රනිල් ඉලක්ක කරගත් අපහාසාත්මක ප්‍රකාශ එජාපය තරයේ හෙළා දකිනවා

193

රුවන් විජයවර්ධන

ඉකුත් ජනාධිපතිවරණයෙන් පසුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉලක්ක කරමින් අඛණ්ඩව අපහාසාත්මක දුස් තොරතුරු රැසක් සමාජගත කරමින් තිබෙන තත්ත්වයක් පෙනීයන බවත් එකී පදනම් විරහිත ප්‍රකාශ තම පක්ෂය තරයේ හෙළා දකින බවත් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා අවධාරණය කරයි.

අටවන විධායක ජනාධිපතිවරයාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී ඇතුළු සෙසු ආරක්ෂක නිලධාරීන්ට නම් කරන ලද පොලිස් කොට්ඨාස වෙත වහාම ක්‍රියාත්මක වන පරිදි වාර්තා කරන ලෙස ඔක්තෝබර් 06 වැනිදා ලිඛිත නියෝග ලබාදී ඇති බව සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරය වූ නමුත් මේ වන විට වැඩබලන පොලිස්පතිවරයා එම පුවත ප්‍රතික්ෂේප කර ඇති බවද ඒ මහතා සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (07 දා) කොළඹදී මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදුකරමිනි.

එසේම කිසිදු අවස්ථාවකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ජනාධිපති මන්දිරය පෞද්ගලික පරිහරණය සඳහා යොදා නොගත් බවත් එය භාවිත කළේ නිල රාජකාරි කටයුතු සඳහා පමණක් බවත් පෙන්වා දුන් ඒ මහතා සුඛෝපභෝගී ආහාර සහ විදේශීය සූපවේදීන්ගේ සේවය ලබාගැනීම සම්බන්ධයෙන් සිදුකරන ප්‍රකාශ ද අසත්‍ය මෙන්ම මුළුමුනින්ම දේශපාලන වෛරයක් පිරිමසා ගැනීම සඳහා කරනු ලබන පහත් ගණයේ ප්‍රකාශ පමණක් බවද පැවසීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment