වල්ලිපුරම් බුදු පිළිමය / බුද්ධ වලව්ව විහාර භූමිය
සන්දිලිප්පායි පිල්ලෙයාර් කෝවිල් භූමිය පැරැණි බෞද්ධ පුදබිමක්…
වල්ලිපුරම් රන් පත මෙරටින් හමුවූ ආකර්ෂණීයම පුරාකෘතිය…
වල්ලිපුරම්වලින් හමුවූ බුදුපිළිමය තායිලන්තයට තෑගි කරලා…
විෂ්ණු කෝවිල අවටින් පැරැණි ජනාවාසයක නටබුන් මතු වෙයි…
යුද්දෙ කාලෙවත් බුද්ධ වලව්වට අනතුරක් වෙලා නෑ…
තල් අරඹේ සැඟවුණ අපේ උරුමය
සන්දිලිප්පායි පිල්ලෙයාර් කෝවිලට යාබද කුඹුරු යාය කෙළවරේ පිහිටි දාගැබ චුන්නාකම් දාගැබට සමාන ඊට වඩා විශාල බව පෝල් ඊ. පීරිස් මහතා සඳහන් කර තිබේ. දෙවැනි බුදු පිළිම වහන්සේ හමුවී ඇත්තේ එම දාගැබ් ගොඩැල්ලට මීටර් 9ක් පමණ දුරින් පිහිටි ගල් කණු ආදියෙන් යුක්ත පරිශ්‍රයකිනි. එම පිළිම වහන්සේ මුණින්අතට පොළොවෙහි තැන්පත් වීම නිසා සොයා ගන්නාවිට සිවුරෙහි රැලි හොඳින් ආරක්‍ෂාවී තිබූ බව ද සඳහන් වේ. පිළිමයේ දකුණු අත හමුවී නොමැති අතර වම් අත කැබැලිවලට කැඩී ඇත්තේ පිළිම වහන්සේ බිම වැටීමේදී බව අනුමාන කරන බව පෝල් ඊ. පීරිස් මහතා සඳහන් කර තිබේ.
අඩි 5.5ක් පමණ උස එම පිළිම වහන්සේ හිඳි බුද්ධ ප්‍රතිමාවක් වියයුතු බවත් බොහෝවිට සමාධි මුද්‍රාවෙන් නිරූපිත වූවක් වියයුතු බව පෝල් ඊ. පිරීස් මහතාගේ අදහස ය. පිළිම වහන්සේ තැන්පත් කර තිබූ බව සැලකෙන මධ්‍යයේ මදක් උස් වූ රවුම් පිහිටීමක් සහිත ගලක් ද බොරදම් සහිත හුනුගල් පුවරුවක් ද ඒ අසලින් හමුවී ඇති අතර එම හුනුගල් පුවරුවේ ගැඹුරු විශාල නෙරුමක් සහ නොගැඹුරු කුඩා නෙරුමක් වූ බව පීරිස් මහතා සඳහන් කර තිබේ. යම් කාලයක එම සිද්ධස්ථානයට ඉහළ මට්ටමේ පූජනීයත්වක් ලැබී ඇති බව පැහැදිලි වන බව ද පෝල් ඊ. පීරිස් මහතාගේ නිගමනය වී ඇත. එම බුද්ධ ප්‍රතිමා වහන්සේ විසල් ගොඩනැඟිල්ලක තැන්පත් කොට තබා ඇති බව ද පීරිස් මහතාගේ ගවේෂණය තුළින් තහවුරුවී ඇත. එහෙත් අද වනවිට ඒ මහා බෞද්ධ සිද්ධස්ථානයේ ලකුණක් හෝ බාහිරින් සොයා ගැනීමට නැත. ඉපැරැණි බෞද්ධ පුදබිමේ මේ වනවිට දකින්නට ලැබෙනුයේ විශාල කෝවිලකි. එම කෝවිල භූමියේ පැයකට ආසන්න කාලයක් ගත කළ අපි වල්ලිපුරම් ශ්‍රී ආලවර් කෝවිල සොයා ගමන් ආරම්භ කළෙමු.
වල්ලිපුරම් ප්‍රදේශයේ ශේෂවී තිබෙන පැරැණිතම ආගමික සිද්ධස්ථානය ආලවර් විෂ්ණු කෝවිල ය. එම කෝවිල පිහිටා ඇත්තේ වැලි සහිත සුන්දර පරිසරයක ය. වල්ලිපුරම් සිංහල බසින් ‘වැලිපුර’ යනුවෙන් ද හැඳින් වේ. වල්ලිපුරම් විෂ්ණු කෝවිල හා සම්බන්ධ ඉතිහාස කතාව ද රසවත් ය. 1936 වර්ෂයේ දී වල්ලිපුරම් විෂ්ණු කෝවිල ඉදිකිරීම සඳහා අත්තිවාරම් කපන අවස්ථාවේ දී ඉපැරැණි ‘රන් පතක්’ හමුවී තිබේ. එම රන් පත හමුවී ඇත්තේ පැරැණි ගොඩනැඟිල්ලක පාදමකට යට වී තිබිය දී ය. රන් පත සමග තවත් බෞද්ධ පුරාවස්තු රාශියක් හමුවී ඇති බවට තොරතුරු අනාවරණය වන බව සැබෑය. අඟල් 4ක් පමණ දිග, අඟලක් පමණ පළල මෙරටින් හමුවූ ආකර්ෂණීය ම පුරා කෘතියක් වන ‘වල්ලිපුරම් රන් පත’ මේ වනවිට කොළඹ ජාතික කෞතුකාගාරයේ අභිලේඛන මැදිරියේ ප්‍රදර්ශනයට තබා තිබේ. මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතාගේ කියැවීමට අනුව එම රන් පතේ ඇතුළත් ලිපියෙහි අකුරු ක්‍රිස්තු වර්ෂ පළමු වන ශතවර්ෂයට අයත් ය. එහෙත් එම කාලයට අයත් අනෙකුත් ලිපිවලට වඩා වෙනස් වේගවත් හා වැල් අකුරු සටහන්වී තිබීම වල්ලිපුරම් රන් පතේ විශේෂත්වයකි. එම විශේෂත්වයට හේතු වී ඇත්තේ රන් තහඩුවේ ලිස්සන ස්වාභාවය වැඩි බැවින් අකුරු ලිවීම තරමක් අසීරු වීම බව පරණවිතානයන්ගේ අදහස ය. එමෙන්ම එම ලිපිය සටහන් තබා ඇත්තේ බ්‍රාහ්මීය අක්ෂරවලිනි. භාෂාව පැරැණි සිංහල ය. ලිපිය පේළි හතරකි. අක්ෂර 40කි. රන් පත කුඩා වුවද එහි සඳහන් අරුත අතිශය වැදගත් ය. පහතින් සටහන් වනුයේ ඒ දුර්ලභ ලේඛනයේ පෙළ හා අරුත ය.
සිධ මහරජ වහයහ රජෙහි අමෙතෙ
ඉසිගිරියේ නකදිව බුජමෙනි
බදකර අතනෙහි පියගුක-තිස
විහර කරිතෙ
එහි තේරුම මෙසේ ය.
‘යහපතක්ම වේවාෟ වහ(බ) මහරජුගේ රාජ්‍ය සමයෙහි අමාත්‍ය වූ ඉසිගිරිය නකදිව පාලනය කරන කල්හි, පියගුකතිස බදකර-අතන නම් ස්ථානයෙහි විහාරයක් කරවන ලදි…’
එම අරුත තවදුරටත් සරල බසින් මෙසේ සඳහන් වේ.
‘වසභ නම් රජුගේ රාජ්‍ය කාලයේ ඉසිගිරිය නම් ඇමැතිවරයා නාගදීපය පාලනය කළා. ඒ කාලයේ ම පියගුකතිස නම් තැනැත්තා විසින් බදකර අතන නම් ස්ථානයෙහි විහාරයක් ඉදිකරන ලදී…’
මහාචාර්ය පරණවිතානයන් සඳහන් කරන ආකාරයට ‘වහබ’ යනු ක්‍රිස්තු වර්ෂ 65 – 109 කාලයේ මෙරට පාලනය කළ වසභ රජු ය. එහෙත් එම ලිපියේ සඳහන් ‘ඉසගිරි’ නම් ඇමැතිවරයා හා ‘පියගුකතිස’ දානපතියා ගැන නම් මෙරට වෙනත් මූලාශ්‍රයක් සඳහන් කර නැත. අනුරාධපුරයේ රජකම් කළ පාලකයකුගේ අණසකට යටත්ව නිකුත් කළ ලේඛනයක් යාපනය ප්‍රදේශයෙන් හමුවී මෙන් සනාථ වනුයේ එම රජුගේ පාලනයට යාපනය ප්‍රදේශය ද අයත්ව තිබූ බවය. ඒ අනුව උතුරු ප්‍රදේශයේ දෙමළ නිජබිමක් නොතිබූ බවට වල්ලිපුරම් රන් පත විශේෂ සාධකයක් වන බව නිසැකය. එමෙන්ම වල්ලිපුරම් විෂ්ණු කෝවිල ඉදිකරන කාලයේ දී ඉපැරැණි බුද්ධ ප්‍රතිමාවක් ද හමුවී තිබේ. යාපනයෙන් හමුවූ බුදුපිළිම අතර වල්ලිපුරම් ප්‍රතිමාව අලංකාර බුදු පිළිමයක් බව ද ඉතිහාස ගතවී තිබේ. 1902 වර්ෂය වන තෙක් වල්ලිපුරම් විෂ්ණු කෝවිලේ ගබඩා කාමරයක තබා තිබුණු බුද්ධ ප්‍රතිමාව එම කෝවිලේ ප්‍රධාන පූජකවරයා විසින් ජේ. සී. දුවිස්ට භාර දී ඇත. පසුව ඔහු විසින් යාපනයේ පැරැණි උද්‍යානයෙහි බෝ ගසක් යට චුන්නාකම්වලින් හමුවූ බුදු පිළිමය අසල තැන්පත් කර තබා ඇත. සියම් රජු යාපනයේ සංචාරය කරන අවස්ථාවක එම බුදු පිළිමය දැක සතුටට පත්වී එය ලබාදෙන මෙන් ආණ්ඩුකාර හෙන්රි බ්ලේක් ගෙන් ඉල්ලීමක් කර ඇත. ඒ අනුව 1906 වර්ෂයේ දී වල්ලිපුරම් බුද්ධ ප්‍රතිමාව සියම් රජුට පරිත්‍යාග කර ඇත. එම බුද්ධ ප්‍රතිමාව තායිලන්තයේ විහාරස්ථානයක තැන්පත් කර ඇති බවට කරුණු අනාවරණය වේ. එම බුද්ධ ප්‍රතිමාවේ අනුරුවක් කොළඹ ජාතික කෞතුාගාරයේ ප්‍රදර්ශනයට ද තබා තිබේ.
එමෙන්ම 1987 වර්ෂයේ දී වල්ලිපුරම් විෂ්ණු කෝවිල අවට ගවේෂණය කර ඇති පොන්නම්බලම් රගුපති ඒ අවට විශාල වළංකටු තැන්පතු තිබෙන බව ද සොයා ගෙන තිබේ. එම ගවේෂණයේ දී මධ්‍යතන යුගයේ කාසි හමුවී ඇති බව ද වාර්තා කර තිබේ. ජේ. සී. දුවිස්ගේ වාර්තාවේ වල්ලිපුරම් පුරාවිද්‍යා ස්ථානයෙන් සොයාගත් වළං කැබැලි, තඹ කාසි සතරක්, පැරැණි කැටයම් සහිත කැබැලි ගැන සඳහන් වේ. බුද්ධ ප්‍රතිමාවක්, රන් පතක්, තවත් බෞද්ධ නටබුන් සමග ඉපැරැණි ගොඩනැඟිල්ලක පාදමක් මතුවීමත් සමග එම ස්ථානයේ ඉපැරැණි විහාරස්ථානයක් තිබුණු බව සනාථ වන බවත් ‘වැලිපුර බෞද්ධ විහාරස්ථානය’ අවට පැරැණි ජනාවාසයක් තිබූ බව එම සාධකවලින් ගම්‍ය වන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සුමේධ වීරවර්ධන මහතා අප සමග සඳහන් කළේය. වැලි පිරුණු කෝවිල භූමියේ පුරාවිද්‍යා කැණීමක් සිදු කරන්න යාපනයේ සැඟවුණු බෞද්ධ ඉතිහාසය මතු කර ගැනීමට හැකි බව අප අසල සිටි ඉතිහාසඥ සමීර ප්‍රසංගයන් ද පැහැදිලි කළේය. එහෙත් දැන් එම භූමියේ පුරාවිද්‍යා කැණීමක් කිරීම පහසු නැත. බොහෝ ඓතිහාසික සාධක ඒ මහා විෂ්ණු කෝවිලට යට වී ඇති බව සැක නැත. විෂ්ණු දෙවියන්ට නමස්කාර කර අපි ඒ ඓතිහාසික භූමියෙන් පිටත් වීමු.
යාපනයේ බෞද්ධ වෙහෙර විහාර, හින්දු කෝවිල් වන්දනා කරමින්, ඉතිහාස තොරතුරු සොයා යන ගමනේ ඊළඟ නැවතුම වූයේ වඩමාරච්චි නැඟෙනහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නාගර් කෝවිල ය. විශාල භූමි භාගයක පිහිටා තිබෙන නගර් කෝවිල ගොඩනැඟිලි ත්‍රිත්වයකි. ශිව දෙවියන්ට වැඳුම් පිදුම් කරන නාගර් කෝවිලට අප යනවිට වැඩ බිමකි. කෝවිල ඉදිරිපිට විශාල වළක් හාරමින් තිබිණි. ඊටත් ඉදිරිපිට තරමක බෝ ගස සමීපයෙහි දේව ප්‍රතිමා තැන්පත් කොට වැඳුම්, පිදුම් කරන අයුරු ද පෙනිණි. ඒ ආසන්නයේ පෙරළී ගිය විසල් ගසක් සමීපයේ ත්‍රීශූල කිහිපයක් තැන්පත් කර ඇති අයුරු ද දර්ශනය විය. කෝවිල ඉදිරිපිට විසල් තුඹස සමීපයෙහි ද වැඳුම්, පිදුම් කරන බවට සාධක ශේෂ වී තිබේ. දෙපා එරෙන තරමටම වැලි සහිත භූමියේ ඔබ,මොබ ඇවිද ගිය අපි විසල් තුඹස අසල දී එකතු වීමු. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන අංශයේ හිටපු කථිකාචාර්ය සමීර ප්‍රසංග සහ එම විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සුමේධ වීරවර්ධන යන මහත්වරු නාග වන්දනාව පිළිබඳ අපට පැහැදිලි කළහ.
එදින සතියේ දිනයක් වූ බැවින් බැතිමතුන් සිටියේ කිහිපදෙනෙකි. එහෙයින් නිදහසේ දෙවියන් වන්දනා කරගෙන, කෝවිල නැරැඹීමට අවස්ථාව ලැබිණි. නාගර් කෝවිල භූමිය සම්බන්ධයෙන් ද ඉපැරැණි ඉතිහාසයක් තිබේ. මහනුවර යුගයට අයත් ‘නම් පොතේ’ ද නාගර් කෝවිල් ගැන සඳහන් වී තිබේ. නාගර් කෝවිලහි ඉපැරැණි විහාරස්ථානයක් පැවැති බව පෘතුගීසි ජාතික බැල්දියස්ගේ ග්‍රන්ථයේ ද සඳහන් කර ඇත. ප්‍රසිද්ධ පුරාවිද්‍යා ගවේෂකයෙක් වන පොන්නම්බලම් රගුපති මහතා ද නාගර් කෝවිල පුරාවිද්‍යා ස්ථානය ගැන වාර්තා කර තිබේ. එම ස්ථානයෙන් ඉපැරැණි පබළු, වීදුරු කැබැලි, යාපනය රාජධානියේ සේතු කාසි ඇතුළු විවිධ කාසි වර්ග සහ යකඩ සොයා ගැනීමත් සමග එම ප්‍රදේශයේ ඉපැරැණි ජනාවාසයක් තිබුණු බවට අනුමාන කරන බව ද රගුපති මහතා වාර්තා කර තිබේ. ඒ හැර මේ ස්ථානයේ ඉපැරැණි බෞද්ධ විහාරස්ථානයක නටබුන් තිබෙන බව ඔහු කිසිදු ලෙසකින් සඳහන් කර නැත.
නාග වන්දනාව පිළිබඳ අප අතර ඇති වූ කතාබහ අවසාන නැත. රියැදුරු මහතා වෑන් රථය පණගන්වා ඉදිරියට ගමන් කළ ද නාග වන්දනාව තවම මාතෘකාවය. විහිළු, තහළු සතුටු කතා මැද අප රැගත් වෑන් රථය නාගදීපයට යනෙන ජැටිය සොයා වේගයෙන් ධාවනය කෙරිණි. ප්‍රදේශ කිහිපයක් පසු කරගෙන යන දුර ගමනකි. එහෙත් ගතට, සිතට විඩාවක් නොදැනේ. වෑන් රථය තුළ සතුටු සාජ්ජයකි. රථය වේගයෙන් ධාවනය වුවද අපට නොදැනිණි. වීදුරු කවුළුවෙන් ඈතට දෑස් යොමු වූයේ සීතල සුළං රැල්ලක් ගත දැවටුණු හෙයිනි. ඒ වනවිට වෑන් රථය ධාවනය වෙමින් තිබුණේ විසල් කලපුවක් මැදිනි. විනුක විදානපතිරණ සහ නීතිඥ සමිත් කල්හාර නාගදීපයේ දී නැරඹිය යුතු පුරාවිද්‍යා ස්ථාන ගැන සාකච්ඡා කරන අයුරු යාන්තමින් මගේ දෙසවනේ රැඳිණි. ඒ වනවිට අප රැගත් වෑන් රථය පුංගුඩුතිව් දූපතට ආසන්න වෙමින් තිබිණි. එම ජැටියේ සිට ගමන බෝට්ටුවෙනි. ගොඩ බිමෙහි එක දිගට ගමන් කළ අපට බෝට්ටුවේ ගමන සැබෑ වෙනසකි. රැල්ල කපාගෙන වේගයෙන් ධාවනය කළ බෝට්ටුව දෙපසට පද්දමින් විනාඩි කිහිපයකින් එගොඩට ජැටියට රැගෙන යෑමට ස්කීපර් මල්ලි දක්‍ෂ විය. තරුණ කොල්ලෙකි. ජාතිය දෙමළ වුවද සිංහල හොඳින් කතා කළේය. නාගදීපය වන්දනා කිරීමට යන සිංහල බැතිමතුන් බෝට්ටු ගාස්තුවට අමතරව මුදල් දෙන බවත්, කෑම, බීම තෑගි බෝග ලැබෙන අවස්ථා තිබෙන බව ද හේ පැවසුවේ ය. ඔහු සමග කතා බහ කිරීමට තව බොහෝ දේ තිබිණි. එහෙත් අපේ චාරිකාවේ දී කාලය රන්වලට වඩා වටිනාකමක් ලබා දී තිබිණි. එහෙයින් අපි නාගදීප සංචාරය ආරම්භ කළෙමු.
නාගදීපයේ ප්‍රධාන ආගමික ස්ථාන තුනකි. නාගදීප රජ මහා විහාරය. බුද්ධ වලව්ව විහාරය සහ නාගපූෂාණි අම්මාන් කෝවිල ය. ප්‍රථමයෙන් අපි බුද්ධ වලව්ව විහාරයට ගියෙමු. තල් අරඹක් මැද නිස්කලංක පිරිසරයක පිහිටි අප්‍රකට පින් බිමට පය ගැසීමට ලැබීම ද භාග්‍යයක් යැයි මට හැඟිණි. ඒ පින්බිම එතරම්ම මනරම් ය. ශාන්තය. බුද්ධ වලව්ව විහාරය ස්ථාපනය කර ඇති ඒ පින්බිමේ තිබී ඉපැරැණි ශෛලමය බුද්ධ ප්‍රතිමාවක් හමුවී තිබේ. බුදුන් වහන්සේ ‘භූමි ස්පර්ශ මුද්‍රාව’ නිරූපණය කර ඇති දුර්ලභ ප්‍රතිමාවකි. කාලයකට පෙර දෙමළ ජාතිකයෙක්ට අයිතිව තිබූ එම පින්බිම 1939 වර්ෂයේ දී බ්‍රාහ්මණවත්තේ ධම්මකිති තිස්ස භික්‍ෂූන් වහන්සේ විසින් මිල දී ගෙන විහාරය ඉදිකර ඇත. කොටි ත්‍රස්තවාදීන්ගේ කේන්ද්‍රස්ථානයක් ලෙස නාගදීපය පැවැතිය ද එම දූපතේ පිහිටි විහාරස්ථාන දෙකට කිසිදු හානියක් සිදු වී නැත. ත්‍රස්තවාදය බුර, බුරා ඇවිළෙමින් තිබුණ ද එම විහාරස්ථාන දෙක අතහැර එහි වැඩ සිටි ස්වාමීන් වහන්සේ දෙනම දකුණට නොවැඩියහ. කාලයක් තිස්සේ සිට විහාරස්ථාන දෙකෙහි වැඩ සිටි භික්‍ෂූන් වහන්සේ සමග දෙමළ වැසියන් ගොඩනඟා ගත් අවබෝධාත්මක බැඳීම නිසා වසර 30ක් වැනි දීර්ඝ කාලයක් ත්‍රස්තවාදීන් ගෙන් ද උන්වහන්සේට අනතුරක් නොවිණි. ත්‍රස්තවාදී යුද්ධයේ අවසානයෙන් පසු බුද්ධ වලව්ව විහාර භූමියේ ස්ථාන කිහිපයක බුද්ධ ප්‍රතිමා කිහිපයක් තැන්පත් කර, ස්තූපයක් ස්ථාපනය කොට විහාරාංග ද සංවර්ධනය කර තිබේ. නිදහසේ එම විහාරය වන්දනා කරගත් අපි නාගදීප රජ මහා විහාරය දෙසට ගමන් ආරම්භ කළෙමු.
ඉතිරි කොටස ලබන සතියට
තරංග රත්නවීර