රන් මාවතෙන්ම – ජෙරොම් යළි එයි

524

පැය 48ක් ඇතුළත සී.අයි.ඩී.යට ප්‍රකාශයක්

බෞද්ධාගමට අපහාස වන පරිදි ප්‍රකාශ සිදු කර, පසුව සිංගප්පූරුව වෙත ගොස් සිටි දේවගැති ජෙරොම් ප්‍රනාන්දු ඊයේ (29 දා) අලුයම කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණි බව ආගමන විගමන දෙපාර්තමේන්තු ප්‍රකාශකයෙක් පැවසීය.

මෙම දේවගැතිවරයා එවැනි අපහාසාත්මක ප්‍රකාශ සිදු කිරීමෙන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පිරිසක් පැමිණිලි කර තිබිණි. එම පැමිණිල්ල අනුව තමා අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ජෙරොම් දේවගැතිවරයා සිය නීතිඥවරුන් මාර්ගයෙන් අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කර තිබිණ. එම පෙත්සම සලකා බැලූ අභියාචනාධිකරණය කටුනායක ගුවන් තොටුපොළේ දී ශ්‍රී ලංකාවට පැමිණෙන විට ඔහු අත්අඩංගුවට ගැනීම වළක්වමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබිණි. ශ්‍රී ලංකාවට පැමිණ පැය හතළිස් අටක කාලයක් ඇතුළත අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ගොස් ප්‍රකාශයක් ලබා දෙන ලෙසට ද ජෙරොම් දේවගැතිවරයාට නියෝග කර තිබිණි. ඔහු ශ්‍රී ලංකාවට ඊයේ පැමිණියේ එවැනි පසුබිමක් යටතේය.

ඔහු කළ ප්‍රකාශය මගින් බුදු දහමට සහ අනිකුත් ආගම්වලට අපහාසයක් සිදුවී ඇති බවත් එබැවින් ඔහුට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසත් ඉල්ලා ත්‍රෛනිකායික මහා සංඝරත්නය හා අන්‍යආගමික පූජකවරුන් ඇතුළු පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ද පෙත්සම් ගොනු කර ඇත.

දේවගැති ජෙරොම් ප්‍රනාන්දු ඊයේ අලුයම 01.32 ට දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 658 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ, මුදල් ගෙවා පහසුකම් ලබන ‘රන් මාවත’ විශේෂ අමුත්තන්ගේ මැදිරිය ඔස්සේ ගුවන් තොටුපොළෙන් පිටත්ව ගොස් තිබුණි.

මෙම දේවගැතිවරයා සමග තවත් දෙදෙනෙකු ද පැමිණ තිබේ.
ඒ.ජේ.ඒ. අබේනායක සහ කටුනායක ටී.කේ.ජී. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment