රනිල්ට සහාය දෙන තීරණය ගත්තේ වට්ස්ඇප් මගින් සියලු දෙනා දැනුවත් කරලා

245

පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයෙක් කියයි

පාර්ලිමේන්තුවේදී ජනාධිපති ධුරය සඳහා ඉදිරිපත්වී සිටින වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තෝරාපත්කර ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගෙන තිබෙන තීරණය තවදුරටත් වලංගු බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙක් ‘දිවයින’ට ඊයේ (17 දා) පැවසීය.

පක්‍ෂය විසින් තීරණය කිරීමට පෙර පක්ෂයේ සියලුම සාමාජිකයන් වෙත වට්ස්ඇප් මාර්ගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා තෝරාපත්කර ගැනීමට පක්‍ෂය තීරණය කළ බවත් කිසිවෙකු ඊට විරුද්ධ නම් දන්වන ලෙස දැනුම් දුන් බවත් එම ප්‍රකාශකයා කීය.

සියලු දෙනා එම වට්සැප් දැනුම්දීම විවෘත කර බලා ඇතැමුන් එම තීරණයට එරෙහිව මාධ්‍යයට අදහස් දක්වා තිබෙන බවත් එම කීප දෙනාට පක්ෂ සමාජිකයන් කැඳවූ ස්ථානයට පැමිණ ඔවුන්ගේ මතය ප්‍රකාශ කිරීමට අවස්ථාව තිබූ බවත් ඔහු කීය. පක්ෂයේ තීරණය ගත්තේ පක්ෂයේ කනිෂ්ඨයන් නොව පක්ෂයේ ප්‍රධානීන් බවත් පැවසූ එම ජ්‍යෙෂ්ඨයා එම ස්ථානයට නොපැමිණි පක්ෂයේ දැනට සිටින ඇමැතිවරුන් දෙදෙනෙක් පක්ෂයේ තීරණයට සුළු සංශෝධන කරන ලෙස ඉල්ලා තිබූ අතර පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් එකඟතාවය පළකර එම සංශෝධන සිදු කළ බවත් ඔහු කීය. පක්‍ෂයේ දැනට අමාත්‍ය ධුරයක් නොදරන එහෙත් මෑතක් වනතෙක් ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙක්ව සිටි අයෙක් පක්ෂයේ මතයට විරුද්ධව එම ස්ථානයට නොපැමිණ අදහස් දැක්වුවත් ඔහුද පසුව පක්‍ෂයේ මතයට එකඟවූ බව ද එම ප්‍රකාශකයා කීය. මෙම සාකච්ඡාවට පක්ෂයේ සභාපති ජී. එල්. පීරිස් මහතා සහභාගි නොවූ බවත් ඩලස් අලහප්පෙරුම මහතා රෝහල් ගතවීම නිසා නොපැමිණි බවත් ඔහු කීය.

මෙම අවස්ථාවේ රට පත්වී තිබෙන ආර්ථික අර්බුදය සියලුදෙනාම තේරුම් ගෙන රට ස්ථාවර කිරීමට හැකි අයෙකුට අවස්ථාව ලබාදිය යුතු බවත් එයට දැනට ඉදිරියෙන්ම සිටින්නේ රනිල් වික්‍රමසිංහ මහතා බව ද ඔහු කීය. එය තේරුම් නොගෙන සමාජ මාධ්‍ය හරහා අරගල කරන පිරිස්ගේ වුවමනාවන්වලට කටයුතු කිරීමට ගියහොත් ලිබියාව, ඊජිප්තුව, ඉරාකය ඇතුළු රටවල්වලට ඇතිවී තිබෙන ඉරණම අපේ රටටද අත්විය හැකි බව ද එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment