අද දින රාජ්‍ය සේවයට 47 වසරක්
සපිරෙන වරාය, නාවික හා ගුවන්
අමාත්‍යාංශයේ උපදේශක
ඊ. ඩී. ද එස්. ඉන්ද්‍රසේකර
අද 2023 වර්ෂයේ ජුනි මස 4 වෙනිදාය. උතුම් පොසොන් පෝදාට පසුදා ය. හරියටම මීට වසර 47කට උඩදී උදා වූ ජූනි මස 4 වෙනිදා ඊ. ඩී. ද එස්. ඉන්ද්‍රසේකර යන නාමය රාජ්‍ය සේවයට එකතු විණි. වෙනත් අයුරකින් කියනවා නම් 1976 වර්ෂයේ දී රාජ්‍ය සේවයට සම්බන්ධ වූ ඉන්ද්‍රසේකරයන් අද සිය 47 වැනි සන්ධිස්ථානය සමරන්නේ ය. තවත් වසර තුනකින් ඔහු අර්ධ ශතකය සපුරන්නේ ය. ඒ සමගම හේ තිරිහන් වන්නේය. නෙක යුග ගණනාවක් ඔහු පසුකරමින් පැමිණ තිබේ. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය, ගාමිණී දිසානායක, රණසිංහ ප්‍රේමදාස, රනිල් වික්‍රමසිංහ, මෛත්‍රීපාල සිරිසේන, මහින්ද රාජපක්ෂ සහ ඝෝඨාභය රාජපක්ෂ යන ජනනායකයන් සමීපව ඇසුරු කර ඔවුන්ගේ හිත හොඳ දිනා ගැනීමට ඔහු සමත් වේ. මේ අඩසියවසකට ආසන්න රාජ්‍ය සේවයේ ඔහු තරම් අත්දැකීම් ඇති අයකු සොයා ගන්නට අපහසුය. වයස 55 හෝ 60 පිරෙනකම් ඇඟිලි ගනිමින් සිට සිය වෘත්තියට ටටා බායි කියන්නට බලාගෙන සිටින රාජ්‍ය සේවකයන්ට ඉන්ද්‍රසේකරයන්ගේ කතාව මහත් ආදර්ශයකි. 1952 වර්ෂයේ ගාල්ල බූස්ස ගමේ දෙසැම්බර් මස 11 වැනිදා උපත ලද ඉන්ද්‍රසේකරයන් මේ ගෙවමින් සිටින්නේ ඔහුගේ ජීවන කඩඉමේ 71 වැනි කඩුල්ලයි. පසුගිය සඳුදා ඔහු අපට හමු වූයේ කොළඹ දීය. ඊට පෙර දින තුන තුළ ඔහු ගෙවා පැමිණි දුර කිලෝමීටර් හය හත්සියයක් තරම් වේ. බදුල්ල, අම්පාර සහ පොළොන්නරුව ආදී ප්‍රදේශවල රාජකාරි කටයුතු ඒ දිනවල ඔහුට පැවරී තිබුණි. එහෙත් වෙහෙසකර ස්වභාවයක් නම් ඔහුගෙන් පෙනුනේ නැත.
ඉන්ද්‍රසේකර මහත්තයාට මහන්සි නැද්ද මේ විදිහට වැඩ කරන්න යැයි අපි ඔහුගෙන් විමසුවෙමු.
“හිතේ හයිය සහ වැඩ කිරීමේ ආශාව තියෙනවා නම් මොනවද කරන්න බැරි. වයස කියන්නෙ ඉලක්කමක් විතරයි. දැනටත් මම උදේ 4.00 ට අවදි වෙලා තමයි වැඩ පටන් ගන්නෙ. හැබැයි මීට වසර ගණනකට පෙර මම උදේ 3.00 ට නැගිට්ටා. ඒ විදිහට කැපවීමෙන් මම එදා ඉඳන් වැඩ කළා. ඒ වැඩ කරපු තැන්වල මැති ඇමැතිවරු විතරක් නෙවෙයි පුංචි මිනිහා පවා තාමත් මට ආදරෙයි.
ගාල්ල ශ්‍රී මේධංකර විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ ඉන්ද්‍රසේකරයන් 1972 වසරේදී විශ්වවිද්‍යාල වරම් ලබන්නේය. සරසවියේදී ඔහු දේශපාලන විද්‍යාව හදාරන්නේ ය.
“ගෙදර ඉඳන් ඉස්කෝලෙට ගියේ රේල් පාර දිගේ. හැබැයි ඉතින් පාරෙන් පිට පැනලා ගඩා ගෙඩි කන්නත් අපි පුරුදු වෙලා හිටියා. ඒ කාලේ හරිම සුන්දරයි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ආවහම ගොඩක් යාලුවෝ හම්බවුණා. සරසවි ප්‍රතිඵල එන්නත් කලින් රස්සා කිහිපයකටම ඉල්ලුම්පත් දැම්මා.
පොල් සහ තේ මණ්ඩල දෙකටමත් නීතිපති දෙපාර්තමේන්තුවට සහ මහජන බැංකුවටත් රස්සා ඉල්ලමින් අයැදුම් කළ ඉන්ද්‍රසේකරයන් තේ පොල් සහ මහජන බැංකුවත් අතහැර නතර වූයේ නීතිපති දෙපාර්තමේන්තුවේ නීති ලිපිකරුවකු ලෙසිනි. වැටුප රුපියල් 250කි.
“මගේ මුල්ම පඩිය තමයි ඒ. ඒ කාලේ 250ක් කියන්නේ ලොකු ගාණක්”
අද කාලේ හොඳ හාල් කිලෝ එකක් ගන්න බැරි පඩියකට ඉන්ද්‍රසේකරයන් එදා රාජ්‍ය සේවයට බැඳුණි. නීතිපති දෙපාර්තමේන්තුවට මේ අලුත් නීති ලිපිකරු රැකියාවට බැඳුනේ එකල නීතිපතිව සිටි ශිවා පසුපති නීතිපතිවරයා යටතේය. එකල ඔහුට දැන අඳුන ගන්නට ලැබුණු පුද්ගලයන් අතරින් එක් අයෙක් දැන් මේ රටේ ජනාධිපති ය. තවත් අයෙක් වරාය හා නාවික කටයුතු ඇමැතිය.
“එතකොට මම කොල්ලා කාලේ. රනිල් වික්‍රමසිංහ, ලලිත් ඇතුලත්මුදලි, නිමල් සිරිපාල සහ ගාමිණී දිසානායක යන මහත්වරු එකල නීතිඥයන් ලෙස නිතර නීතිපති දෙපාර්තමේන්තුවට එනවා යනවා. එහෙම ආවහම ඔවුන් සමග මගේ හිතවත් කම් ඇති වුණා. අදටත් ජනාධිපතිතුමාට ඒ ගැන මතකයි.”
