එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ වර්තමාන ආණ්ඩුවේ අගමැති තනතුර භාර ගත්තාට පසු රටේ දැවෙන ප්‍රශ්න රාශියකට ක්ෂණික විසඳුම් ලැබේ යැයි බොහෝ දෙනා තර්ක කළහ. රනිල් බටහිර රටවල් ප්‍රමුඛ ජාත්‍යන්තරයේ ඉතා හොඳ මිතුරකු නිසා බොහෝ දෙනා සිතා සිටියේ ඔහු පත් වූ සැනින් බටහිර රටවල් පෝළිමේ පැමිණ ලංකාවට උදව් දෙනු ඇතැයි කියාය.
දැන් රනිල් වික්‍රමසිංහ අගමැති වී සති කීපයක්ම ගතව ගොස් හමාරය. රනිල්ගේ නව පත්වීමට හතරවටින්ම ලෝකයේ රටවල්වලින් සුබපැතුම් ගලා ආ බවද සැබෑය. එහෙත් ඉන්දියාව හැරුණු විට අනෙක් කිසිදු රටකින් බලාපොරොත්තු වූ තරමට ප්‍රතිඵල නොවීය.
මේ හේතුවෙන් පසුගිය සතියේත් අපේ රටේ ජනතාව පසුවූයේ අපේක්ෂාභංගත්වයකය.
රටට වුවමනා ගෑස්ටික, තෙල් ටික, ඖෂධ ටික, කෑම ටික, පොහොර ටික ලබාගන්නට තවදුරටත් ලෝකයට ණය වීම හැර වෙනත් විකල්පයක් නොවීය. එහෙත් ප්‍රශ්නය වූයේ ණය දෙන්නට ද තවමත් කිසිවකු හෝ කිසිදු ආයතනයක් සතුටුදායක ප්‍රතිචාරයක් දක්වා නොමැති වීමය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙන්ම ලෝක බැංකුවේ කොන්දේසිය වූයේ රට තුළ අභ්‍යන්තර දේශපාලන ස්ථාවර භාවයක් පෙන්නුම් කරන තුරු අවශ්‍ය ණය ප්‍රමාණය ලබා දෙන්නට සලකා බැලීමක් සිදු නොවන බවය.
මෙම තත්ත්වය තුළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙන්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂත් ඒ දෙදෙනාගේ ආණ්ඩුවත් මහ බැංකුවේ අධිපතිවරයා ප්‍රමුඛ නිලධාරි මණ්ඩලයත් පසු වූයේ මහත් උභතෝකෝටිකය ක ය.
● රනිල්ට දුන්නේ හිසරදයක්ද..?
ජාත්‍යන්තරයේ ප්‍රශ්න විසඳාගත හැකි මට්ටමට ශක්තිමත් ආණ්ඩුවක් හා ශක්තිමත් කැබිනට් මණ්ඩලයක් තනා ගැනීම අගමැති රනිල්ට ලෙහෙසි පහසු කටයුත්තක් වූයේ නැත.
රට ගොඩනැඟීම සඳහා සහායදීමට අමාත්‍ය මණ්ඩලයට එක්වීම පොහොට්ටුවේ ස්වාධීන වූ මන්ත්‍රීවරු සියලු දෙනා එකසේ ප්‍රතික්ෂේප කර දැමුවහ. එහෙත් පොහොට්ටුවේ තවත් පිරිසක් මෙහිදී ජනාධිපතිවරයා සමග එක්ව ඇමැති වගකීම් භාර ගත්හ. ආණ්ඩුව සර්වපාක්ෂික ආණ්ඩුවක් බවට පත්වීමට නම් පාර්ලිමේන්තුවේ සෙසු පක්ෂවලත් සහයෝගය ඔවුන්ට අවශ්‍ය විය. මේ හේතුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමගත් සමගි ජන බලවේගය සමඟත් ජවිපෙ ප්‍රමුඛ සෙසු ලොකු කුඩා පක්ෂ සමඟත් රජය දිගින් දිගටම සාකච්ඡා කළ අතර අගමැති මෙහිදී පුරෝගාමී කාර්යභාරයක් ඉටු කරමින් සිටියේය. එහි ප්‍රතිඵලයක් හැටියට හරින් ප්‍රනාන්දු හා මනුෂ නානායක්කාර ආණ්ඩුවට පැමිණ ප්‍රබල අමාත්‍ය ධුර දෙකක වගකීම භාරගෙන වැඩ කරන්නට වූහ. එමගින් සිදු වූයේ සමගි ජනබලවේගය තුළ ද ප්‍රබල බෙදීමක් නිර්මාණය වීමය. මනුෂ හරීන් හා අගමැති රනිල් තව තවත් පුද්ගලයන් සජබෙන් ගලවා
ගැනීමට දිගින් දිගටම සාකච්ඡා කරමින් සිටියහ.
ඒ අතර ආණ්ඩුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමගද රෑ දවල් මේ ගැන කතා බස් කළේය. සුරේන් රාඝවන් හා සාන්ත බණ්ඩාර මුලින්ම පැමිණ ආණ්ඩුවේ ඇමැතිකම් ලබා ගැනීම තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභ්‍යන්තර
ගැටුම් උග්‍ර විය. ශ්‍රීලනිප නායක මෛත්‍රීපාල සිරිසේන ද දැඩි මතයක සිටියේය. ආණ්ඩුව සමග එක් නොවී කරන හොඳ වැඩවලට සහයෝගය දීමටත් රනිල් වික්‍රමසිංහගේ මැදිහත් වීමෙන් සිදු කෙරෙන යම් යම් රටට හානිකර දේවල්වලට විරුද්ධ වීමටත් ශ්‍රීලනිපය ශක්තිමත්ව සිටිය යුතු බව පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේනගේ මතය විය.
පසුගිය දිනවල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව මේ ගැන ගැඹුරින් සාකච්ඡා කළේය. එහිදී මේ දුෂ්කර අවස්ථාවේ රජය සමඟ එකතු වී රට ගොඩ ගැනීමට වැඩ කළ යුතු බව පිරිසකගේ මතය වූහ. එම සංවාදයේ ප්‍රතිඵලයක් හැටියට පසුගිය සතියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් රජය සමඟ එක් වූහ. එයින් නිමල් සිරිපාල ද සිල්වාට හා මහින්ද අමරවීර ට ප්‍රබල අමාත්‍යධූර දෙකක් ද හිමිවූහ. දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න, චාමර සම්පත් දසනායක ඇතුළු සැලකිය යුතු පිරිසක් රජය සමඟ එක්වන්නට සූදානම්ව සිටියහ. රාජ්‍ය අමාත්‍යධුර කීපයක් ද ඔවුන් වෙත පිරිනැමීමට එකඟතාවක් තිබුණි.
මෙම තත්ත්වය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභ්‍යන්තර සමගියට ද මහත් බාධාවක් විය. පක්ෂ නායක මෛත්‍රිපාල සිරිසේන ගේ මතය වූයේ නිලතල තාන්න මාන්නවලට ලොබින් ආණ්ඩුවට යන සියලුම දෙනා ඉවත්ව ගිය පසු මධ්‍යම කාරක සභාව රැස් කර ඔවුන් ගැන දැඩි තීන්දුවක් ගත යුතු බවයි. කෙසේ වෙතත් මේ දෙපිරිස අතර පසුගිය සතියේ දිගින් දිගටම සාකච්ඡා පැවැත්විණි.
තතු දත් ආරංචි මාර්ග කියා සිටියේ අගමැති රනිල් වික්‍රමසිංහ මේ වන විට දෙමළ ජාතික සන්ධානය සමගත් මුස්ලිම් කොංග්‍රසය සමගත් ජවිපෙ ඇතුළු කුඩා කුඩා දේශපාලන පක්ෂ සමගත් ඉතා හොඳ සාකච්ඡාවක් පවත්වමින් සිටින බවයි.
තත්ත්වය මෙසේ තිබුණත් රට තුළ අරගලකාරීන්ගේ කලබලකාරී ක්‍රියාකලාපය සංසිඳවීමට මේ කිසිවක් හේතු වූයේ නැත. ගෝල්ෆේස් පිටියේ ගෝඨා ගෝ ගම නමින් හැඳින්වූ අරගල භූමියේ වැඩකටයුතු පෙර ලෙසම නිර්පාක්ෂික සාමකාමී අවිහිංසාවාදී සහ නිදහස් යන ලේබල යටතේ ක්‍රියාත්මක විය. එතැන දිවාරැයේ නතර වී සිටින අරගල කරුවන්ගේ දේශපාලනය හා ප්‍රතිපත්ති කවරක් වුවත් ලොවට පෙනෙන්නට ඔවුන් හොඳ කලාත්මක සටන්කාමීත්වයක් පෙන්නුම් කළහ. නූතනවාදී විරෝධතා සංස්කෘතියක් පෙන්නුම් කළහ.
ඒ අතරතුර එතන සිටින සමාජ ක්‍රියාකාරීන්ම අන්තරේ ශිෂ්‍යයන් හා සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් ලෙස වෙන වෙනත් තැන් වල තිබෙන අරගලවලට හා විරෝධතාවට සහභාගි වූහ. එකම පිරිස වුවත් ගෝල්ෆේස් අරගල පිටියේ එක් මුහුණුවරකුත් උසාවිය ඉදිරියේ, රනිල්ගේ කාර්යාලය ඉදිරියේ හා පාරවල් ආදී තැන්වලදී සටන්කාමී අරගලකාරී සාහසික මුහුණුවරකුත් පෙන්නුම් කරන්නට තරම් මේ පිරිස දක්ෂව සිටියහ.
මේ රටේ ඇතැම් ජනප්‍රිය විද්‍යුත් මාධ්‍ය මේ තරුණ පිරිසගේ අරගලය සාමකාමී අවිහිංසාවාදී ප්‍රබුද්ධ එකක් යැයි පෙන්වන්නට වෙන වෙනම මාධ්‍ය වීර කාව්‍ය ලියූවත් ගෝල්ෆේස් අරගල බිමේ පෙනෙන මුහුණුම අලුත්කඩේ උසාවිය අසල හෝ කොළඹ මල් පාරේ අගමැති කාර්යාලය ඉදිරිපිට හෝ පාර්ලිමේන්තු ජයන්තිපුර වටරවුමේ හෝ දකින්නට ලැබීම හේතුවෙන් මේ කවුද? කුමක් කරන්නේ ද? කියා තේරුම් ගැනීම රටේ පොදු මහජනතාවට අසීරු වූයේ නැත.
කෙසේ වෙතත් පසුගිය දින වකවානු වන විට ගෝල්ෆේස් අරගල බිමේ ද යම් යම් ගැටලු අර්බුද හා බෙදීම් දක්නට ලැබිණි. අරගල බිමට ආහාරපානාදියෙන් මුදලෙන් හා ද්‍රව්‍යවලින් ආධාර කළ කොළඹ නාගරිකයේ මුස්ලිම් ප්‍රජාව ව්‍යාපාරික ප්‍රජාව හා සංවිධාන රනිල් වික්‍රමසිංහ අගමැති වී රටේ වගකීම් භාර ගත්තාට පසු ආධාර අනුබල ලබා දීම නතර කර දැමූහ. මෙය ගෝඨා ගෝ ගමේ පැවැත්මට බරපතළ ප්‍රශ්නයක් විය. තත්ත්වය විග්‍රහ කළ ඇතැම් දේශපාලන නිරීක්ෂකයෝ කීවේ රනිල්ගේ පැමිණීමෙන් පසු අනෙකුත් දේශපාලන පක්ෂවල මෙන්ම ගෝඨාටද ගම තුළ ද දැවැන්ත බෙදීමක් උද්ගතව ඇති බවකි.
● ලොකු පෙට්ටියේ ඇතුල කොහොමද?
පසුගිය 23 වන සඳුදා ඇමැතිවරු කිහිප දෙනෙක් ජනාධිපති මන්දිරයේදී ඇමැති ධුර කිහිපයක් භාරගත්හ. ඩග්ලස් දේවානන්ද, නිමල් සිරිපාල, බන්දුල ගුණවර්ධන, මහින්ද අමරවීර, කෙහෙළිය රඹුක්වැල්ල, රමේෂ් පතිරණ, විදුර වික්‍රමනායක, නසීර් අහමඩ් ජනාධිපතිවරයා අතින් සිය පත්වීම් ලිපි ලබා ගත්හ. මීට පෙර දිවුරුම් දුන් කංචන විජේසේකර ප්‍රසන්න රණතුංග වැනි කිහිප දෙනෙක් ද ඒ මොහොතේ පැමිණ සිටියහ. ජනාධිපතිවරයා සමඟ ඇමැති මණ්ඩලයේ විශේෂ සාකච්ඡාවක් තිබීම ඊට හේතුවයි. මෙම අවස්ථාවට නිමල් ලන්සා මන්ත්‍රීවරයාද පැමිණ සිටීම විශේෂත්වයක් විය. පත්වීම් ලිපි ප්‍රදානය 10.25 ට පටන්ගෙන 10.45ට අවසන් විය. මෙම අවස්ථාවට අගමැති රනිල් වික්‍රමසිංහ පැමිණ සිටියේ නැත.
ඇමැතිවරු දිවුරුම් දීමෙන් පසුව නිල වැඩකටයුතු අවසන් විය. ඉන් පසුව ඔවුන් ටික වේලාවක් සාමාන්‍ය පරිදි කතාබහ කරමින් සිටියහ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පැමිණි ඇමැතිවරුන්ට එහි සිටි බොහෝ දෙනකු සුබපතන්නට වූහ.
“අපි හිතුවේ මීට වඩා ඇමැතිවරු එහෙන් එයි කියලා…”
“එන එක තව ඉවරයක් නෑ… තවමත් රාජ්‍ය ඇමැතිවරුන්ගේ වැඩකටයුතු ඉවරයක් නෑනේ… ”
මහින්ද අමරවීර ඉතා විවෘතව සියල්ලන් සමඟම කුළුපගව කතාබහ කරමින් සිටින අයුරු දක්නට ලැබිණි. බොහෝ දෙනෙක් කතා කළේ ඇමැති තනතුර හා එහි ඇති අභ්‍යන්තර වගකීම් ගැන ය…
“මේ පාර ඇමැතිකම කියන්නේ සේවයක්. වරප්‍රසාද අමතක කරලා ජනතාවට සේවය කරන්නයි මේ වෙලාවේ අපේ කැපවීම යොමුවෙන්න ඕන…”
ජනාධිපතිවරයාද මෙසේ ටික වේලාවක් කතා බහ කරමින් සිට යන්නට ගිය අතර තේ පානය කිරීමෙන් පසු සෙසු ඇමැතිවරුද විසිර ගියහ.
“ඇමැතිතුමන් ලා බරටම අරගෙන යන හැඩයි…” සමහර නිලධාරීන් විහිළු කළහ.
“ඔව් ඔව්… ගිය පාරත් හුඟක් අයගේ පෙට්ටි ලොකුවට තිබුණා. හැබැයි ඇතුල හිස්. මේ පාර කොහොමද දන්නෑ…” ඇමැතිවරයෙක් කීවේ පහුගිය කැබිනට් මණ්ඩලයේ වගකීම් බෙදා හදා දී තිබූ ආකාරය මතක් කරමිනි.
මෙම අසීරු අවස්ථාවේ රටේ තිබෙන වැදගත්ම අමාත්‍ය ධුරය වන මුදල් ඇමැතිකම භාරගන්නට ජනාධිපතිවරයා කිහිපදෙනකුටම ආරාධනා කළේය. එහෙත් ඒ සඳහා ස්ථීරව කැමැත්ත පළ කරන්නට තරම් ඒ කිසිවෙක් ඉදිරිපත් නොවූයේ රට මුහුණ පා සිටින ආර්ථික අර්බුදයේ තරම ගැන ඔවුන්ට හරිහමන් විශ්වාසයක් නොතිබූ නිසාය.
අවසානයේ අගමැති රනිල් වික්‍රමසිංහට එම වගකීම භාර දෙන්නට ජනාධිපතිවරයාට අවශ්‍ය විය.
අගමැතිවරයාද ඒ වගකීම භාර ගන්නට පසුබට වූයේ නැත.
● 21 ගෙන එන්න රනිල්ගේ කැපවීම
අගමැති රනිල් මුදල් ඇමැතිකම භාර ගැනීමට සූදානම් වන බව දැනගත් වහාම කිහිප දෙනකු ඊට විරෝධය පළ කරමින් ජනාධිපතිවරයාට කරුණු කියමින් සිටින බවට අග්‍රාමාත්‍ය කාර්යාලයට ද වාර්තා වී තිබුණි. එසේම 21 වෙනි සංශෝධනය සම්බන්ධයෙන් ද නොයෙක් කතා වාර්තා වන්නට පටන් ගත්තේ මේ අතරවාරයේ ය. මෙම කටකතා හේතුවෙන් නායකයාගේ දුරකථනයට විසුමක් නොවූවේ සැවොම කතා කරමින් ඒ ගැන විමසන්නට වූ නිසාය.
සමගි ජන බලවේගය නියෝජනය කරමින් සර්වපාක්ෂික ආණ්ඩුවට එකතුවූ හරීන් ප්‍රනාන්දු ද තඩිමුඩියේ අග්‍රාමාත්‍ය කාර්යාලයට පැමිණියේ අගමැතිගෙන් මේ ගැන විමසීමටය.
“සර් සමාජයේ කතා වෙනවා 21 වෙනි සංශෝධනයෙන් රට බලාපොරොත්තු වන කාරණා කිහිපයක් ඉටු කරන්න පොදුජන පෙරමුණ ඉඩ දෙන්නේ නෑ කියලා. මොකක්ද අපි කරන්නේ.” කියමින් හරීන් කරුණු 3 ක් අගමැතිවරයාට ඉදිරිපත් කළේය.
ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට නොහැකි වන වගන්තිය, අගමැතිවරයා ඉවත් කිරීමේ බලය ජනාධිපතිවරයාගෙන් ඉවත් කොට පාර්ලිමේන්තුවට පැවරීමේ වගන්තිය හා ආයතන ප්‍රධානීන් පත් කිරීමේදී අගමැතිවරයාගේ නිර්දේශය මත පත් කිරීමේ වගන්තිය යන කරුණු 3 හරීන් ඉදිරිපත් කළ ඒවා විය.
“බය වෙන්න එපා මම කියපු විදියට වැඩ ටික කරනවා. නැතිනම් යනවා. අධිකරණ ඇමැති විජයදාස මේක හදලා ඉවරයි. පක්ෂ නායකයන්ට 21 සංශෝධන කෙටුම්පත දෙන්න කියලා මම කිව්වා. තව සති දෙකක් තියෙනවානේ පාර්ලිමේන්තුව රැස් වෙන්න. පාර්ලිමේන්තුවට මේක ආවට පස්සේ අපි බලමු.” අගමැතිවරයා හරීන්ට කීවේය.
● අගමැති මහින්ද කට ඇරලා….
පසුගිය සතියේ හිටපු අගමැති මහින්ද රාජපක්ෂ රහස් පොලිස් නිලධාරීන් හමුවේ පසුගිය නම වැනි සඳුදා මේ රටේ සිදු වූ සිද්ධීන් පිළිබඳ කටඋත්තරයක් දුන්නේය. එදින උදෑසන අරලියගහ මන්දිරයේ පැවති රැස්වීම් හා එහි ස්වභාවය පිළිබඳ නිලධාරීන් මෙහිදී හිටපු අගමැතිවරයාගෙන් කරුණු විමසූ බව පැහැදිලි විය.
එම කරුණු විමසීමට පැය තුනකටත් වඩා අධික කාලයක් ගත විය. රහස් පොලිසියේ නිලධාරීන් එම රාජකාරියෙන් පසුව හිටපු අගමැතිවරයාගෙන් සමුගෙන පිටව යන විට ඒ ආරංචියට අමාත්‍යවරු 20 දෙනෙක් පමණ අගමැතිවරයා සිටි නිවසට පැමිණ සිටියහ.
