රනිල්- ඩලස් ජනපති සටනේ අරගලයේ භූමිකාව…!

263

මේ රටේ ජනතාවගෙන් 69 ලක්ෂයක් ඡන්දය දුන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඉවත්ව යන්නටත් ඉන්පසුව බලයට පත් වූ වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ව්‍යවස්ථානුකූල ජනාධිපති බවට පත් වන්නටත් වැඩි දිනක් ගත ව ගියේ නැත. සති දෙකක් තුළ ඒ සියල්ල සිදුවී හමාර විය.

මේ සති දෙක ගැන අපේ රටේ දේශපාලන කරළියේ විවේචන නම් බොහෝය. අදහස් උදහස් ද බොහෝය. කයි-කතන්දර මෙන්ම විස්තර ද තවම බොහෝය. ඒවා අතරින් තීරණාත්මක සිදුවීම් කිහිපයක් මා මෙසේ විස්තර කර කියන්නට කැමැත්තෙමි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගිය පසුව ජනාධිපති ධුරයේ වැඩ බලන්නට පත්වූ රනිල් වික්‍රමසිංහට බරපතළ අභියෝග රැසකට මුහුණ පාන්නට සිදුවිය. පාර්ලිමේන්තුව ඇතුළෙන් දේශපාලනාත්මකව පැමිණි ප්‍රතිරෝධයන්ට අමතරව අරගලකරුවන්ගෙන් එල්ල වූ තර්ජනය හා ප්‍රතිරෝධය සුළුපටු නොවීය. විරෝධය කොතරම් ප්‍රබල වුවත් වැඩබලන ජනපති රනිල් වික්‍රමසිංහ මේ සෑම තැනකදීම තම ආරක්ෂාවට ලබා ගත්තේ මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන මේ රටේ මූලික නීතිය තමන් දිවිහිමියෙන් ආරක්ෂා කරන බව ඔහු සෑම තැනකදීම ප්‍රකාශ කළේය. ප්‍රකාශ කළා පමණක් නොව, ඒ අනුව ක්‍රියා කළේය.

● වැඩබලන ජනපති කැබිනට්ටුව අරියි…

වැඩබලන ජනාධිපති පසුගිය 15 වන සිකුරාදා හැන්දෑවේ සිය ප්‍රථම කැබිනට් මණ්ඩල රැස්වීම පැවැත්වූයේ ස්ලීඩා ආයතනයේය. ඇමැතිවරුන්ට හා මන්ත්‍රීවරුන්ට පසුගිය දිනවල පුද්ගලික වාහනවලින් වත් පාරේ ගමන් බිමන් යෑමට නොහැකි අනාරක්ෂිත පරිසරයක් ඒ වන විට අරගලකරුවන්ගේ ක්‍රියාකාරකම් නිසා රට තුළ නිර්මාණය වී තිබිණි. ජනාධිපතිවරයාට අයත් පුද්ගලික නිවස පවා අරගලකරුවන් විසින් ගිනිබත් කර තිබීම හේතුවෙන් ජනාධිපතිවරයාටත් ඉන්න හිටින්නට තැනක් නැති අන්දමේ පරිසරයක් නිර්මාණය වී තිබිණි. ජනාධිපතිවරයාගේ අදහස වූයේ ඉතාමත්ම ඉක්මනින් රටේ මූලික නීතියට පටහැනිව ගෙන යන මේ අරගලකාරීන්ගේ ක්‍රියාකාරකම් පාලනය කර ගත යුතු බවයි.

රනිල් මේ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩල රැස්වීමේදි සාකච්ඡා කරනු ලැබීය. සාකච්ඡාව සඳහා රටේ ආරක්ෂක ලේකම්වරයා ඇතුළු ආරක්ෂක ප්‍රධානීන් ද පැමිණ සිටියහ. ව්‍යවස්ථාවට පිටින් මේ රටේ සිදුකෙරෙන විවිධ අන්දමේ නීති විරෝධී ක්‍රියාකාරකම් පාලනය කිරීමට අවශ්‍ය පියවර ගැනීමට ඇති බාධාවන් ගැන ඔහු ආරක්ෂක ප්‍රධානීන් ගෙන් කරුණු විමසා සිටියේය. රටේ හදිසි නීතිය හා අවශ්‍ය ප්‍රදේශවලට ඇඳිරි නීතිය පනවමින් රටේ ආරක්ෂාව තහවුරු කිරීම ගැන අවශ්‍ය උපදෙස් ජනාධිපතිවරයා ඉතා දැඩි ස්ථාවරයක සිට ප්‍රකාශයට පත් කළේ මෙහිදීය. ඒ සඳහා ක්‍රියාත්මකවීමට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා ඇතුළු කමිටුවක් ද පත් කළේය.

කැබිනට් සාකච්ඡාව සඳහා මහාචාර්ය ජී. එල්. පීරිස් ඇමැතිවරයා ද පැමිණ සිටියහ. කැබිනට් මණ්ඩල සාකච්ඡාවේදි ජනාධිපති රනිල් විශේෂ කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ඇමැතිවරුන්ගේ අවධානය යොමු කළේය. ඉන්ධන ගෙන්වා බෙදා හරින හා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය දෙන්නා බෙදාහැරීම සම්බන්ධයෙන් තිබෙන ගැටලු ගැන ඔහු විශේෂයෙන් සාකච්ඡා කළේය. දැනට එහි තිබෙන ප්‍රගතිය සොයා බැලීය.

