රනිල්ගේ දේශපාලන ලොතරැයිය සහ ගාලුමුවදොර අරගලය!

405

ශ්‍රී ලංකාවේ 8 වන විධායක ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහ පත්වීම පිළිබඳව සමාජ දේශපාලන අංශවල කෙබඳු විවේචන විමර්ශන සිදු වුවත් ඒ වූ කලී මෙරටේ සමාජ දේශපාලන ක්‍ෂේත්‍ර අභියස විවිධ සමාජ ක්‍රියාකාරීන් මෙන්ම ජනතාවද විස්මයට පත් කළ නාටකීය සංසිද්ධියකි. ජනාධිපති රනිල්ගේ දේශපාලන සම්ප්‍රාප්තිය සිදුවන්නේ ඔහුගේ මාමණ්ඩියද වූ මෙරටේ ප්‍රථම විධායක ජනාධිපතිවරයාද වූ ජේ. ආර්. ජයවර්ධනගේ සෙවණ යටය. 1970 දී මෙරටේ ප්‍රබල දේශපාලන පෙරමුණකට නායකත්වය දුන් සිරිමාවෝ බණ්ඩාරනායකගේ ප්‍රබල ආණ්ඩුව 1977 දී අන්ත පරාජයකට පත් කරමින් ජේ. ආර්. රාජ්‍ය බලය ලබා ගත්තේ ඓතිහාසික වාර්තාවක්ද තබමින්ය. එහෙත් ජයවර්ධනගේ ඇවෑමෙන් රණසිංහ ප්‍රේමදාසට පසු එජාපයේ නායකත්වයට පත්වන රනිල්ට මෙරටේ ජනාධිපති ධුරයට පත්විය නොහැකි වූවා පමණක් නොව ඔහුගේ දේශපාලන වාර්තාව වූයේ එජාපයට එකම ආසනයක් හෝ ලබාගත නොහැකි ඓතිහාසික පරාජයක් තම කීර්තිමත් පක්‍ෂයට අත්කර දීමය. 1999 දී හා 2005 දී ජනාධිපතිවරණ දෙකකින්ම පරාජයට පත් රනිල් 2020 මහ මැතිවරණයේදී තම පක්‍ෂයට හිමිවූ එකම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් යළි පාර්ලිමේන්තුවට පිවිසි ඔහුට මෙරටේ 8 වන විධායක ජනාධිපති ධුරය හිමිවූයේ පොදුජන පෙරමුණ හෙවත් පොහොට්ටුවේ නිර්දේශයත් ඒ මන්ත්‍රීවරුන්ගේ ඡන්දය ලබාගත හැකි වීමත් නිසාය. රනිල් ජනාධිපති වීම විස්මයජනක නාටකයක් ලෙස හැඳින් වූයේද එනිසාය. කුමක් වුවත් රනිල්ටද සිය දේශපාලන ගුරුවරයා වූ ජයවර්ධනට මෙන්ම විධායක ජනාධිපති ධුරය හිමිවූයේ සිය හැත්තෑ වැනි දසකයේදීය. ජයවර්ධන මෙරටේ රාජ්‍ය නායකත්වයට පත්වීම ඔහුගේ තියුණු දේශපාලන බුද්ධියේ හා ඔහුගේ අධිෂ්ඨාන ශක්තියේ සුසංයෝගයක ඵලයක් වුවද රනිල්ට එම තත්ත්වය උදාවූයේ දේශපාලන ලොතරැයියක් ලෙසය. 77 දී ජයවර්ධන ලද විජයග්‍රහණය ඇතැම් විචාරකයන් විසින් හඳුන්වන ලද්දේ කෞටිල්‍ය බැතිමතකු වූ ඔහු බුදුන් වහන්සේගේ ධර්මිෂ්ඨ සමාජය නමැති උතුම් සංකල්පයටද මුවා වෙමින් බලය ලබාගත් බවය. එහෙත් ඒ ධර්මිෂ්ඨ සමාජය නමැති ව්‍යාජ කඩතුරාවට මුවා වූ ජයවර්ධන යුගයේ ප්‍රබලම දේශපාලන චරිතයක් වූ රනිල් මෙරටේ රාජ්‍ය නායකයා ලෙසට පත්ව සිටින්නේද ඒ ධර්මිෂ්ඨ යුගයේ පාර්ශ්වකරුවකුද ලෙසය. ජයවර්ධනට සාපේක්‍ෂකව රනිල් සිය දේශපාලන ව්‍යාපාරයට ලබාදුන් සුවිශේෂී ජයග්‍රහණයක් ද නැත. ඇත්ත වශයෙන්ම ජයවර්ධන දේශපාලනයෙන් විශ්‍රාමිකව සිටියදී වරක් සඳහන් කළේ එජාපයේ දේශපාලනය ඔහුගෙන් පසු මන්දගාමී ස්වරූපයක් ගත් බවය. එහෙත් පාර්ලිමේන්තුවේ එකම අසුනක් හෝ නොමැති (එයට හිමිවූයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයකි.) එජාපයට රටේ අගමැති හා විධායක ජනාධිපති යන පදවි දෙකම ලබාදීම රනිල්ගේ සුවිශේෂ වාර්තාවකි.

රනිල්ගේ දේශපාලන ලොතරැයිය සහ ගාලුමුවදොර අරගලය!

මෙරටේ හැටනව ලක්‍ෂයක ජනවරමකින් ජනාධිපති ධුරයට පත්වූ ගෝඨාභය රටින්ද පලාගොස් සිටින පසුබිමක එම ධුරය රනිල්ට හිමිවීම පිළිබඳව දේශපාලන විවේචන පමණක් නොව දෝෂාරෝපණද අප්‍රමාණව සිදුවී තිබේ. ජවිපෙ අනුර කුමාර ප්‍රකාශ කළ පරිදිම රනිල්ගේ ජයග්‍රහණය හා ගාලුමුවදොර විරෝධතා ව්‍යාපාරය අතර ඇත්තේ දැඩි ප්‍රතිවිරෝධතාවකි. රනිල්ට හිමිවූ වැඩි පැහැදිලි බහුතර ඡන්දවලින් පිළිබිඹු වූයේ ජනතා කැමැත්තට පටහැනි විකෘතියක් බව ඔහු සඳහන් කර ඇත. ගාලුමුවදොර අරගල භූමියෙහි කිසිවෙක් රනිල්ගේ පත්වීම අනුමත නොකරති. ඇතැම් කෙනෙක් සොවින් හඬ නඟා ප්‍රශ්න කළේ මෙම මහජන අරගලය ජනතාවට දිනා දුන් විජයග්‍රහණය දූෂිත පාර්ලිමේන්තුවක් විසින් නිර්දය ලෙස පොළවේ ගසා විනාශ කරන ලද්දේ කුමක් නිසාද යනුවෙනි. එහෙත් මෙරටේ ස්ථාපිතව තිබෙන දියවන්නා දේශපාලනය කෙබඳු ගර්හිත, දූෂිත ප්‍රවාහයක් දැයි මේ තරුණ අරගලයේ බොහෝ දෙනෙක් වටහා ගෙන සිටිති. සැබැවින්ම තවමත් ඒ පාර්ලිමේන්තු නියෝජනයේ බහුතරය ඒ පවතින ක්‍රමයේම දේශපාලන විකට රූප බව අමුතුවෙන් කිව යුතු නැත. එනිසා එබඳු පසුබිමක් තුළ මේ මහ පොළවේ දේශපාලන යථාර්ථය අපේක්‍ෂා කිරීම සා අඟින් පනා කැසීමට සිතීමක් පමණි. දියවන්නාවෙන් පිටත සිදුවන අරගලයට සංවේදී නොවන දේශපාලන ව්‍යාපාරයක් අද තිබෙන බව ජනාධිපති රනිල් ද විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කර තිබේ. රටේ තරුණ තරුණියන් ඉල්ලා සිටින්නේ මේ යල්පීනූ සම්මත හා දූෂිත දේශපාලනය ඉවත දැමීමට බව නොදන්නා අය වෙතොත් ඒ ඉතා ස්වල්ප දෙනෙක් විය යුතුය. එහෙත් තවමත් දියවන්නා දේශපාලන සංස්කෘතිය පුද්ගල න්‍යාය පත්‍ර කේන්ද්‍රිය වූ වංචනික එකක් බව බහුතර ජනතාවක්ද පසක් කරගෙන සිටිති. දේශපාලනය ජනතා අපේක්‍ෂාවන් ඉටුකරන සද් ව්‍යාපාරයක් බවට පත්කර ගැනීම ප්‍රබුද්ධ ජනතාවගේද එකම ප්‍රාර්ථනය වී තිබේ. නොඑසේ නම් ඔව්හු ජුලි 9 වැනිදා දියත් වූ ඒ ඓතිහාසික මහජන විරෝධයට එක් නොවන්නාහ.

මේ අනුව අපගේ අවධානය යොමු කළ යුත්තේ ඒ පොදුජන ප්‍රාර්ථනාව මල්ඵල ගැන්වීම සඳහා වූ දේශපාලන ක්‍රියාන්විතයක් වෙත අභිනව ජනාධිපති රනිල් සතු වගකීම අවධාරණය කිරීමය. සමාජ-ආර්ථික ගිනි ජාලාවක දැවෙන ජනතාවට ඉන් සහනයක් ලබාදීමේ පොදු ජාතික න්‍යාය පත්‍රයක් අද රටට අවශ්‍ය වේ. එයින් දුරස්වීම යනු අමිහිරි හා කටුක අත්දැකීම්වලට මුහුණ දීමට පාලකයන්ට සිදුවන අනිවාර්ය තත්ත්වයකට හේතුවනු ඇත. එබඳු සමාජයක කෙබඳු ප්‍රචණ්ඩ හා සාහසික ප්‍රතිචාර මතුවිය හැකිද? එහි ප්‍රථම පියවර මේ ආර්ථිකය හා බැඳුනු පීඩාකාරී ජීවන රටාවෙන් වහාම ජනතාව මුදා ගැනීමය. අද රාජ්‍ය නායකයා මුහුණ දෙන ප්‍රධාන උභතෝකෝටිකය දියවන්නාවෙන් පිටත ගිනිගත් නන්නත්තාර වූ සමාජයට ස්ථාවරත්වයක් ලබාදීමය. එය ජන දුකට පිහිටක් මෙන්ම ජනාධිපති රනිල් විරෝධී කණ්ඩායම්වලට දිය හැකි සාධනීය ප්‍රතිචාරයක්ද වේ. පොහොට්ටු පාලනයේ ඉදිරිපෙළ සිට ඉන් ඉවත් වූ විමල් වීරවංශගේ ප්‍රබල දේශපාලන විවේචනයෙන් කිසිවකුට මගහැර යා නොහැකි ප්‍රශ්න කීපයක්ම මතුකර තිබුණි.

විමල්ගේ කේන්ද්‍රීය ප්‍රශ්නය වූයේ අරගලකරුවන්ට වෙඩි නොතබන්නැයි කියමින් ජනාධිපති ධුරය අත්හැර දැමූ ගෝඨාභය වෙනුවට ඒ අරගලකරුවන්ට පරිප්පු කැවීමට (ඔහුගේ වචනය) සූදානමින් සිටින රනිල් එම ධුරයට පත් කිරීම මෙම ගාලුමුවදොර අරගලයේ අපේක්‍ෂාවද යනුයි. මෙය බරපතළ ප්‍රශ්න කිරීමකි. ජනාධිපති ධුරයට රනිල් පත්වීම ව්‍යවස්ථානුකූල මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය අනුව සිදුවූ බව සත්‍යයක් වුවත් එයට වෙනස් කටුක යථාර්ථයක වින්දිතයන් බවට පත්ව සිටින සමාජයකට එබඳු මායාලංකාර හුදු වචන පමණක් වීමද නොවැළැක්විය හැකිය. ප්‍රජාතන්ත්‍රවාදය යනු ව්‍යවස්ථාවක ලියවී තිබෙන වාක්‍යයක් හෝ අර්ථ නිරූපණයක් නොවිය යුතු බව අවිහිංසා අරගලයක ප්‍රාර්ථනාවද වේ. එනිසා ප්‍රජාතන්ත්‍රවාදය මෙන්ම මනුෂ්‍යත්වය උදෙසා වුවද අවි එසවීම බිය ගැන්වීම අනුමත කළ නොහැක. ඒ යථාර්ථය පිළිගැනීම අරගලකරුවන්ට දක්වන බුද්ධිමය ප්‍රතිචාරයකි.

රනිල්ගේ දේශපාලන ලොතරැයිය සහ ගාලුමුවදොර අරගලය!

ජනාධිපති රනිල් මුහුණ දෙන අභියෝගය වන්නේද මෙම යථාර්ථය මත පදනම්ව රටේ ජාතික අර්බුදවලට විසඳුම් සෙවීමය. මෙම පාර්ලිමේන්තුව පිළුණු වූ කල් ඉකුත්වූ අජීවී එකක් බව මෙරටේ බහුතර ජනතාවගේද අදහසය. බර්ටෝල්ටි බ්‍රෙෂ්ට් වරක් ප්‍රකාශ කළ පරිදි එකම පිඟන්වල දෙවිධියක කෑම තිබීම නිසැකයෙන්ම සමාජ අර්බුදයකට හේතු වන්නකි. නිදහසින් පසු බිහිවූ මෙරටේ ප්‍රභූ දේශපාලනය රටම අඳුරකට ඇදගෙන ගොස් තිබෙන ආකාරය පිළිබඳ අද මුළු ජනතාවම ඉඳුරා දැන සිටින සත්‍ය වේ. ජනතාවගේ වරම් ලබන මැති ඇමැතිවරුන් ප්‍රමුඛ පාලකයන් මෙතෙක් ක්‍රියාකර ඇත්තේ බලය, භාරකාරත්වයක් නොව සින්නක්කර උරුමයක් බව සිතාගෙනය. ජනතා උරුමය, පොදු දේපොළ ඒ බොහෝ පාලකයන්ගේ අභිමතය පරිදි පරිහරණය කිරීම සඳහා ඔවුන්ට සිදුවූ බලපත්‍රය මන්ත්‍රීකම, ඇමැතිකම, අගමැතිකම හා ජනාධිපතිකම බව අද වන විට අප්‍රමාණව තහවුරු වී තිබේ.

රටක සංවර්ධනය මනින්නේ ඒ රටේ පුරවැසියන්ගේ නැතහොත් ජනතාවගේ දියුණුව අනුවය. එහි මූලික වුවමනා ලෙස කෑම, ඇඳීම හා වාසස්ථාන පිළිගනු ලැබේ. සංස්කෘතිය කලාව ඒ සියල්ලෙහි සාධනීය ඵල බවද කියති. එහෙත් මේ කරුණු තුනවත් සපුරා දීමට අපේ පාලකයන්ට නොහැකි විය. පාලකයන්ට සුවඳ බොජුන්ය. තුමුල මාලිගාවන්ය. සුව යහන්ය. පොදු ජනතාවගේ ජීවිත කෙබඳුද? අද කහට කෝප්පයක් සමග පාන් කෑල්ලක් කෑමට හැකි ජන සංඛ්‍යාව කෙතරම් අල්පද? බතක් නොඉදෙන පැල්පත්, සිනහවක් නොඇදෙන මුහුණු අද කොපමණ තිබේද? නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය අද පරිහානියට පත්ව තිබෙන ආකාරය විස්තර කළ යුතු නැත. පොදු ජනතාව වෙනුවෙන් තිබෙන රෝහල්ද අද වැසී යමින් තිබේ. උණ හෙම්බිරිස්සාවකට පැනඩෝල් පෙත්තක්වත් නැති සෞඛ්‍ය සේවයක උඩින්ම සිටින ඇමැත්තා පමණක් නොව බොහෝ මැති ඇමැතිවරුන්ටද සිංගප්පූරුවේ රෝහල් තිබේ. ඒවාට වැය කෙරෙන්නේද මහජන මුදල්ය. පොදු ප්‍රවාහන පද්ධතියම කඩා වැටී තිබෙද්දී නායකයන්ගේ සුපිරි රියක වටිනාකම ලක්‍ෂ තුන් හාරදහසක් බව කියති.

දේශපාලන, ආර්ථික සමාජ ස්ථාවරත්වයක් නැති රටක් අද අපට ඉතිරිවී තිබේ. පාලකයන් පන්නා දැමීමට ජනතාව වීදි බැස සිටින්නේ ඒ විනාශයට පාලකයා වගකිව යුතු හෙයිනි. පවුල් පාලනය, දූෂණය, වංචාව, අල්ලස්, නාස්තිය ආදී සකල විධ විනාශයන්හි උල්පත මේ මුග්ධ දේශපාලනයයි. හැත්තෑ අටෙන් පසු රට භාරගත් කිසිවෙකුට මේ සමාජ ආර්ථික දේශපාලන විනාශයට විසඳුම් ලබාදීමට නොහැකි විය. ප්‍රභූ දේශපාලනයේ එක් තේමාවක් වී ඇත්තේ ‘මං නැතිදා මේ රට නුඹටයි-නුඹේ යහළුවන්ටයි’ යන්නය. මැති ඇමැති පුත්තුන්ගේ ක්‍රියාකාරකම් කෙබඳු දැයි රටම දනී. ඒ ගණයට නොවැටෙන යහපත් දේශපාලන චරිත ස්වල්පයක්ද තිබේ. එහෙත් බහුතරයක් දේශපාලන ජාවාරම්කාර හොර තක්කඩියන් බව පොදු සමාජයේ අදහසය.

ගාලුමුවදොර අරගලකරුවන් දියවන්නා දේශපාන ගැරඬි කුණක් සේ ඉවත දැමීමට අරගල කරද්දී එහිම දිගුවක් ලෙස ජනාධිපති රනිල් තෝරා ගැනීම ඔවුන්ගේ දැඩි විරෝධයට හේතු වී තිබේ. ඊට අමතරව විද්වතුන්, වෘත්තීය සමිති නායකයන් වෘත්තිකයන් ආදීන්ගේ අප්‍රසාදය හා විරෝධයද ජනාධිපතිට එල්ල වී තබේ. තවමත් ජනතාව පීඩාවට පත්කරන ඉන්ධන, ගෑස්, ඖෂධ, විදුලිය හිඟය මෙන්ම අහස උසට නැඟ තිබෙන බඩු මිල පාලනය කිරීමටද මෙතෙක් ආණ්ඩුව අසමත්ව සිටියි. ජනාධිපති රනිල් මුහුණ දෙන සමාජ ආර්ථික දේශපාලනයේ මූලික කොටස් දෙකක් ඇත. පළමුවැන්න ඉහත දැක්වූ මෙතෙක් විසඳීමට අසමත්ව තිබෙන ආර්ථික අර්බුදයේ විපාක ලෙස ඉතිරිවී තිබෙන ඉන්ධන, ගෑස් ආදියේ හිඟය හා ආර්ථික උද්ධමනයෙහි පීඩාකාරී ප්‍රශ්න සමනය කිරීමය. අනෙක් කොටස ගාලුමුවදොර විරෝධතාකරුවන්ගේ අරගලයේ තේමාව බවට පත්ව තිබෙන ‘සිස්ටම් චේන්ජ්’ හෙවත් මේ අශිෂ්ට දියවන්නා දේශපාලන කුණුපය වීසිකර ප්‍රතිෂ්ඨාපනය කෙරෙන අභිනව දේශපාලන සංස්කෘතියක් ගොඩනැඟීමය. අරගලකරුවන් පෙරළා දැමූ රාජපක්‍ෂ බලකඳවුර සමගම ඒ දේශපාලන ක්‍රියාන්විතයම වළලා දැමීමය.

ජනාධිපති රනිල්ට මේ තේමාවන් බැහැර කළ නොහැකිය. එහෙත් ඔහුගේ දේශපාලන ක්‍රියාන්විතය එබඳු සමාජ ප්‍රතිසංස්කරණයට පටහැනි එහි ස්ථාවරත්වය තහවුරු කරන්නක්ද? ප්‍රභූ දේශපාලනයේ පැවැත්ම සඳහා ඉතිහාසය මුළුල්ලේම අඩු වැඩි වශයෙන් භාවිත කරන ලද්දේ රාජ්‍ය මර්දනය බව රහසක් නොවේ. එහිදී බොහෝවිට සිදුවූයේ ප්‍රජාතන්ත්‍රවාදී විරෝධතා ලෙස ආණ්ඩුව නැතහොත් පාලකයා විසින් අනුමත කරනු ලබන උද්ඝෝෂණ හා මහජන නැගිටීම් වුවද දුර්වල කිරීමය. එහිදී සිදුවන ඇතැම් ක්‍රියාකාරකම් ප්‍රචණ්ඩත්වය ලෙස හැඳින්වීමටද පාලකයෝ උනන්දු වෙති. ජනතා පරමාධිපත්‍ය නිසැකයෙන්ම පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය තුළ රඳා පවතින බව ප්‍රභූ දේශපාලන කඳවුර පිළිගනී. එහෙත් අරගලකරුවෝ එයට එකඟ නොවෙති. ඇත්ත වශයෙන්ම අරගලකරුවන් ඉල්ලා සිටින ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ මගහැර යා හැකිද? ජනාධිපති රනිල්ගේ ජයග්‍රහණය, ගාලුමුවදොර අරගලකරුවන් දිනා දුන් උදාර ජයග්‍රහණය ආපසු හැරවීමක් බවට අරගලකරුවන් චෝදනා කරන්නේ මේ පසුබිම තුළය. පාලකයන් හා අරගලකරුවන් අතර තිබෙන ප්‍රතිවිරෝධතාවද මෙයයි. ඒ කුමක් වුවත් ප්‍රජාතන්ත්‍රවාදී අරගලයක් කිසි විටෙක ෆැසිට්වාදයක් ලෙස අර්ථකථනය කළ නොහැකිය. ජනාධිපති රනිල් එක් අතක් තරුණ අරගලකරුවන්ට දිගු කරමින් අනෙක් අතින් ඔවුන්ට පහර එල්ල කිරීමේ මානසිකත්වයකින් ක්‍රියාකරන බවට දැනටමත් සමහරු චෝදනා නඟති. මේ වන විට අරගලයේ සමහරුන් පසුපස හඹා යන බවද කියති. ජනාධිපති රනිල්ගේ දායකත්වයෙන් යුතු අතීත එජාප පාලන යුගවල රාජ්‍ය මර්දන ක්‍රියාකාරකම් සිදුවූ ආකාරය රහසක් නොවේ. ජයවර්ධන යුගයේ කුප්‍රකට මැර මෙහෙයුම් පිළිබඳ තිබෙන විවේචනද බැහැර කළ නොහැක.

