රන්මසු උයන අසළ චක්‍ර වළල්ලේ සැඟවුණු කතාව

1428

නූතන පර්යේෂකයන් විසින් තාරකා දොරටුව යැයි හඳුන්වනු ලබන අනුරාධපුරයේ රන්මසු උයනේ ගල් ලෙනක පවතින චක්‍ර සටහන කුමන අරමුණකින් කෙටුවාදැයි මේ වන තෙක් නිගමනය කර නැත. ක්‍රි. පූ. තෙවන සියවසේ පමණ සාදන ලද තිසාවැව පාමුළ ඉදිකළ රන්මසු උයන ද ක්‍රි. පූ. 250 සිට විකාශනයව පැවතියා යැයි දක්වා ඇත. මෙම සක්වල චක්‍රය ගැන මුල් වරට විද්වතුන්ට කරුණු දක්වනුයේ බ්‍රිතාන්‍ය ජාතික පුරාවිද්‍යාඥයකු වූ එච්.සී.පී. බෙල් මහතාය. එච්.සී.පී. බෙල් 1911 වසරේ එවක සිටි ආණ්ඩුකාරවරයාට මේ පිළිබඳ සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කර තිබේ. එහි මෙසේ සඳහන්ය. “ඇතැම්විට දැනට සොයාගනු ලැබ ඇති පැරණිතම නිර්මාණය විය හැකි මෙම පෞරාණික “ලෝක සිතියම” පැහැදිලි ලෙසම අපූරු නිර්මාණයකි. ලංකාවේ ඇතැම් බෞද්ධ ආශ්‍රමයන්හි තවමත් අනුගමනය කෙරෙන තාරකා විද්‍යාත්මක දැනුමෙහි පුරාතන පැවැත්ම සඳහා මෙය සාක්ෂියකි”

බෙල් මහතාගේ මේ පූර්ව හැඳින්වීම නිසා පසුකාලීන විද්වතුන් මෙම චක්‍රය නිතරම තාරකා විද්‍යාවට සම්බන්ධ කිරීමට උත්සාහ දරා තිබේ. රන්මසු උයන වැනි රජවරුන්ගේ ජල ස්නානයට වෙන්වුණු විනෝද උයනක තාරකා දොරටුවක් පැවතීමට කුමන හේතුවක් මත සිදුවූවා දැයි යන්න විග්‍රහ කෙරී නැත.

රන්මසු උයන අසළ චක්‍ර වළල්ලේ සැඟවුණු කතාව

අනුරාධපුරයේ රජ කළ සතරවන මිහිඳු රජුගේ වෙස්සගිරි ශිලා ලේඛනයේ රන්මසු උයන ගැන සඳහනක් ඇත. තිසාවැවේ ප්‍රධාන සොරොව්ව හරහා නිකුත් වන ජලය පළමුව රන්මසු උයන වෙත ගෙන එන අතර, එතැන් සිට කෙළ ගෙයට (කදලී ගෘහ) ද උද්‍යානයේ පොකුණට (උයන් ගෙය) සහ මහනෙල් පොකුණට (මහනෙල් ගෙය) ටද ගෙනගොස් අවසානයේ ඉසුරුමුණි විහාරය අවට ඇති කුඹුරුවලට ගලා බසින බව ලියා තිබේ. මේ ව්‍යවස්ථා කළේ කළිඟු කීර්ති නම් රාජ නිලධාරියෙකි. ඒ නිසා රන්මසු උයනේ අවශ්‍යතාවය සහ චක්‍ර වළල්ලේ අවශ්‍යතාව පිළිබඳ සියුම්ව කල්පනා කළ යුතුය.

තාරකා දොරටුව යන අර්ථයෙන් ගත් විට එවැනි ස්ථාන කීපයක්ම ලොව පුරා දකින්නට තිබෙන බව සැළකිල්ලට ගත යුතුය. ආකාශ වස්තූන් නිරීක්ෂණය කිරීමට ගණනය කිරීමට පේරු, මිසර, කොරියා සහ දඹදිවවාසීන් ගත් උත්සාහයන් පිළිබඳ වාර්තා වේ. ඒවා පිහිටා තිබෙන්නේ විශ්වයට විවෘත වූ ස්ථානයන්හීය. රන්මසු උයන එවැනි ස්ථානයක නොවේ. රාවණා පිළිබඳ පුරාවෘත්ත සොයන අයගේ අදහස නම් මේ චක්‍ර සටහන දෙස බලා ධ්‍යාන වැඩීමෙන් විශ්වය කරා යෑමට අවශ්‍ය ශක්තිය ලැබෙන බවය. මෙම චක්‍රයේ මැද පවතින වංකගිරිය පෙනුමැති චක්‍රය දෙස බලා සිටීමෙන් ඒ කුණ්ඩලීනි ශක්තිය උදා කරගත හැකි යැයි ඔවුන් විශ්වාස කරති. චක්‍ර වළල්ල ඉදිරිපස තිබෙන ආසන හතර මත හිඳ ගෙන මේ කර්තව්‍ය කළ හැකි බවද කියති. නමුත් නිතර ජල ස්නානයේ යෙදෙන විනෝද උයනක ස්වරූපයෙන් නිර්මිත තැනක එවැනි ශක්තිය අවදිකරන භාවනාවක් වැඩිය හැකි දැයි යන සැකය මතුවේ. මන්ද එවැනි භාවනාවක් දීර්ඝව වැඩිය යුතු බැවිනි.