මීට වසරකට පමණ උඩදී ඇති වූ අරගලය හේතුවෙන් රට පුරා නිවාස සියයකට ආසන්න සංඛ්‍යාවක් ගිනි ගත්තේය. ජනාධිපතිවරයාගේ නිවසට ගිනි තැබිණි. ජනාධිපතිවරයා පරිශීලනය කළ අමිල වටිනාකමකින් යුතු පතපොත ද එහිදී ගිනිබත් විය. ඒ අතර ඉන්ද්‍රසේකර මහතා රනිල් වික්‍රමසිංහ මහතාට තිළිණ කළ සමරු ඡායාරූපයක්ද වූයේය. රනිල් වික්‍රමසිංහ මහතා පළමු වරට අගමැති ධුරයට පත් වූ අවස්ථාවේ ජාතික සී සෑමේ මංගල්‍යයට සහභාගිවී සිටියදී ගත් එම ඡායාරූපයේ ජනාධිපතිවරයාගේ දකුණු අත පැත්තෙන් සිටින්නේ ඉන්ද්‍රසේකර මහතා ය. ඇමැතිවරුන් වූ ගාමිණී අතුකෝරළ සහ එච්. ජී. පී. නෙල්සන් යන මහත්වරුද ඒ අතර වෙති. ජනාධිපතිවරයා කොළ පාට සරමක් ඇඳ එය උඩට නවා කොළ පාට ඉරි වැටුණු කමිසයකින් සැරසී නැකතට කුඹුරට බසිද්දී ඔහු සමග එකට සිටියේ ඉන්ද්‍රසේකර මහතාය. ඔහු ද මේස් බැනියමකින් සහ සුදු සහ කොළ පැහැති සරමකින් සැරසී කුඹුරට බැස්සේය. එකල අගමැතිවරයා සමග ගත් එම ඡායාරූපය ඉන්ද්‍රසේකර මහතා පසු කලෙක රාමු කළේය. ඉන් එකක් තමා තියා ගත්තේ ය. අනෙක් ඡායාරූපය වත්මන් ජනාධිපතිවරයාට ලබා දී තිබුණි. අරගල ප්‍රතිඵල මත ගිනිගෙන ඇවිලුණු එම සමරු ඡායාරූපය වෙනුවට තවත් ඊටත් වඩා ප්‍රමාණයෙන් ලොකු ඡායාරූපයක් ඉන්ද්‍රසේකර මහතා අතින් පසුගියදා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට ලබා දී තිබුණි.
“ඒ දවස මට තාම මතකයි. එතුමා අගමැති ධුරයට පත් පළමු අවස්ථාව තමයි ඒ. ඔහු එකල තරුණයි. හැමෝම ජනාධිපතිවරයාට කියන කතාවක් තමයි එයා කොහෙද කුඹුරකටවත් බැහැලා නෑනෙ කියලා. මහවැලි ව්‍යාපාරය ආශ්‍රිතව කුඹුරු අස්වැද්දීමේ කටයුතුවල එකල අගමැති වූ අද ජනාධිපතිවරයා නියැළී සිටියා. මේ තියෙන්නෙ ඒවාට සලකුණු තමයි. කුඹුරට බැහැලා මඩ සෝදා ගත්ත ඔහු ඇත්තටම අන්තිමේදී රජ වුණා. මට ඒ අවස්ථාවට සම්බන්ධ වෙන්න ලැබුණේ උපාධිධාරීන් ස්ථාපනය කිරීමේ වැඩපිළිවෙළ යටතේ යි. රනිල් වික්‍රමසිංහ මාතා තමයි උපාධිධාරීන් ස්ථාපනය කිරීමේ වැඩසටහන මුලින්ම පටන් ගත්තේ. දේශපාලන විද්‍යාව උපාධි ධාරියෙක් ලෙස ඒ සඳහා සම්බන්ධවීමට මටත් අවස්ථාව උදා වුණා.”
නීතිපති දෙපාර්තමේන්තුවේ රැකියාව ඉන්ද්‍රසේකර මහතාගේ ජීවිතයට ලැබුණු වරමක් විය. ඔහු එකල හැඳිනගත් රනිල් වික්‍රමසිංහ මහතා අද මෙරට ජනාධිපතිය. ගාමිණී දිසානායක මහතා මෙරට විශාලතම සංවර්ධන ව්‍යාපාරය වන මහවැලිය ඇති කළේය. නිමල් සිරිපාල ද සිල්වා ඇමැති ධූර රාශියක් දැරූ අද වන විට වරාය, ගුවන් හා නාවික කටයුතු අමාත්‍යධුරයේ කටයුතු කරන්නේ ය.
“2012 වසරේදී තමයි මට විශ්‍රාම ගන්න තිබුණේ. ඒත් නිමල් සිරිපාල ද සිල්වා ඇමැතිවරයා මගේ රාජ්‍ය සේවයේ කල් ක්‍රියාව ගැන හොඳ අවබෝධයකින් හිටියේ. ඒ නිසා එතුමා කිව්වා ඉන්ද්‍රසේකර මහත්තයට නම් යන්න දෙන්න බෑ කියලා. එහෙම කියලා එතුමා මාව මහවැලි ව්‍යාපාරයේ උපදේශකයකු ලෙස පත් කළා. ඊට පසුව ප්‍රවාහන ඇමැතිවරයාගේ පෞද්ගලික ලේකම් ලෙස පත් කළා. ඊටත් පසුව අධිකරණ අමාත්‍යාංශයේ සහ කම්කරු අමාත්‍යාංශයේ උපදේශකවරයකු ලෙස පත්වීම් ලැබුවා. දැන් වරාය, ගුවන් හා නාවික කටයුතු අමාත්‍යාංශයේ උපදේශක භූමිකාව තමයි මගේ රාජකාරිය.”
නීතිපති දෙපාර්තමේන්තුවෙන් නික්මෙන ඉන්ද්‍රසේකර මහතාගේ ඊළඟ පියවර වන්නේ මහවැලි ව්‍යාපාරය යි. මහවැලි නිර්මාතෘ ගාමිණී දිසානායක මහතාගේ කාරුණික ඉල්ලීම මත අපේ කථානායකයා ඊළඟට නතර වන්නේ මිල්ලත්තෑව නම් අති දුෂ්කර ගම්මානයක ය.
“ඒක මහවැලි ‘සී’ කලාපයට අයත් ගම්මානයක්. ගිරාඳුරුකෝට්ටේ තමයි මිල්ලත්තෑව පිහිටා තිබුණේ. ඒ ගමේ පවුල් 250ක් පදිංචි කර ඔවුන් බලා ගැනීම තමයි මගේ එහි රාජකාරිය වුණේ.” “යුනිට් මැනේජර්” ලෙස එය නම් කර තිබුණා. අහිංසක දුප්පත් මිනිස්සු. ඔවුන්ට නිවසක් හදලා දෙනවා කියන්නෙ මහා විශාල පිනක්. ගාමිණී දිසානායක මහතාට පින්සිදු වන්නට මටත් ඒ පිනට දායක වෙන්න හැකි වුණා. සත්තු සර්පයන්ගෙන් පිරුණු මහ ඝන වනන්තර එළිපෙහෙළි කරල අපි ජනාවාස ඇති කළා. පාසල් හැදුවා. ඒ ළමයින්ගේ ජීවිත එළිය කළා. මම හිතන්නේ ඒ පිනෙන් තමයි මගේ දුවලා දෙන්නා මහාචාර්යවරුන් සහ ආචාර්යවරුන් වුණේ. ඉන් ලොකු දුව ඇමෙරිකාවේ මහාචාර්යවරියක්. හැබැයි මේ හැම දේටම මට අත දුන්නේ මගේ බිරිඳ මාලනී චන්ද්‍රලතා. ඇය නොහිටින්න ඉන්ද්‍රසේකරට මෙතරම් ලොකු ගමනක් එන්න වෙන්නේ නැහැ.”
1989 භීෂණ කාලයේදී මෙන්ම මදුරු මැසි කරදරවලින් ජනතාව පීඩාවට පත් වුණු මැලේරියාව වසංගත කාලයේ දී ද එම අසරණ ජනතාව තනි කර ඔහු කොළඹ නොඑන්නේ ය. මැලේරියාව හැදී වෙව්ල වෙව්ල පණ ගැටගහගන්න දඟලන අසරණ මිනිසුන්ට එකල තිබූ ලොකුම හයිය ඉන්ද්‍රසේකර මහතාගේ හොඳ හිතය. ඒ දුක් කම්කටොළු විඳගෙන ඔවුන්ගේ වුවමනා එපාකම් සපුරමින් ඉන්ද්‍රසේකරයන් මහවැලි ගම්මානවලම රැඳුණේය. ඔවුන්ට අවශ්‍ය හාල් තුනපහ බෙහෙත් හේත් ළං කර දුන් මේ ඉන්ද්‍රසේකර මහතා පිළිබඳව ගම්මුන් තුළ බැඳියාවකි. පෙරදා සවස තමා සමග කතා කරමින් සිටි හිතවතා පහුවදා ටයර් සෑයවල ගිනි දෙවියන්ට දිවි දෙද්දී එහෙමත් නැත්නම් ඔවුන්ගේ පණසුන් දේහයන් වැව්වල පාවෙද්දී ඉන්ද්‍රසේකර නම් මිනිසා ඒ භීෂණයෙන් ඉතුරු වුණු අමරණීය රාජ්‍ය සේවකයෙකි.
“ඒ කාලේ රාජ්‍ය සේවකයන් හොය හොය මැරුවේ.
කොටින්ම කොළඹටත් වඩා සැඟවුණු භීෂණයක් ඒ ප්‍රදේශවල තිබුණා. නිදා ගත්තට පහුවදාට නැගිටින්න පුළුවන් වෙයිද කියලා කාගෙවත් බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. අන්තිමට මාවත් ඒ භීෂණයේ ඉලක්කයක් වෙලා තිබුණා. පස්සේ තමයි ආරංචි වුණේ මගෙ පණ බේරිලා තියෙන්නෙ මං කරපු හොඳ වැඩ හින්දා කියලා. අපේ ගමේ ජනතාවගෙන් මං ගැන හොයලා බලනකොට ඔවුන් කියලා තිබුණා අපෝ ඒ මහත්තයා හරිම හොඳ මහත්තයෙක් මොකුත් කරන්න එපා කියලා.”
මෙසේ කලක් ගත වනවිට ඉන්ද්‍රසේකර චරිතය මහවැලි ගම්මානවල ඉතා ජනප්‍රිය චරිතයක් වූයේය. ඒ ජනාදරය, ජනප්‍රියත්වය සහ ආකර්ශනය පසුපස එන දේශපාලනයෙන් ගැලවීමට ද ඉන්ද්‍රසේකර මහතාට නොහැකි වුණි. එකල එක්සත් ජාතික පක්ෂ ප්‍රබල දේශපාලන හස්තයක් වූ පී. දයාරත්න මහතාගේ ආරාධනය සහ ගාමිණී දිසානායක මහතාගේ ආශිර්වාදය ඇතිව 1989 වසරේදී අම්පාරෙන් ඡන්දය ඉල්ලූ ඉන්ද්‍රසේකර මහතා ඡන්ද 18,000ක් ලබාගෙන තිබුණි.
“මම තවත් පාරක් ඡන්දෙට ඉදිරිපත් වුණා. ඒත් මට හිතුණා ඒ දේශපාලනය ඇති කියලා. දේශපාලනයට වඩා රාජ්‍ය සේවය හරහා ජනතාවට වැඩක් කරන්න පුළුවන් කියලා මම හිතා ගත්තා. තමන්ගේ සේවය සඳහා එන සෑම අයකුටම සමානාත්මතාවෙන් සලකන්න රාජ්‍ය සේවකයන් දැනගන්න ඕන. බලය, ධනය සහ තනතුරෙන් උඩඟු වෙන්න හොඳ නැහැ. එය රාජකාරියට එහා ගිය දේවකාරියක් ලෙස සලකා තමයි මම වැඩ කළේ. එහෙම නොවුණා නම් මට මෙතරම් හොඳ ගමනක් එන්න ලැබෙන්නෙ නැහැ. මේ රාජකාරියේ දී ලබන ආත්ම තෘප්තිය සල්ලි කෝටියකට වඩා වටිනවා. මා ඉපැයූ ධනය එයයි.”
ඒ වගේම මගේ වෘත්තීය ජීවිතයේ ලද විශාල අවස්ථාවක් තමයි
රඹකැන්ඔය ජලාශය භාර ව්‍යාපෘති කළමනාකරු ලෙස පත්වීම.
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඒ සඳහා මාව පත් කරනු ලැබුවා. වසර එකහමාරක් ඇතුළත ඒ කටයුතු නිම කරන්න අපට හැකි වුණා. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් එම ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කළා. ඇත්තටම වසර එකහමාරක් කියන්නේ ඉතා කෙටි කලකින් තමයි අපි එම ජයග්‍රහණය ලැබුවේ. ඒ පිළිබඳව තවමත් නිහතමානී සතුටක් මගේ හිතේ තියෙනවා.
ඉන්ද්‍රසේකර මහතා සුසුමක් හෙලමින් අප දෙස බලයි. ඔහුගේ මතකය අතීතය සමග ගැටෙමින් ඇත. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණි ඒ අනගි අවස්ථාවේදී ද මෝදි අගමැතිවරයාට අතපත දී සුබ පැතුම් එක් කිරීමට ඉන්ද්‍රසේකර මහතාට හැකිවීම ඔහුගේ ජීවිත කාලයේදී ලත් මහත් භාග්‍යයක් ලෙස ඔහු සලකන්නේ ය.
“අපේ රටට වැරදුණු තැනක් තමයි ජාතික ප්‍රතිපත්තියක් නොමැති වීම. කවුරු බලයට ආවත් ජාතික ප්‍රතිපත්තියක් හදන්න උනන්දු වුණේ නැහැ. ඒ නිසා ජනතා මුදල් අපතේ ගියා. අද බලයට එන පුද්ගලයා පහුගිය ආණ්ඩුවේ පටන් ගත්ත වැඩසටහන් නතර කරනවා. ඒවා ඉදිරියට කරගෙන යන්නේ නැහැ. කවුරු කළත් හොඳ දේවල් අගය කරන්න ඕන. ඒ වගේම තමයි අපේ රටේ දූෂණය වංචාව ඉහවහ ගිහින් තිබෙන්නේ. ඒ නිසා මේ රට හදන්නම බැරි තත්ත්වයට පත්වෙලා.”
මොකක්ද ඉන්ද්‍රසේකර මහත්තයෝ ඒ වෙනුවෙන් කරන්න තියෙන්නේ?
“අපි හැමෝම අවංකව රට වෙනුවෙන් හිතලා වැඩ කරන්න ඕන. විශේෂයෙන් රාජ්‍ය සේවකයන් දූෂණය කියන වචනය සිය වෘත්තියෙන් ඉවත් කරන්න ඕන. දේශපාලකයන් ද ජනතාවට මීට වඩා ආදරේ වෙන්න ඕන. හැමෝම අපිට තියෙන්නේ මේ රට විතරයි වෙන රටක් නැහැ කියලා වැඩ කළොත් මේ රට දියුණු කරන එක ලොකු දෙයක් නොවෙයි. මහවැලි වැනි දැවැන්ත සංවර්ධන ව්‍යාපාර ගොඩනැඟුණේ මේ පින් බිමේ තමයි. දණ්ඩක් බිම ඇන්නත් පැළවෙන සශ්‍රීක පොළොවක ජීවත්වෙන්න අපි වාසනාවන්ත වී තිබෙනවා. හැබැයි අපි ඒ සම්පත්වලින් නිසි ප්‍රයෝජන ලබා ගෙන තිබෙනවා ද කියන එක ප්‍රශ්නයක්.
සාකච්ඡා කළේ
කුෂාන් සුබසිංහ,
චමින්ද සිල්වා