මේ පසුබිම තුළ ජනාධිපති රනිල් ගාලුමුවදොර අරගලය සම්බන්ධයෙන් දක්වන ප්‍රතිචාර සිවිල් සංවිධානවල සැකයට භාජන වීමද ස්වාභාවිකය. එහෙත් දියවන්නාවේ දේශපාලනයට වඩා බෙහෙවින් කැළඹුණු දේශපාලනයක් අද ඉන් බාහිරව ක්‍රියාත්මක වන බවද සඳහන් කළ යුතුය. ගෝඨා ගෝ ගම අරගලයේ අව්‍යාජත්වය හා සත්‍යවාදී හඬ රාජපක්‍ෂවරුන්ටද මැඬලිය නොහැකි වූවකි. සාමකාමී අරගල, උද්ඝෝෂණ සිදුවීම හා ඒවාට වෘත්තිකයන් විද්වතුන් සහයෝගය දැක්වූ ආකාරයද රටම දනී. එනිසා ඒ අරගලය දෙස වපරැසින් බැලීම කිසිසේත් සිදු නොකළ යුත්තක් මෙන්ම එයින් රටට සිදුවිය හැකි විනාශයද බොහෝ විය හැකිය. එසේම අවසන් වූ මහජන අරගලයේ සෙවණ ලබමින් කවුරුන් විසින් හෝ ප්‍රචණ්ඩත්වය හා සාහසිකත්වය වපුරා තිබේ නම් ඔවුන්ට එරෙහිව නීත්‍යනුකූලව කටයුතු කිරීම ගැන කිසිවකුට විරුද්ධ වීමටද නොහැක.

කෙසේ හෝ අද මෙරටේ තිබෙන මූලික මහජන අභිලාෂය අරගලකරුවන් මර්දනය හෝ දේශපාලන ඩීල් ඇති කර ගැනීම හෝ නොව දුකට පත් රටත් ජනතාවත් ඉන් මුදාගැනීමය. රෝගී සමාජය නිරෝගී කිරීමය. ආණ්ඩුවේ ඉහළ සිටම කැප කිරීම්, අවංකව මැදිහත්වීම් සිදුවිය යුතුය. හැකි කෙටිම කාලයකින් මේ විකෘති දේශපාලනය නිවැරදි කිරීම සඳහා පිවිතුරු ජනවරමක් ලබා ගැනීමට උචිත සමාජ-ආර්ථික-දේශපාලන අභිවර්ධනයක් රටට ලබාදීමට ජනාධිපති රනිල් ශක්තිමත් වන්නේ නම් ඔහුගේ දේශපාලන වාර්තාව පින් පොතක් බවට පත්වනු කිසිවකුට වැළැක්විය නොහැකිය. අපි බලා සිටිමු.

ගාමිණී සුමනසේකර

advertistmentadvertistment
advertistmentadvertistment