රනිල්ගේ විජ්ජා සහ කංචනගේ ගැලවිජ්ජා !

220

විසඳුම් නැති සැලසුම් නැති හෙටකුත් නැති රටක්ද මේ?

ශ්‍රී ලංකාවේ ධර්මිෂ්ට සමාජයක් බිහිකරලීම සඳහා 1977 දී ඓතිහාසික ජනවරමක් ලබාගත් ජේ. ආර්. ජයවර්ධන අසාර්ථක වූවා පමණක් නොව, ඔහුගේ දේශපාලන ක්‍රියාන්විතය මෙරටේ සමාජ, ආර්ථික හා සංස්කෘතික පරිහානියේ සමාරම්භය ලෙසද සඳහන් කළ හැකිය. එසේම 2020 දී ලංකාව සෞභාග්‍යයේ දැක්මෙන් සපිරි දේශයක් බවට පත් කිරීම සඳහා සුවිශේෂ ජනවරමක් හිමිකර ගත් ගෝඨාභය රාජපක්‍ෂ ද අසාර්ථක වී ලංකාව බංකොලොත් රටක් බවට පත්කර තිබේ යැයි අද මෙරටේ බහුතර ජනතාව චෝදනා කරති. පසුගිය 05 වැනිදා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපති ගෝඨාභය අබියසදීම ඔහුගේ ආණ්ඩුවේ අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේත් ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීමට ගියේ සංවර්ධනය වෙමින් පවතින රටක් හැටියට නොව බංකොලොත් රටක් ලෙස බවය. එදා ජයවර්ධන පාලනයේ මුල් පෙළ නියෝජනය කළ රනිල් මෙදා ගෝඨාභය පාලනයේ අගමැතිවරයා ලෙස වඩාත් පරිණත හා ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයකුද වේ. එය එක්තරා ආකාරයකින් උත්ප්‍රාසනීය සිදුවීමක්ද වේ.

කෙසේ හෝ එදා (77) ඔහුගේ නායකයා වූ ජනාධිපති ජයවර්ධන මෙන්ම අද ඔහුගේ නායකයා වන ජනාධිපති ගෝඨාභය විවිධ සමාජ ක්‍රියාකාරීන්, වෘත්තිකයන්, ආගමික නායකයන් ඇතුළු බහුතර ජනතා විරෝධයකට ලක්ව සිටියි. එහෙත් ජයවර්ධන වසර 11කට ආසන්න කාලයක් විධායක ධුරය හෙබවීමටද සමත් විය. ගෝඨාභය මේ වනවිටත් එම ධුරයෙහි වසර දෙකකට වඩා ගෙවා නොතිබීමද විශේෂත්වයකි. ඒ පිළිබඳ තවත් බොහෝ කරුණු දැක්විය හැකි වුවද එය වෙනම සාකච්ඡා කළ යුතු තේමාවකි. අපගේ අවධානය යොමු වන්නේ ජනාධිපති ගෝඨාභය ප්‍රමුඛ ඔහුගේ කැබිනට් මණ්ඩල සගයන්ට මේ රට බංකොලොත්, අසාර්ථක රාජ්‍යයක් වීම වළක්වා ගත නොහැකි වූයේ කුමක් නිසාද යන ප්‍රස්තුතය කෙරෙහිය.

අගමැති රනිල්ගේ ප්‍රකාශයට අනුව ආණ්ඩුවේ ගමන් මග අතිශය දුෂ්කර හා අසීරු එකකි. එසේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සිදු කළ සාකච්ඡාවලදී පවා මේ රටේ බංකොලොත් තත්ත්වය ගැටලුවක් වී තිබේ. අපේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම හා තිරසරභාවය පිළිබඳ සැලසුම් වාර්තා ඔවුන්ට ඉදිරිපත් කර අනුමැතියද ලබා ගත යුතුය. එනිසා අපේ බලාපොරොත්තුවේ පැතුම තවමත් තිබෙන්නේ අත නොගෑවෙන දුරකය, නැතහොත් ඇසට හසු නොවනා මායිමකය. ඇත්ත වශයෙන්ම ඒ සඳහා ස්ථිරසාර ක්‍රියාමාර්ගයක්, සැලසුමක් මේ ආණ්ඩුවට තිබේද? අගමැති රනිල් එය මැනවින් වටහා ගෙන ඇති බව ඔහුගේ සමස්ත ප්‍රකාශය කියවා බලන විටද පැහැදිලිය. මැජික් හෝ විශ්වකර්ම ක්‍රම ඒ සඳහා නැති බවද ඔහු පිළිගෙන තිබේ. කුමක් වුවත් ඔහුගේ ප්‍රකාශයෙහි අලුත් අන්තර්ගතයක් හෝ ඒ ආර්ථික ඉලක්ක සපුරා ගන්නා සැලැස්මක් හෝ දක්වා නැත.

ඇමෙරිකානු සෙනෙට් සභාවේ විදේශ සබඳතා කමිටුව පසුගිය දිනක සඳහන් කළේ මෙරටේ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාදාමය සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු විය යුතු කරුණු තුනක් තිබෙන බවය. එනම් මහ බැංකුවේ ස්වාධීනත්වය, දූෂණ විරෝධී ක්‍රියාමාර්ග ශක්තිමත් කිරීම හා නීතියේ ආධිපත්‍ය සහතික කිරීම අත්‍යවශ්‍ය බවය. ඇත්ත වසයෙන්ම අදටත් මේවා නිසි අයුරින් සිදුවේද යන්න ප්‍රශ්නයකි. දේශපාලනඥයන්ගේ අවිධිමත් හා දූෂිත ක්‍රියාකාරකම් නිසා ශ්‍රී ලංකා මහ බැංකුවට සිදු වූ විනාශය රහසක් නොවේ. එහි අභ්‍යන්තර කතාව ජාත්‍යන්තර මූල්‍ය ආයතනය නොදැන සිටීමට හේතුවක්ද නැත. යහපාලන යුගයේ මෙන්ම රාජපක්‍ෂ පාලන සමයේදී හා අදත් මහ බැංකුව හැසිරවූ ආකාරය කිසිවකුට අනුමත කළ නොහැකිය. එහි වත්මන් අධිපති ආචාර්ය නන්දලාල් එම ක්‍ෂේත්‍රයෙහි ප්‍රාමාණිකයෙකි. එසේ වුවද මහ බැංකුව ස්වාධීන විය යුතුය යන්න මේ පාලකයන්ට සිහිපත් කර දී තිබේ. නීතියේ ආධිපත්‍යය හා දූෂණ විරෝධී ක්‍රියාමාර්ග ගැනද අපට තිබෙන වාර්තා කිසිසේත් යහපත් නැත.

රනිල්ගේ විජ්ජා සහ කංචනගේ ගැලවිජ්ජා !

දසක හතරකට නොඅඩු කාලයක් මුළුල්ලේ මෙරටේ දේශපාලනයේ කුප්‍රකට ලක්‍ෂණ වූයේ දූෂණය, අල්ලස, කොමිස් හා නාස්තියයි. මහා පරිමාණ ව්‍යාපෘතිවල සිට ග්‍රාමීය ප්‍රදේශවල ඉතා සුළු ඉදිකිරීම් පවා දූෂණයෙන් වැසී ගිය බව රටම දන්නා කරුණකි. ප්‍රාදේශීය සභා, නගර සභා, පළාත් සභා ආදී හැම ආයතන පද්ධතියම දේශපාලන දුගඳ හමන අශිෂ්ට, අශුද්ධ ක්‍රියාකාරකම්වල මූලස්ථාන බවට පත්ව තිබේ. මේ වනවිට පාර්ලිමේන්තු කෝප්, කමිටුවේදී පමණක් අනාවරණය වී තිබෙන දූෂණ, වංචා, නාස්ති කොපමණද? රටේ ආර්ථික ව්‍යසනයට ඒ දූෂිත නිලධාරි තන්ත්‍රයද වගකිව යුතුය. ඇත්ත වසයෙන්ම මෙරටේ සදාචාර සම්පන්න පාලන තන්ත්‍රයක් ගොඩ නංවනතුරු පවතින රාජ්‍ය සේවාවන් කිසිසේත් දූෂණයෙන් වංචාවෙන්, තොරවූ මහජන ආයතන බවට පත් කළ නොහැකිය. ඒ සඳහා අලුත් දේශපාලන සංස්කෘතියක්ද වුවමනාය.

වර්තමාන දේශපාලන සන්දර්භය හා එහි නියෝජනය තරුණයන්ගේ දැඩි විවේචනයට ලක්ව තිබෙන්නකි. මේ ආණ්ඩුවේ නායකයන්ට එල්ල වන විරෝධයට, එහි හරයාත්මක විවේචන කිසිවකට මෙතෙක් සාධනීය පිළිතුරක් හෝ ලබා දී නැත. මේ වනවිට සංවාදයට ලක්ව තිබෙන 22 සංශෝධනය අවුලකි. එහි සැඟව ඇත්තේ මෙම වැඩවසම් දේශපාලන සංස්කෘතියට රැකවරණ ලබා දීමේ අරමුණය. ගතානුගතික අවස්ථාවාදී කණ්ඩායම් ඒ ක්‍රමයෙහිම එල්ලී සිටීමට දරන විනාශකාරී ප්‍රයත්නය අද මේ රටට බාධාවක් වී තිබේ. අලුත් ප්‍රතිසංස්කරණවාදී දේශපාලනයක් ඉල්ලා සිටින ගාලු මුවදොර විරෝධතාකරුවන්ගේ ව්‍යාපාරයද බුද්ධිමය විද්වත් ප්‍රාමාණික දේශපාලන විශ්ලේෂකයන්ගේ සහායෙන් ඉදිරියට යා යුතුය.

අද මුළු රටම අකර්මණ්‍ය කරමින් පමණක් නොව සමාජ හා සංස්කෘතික සබඳතාවක්ද අර්බුදයට ලක්ව තිබෙන මූලික ප්‍රශ්නය ඉන්ධන අර්බුදයයි. අනෙක් බොහෝ ප්‍රශ්න එය සමග බැඳී තිබේ. ආණ්ඩුවට තවමත් කළමනාකරණය කර ගත නොහැකිවී තිබෙන ඒ ඉන්ධන අර්බුදයේ භයානක ප්‍රතිඵල පිළිබඳ නායකයෝ සංවේදී නොවෙති. ඔව්හු තවමත් ඒවා දේශපාලනික ගැඹුරකින් විමර්ශනය කිරීමට අපොහොසත්ව සිටිති. ඉමක් කොණක් නොමැතිව දිගු වන ඉන්ධන පෝලිම්වල යථාර්ථය මේ පටු දේශපාලඥයෝ වටහා නොගනිති. සාමාන්‍ය ජනයා දින තුන හතර පෝලිම්වල කඹුරති. ගැබිනි මවුවරු අසීරුවෙන් ඒ පෝලිම්වල විඳවන දර්ශන මොනතරම් දුක්මුසුද. ජනතාව එසේ දුක් උහුලද්දී ඔවුන්ගේ මහජන නියෝජිතයන්ගේ ඉන්ධන අවශ්‍යතාව වෙනම විසඳන රටක අපි ජීවත් වෙමු. ඉන්ධන පෝලිම්වල විපත් ගැන මෙතෙක් පාලකයන්ටවත් අවබෝධයක් ලැබී නැත. එහි මානුෂිකත්වයට අමතරව රටට ලැබී තිබෙන ආර්ථික විනාශය සුළුපටු නැත. මේ වනවිට රටට විශාල විනිමයක් ලබා දුන් ඇඟලුම් ක්‍ෂේත්‍රයද කඩා වැටෙමින් තිබේ. මහා පරිමාණ, හා සුළු පරිමාණ ව්‍යාපාර බහුතරයක්ම වැසී තිබෙන අතර ඒවායේ බොහෝ සේවකයන්ගේ රැකියාවද අහිමිවී හෝ එසේවීමට ආසන්නය.

මෙරටේ ඉන්ධන සැපයුමේ ඒකාධිකාරය තිබුණු ඛනිජ තෙල් සංස්ථාව අද දූෂිතම ආයතනයකි. 2002 දී ඔවුන්ගේ ඒකාධිකාරය බිඳ ඉන්දියානු තෙල් සමාගම්ද වෙළෙඳපොළට පිවිසියේය. තෙල් ජනසතුව මෙරටේ අතිශය විප්ලවකාරී පියවරක් වුවද එහි හොඳ නරක වෙනම ගැඹුරින් විමර්ශනය කළ යුතුය. කුමක් වුවත් අද තිබෙන වෙළෙඳපොළ ආර්ථිකයට අනුව රට මෙහෙයවන නායකයන් මේ ආයතන නිසි පරිදි කළමනාකරණය කිරීමට අසමත්ව සිටින බව නම් ඉතා පැහැදිලිය. නොමනා හා මුග්ධ දේශපාලන මැදිහත්වීම් නිසා ඉන්ධන අර්බුදය පමණක් නොව ප්‍රශ්න ගණනාවක් අද මතුවී තිබේ.

අගමැති රනිල් සිය විශේෂ ප්‍රකාශයේදී සඳහන් කළ ජනතා සම්පත් මහජන දේපළ නමැති පිරුවටයෙන් වැසී ගිය ආර්ථික විනාශය කිසිවෙකුට ප්‍රතික්ෂේප කළ නොහැකිය. ඒවා ජනතා දේපළ ලෙස හඳුන්වා සිදු වූ හා අදටත් සිදුවන විනාශය පිළිබඳ සත්‍ය කතාව අමිහිරිය. එය මුග්ධ දේශපාලන මෙහෙයුම්වල ඵලයකි. ශ්‍රී ලන්කන් ගුවන් සේවය අදටත් රටටම බරක් වෙමින් පොදුජන මුදල් වනසන යක්‍ෂයෙකි. ඉන්ධන හා විදුලිය ජාතික සම්පත් නමැති පිරුවටයෙන් වසා දේශපාලනඥයන් පමණක් නොව නිලධාරීන් වෘත්තීය සමිති නායකයන් ආදී විවිධ පුද්ගල මැදිහත්වීම් නිසාම රටට බරක් වූ ආයතන නොවේද? ජයවර්ධන පාලනයේ සිට රාජපක්‍ෂ යුග තෙක්ම මේ කිසිදු ආයතනයක් දශමයකින්වත් ඉදිරියට ගොස් නැත.

අගමැති රනිල් සිය ප්‍රකාශයෙන් තහවුරු කළ වර්තමාන ආරථික අර්බුදය මෙරටේ ජනතාව නොදන්නා දෙයක් නොවේ. ඔවුන්ට වුවමනා ඒ අර්බුදයේ ගොදුරු බවට පත් නොවී තම ජීවිත පවත්වා ගෙන යෑමය. මේ ආණ්ඩුවේම ආයෝජන ප්‍රවර්ධන ඇමැති ධම්මික පෙරේරා ජනමාධ්‍යයට පවසන්නේ මුදල් ඇමැති සමග මේ අර්බුදයට විසඳුම් සෙවිය නොහැකි බවය. ඔහු සෘජුවම පවසන්නේ රනිල්ගේ ගේම් අවසන් කළ යුතු බවය. මුදල් ඇමැති ධුරයෙන්ද ඔහු ඉවත්විය යුතු බව ඇමැති ධම්මික ප්‍රකාශ කර තිබේ. ඔහු ජනදුකට සංවේදී නොවන ආර්ථික සැලසුම් නැති අයෙක් බවද ධම්මික ඇමැති චෝදනා කරයි. ජනාධිපති ගෝඨාභයගේ ගැලවුම්කරුවන් දෙදෙනෙකු වන රනිල් හා ධම්මික අද ආණ්ඩුවේම ද්වන්ද සටනක නිරතව සිටිති.

මේ අර්බුද සියල්ල කේන්ද්‍රීය වසයෙන් දේශපාලනික වේ. ඒ දේශපාලන අර්බුදය විවිධ ක්‍ෂේත්‍ර ඔස්සේ උඩු දුවමින් තිබෙන්නකි. එහි බිහිසුණුම ක්‍ෂේත්‍රය ආර්ථිකය හා බැඳී තිබේ. එහිද අංශ ගණනාවක් තිබුණත් අද පළමුවෙන්ම විසඳාගත යුතු ඉන්ධන අර්බුදයයි. මේ සඳහා තවම ආණ්ඩුවට සැලැස්මක් නැත. ඉන්ධන ඇමැති කංචන ඒ අර්බුදයේම හිරවෙමින් දඟලයි. දසක කීපයක දූෂිත හා වංචනික නිලධාරි පාලනයත්, ඒ විෂය භාරව සිටි එකම ඇමැතිවරයෙකුට හෝ ඔවුන්ට එරෙහිව ක්‍රියා කිරීමට ශක්තියක් නොවූ බවත් ඉතා පැහැදිලිය. තරුණ ඇමැති කංචනට අද ඒ සියලු දූෂිත බලවේග සමගද ගැටීමට සිදුව තිබේ. ජාතික සම්පත් පිරුවටය යටට වී සිටින සියල්ලන්ටම තව දුරටත් එසේ සැඟවී සිටිය නොහැකිව තිබේ. ඔවුන්ට ඉඩ දිය යුතුද නැත.

කෙසේ හෝ අද යළිත් මතුව තිබෙන දේශපාලන සංවාදය ඉල්ලා සිටින්නේද මේ පාලනය වෙනස් විය යුතු බවය. ශ්‍රී ලංකා අමරපුර හා රාමක්‍ද්ක්‍ද සංඝ සභා දෙකම ඒකාබද්ධ ලිපියක් ජනාධිපති ගෝඨාභයට යවා සිහිපත් කර ඇත්තේද මෙයට පෙර ත්‍රෛනිකායික මහානාහිමිවරුන් විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවලිය ක්‍රියාත්මක කරන ලෙසය. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය වහාම බලාත්මක කරන ලෙසද මෙම හිමිවරුද අවධාරණය කරති. ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීනව සිටින විමල්ලා පවසන්නේද ආණ්ඩුව රටේ ප්‍රශ්න යට ගසන බවය. ඔහුගේ වචන උපුටා දැක්වුවහොත් මේ පාර්ලිමේන්තුව ගිනි කන්දක් මත ටෙනිස් ගසමින් සිටියි. එය සත්‍යයකි. උත්සන්න වන අර්බුද රැසක ගොදුරු බවට ජනතාව පත්ව සිටියදී පාර්ලිමේන්තුව රණ්ඩු කරන්නේ ඔවුන්ගේ න්‍යායපත්‍රය ගැනය. පාර්ලිමේන්තුවේ ඇමැතිවරුන්ට මෙන්ම මන්ත්‍රීවරුන් බහුතරයට ඒ ජන පීඩනය නොදැනේ. දින ගණන් දික්වන පෝලිම්වලට පොලිසිය හා ත්‍රිවිධ හමුදා යෙදවීම හැර මේ ඉන්ධන හිඟය විසඳීමට ආණ්ඩුවට නොහැකි වී තිබේ. ඉන්ධන පෝලිම් මේ ආණ්ඩුවේ නොහැකියාවේ ප්‍රතිඵලයකි. ජනතා කෝපය අසාධාරණ නැත. ඒ පෝලිම්වල නීති කඩන කීපදෙනෙක්ද සිටිති. එහෙත් බහුතර පිරිස වරප්‍රසාද රහිත ජනතාවය.

ආණ්ඩුව මෙහෙයවන හමුදාවේ උසස්ම නිලධාරියකු විසින් ඒ පෝලිමක සිටි අයෙකුට දැක්වූ ම්ලේච්ඡ ප්‍රහාරය මේ වනවිට මුළු රටේම පිළිකුලට ගර්හාවට පාත්‍ර වූවකි. රණවිරුවන් රැක දුන් මේ දෙරණ අද මුග්ධ මිලිටරිකාර මානසික නිලධාරීන් පහරන ස්ථානයක් වී තිබේ. ඒ ලුතිනන්වරයාගේ හැසිරීම අපේ දිවයින දිනපතා කතු වැකියකින්ද හෙළාදැක තිබුණි. හමුදාවල ගෞරවනීය හා මානුෂීය ගුණ සුවඳ අපි අප්‍රමාණව විඳ ඇත්තෙමු. අපි ඔවුන් වෙනුවෙන් පෙනීසිට ඇත්තෙමු. එය වෙනම කතාවකි. එහෙත් නිරායුධ අහිංසක ජනතාවට පහර දීම තුච්ඡ වැඩක් බව යළිත් අවධාරණය කරමු.

මේ රට බංකොලොත් බවට පත් කිරීමේ වගකීම මේ ආණ්ඩුව මෙන්ම ඊට පෙර පැවති ආණ්ඩුවලටද පැවරේ. මේ පාර්ලිමේන්තුවට මේ කිසිම ප්‍රශ්නයක් විසඳීමට නොහැකි බවද රහසක් නොවේ. ජනාධිපති ගෝඨාභය තවමත් කල් බලන්නේද මොන ක්‍රමයකින් හෝ මේ පාලන තන්ත්‍රය අටවා ගෙන යෑමටය. එහෙත් ඔහුගේ කණ්ඩායම දුබල පිරිහුණු හා අකාර්යක්‍ෂම බහුතරයකින් යුතු එකකි. මේ රටේ මහනාහිමිවරුන් ප්‍රමුඛ විවිධ ක්‍ෂේත්‍රවල විද්වත් විචාරශීලී වෘත්තිකයෝද ජනාධිපති ප්‍රමුඛ මේ පාලනය හෙළාදකිති. එසේ වුවද රට දේශපාලනිකව අරාජික නොවන සර්ව පාක්‍ෂික හෝ කෙටි කාලීන අන්තර්පාලනයක් පිළිබඳ යෝජනාවක්ද ඇත. රාජ්‍ය නායකයා නම්‍යශීලී නොවන, තමන් වහන්සේලාට සවන් නොදෙන බව මහානාහිමිවරුම පවසති. අද අර්බුදය විසඳීමට හොඳම කුඩා කණ්ඩායමක් තෝරා ගන්නා ලෙසද මහනාහිමිවරු අනුශාසනා කරති. ඒ ඇමැතිවරුන් 15කින් යුතු කෙටි කාලීන පාලන තන්ත්‍රයකි. ඉන් පසු මහ මැතිවරණයකට යා යුතු බවද පෙන්වා දෙයි.

මේ රට ඉදිරියට යෑමට නම් ඒ වෙනස අනිවාර්යයෙන්ම සිදුවිය යුතුය. ගතානුගතිකත්වයෙන් රෝගී වූ දේශපාලන මානසිකත්වයට එරෙහිව නැඟුණු ගාලු මුවදොර අරගලය නිවැරදිය. එය එම ක්‍ෂේත්‍රවල ප්‍රාමාණික හා විද්වත් අයගෙන් සුපෝෂණය විය යුතු ව්‍යාපාරයකට මුල පුරා තිබේ. එහෙත් එය මතුපිටින් දකින අය තවමත් හිතන්නේ එය ඇච්චන්, පැච්චන් රංචුවකගේ වැඩක් ලෙසය. එහෙත් එය ඔවුන්ගේ දැනීමේ හා විමර්ශනයේ සීමා විය හැකිය. මෙටේ දේශපාලනය තවමත් ජ්‍යෙෂ්ඨ පරපුරක බූදලයකි. සමහරුන්ට අනුව එය මහලු මඩමකි. එහි මානසික වසයෙන් පමණක් නොව ශාරීරිකවද දුබල වූ බල දේශපාලන ප්‍රේත භූමියකට නොදෙවැනි බවද ඔව්හු පෙන්වා දෙති. එහි සත්‍යයක් තිබේ. තරුණ අරගලය ඒ දේශපාලන බලකොටුව බිඳ දැමීමය. අලුත් ව්‍යවස්ථාවකින් ඒ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය තහුවරු කරන ලෙස ඔව්හු ඉල්ලා සිටිති.

දැන් අවධානයට ලක්ව තිබෙන 22 වන සංශෝධනය ඒ අභිනව දේශපාලන සංස්කෘතියට විවර වන කුඩා අවකාශයකි. කුමක් වුවත් දැන් ඒ පිළිබඳ කෙරෙන විවේචන යහපත් නැත. එය ජනතා විරෝධය මැද මෙම දේශපාලනයෙන් විසිවීගිය, එහෙත් තවමත් එහි දොරකඩ හරස්කර ගෙන සිටින රාජපක්‍ෂවරුන්ට ලබා දෙන රැකවරණයක් බවටද විවේචනයක් ඇත. ඇමති විජයදාස විසින් ගෙන එනු ලබන්නේ දියාරු, බෙලහීන සංශෝධනයක්ද යන්න එය ඉදිරිපත් වූ විට රටටම දැක බලා ගත හැකිය. මොනවා වුවත් මේ ජරපත් ක්‍රමය රැකීමට කෙරෙන දේශපාලන විජ්ජා, ඇස්බැන්දුම් කිසිවකින් ජනතාව රැවටිය නොහැකි බව පමණක් බලලෝභී නායකයන්ට කිව යුතුය.

ගාමිණී සුමනසේකර

advertistmentadvertistment
advertistmentadvertistment