එච්.සී.පී. බෙල් මහතා මෙම චක්‍රය ලොව පිළිබඳ සිතියමක් යැයි ද සඳහන් කර තිබේ. මේ ගැන විද්වතුන්ගේ අවධානය යොමු වී නැත. අප දන්නා පරිදි ලොව වටා විශාල වපසරියක වසා සිටින්නේ මහ මුහුදයි. මේ චක්‍ර වළල්ල වටේ විවිධ මසුන් දක්ෂිණාවෘතව දක්වා ඇත. එම මාළු වළල්ලට අභ්‍යන්තරයෙන් කුඩා චක්‍ර විසිතුනක් දක්නට ඇත. සියල්ලම ගත් කළ පණස් තුනකි. ඒ බැව් මේ වළල්ලට උඩින් ක්‍රි. පූ. 1 සහ ක්‍රි. ව. 1 ට අයත් අක්ෂරවලින් පනතිපනස යනුවෙන් සටහන් කර තිබේ. මෙය සිතියමක් ලෙසට ගත් කල්හි ලෝකයේ එවැනි සිතියම් පිළිබඳ මූලාශ්‍ර සොයා යෑමට සිදු වේ. මෑතකදී පුරාවිද්‍යාඥයන් විසින් මැටි පුවරුවක අඳින ලද සිතියමක් ලෙසට නිරීක්ෂණය වූ අපූරු පුරාවස්තුවක් බැබිලෝනියාවෙන් සොයා ගෙන තිබේ. මෙහි ද යම් කිසි චක්‍ර වළල්ලක් දක්නට තිබෙන අතර එහි පරිබාහිරවද අභ්‍යන්තරයේ ද යම් යම් භූමි ප්‍රදේශ ලකුණු කර තිබේ. විශේෂයෙන්ම බැබිලෝනියාව මුල් කරගෙන එය වටා තිබෙන දේශ මෙහි ලකුණු කර තිබේ. මැටි පුවරුවේ තිබෙන සටහන් කියවා බලා ඒ පිළිබඳ නිගමනයකට පැමිණීමටද පුරාවිද්‍යාඥයන් සමත් වී තිබේ. ක්‍රි. වර්ෂයෙන් පෙර වසර පන්දාහකට වඩා පැරණි මේ මැටි පුවරුව ලෝකයේ හමු වී තිබෙන පැරණිතම සිතියමක් ලෙසට සැළකේ. ආදි මිනිසුන් විසින් ගල් තලවල කොටන ලද සිදුරු ආකාරයේ සිතියම් හැරණු කොට විධිමත්ව අඳින ලද පැරණිතම සිතියම මෙය විය හැකිය. පුරාවිද්‍යාඥයන් කියන පරිදි පැරණිතම ජාතියක් වූ ආකේඩියන්වරු මේ ලෙස සිය අදහස ප්‍රකාශයට පත් කර තිබේ. ආකේඩියන් වරු සිංහල ද්වීපයේ හඳුන්වා තිබෙන්නේ අක්කඩි යනුවෙනි. ඔවුහු විවිධ කාල වකවානුවලදී ලංකාවට පැමිණ සිංහල රාජ වංශිකයන්ට සම්බන්ධ වී රාජ තනතුරුද ගෙන රාජ වාසලේ සේවය කොට ඇත. ගන්නෝරු සටනේ දී දස්කම් පෑ එක් අක්කඩි වීර සෙන්පතියකුට අක්කඩි වික්කඩි වීර රඹුක්කොඩි යන මාන්නය පටබැඳ ඇත. සිංහල සේනාවේ සෙනඟ දෙගුණ තෙගුණ කර පෙන්වීම පිනිස මහවැලි ගඟ ඉවුරේ සිට රඹුක් බට වල හිස් වැසුම් ගසා සතුරු සේනා නොමග යැවීම ඔහු කළ උපක්‍රමයට මේ වීරනාමය ලැබී තිබේ.

රන්මසු උයන අසළ චක්‍ර වළල්ලේ සැඟවුණු කතාව

අක්කඩි රාජ වංශය සමග සිංහල රාජ වංශය සම්බන්ධ වීමට තිබෙන ප්‍රබලතම හේතුව ඔවුහුද සූර්ය වංශිකයන් වීමයි. රන්මසු උයනේ චක්‍ර වළල්ල අනුව කුඩා චක්‍ර නැතිනම් සූර්ය චක්‍ර විසි දෙකක් ඇත. ඊට අමතරව වෙනත් සංකේත එකොළසක් කොටා ඇත. සාගර වළල්ලේ මත්‍යස වර්ගයා විස්සකි. ඒ අනුව පනස් තුනකි. චක්‍ර වළල්ලට උඩින් තිබෙන ශිලා ලේඛනයේ පනතිපනස ලෙස දක්වා ඇත්තේ මේ ප්‍රාණ පනස්තුන ගැනයි. ඊට අමතරව පෘතුවි මධ්‍ය ලක්ෂය සහ ඒ වටා තිබෙන වළල්ලද විශේෂිතය. සූර්යවංශික රජ දරුවෝ අතීතයේ දී දඹදිව ලංකාව ඇතුළු ලෝකයේ විවිධ රටවල් පාලනය කළහ. ලෝකය පුරා ආධිපත්‍යය පැතිරවූහ. සූර්යා වන්දනාමාන කළ ඔවුහු සූර්ය දේවාල තැනූහ. දඹදිව පහළ වූ මහා මේඝවාහන වංශයද සූර්ය වංශයට අයත්ය. ඔවුහු විමාන වලින් ලොව සැරිසැරූහ. ඒ නිසාම ආකාශචාරි යැයි නමක් දිනාගත්හ. මහා මේඝවාහන ආකාශචාරි පරපුර බුදුන් වහන්සේ දඹදිව පහළවන සමයේ දී ප්‍රබල රාජ වංශයක් ලෙසට කළිඟු රටේ පැවතුණි. ලංකාවේ රජවරුන් සඳහා මේඝවර්ණ නාමය ලැබෙන්නේ මේ රාජ වංශිකයන් නිසාවෙනි. තෙවනි සියවසේ රාජ්‍ය විචාල මහසෙන් සමයේ කාලිංගයේ ගුහසීව රජු ළඟ තැන්පත් කර තිබූ බුදුන් වහන්සේ ගේ යටි වම් දළදාව උදෙසා යුද්ධයක් ඇති විය. පාණ්ඩ්‍ය චන්ද්‍ර වංශ රජු දළදාව ඉල්ලා සිටි නමුත් නොදීම නිසා මේ යුද්ධය නිර්මාණය විය. මේ තත්ත්වය යටතේ දළදාව භාරව සිටි ගුහසීව රජ සිය දියණි හේමමාලී කුමරියට උදේනි රජ පුත් දන්ත කුමරුට විවාහ කර දී ලංක්දිවට පිටත් කර හරින ලද්දේ දළදා වහන්සේ ගේ ආරක්ෂාව උදෙසාය. මහසෙන් ඇවෑමෙන් රජ වූ කිත්සිරි මෙවන් රජු දවස දළදා වහන්සේ ලක්දිවට සැපත්ව අනුරාධපුරය වෙත වඩම්මාගෙන පැමිණි පසු ඉසුරුමුණි විහාරයේ නොහොත් එකළ මේඝගිරි විහාරයේ තැන්පත් කරන ලද්දේය. මේඝගිරි විහාරය මේඝවර්ණ පරපුරේ නිර්මාණයක් යැයි සිතිය හැකිය. නමුත් චක්‍ර සටහන ඊට පෙර සකස් කර ඇත.

චක්‍ර වළල්ලේ අක්ෂර අනුව එය ක්‍රි. පූ. දෙවන සියවස දක්වා දිව ගියද රජවරු මෙම චක්‍රය පිළිබඳ මෙනෙහි කරන්නට වූයේ ඉන් සියවස් දෙකක් පමණ ගත වූ පසු යැයි හැඟේ. මේඝවර්ණාභය රජු ගේ පියා වූ මහසෙන් ගේ සොයුරිය සාගරිකා කුමරිය ගුහසීව රජුගේ බිසවකි. මේ ඥාති සම්බන්ධය නිසා දඹදිව ආකාශචාරි පරපුර ලොව පුරා සූර්ය වංශිකයන් සමග දැඩි ලෙස බැඳී සිටින්නට ඇත. මෙම චක්‍රයෙන් නිරූපණය වන්නේ ලොව වටා විහිදී තිබූ සූර්ය වංශික රාජ්‍යයන් විසි දෙකකි. රජු රන්මසු උයනට ගොස් තමන් සමග රාජ සභාවේ කටයුතු කරන ශ්‍රී මහා බෝ ගෙනා පරපුර, ටිකාගොත් පරපුර, ආකාශචාරි පරපුර සහ බෝධිගුප්ත කුමාරයන්ගෙන් පැවතෙන ජය මහ ලේනා පරපුර ආදී සූර්යවංශිකයන් සමග සම අසුන් ගෙන මේ චක්‍ර වළල්ල ඉදිරියේ සිට රාජ්‍ය කරවීම පිළිබඳ විශේෂයෙන්ම දශරාජ ධර්මයෙන් රාජ්‍ය කරවීම පිළිබඳව විචාරීමක යෙදෙන්නට ඇතැයි යන උපකල්පනය මේ අවස්ථාවේ දී ඉදිරිපත් කරමි. රජ දරුවන්ගේ ශික්ෂණය පිණිස මේ ස්ථානය නිර්මාණය වන්නට ඇතැයි යන නිගමනය අවසාන වශයෙන් දක්වමි.

මතුගම සෙනෙවිරුවන්

advertistmentadvertistment
advertistmentadvertistment