා සිටියෙමි.

පසුදින උදෑසන දුරකථනයෙන් මා ඇමතූ ධර්මන් ‘‘ඔබකිවු යුතුකම මට දැන් ඉටුකරන්න ලැබෙන්නේ නැහැ සිරි අයියා දැන් මිය ගිහින්’’ යනුවෙන් ඒ වනවිටත් මා දැන සිටි ආරංචිය ඔහු මට දැනුම් දුනි. සිරි අයියා වැනි මමායනය හෙවත් මමත්වය ප‍්‍රහීන කළ අයෙකු ගැන ලියන්නට මා වැනි පෘතජනයෙකු ගැනත් ලියන්නට සිදුවීම පිළිබඳව පාඨකයන්ගෙන් සහ සිරි අයියාගෙන් සමාව අයදිමි. මිත‍්‍රයෙකු, ගුරුවරයෙකු සහ සටන් සගයෙකුගේ මරණය පිළිබඳව දැනෙන වේදනා සහගත මතකය සිත්හි දරාගෙන මේ ලියවිල්ල ලියන්නට වෙනත් ආකෘතියක් මාගේ සිතට දැන් වැටෙන්නේ නැත. සිරි අයියා ජනතා විමුක්ති පෙරමුණ හැරයාමෙන් පසුව ගතවූ වසරක කාලය තුළ සතියකට අවම වශයෙන් දෙවතාවක් ඔහුට කථාකොට සුවදුක් විමසීමට මා අමතක කළේ නැත. එහෙත් අවසාන සති දෙකක කාලය තුළ සිතාමතා ඔහුට කථා නොකර සිටියෙමි. ඒ පිළිබඳව මම අද දිනයේද දැඩි ඇවත් සිතකින් පීඩා විඳින්නෙමි. ඒ පිළිබඳව ඔහුගෙන් සමාව ඉල්ලීමට මා හට ඉඩක් නොලැබුණද ඊට හේතු වූ කරුණ පාඨකයන්ට වැදගත් වනු ඇත. දේශපාලන ජීවිතයෙන් ලබාගත් අත්දැකීම් ප‍්‍රත්‍යාවලෝකණය කොට අනාගතයට ම`ග පෙන්වන ස්වයං චරිතාපදානයක් ලියන ලෙස මම ඔහුට නිතර ඇවටිලි කළෙමි. අහස කඩා වැටුණ විට අස්කරන්නට පටන් ගන්නේ කොතනින්ද? දිනෙන් දින එම කර්තව්‍ය ආරම්භ කිරීම පමාවන විට මගේ බලකිරීමද වැඩි විය. ඊට අමතරව පවතින දේශපාලන තත්ත්වය තුළ ඔහුගේ භූමිකාව පිළිබඳවද පළකළ හොඳ නරක දෙකටම අදාළ කියාපෑම්ද ඔහුට බලවත් මානසික පීඩනයක් එල්ලකළ බව මා හට වැටහුනි. ටික දිනක් කථා නොකර සිටිය යුතු යැයි මා තීරණය කළේ එබැවිනි. ඒ ටික දිනට ඔහු අප සැමට සමුදෙනු ඇතැයි කිසි විටෙක නොසිතුවෙමි. එහෙත් ඔහු වැඩිකල් ජීවත් නොවන බවට ඔහු තුළ වූ අවබෝධය මම වටහාගෙන සිටියෙමි.

ඔහු ජනතා විමුක්ති පෙරමුණෙන් පිටමන් කිරීමෙන් පසුව පැවැත්වූ පළමු විරු සමරු උත්සවය ඉහළින්ම පැවැත්විය යුතු යැයි ඔහු තුළ බලවත් අදහසක් තිබුණි. ඒ පිළිබඳව කථාකරන විටෙක ඔහු සිනාමුසු මුහුණින් ලබන සැරේ මම ඉඳියිද යනුවෙන් මා දෙස බැලීය. අපේ ආයුෂත් අරගෙන අයියා තව අවුරුදු 10ක් ජීවිත්විය යුතුයි යනුවෙන් මම පිළිතුරු දුනිමි. එතෙක් කල් අපට රටක් තියේවිද යනුවෙන් ඔහු පෙරලා ප‍්‍රශ්න කළේය. ‘‘ඉතිහාසයේ අපට වැරදුණු සෑම විටම ඒවා නිවැරදි කරන්න අපට ඉඩ ලැබුණා. ඒත් මේ සැරේ එහෙම වෙයිද කියා මට සැකයි. මේ ඉතිහාසයේ අවසානයක්ද විය හැකියි’’ ජනතා විමුක්ති පෙරමුණ නැතිව මේ සැරේ අධිරාජ්‍යවාදී මෙහෙයුම් ආපසු හරවන්න ලේසි වන්නේ නැහැ. කිසි දිනෙක නිශේධනාත්මක දේ නොකියන සිරි අයියා වසර 5 කට පෙර විරු සමරු උත්සවයට පෙර කතා කළේ එසේය.

සිරි අයියා රෝහණ විජේවීරනම් වූ ගුරුවරයා සේම උපාය මාර්ගික විශේෂඥයකු වන්නේ ඔහු සතුරාගේ සපත්තු දමාගෙන සතුරාගේ මේසයේ වැඩි වී ප‍්‍රශ්නය දෙස බැලීමට ඉගෙන ගෙන තිබූ බැවිනි. ඒ නිසා අන් සමට වඩා ඔහුට දුර දැකිය හැකි විය. එදා 2002දී නෂ්ඨාවශේෂය තිබූ ධර්මපාලතුමාගේ වූ අධිරාජ්‍ය විරෝධී බලවේගය සහ රෝහණ විජේවීරයන්ගේ වාම වාදී අධිරාජ්‍ය විරෝධී බලවේගය එකට එකතු කොට ඊට පණ දී නොර්වේජියන් බෙදුම්වාදී මෙහෙයුම පරාජය කිරීමට අවශ්‍ය තත්වයන් නිර්මාණය කිරීමට ඔහුට හැකිවන්නේ ඒ උපාය මාර්ගික ඥානය තුළිනි. ඔහු එම උපාය මාර්ගික මෙහෙයුම නම් කළේ රතු කොඩිය හකුලා සිංහ කොඩිය දිග හැරීම යනුවෙනි. ඔහු විසින් සිදුකළ උපාය මාර්ගික තේරීම් නොවන්නට සටන් විරාම ගිවිසුම, තාවකාලික ආණ්ඩු යෝජනාව සහ සුනාමි සහන මණ්ඩල යෝජනාව පරදවා මහින්ද රාජපක්ෂයන් බලයට ගෙනවිත් යුද්ධය නිමා කරන්නට අවශ්‍ය පසුබිම සකස් වන්නේ නැත. ඒ සඳහා ජනතා විමුක්ති පෙරමුණ උපාය මාර්ගිකව ස්ථානගත කරන්නේ ඔහු විසිනි. ඔහුගේ උපාය මාර්ගික දැක්ම මත සහ විමල් වීරවංශයන්ගේ සක‍්‍රීය ක‍්‍රියාකාරීත්වය මත ජනතා විමුක්ති පෙරමුණ රටට පමණක් නොව තම පක්ෂයටද ජයග‍්‍රහණ රැුසක් හිමිකර දුනි. ‘‘නෝර්වේජියන් සාම මෙහෙයුම’’ හරහා සුඩානය දෙකඩ වන විට ශ‍්‍රී ලංකාව ඒ ඉරණමින් ගැලවෙන්නේ ඔහුගේ නායකත්වයෙන් ජ.වි.පෙ විසින් ඉටුකළ යුතුකම් කොටස නිසාය. ඒ කොටස නොතිබෙන්නට සෙසු සියලූ පාර්ශ්ව විසින් ඉටු කළ කොටස්වලින් අපේක්ෂිත සමස්ත ප‍්‍රතිඵලය ලැබෙන්නේ නැත. නෝර්වේජියානු මැදිහත්වීම මින් සුඩානය බෙදා වෙන් කළ හැකි වුවද ශ‍්‍රී ලංකාවට එසේ කළ නොහැකි වූයේ කුමක් නිසාදැයි නෝර්වේජියානු ආධාර සංවිධානය විසින් සිදු කළ අධ්‍යන වාර්තාවක් මඟින් ඒ බව මනාව හෙළිදරව් කොට ඇත. සාමයේ ඉත්තෝ (ඡු්අබි ඡුැ්ජැ) නමින් පළ වූ එම පර්යේෂණ නිබන්ධනය ප‍්‍රකාශයට පත් කරනු ලැබුවේ 2011 දීය. ඒ නිසා අප රටේ ජනතාව සෝමවංශ අමරසිංහයන්ට සදාකල් ණය ගැති විය යුතු යයි මම නොබියව පවසමි.

ජනතා විමුක්ති පෙරමුණේ දරුවන් තම මහ ගෙදරින් එලවා දමන්නේ එසේ තම පක්ෂය නම් වූ දරු පවුලට පමණක් නොව රටටද මග පෙන්වන ලද ගැලවුම්කාරයා වූ සෝමවංශ පියාණන්ය. එවැනි වූ පියෙකුට දැනෙන වේදනාව කොපමණදැයි මැනිය හැකි ජගතෙකු මේ මිහිපිට සිටිය හැකිද? සෝමවංශයන් වසරක් තිස්සේ දරා සිටියේ ඒ මහා වේදනාව නොවේද? මොළයේ එක් නහරයක් නොව ශරීරයම පුපුරා යන වේදනාවක් ඔහු තනිව දරා සිටි බව මම ඉතා හොඳින් දැන සිටියෙමි. ඒ වේදනාවේ අවසන් ප‍්‍රතිඵලය කුමක්දැයි ඔහු ඉතා හොඳින් දැන සිටි බවටද සාක්ෂි ඇත. ඔහුගේ කාර්යාලය සහ නිවස ලෙස ඔහු භාවිතා කළ බැද්දගානේ නිවස ආපසු බාරදීමට සිදුවීමෙන් පසුව මෝටර් සයිකලයක නැගී වැස්සේ තෙමෙමින් රාජගිරියේ තම සොයුරාගේ නිවසට ගමන් කන විට ඔහු පැවසූ දේ සිත් කම්පාකරවන සුළුය. බයිසිකලය පැදවූ තම විශ්වාසවන්ත සොයුරාට ඔහු පවසා ඇත්තේ මා මියගියහොත් මටත් රටටත් හතුරුකම් කරන අයට මගේ මිනිය විකුණන්න ඉඩ දෙන්න එපා යනුවෙනි. ඒ ඔහු මරණය බාර ගැනීමට සූදානම් වූ අයුරුයි.

ඊට වසර 13කට පෙර ඔහුටි‘බයිපාස් හෘද සැත්කමක් සිදුකළ අවස්ථාවේදී ඔහුගේ අන්තිම කැමතිපත‍්‍රය ලියුම් කවරයක බහා එය ඇලවීමෙන් තොරව මා වෙත බාරදුනි. කිසිදිනෙක එය විවෘතකර බැලීමට සිදු නොවේවා යැයි පතමින් එහි තිබෙන්නේ කුමක්දැයි මම විමසා සිටියෙමි. එවිට ඔහු සිනා මුසුව පැවසුවේ කිසිවෙකුට දෙන්නට මට දේපළක් නැහැ. මේ තිබෙන්නේ දේශපාලන ඉල්ලීම් ඔබ ඊට සාක්ෂිකරුවකු වන්න යනුවෙනි. ඔහුට සුවය ලැබූ සැණින් මහා බරකින් සැහැල්ලූ වූවා සේ මම එම ලිපිය තිබූ පරිදිම ඔහුට බාරදුනිමි. එහි තිබුණේ කුමක්දැයි දැන සිටියේ ඔහු පමණි. එදා බෙදන්නට දේපළ කිසිවක් නොතිබූ සෝමවංශයන්ට වසර 13කට පසුව බැංකු ගිණුමක්වත් තිබුණේ නැත. ඉහත සඳහන් කළ විරු සමරුව සඳහා ජපානයේ ජීවත් වූ ඔහුගේ තවත් සටන් සගයකු එවූ ලක්ෂ 2 බැරකිරීමට ඔහු සතුව බැංකු  ගිණුමක් තිබුණේ නැත.