අගමැතිවරයා වෙහෙසට පත්ව සිටියේ නැත. සිනාමුසු මුහුණින් තම හිතවතුන් පිළිගත් අගමැති මහින්ද ඔවුන් හා ඉතා කුළුපගව කතාබහක කළේය. ඇඳිවත පමණක් ඉතිරිවී නිවාස සහ දේපළ රාශියක් අළු දූලි බවට පත්වූ ඇමැතිවරු කීප දෙනෙක්ද එතන වූහ.
“ගියේ නැද්ද හානියට පත් වෙච්ච ඕගොල්ලන්ගේ ගෙවල් බලන්න….”
සමහර අය ඒ මොහොත වන විටත් තම තමන්ගේ නිවාසවලට මොනවා වූයේ දැයි බලන්නටවත් ගිහින් තිබුණේ නැත….
“නීතිය ක්‍රියාත්මක වෙනවා නම් අගතියට පත් වෙච්ච හැම පාර්ශ්වයකටම සාධාරණය ඉටු වෙන්න ඕන…” හිටපු
අගමැතිවරයා ඔවුන්ගෙන් සියලු විස්තර විමසමින් කීවේය.
“ඕගොල්ලන්ට මේ තරම් හානි වෙලත් ඒව ගැන විමසා බලන්නෙත් නැතුව මේ වෙලාවේ මාව බලන්නත් ආවා. කලගුණ මතක තිබීම හා අතීතය අමතක නොවීම ගැන සමහර අය මට හොඳ පාඩම් ඉගැන්නුවා… මට ඒව හරි වටිනවා…. අගමැතිවරයා කිව්වේය.
මේ අතර ඇමැතිවරු කීප දෙනෙක් තම තමන්ගේ නිවාස බලන්නට ගියේ ද පසුගිය සතියේය. ගාමිණී ලොකුගේ ද ඒ අතර විය. ගාමිණී ලොකුගේ තමන්ගේ නිවසට ගොස් සිදුවී ඇති හානිය විමසා බලන මොහොතේ ඔහුගේ පැරණි පත්තර මිත්‍රයෙක් ද එතැනට ගියේ ය. ඒ මිත්‍රයා කුමාරසිරි හෙට්ටිගේ ය….
“මේ නිවාස හා දේපළ දේශපාලනයෙන් හරි හම්බ කරපු දේවල් නෙවෙයි… මගේ ගෙට මුලින් ගැහුවේ ඔය සිද්ධි වෙන්න කලින්. පස්සේ අක්කගෙයි නංගිගෙයි ගෙවල් දෙකක් සුන්නත්දූලි කරලා…
මේ වෙලාවේ විනාශයට පත් නිවස ඉදිරියේ තිබූ හිස සුන් සමාධි බුදු පිළිමයක් ඉදිරියේ ලොකුගේ ගේ විඩාබර නෙත් දෙක නතර වූයේය….
“කෝ මේකෙ හිස….” මිතුරා විමසුවේය.
“ අන්න තියෙනවා ගේ ඉස්සරහ රඹුටං ගහේ දෙබලක ගහලා…. බුදු පිලිමවල බෙලි කඩලා ළිංවලට වහ දමලා මේ මිනිස්සු මොනව බලාපොරොත්තු වුණාද දන්නෙ නෑ… හැබැයි එයාල කවුද, ඔවුන්ගේ මානසිකත්වයත් මොකක්ද කියන එක තමයි ඒවයින් පැහැදිලි වුණේ…..” ලොකුගේ කීවේය.
විසිපස්වන බදාදා උදේ 10.19 ට තිබූ නැකතෙන් අභිනව මුදල් අමාත්‍යවරයාගේ වැඩ භාර ගැනීම සිදු විය.
මෙම අවස්ථාවට සහභාගි වන්නට මහාචාර්ය ජී. එල්. පීරිස්, මනුෂ නානායක්කාර, ඇතුළු ඇමැතිවරු කිහිප දෙනෙක් පැමිණ සිටියහ. ජනාධිපති ලේකම්වරයා මෙන්ම අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක ද පැමිණ සිටියේය. නිමල් ලංසා මන්ත්‍රීවරයාද මෙතන සිටියේය.
පත්වීමේ වගකීම භාර ගැනීමෙන් පසුව අගමැතිවරයා ජනාධිපතිවරයා හා යම්කිසි ගැඹුරු සාකච්ඡාවක නිරතව සිටියේය. වටේ පිටේ වුන් ඇමැතිවරු කිහිප දෙනාද ඊට එක්කාසු වූහ. ඔවුන්ගේ මුහුණුවලින් පෙන්නුම් වූ ලක්ෂණ අනුව ඒ කතා කළේ යම් බැරෑරුම් කාරණාවක් බව පැහැදිලි වූහ.
අග්‍රාමාත්‍යවරයා වැඩ භාර ගැනීමෙන් මොහොතකට පසු නික්ම ගියේය.
ජනාධිපතිවරයාත් ඒ සමඟම නික්ම යෑමට සූදානම් වෙද්දී මනුෂ හා ජී. එල්. ඇමැතිවරු ඔහුව මඟ නවතාගෙන යම් කරුණක් කතා කරන්නට වූහ. එය ඊළඟට පැවැත්වෙන සාකච්ඡාව සඳහා යම් පෙර සූදානමක් විය හැකි බව පැහැදිලි විය.
● දැවෙන ප්‍රශ්න මෙහෙම විසඳමු…
ඉන් ටික වේලාවකට පසු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් විදේශ රැකියා සම්බන්ධයෙන් වූ විශේෂ රැස්වීමක් ආරම්භ විය. විදේශ අමාත්‍යාංශයේ හා විදේශ රැකියා අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන්, විදේශ රැකියා ආයතනයේ සභාපති ඇතුළු නිලධාරීන්, ලංකාවේ වෘත්තීය පුහුණු ආයතනවල සභාපතිවරු ඇතුළු ඉහළ නිලධාරීන් මෙම රැස්වීමට පැමිණ සිටියහ. බැලූ බැල්මට මෙම
රැස්වීම මනුෂ නානායක්කාර ඇමැතිවරයාගේ මෙහෙයවීමෙන් කැඳවන ලද අවස්ථාවක් ලෙස හැඳින්විය හැකි විය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ද මෙයට ඉතා උනන්දුවෙන් සහභාගි වූයේ අද පවතින ප්‍රශ්නවලට විදේශ රැකියාවලින් ලොකු පැතිකඩක් ආවරණය වන බව අවබෝධ කරගෙන සිටි නිසාය.
“අපේ තරුණ තරුණියෝ පුහුණු කරලා විදේශ රැකියාවලට යවන එකෙන් මේ රටේ දැවෙන ප්‍රශ්න දෙකකට එකවර උත්තර ලැබෙනවා. එකක් මේ රටේ තරුණ තරුණියන්ගේ රැකියා ප්‍රශ්නෙට හොඳ උත්තරයක් ලැබෙනවා. අනිත් එක රට තුළ අද තියෙන ඩොලර් හිඟයට නිසි උත්තරයක් ලැබෙනවා. හැබැයි මේක අපි හොඳ සැලකිල්ලෙන් සැලසුම් කරලා කරන්න ඕන වැඩක්. අපේ මේ තරුණ පුහුණු ශ්‍රම සම්පත ඉතා හොඳින් තෝරා බේරාගෙන ලෝකයෙන් වැඩිපුරම මුදල් ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන් හොඳ රටවල්වලට තමයි යවන්න ඕන…” ජනාධිපතිවරයා සාකච්ඡාව පටන් ගනිමින් කීවේය.
“දැන් මොනාද අපිට මේ සඳහා බාධා තියෙන්නෙ… පුහුණු ශ්‍රමයද භාෂාවද…”
“ඔය දෙකම ගැන වෙන් වෙන් වශයෙන් ප්‍රශ්න තියෙනවා…” නිලධාරීන් පෙන්වා දුන්හ.
“මේ වගේ වැඩි ආදායම් ලබන්න පුළුවන් විදේශ රැකියාවලට රජයේ සේවකයෝත් යවන්න පුළුවන්. ඒ ගොල්ලන්ටත් අවස්ථාවක් දෙන්න බලන්න. සල්ලි ටිකකුත් හම්බකරගෙන පිටරට අත්දැකීමකුත් අරගෙන එයාලට එන්න අවස්ථාවක් දෙමු..” ජනාධිපති යෝජනාවක් කළේය.
“ඔව් සර් අපි දැන් රජයේ සේවකයන්ටත් අවස්ථාව දෙනවා. අපි ඊයේ චක්‍රලේඛයක් නිකුත් කළා විදේශ ආදායම් ලබන අය එම ආදායම් මෙරටට එවීමේදී අනුගමනය කළ යුතු ක්‍රියා පිළිවෙත ගැන. ඒගොල්ලො පිටරටවල් වල දී හම්බ කරල මේ රටට මුදල් එවන කොට ඒ ගොල්ලන්ටත් ප්‍රතිලාභ ලැබෙන ක්‍රමයක් අපි යෝජනා කළා.”
“ඒ වැඩපිළිවෙළට හොඳ ප්‍රතිචාර තියෙනවා. ඉදිරියේදී ඒ වැඩපිළිවෙළ ඉතා සාර්ථක වේවි….” නිලධාරීන් පෙන්වා දුන්හ.
“වාහන පර්මිට් එකක් දීම වගේ ප්‍රතිලාභ ලබා දීම් ඉතාම හොඳ යෝජනා… අපි මේ වගේ දේවල් ඉතා නිර්මාණශීලීව සැලසුම් කරන්න ඕන.”
“සමහර රජයේ සේවකයන්ට ප්‍රශ්නයක් තියෙනවා රට ගියාම මෙහේ ජ්‍යෙෂ්ඨත්වය කැඩෙන එක ගැන…”
“මේ ගොල්ල රාජ්‍ය බැංකු හරහා සල්ලි එවන්න ඕන. එතකොට ජ්‍යෙෂ්ඨත්වය බිඳ නොවැටෙන විදියට ක්‍රමවේදයක් අපි හදමු…” ජනාධිපති යෝජනා කළේය.
“පෝලන්තය රුමේනියාව ජපානය වගේ රටවලින් අපට හොඳ ඉල්ලුමක් තියෙනවා සර්…” නිලධාරීන් පෙන්වා දුන්හ.
“අපේ සෞඛ්‍ය අංශයේ යම් යම් පුහුණු නිලධාරීන්ට හොඳ ඉල්ලුමක් තියෙනවා. හැබැයි ඉතින් සෞඛ්‍යටත් සේවකයෝ මදි. මෙහෙන් නිදහස් කරනවා නම් එහෙන් හොඳ ප්‍රතිලාභ ලබන්න පුළුවන්…” මනුෂ හිනාවෙමින් කීවේය.
“පෝලන්තයේ රැකියා අවස්ථා තිබුණට කෝඩිනේට් කරන්න embassy එකක් නැති එක අපිට ලොකු පාඩුවක්…” නිලධාරීන් කීහ.
ජපන් රටේ රැකියා ගැන වෙනම කතාබහක් ඇති විය.
ජපන් රැකියාවකට යන එක ලේසි නෑ. භාෂාව ගැන එයාලා සැලකිලිමත්. ජපන් භාෂා ලෙවල් 4 එකවත් සමත් වුණොත් විතරයි ඒවට ඉල්ලුම් කරන්න හැකි වන්නේ…”
“භාෂාව උගන්වන එක ලොකු ප්‍රශ්නයක් නෙවෙයි… කොච්චර කලක් ගත වෙනවද..?
“මාස හතරෙන් උගන්වලා පුහුණු කරලා ඉවර කරන්න පුළුවන්…” නිලධාරියෙක් පෙන්වා දුන්නේය.
“රැකියා අවස්ථා තියෙනවා නම් එක බැච් එකකට 5000 හරි කමක් නෑ බඳවගෙන හොඳ පුහුණුවක් දීලා ඉක්මන් රැකියා අවස්ථා ලබා දෙන්න.” ජනාධිපති කීවේය.
ජපන් භාෂාව පුහුණු කිරීම ගැන තව තවත් කතාබහ විය. විශාල රැකියා සංඛ්‍යාවක් ජපානයෙන් ලබාගත හැකි බව මනුෂ පෙන්වා දුන්නේය.
“ජපන් භාෂාව වැඩිපුරම අද උගන්වන්නෙ පුද්ගලික අංශය. ඒ වුණාට ඒවයි ගොඩක් ගණන් සැරයි.”
“වැඩි පිරිසක් බඳවා ගෙන ඒගොල්ලන්ට භාර දෙන්න. පිරිස වැඩි වුණාම ඒගොල්ලන්ට ලාභය වැඩි වෙනකොට අය කරන ෆී එක අඩු කරන්න පුළුවන්…” ජනාධිපති උපදෙස් දුන්නේය.
“ඇමැතිතුමා මේ ගැන තානාපතිවරු එක්කත් තවදුරටත් කතා කරන්න…”
දිවයින පුරාම තරුණයන් බඳවා ගෙන විදේශ රැකියා හා භාෂා සඳහා පුහුණු කිරීම පුළුල් කිරීමට අවශ්‍ය යෝජනා හා සැලසුම් මෙම සාකච්ඡාවේදී කතාබහට ලක් වූ නිසා මෙම කතාබහ ඉතාමත්ම වැදගත් එකක් විය. සාකච්ඡාව සාර්ථක නිසා මනුෂ ඇමැතිවරයා සිටියේ ඉතාමත්ම සතුටිනි.
● ඇමැති දිනේෂ් වැඩ අරඹයි….
පාර්ලිමේන්තු දිනයක් නොවූවත්, සභානායක දිනේෂ් ගුණවර්ධන, පසුගිය බ්‍රහස්පතින්දා (26) හදිසියේ පාර්ලිමේන්තුවට පැමිණියේ විශේෂ කාර්යක් ඉටුකිරීම සඳහාය.
කථානායකවරයා හමුවූ ඔහු විශේෂ ලියැවිල්ලක් භාරදුන්නේය. ඒ, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග සංශෝධනය සඳහා වන කෙටුම්පතය.
“මම 20 වෙනිදා පාර්ලිමේන්තුවේ විශේෂයෙන් ප්‍රකාශයක් කළා, කෝප්, කෝපා ඇතුළු සියලු කාරක සභාවල බලතල වැඩිකරන්න, ස්ථාවර නියෝගවලට සංශෝධන කඩිනමින් ගේනවා කියලා. ඒ වචනය ඉෂ්ට කරන්නයි ආවෙ” දිනේෂ් නිලධාරීන්ට කීවේය.
“දැන් වෙලා තියෙන්නෙ, කාරක සභා වාර්තා ඉදිරිපත් කළාට, ඉන් එහා ඒ නිර්දේශ ක්‍රියාත්මක කරවාගන්න බලතල නෑ”
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා ද වන දිනේෂ් බදාදා (25) රට පුරා සියලු දිසාපතිවරුන්ද සූම් තාක්ෂණය ඔස්සේ ඇමතීය. ඒ, රට පසුකරමින් සිටින දුෂ්කර කාල පරිච්ඡේදය තුළ, ග්‍රාම සේවා නිලධාරියාගේ සිට ඉහළටම පැවරී ඇති වගකීම සිහිපත් කර පොදු ජනතාව වෙනුවෙන් විශේෂයෙන් කළ යුතු වැඩ හඳුන්වා දීමටය.
දිනේෂ් ගුණවර්ධනගේ නායකත්වයෙන් යුතු මහජන එක්සත් පෙරමුණේ මධ්‍යම කාරක සභාවද පසුගිය බදාදා විශේෂ රැස්වීමක් පැවැත්වීය.
“ඇතිවෙමින් තියෙන ආහාර අර්බුදයට අපි පක්ෂයක් හැටියට රජයේ ඉක්මන් අවධානය යොමුකරවන්න ඕනෙ” ම.එ.පෙ. උප සභාපති, හිටපු රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි කියා සිටියේය.
“ඒකට ආහාර නිෂ්පාදනය වැඩිකරන්න, ගොවියාට සහන දීම වේගවත් කරන්න ඕනෙ” ම.එ.පෙ. නියෝජ්‍ය ලේකම් පා.ම. යදාමිණි ගුණවර්ධන පවසද්දී දිනේෂ් මෙසේ කීය.
“ඒ වගේම අත්‍යවශ්‍ය බෙහෙත් හිඟයකින් තොරව දෙන එකටත් ප්‍රමුඛතාව දෙන්න ඕනෙ.”
ඒ අනුව පොදු ජනතාව වෙනුවෙන් ආහාර, බෙහෙත් අර්බුදයට ආණ්ඩුව දෙන විසඳුම් වේගවත් කරවා ගැනීම උදෙසා ම.එ.පෙ. මැදිහත් වීමට තීරණය කෙරිණි.
අගමැති රනිල් වික්‍රම වික්‍රමසිංහ පසුගියදා සතියේ මාධ්‍ය ගණනාවකට කතා කළේය. විදෙස් මාධ්‍ය කීපයක්ද ඒ අතර විය. එහිදී ලෝක ප්‍රකට ආර්ථික නාලිකාවක් වූ “බ්ලුම්බර්ග්” මාධ්‍ය ආයතනයට ද සම්මුඛ සාකච්ඡාවක් ලබාදී තිබුණි. ඉන්දියාවේ ප්‍රධාන නාලිකාවකට සම්මුඛ සාකච්ඡාවක් දෙමින් අගමැතිවරයා කීවේ චීනය, ජපානය හා ඇමෙරිකාව අපේ මිතුරන් වුවත් ඉන්දියාව යනු අපගේ ඥාතියකු බවයි. ජාත්‍යන්තර නාලිකා සියල්ලම අගමැතිගේ දැනුම ගැන ප්‍රශංසා කළේ සාකච්ඡාවන් අවසානයේ පැවැති පෞද්ගලික සංවාදයන්හීදී ය.
අඟහරුවාදා පෙරවරුවේ නායකයා කෘෂි හා ආහාර කමිටුව හමුවූවේ ඉදිරියේදී පැමිණීමට නියමිත ආහාර හිඟය ගැන සාකච්ඡා කිරීමටය. එහිදී වගා සංග්‍රාමයකට යෑම ගැන කතා කළ අතර ගම් මට්ටමින් මෙය ඇරඹීමට අවශ්‍ය උපදෙස් අගමැතිවරයා විසින් නිලධාරීන්ට ලබා දුන්නේය. එහි පසුවිපරම් කටයුතු මහින්ද අමරවීර අමාත්‍යවරයාට හා චාමර සම්පත් මන්ත්‍රීවරයා වෙත පැවරූවේය. වජිර අබේවර්ධන හා පාලිත රංගේ බණ්ඩාරට ද ඊට සම්බන්ධ වන ලෙස අගමැතිවරයා උපදෙස් දුන්නේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් ද එදින සවස අගමැති රනිල් මුණගැසුණේ ය. 21 වෙනි සංශෝධනය ගැන මෙන්ම රාජ්‍ය ඇමැතිධුර සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරිණි. එහිදී අගමැති දැනුම් දුන්නේ කුමන ඇමැතිකම දුන්නත් වැටුප් හා වරප්‍රසාද නොමැතිව වැඩ කරන්නට සිදුවන බවය. අවසානයේ ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කොට ශ්‍රීලනිපය ට හිමි රාජ්‍ය ඇමැතිධුර සම්බන්ධයෙන් අවසන් තීන්දුවකට පැමිණීමට දෙපාර්ශ්වය තීන්දු කර ගත්හ.
විදේශ අමාත්‍යාංශයේ ලේකම්ධුරය සම්බන්ධයෙන් පැමිණිලි ගණනාවක් අගමැතිවරයා වෙත ලැබී තිබුණු අතර අගමැතිවරයා එම පැමිණිලි ජනාධිපතිවරයා වෙත යොමු කර තිබුණි. අවසානයේ විදේශ සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක වන අරුණි විජයවර්ධන පත් කිරීමට කටයුතු කෙරිණි.
බුලිත ප්‍රදීප් කුමාර