බැංකු ගිණුමක් නැති ඒ මහා දේශපාලන නායකයා බැද්දගාන කාර්යාලයේ ජීවත් වූ කාලයේදී දහවල් ආහාරයට ගත්තේ උදේ ආහාරයෙන් ඉතිරිවූ දෙයකි. මා ඔහු මුණ ගැසුණු එක් විවේකී දිනෙක අපි අපේ වසර 35ක මිත‍්‍රත්වය පිළිබඳ අතීත ආවර්ජනයෙක යෙදුනෙමු. එදා 1983දී ජනතා විමුක්ති පෙරමුණ තහනම් කළ පසුව ඔහු සහ මම බත්තරමුල්ලේ කුලී නිවසක වාසය කළෙමු. ඔහු කොළඹ සිටින සෑම දිනකම තේ හැදීම ඔහුගේ වගකීම වූ අතර කෑම පිසීම මාගේ වගකීම විය. රසවත් කෑමක රස හඳුනන ඔහු මාගේ කෑම තවදුරටත් ඉවසාසිටිය නොහැකි වූ විට කෑම පිසීමේ වගකීමද කැමැත්තෙන් භාර ගත්තේය. බැද්දගාන නිවසේදී ඔහු එදා මෙන් රසවත් තේ එකක් සාදා මට පිළිගැන්වූ නමුත් අප දෙදෙනාට ආහාරයට තිබුණේ ඔහු උදේ ආහාරයට ගෙන ඉතිරි කළ පරිප්පු සහ සම්බෝල පමණි. අතීත ආවර්ජනය නිසා පමණක් නොව ඔහුගේ දුෂකර ජීවිතය පිළිබඳ මාගේ දෑසට ඉනූ කඳුළු මට සැඟවිය නොහැකි විය. එවිට ඔහු සිනහ මුසුව පැවසුවේ දැන් මෙහෙම තමයි යනුවෙනි. ඒ පිළිතුර තුළ බොහෝ යථාර්ථයන් සැ`ගවී තිබිණි. ඔහුගේ සුපුරුදු ක‍්‍රමයට අනුව මේවා මොනවාද? මේවා ඉවසිය හැකියි. රටට සිදුවන දේ මට ඉවසිය නොහැකියි යනුවෙන් ඔහු තමාගේ දුක ස`ගවා දේශපාලන කතාවට ප‍්‍රමුඛතාව ලබාදුනි.

ඔහුට සහ ඔහු විසින් පෙළ ගැස්වූ කුඩා පක්ෂයට ජනතා විමුක්ති පෙරමුණෙන් පිටුවහල් වී ගත කළ වසරක කාලය තුළ බරපතළ ආර්ථික අමාරුකම් තිබුණා වුවත් ඒවා පිළිබඳව ඔහු කිසිවිටෙක දුක් ගැනවිලි ඉදිරිපත් කළේ නැත. ඔහු කොතරම් කුසුගිනි වුවත් තණකොළ නොබුදින සිංහයෙකි. එහෙත් මිත‍්‍ර සමාගමේදී අහිංසක පූස් පැටියෙකි. එසේ වුවත් සටනට අවි අමෝරන දේශපාලන ප‍්‍රතිවාදියා ඉදිරියේදී කඩා පනින වලසෙකි. එසේම තහනම් කළ භූගත දේශපාලනයේදී ඔහු අඳුර විනිවිද දැකිය හැකි දිවියෙකි. 1983 දී ජනතා විමුක්ති පෙරමුණ තහනම් කළ පසුව පක්ෂයේ ආරක්ෂක උපාය මාර්ගික සැලසුම් වලදී ඔහු ප‍්‍රභල දායකත්වයක් සැපයීය. ඔහු ඉතා සූක්ෂමව ආරක්ෂාකාරීව රටපුරා ව්‍යාප්ත වූ වැඩ කොටසක් ඉටු කළේය. සමස්ත දේශපාලන මණ්ඩලය අත්අඩංගුවට පත්වෙද්දී ඔහු පමණක් ආරක්ෂා වෙන්නේ ඔහුගේ සූක්ෂම ඉන්ද්‍රියන්ට පිංසිදුවන්නටය.

ඔහු ඒ ආකාරයට විප්ලවවාදියෙකුගේ බොහෝ සුවිශේෂී ගුණාංග ප‍්‍රගුණ කළද සාමාන්‍ය ජීවිතයේදී පස්පවින් වැළකී සිටි සිල්වත් උපාසකයෙකි. එහෙත් ඒ උපන්ගෙයි ගුණය ඔහුගේ නායකත්ව ගුණය දියාරු කළා යැයි මම සිතමි. පක්ෂය තුළ දැඩිව සිටිය යුතු තැන්වල ඔහු ප‍්‍රජාතන්ත‍්‍රවාදීව තම පහළ සාමාජිකයාට ඇහුම්කන් දීමේ ගුණය සීමාව ඉක්මවා රැකීමට උත්සාහ කළ නිසා එවැනි ගුණ නොදන්න වුන්ගේ කඩු පහරට ඔහු ලක්වීය. තදින් සිටියුයතු තැන්වල ඔහු තදින් සිටියානම් අද ඔහු මෙන්ම රටටද මෙවැනි ව්‍යසනයකට තල්ලූ වන්නේ නැත. දෙව්දත්තරලාට බෝධිසත්ව ගුණ වැටහෙන්නේ නැත. ඔහු දෙව්දතත්රලාට සමාව දුන් නමුත් ඔහු පෙරළා ඔහුට පහර දුනි. දරුවන් විසින් පියා මහ ගෙදරින් එළවා දමනු ඇතැයි ඔහු කිසිවිටෙක සිතුවේ නැත.

ඔහු බෝධිසත්වයකු වීමට පෙරුම් පිරූ ආකාරය මම අත්දැක ඇත්තෙමි. මම 1996දී ඔහු මුණ ගැසීමට වෙනත් විදේශීය රටක සිට ලන්ඩන් නුවරට ගියෙමි. ඔහු, අක්කා සහ පුතා සම`ග මම දින ගණනාවක් ගත කළෙමි. එදා 1971දී සිරගත වූ ඔහු නිදහස් වී පැමිණෙන තුරු අක්කා ඉවසීමෙන් බලාසිටි අයුරු සහ ඉන් පසුව 1989 මර්දනය හමුවේ ඇයට විඳින්නට සිදුවූ දුක්ගැහට ගැන ඔහු දීර්ඝ අතීතාවර්ජනයක යෙදුනි. අක්කා යසෝදරාවක් දැයි මා විමසූ විට එහෙම වෙන්න අයියා බුදු වෙන්න ඕන නේද යනුවෙන් විහිළු කළ අක්කාට අයියා කියා සිටියේ තව පෙරුම් පුරන්න කොච්චර තිබෙනවාද යනුවෙනි. ඉන් ටික කලකට පසු පිළිකා රෝගයෙන් බරපතළ ලෙස රෝගාතුරු වූ අක්කාගේ කැත කුණු සියල්ල අතගාමින් වසර කිහිපයක් ඇය තනිවම බලාගත්තේ ඔහු විසිනි. ඒ දුක් විඳින අතරතුර සැම විටම මා වෙත ලියා එව්වේ අක්කා ඔහු වෙනුවෙන් කළ පරිත්‍යාගවල ණය ගෙවා නිමකළ නොහැකි බවය. ඔහු ඒ ණය ගෙවා අවසන් වීමට පෙර අක්කා මිය ගියේය. ඔහු වැනි බෝධිසත්ව ගුණ ඇති වෙනත් දේශපාලන නායකයෙකු ගැන මට අවබෝධයක් නැත. ඔහුගේ ඒ ගුණ සුවඳ නොදත්තවුන් මොන තරම් අවාසනාවන්තයන්ද?

ඔහු අපෙන් සමුගනු ලබන්නේ ඔහු වැනි උතුම් මිනිසුන් සහ උපාය මාර්ගික ඥානය ප‍්‍රගුණ කළ දේශපාලන නායකයන් වඩාත් රටට අවශ්‍ය කාලයකය. ඔහු තමාට වැරදුනු තැන් පිළිබඳව නැවත මෙනෙහි කරන්නට ජනතා විමුක්ති පෙරමුණ විසින් ඔහුව පිටුවහල් කෙරුණු වසරක දුක්බරිත කාලය යොදාගත් බව මම දනිමි. එහෙත් ඒ දැනුම දැන් ඔහු සම`ගම වැළලී ගොස් ඇත. මා ඔහුට දුරකථනයෙන් කථාකළ අවසන් අවස්ථාවක මා කියූ දෙයකට ඔහු දුන් පිළිතුරකින් මෙම ලිපිය අවසන් කරමි. ‘‘අප විසින් රටට දිනා දුන් ජයග‍්‍රහණ බොහෝය. එහෙත් අපට වැරදුනු තැන් ගැන මතක් කරනවානම් හැම දවසකම උදේට පැයක් අඬලා වැඩ පටන් ගන්න ඕන. එහෙත් එහෙම කළා කියලා ඒවා නිවැරදි කරන්න ඉතිහාසය අපට ඉඩ දෙනවාද?’’ ඔහු පිළිබඳව සොඳුරු එහෙත් වේදනාකාරී මතකය අවදිවන සෑම දිනකම ඔහුගේ එම අවසන් උදෘතය සිහි කොට මම සිත සනසා ගනිමි.

* වෛද්‍ය කේ. එම්. වසන්ත බණ්ඩාර

advertistmentadvertistment