මහ බැංකු අධිපතිවරයා හා මුදල් අමාත්‍යාංශ නිලධාරීන් විශේෂයෙන් මැදිහත් වී කරගෙන යන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ලෝක බැංකුව අතර තිබෙන සාකච්ඡා ගැන මෙහිදී ඔහු ඇමැතිවරු දැනුවත් කළේය. එහි අලුත් තත්ත්වය පැහැදිලි කළේය.

තෙවනුව වැඩබලන ජනාධිපතිවරයා අවධානය යොමු කළේ පාර්ලිමේන්තුව රැස් කර මීළඟ ජනාධිපතිවරයා පත්කර ගැනීම ගැනය. තමන් එම ජනාධිපති සටනට ඉදිරිපත් වන බව පෙන්වා දුන් වැඩබලන ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ බහුතරයකගේ කැමැත්ත අනුව එය සිදු කරන ආකාරය ගැන ඇමැති මණ්ඩලය සමග සාකච්ඡා කළේය. පක්ෂ නායකවරුන් සමග කරන ලද සාකච්ඡාවේ දී ඇතිකරගත් එකඟතාව පරිදි ලබන අඟහරුවාදා නාමයෝජනා කැඳවා බදාදා ඡන්දය පවත්වන බව ජනාධිපති රනිල් මෙහිදී පෙන්වා දුන්නේ ඒ වන විටත් ජනාධිපති තරගයට නම් කීපයක්ම යෝජනා වී තිබෙන නිසාය.

මෙම සාකච්ඡාව යන අතරතුර මනූෂ නානායක්කාර හා හරීන් ප්‍රනාන්දු යෝජනාවක් ඉදිරිපත් කර සිටියහ. ඔවුන් යෝජනා කළේ මේ වෙලාවේ රන්ජන් රාමනායකට ජනාධිපති සමාව දී නිදහස ලබාදීම ඉතා වටිනා කටයුත්තක් බවය.

ජනාධිපති රනිල් ඒ සම්බන්ධයෙන් කල්පනාකාරී වූවා මිස කලබල වී අදහස් පළ කරන්නට ගියේ නැත.

රටට වැදගත් බොහෝ කරුණු සාකච්ඡා කළ එම කැබිනට් රැස්වීම ඉතා ඉක්මනින්ම අවසන් විය. කැබිනට් සාකච්ඡාවෙන් අනතුරුව වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයේ ස්ථිර කිරීම සම්බන්ධයෙන් ඇමැතිවරු අතර සාකච්ඡාවක් ඇතිවිය.

මහාචාර්ය ජී. එල්. පීරිස් තම පක්ෂයේ සහයෝගය ලබාදෙන්නේ ඩලස් අලහප්පෙරුමට බව එම අවස්ථාවේදී සෘජුවම කියා සිටියේය. එහෙත් ඒ වන විටත් රටේ ලොකු ආන්දෝලනයක් ඇතිව තිබුණේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම ජනාධිපති තේරීම සඳහා පවත්වන පාර්ලිමේන්තු ඡන්දයේදී තම පක්ෂයේ සහයෝගය ඩලස්ට නොව රනිල්ට ලබාදෙන බවට පොදුජන පෙරමුණේ ලේකම්වරයා ප්‍රකාශ කර තිබීම නිසාය.

පසුගිය සෙනසුරාදා වන විට ජනාධිපති ධුරය සම්බන්ධයෙන් විවිධ අදහස් සමාජයේ පැතිර ගොස් තිබිණි. ඒ වන විට රනිල් වික්‍රමසිංහ එම ධුරයට තරග කරන බව පැහැදිලි කරුණක් විය. ඊට ප්‍රතිපක්ෂව ඩලස් අලහප්පෙරුම ඇමැතිවරයා ද තරග කරන බව නිවේදනය වී තිබිණ. ඊට අමතරව සමගි ජන බලවේගය වෙනුවෙන් සජිත් ප්‍රේමදාසත් ජාතික ජන බලවේගය වෙනුවෙන් අනුර කුමාර දිසානායකත් තරග කිරීමට බලාපොරොත්තු වන බව ප්‍රසිද්ධවී තිබිණි.

● පොහොට්ටුව ඇතුලේ ජනපති සටනක්…

පසුගිය සතිය වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළාන්තයේ ප්‍රධාන මත දෙක සම්බන්ධයෙන් ලොකු මත බෙදීමක් ඇති විය. මාදිවෙල පිහිටි නිවාස සංකීර්ණයේ නිවාසයක දී මේ පිළිබඳව ලොකු සාකච්ඡාවක ඇති විය. ඩලස්ට සහයෝගය ලබා දෙන මන්ත්‍රීවරුන් මෙන්ම වැඩබලන ජනාධිපති රනිල් ජනාධිපති කළ යුතුයැයි යෝජනා කරන මන්ත්‍රීවරු ද මෙහිදී තර්ක කරන්නට පටන් ගත්හ.

“රනිල් කියන්නේ විශ්වාස කරන්න පුළුවන් කෙනෙක් නෙවෙයි. එයාව ජනාධිපති කරලා රාජපක්ෂවරු ආරක්ෂාව පතනවා නම් ඒක විහිළුවක්. ඔයාට ජාත්‍යන්තරයෙන් ලැබෙනවා යැයි කියන සහයෝගය තවමත් සහතික වෙලා නෑ.”

“ඕක නෙවෙයි අපිට තියෙන ප්‍රශ්නය. අපේ මන්ත්‍රීවරු 58 දෙනෙකුගේ ගෙවල් ගිනි තියලා තියනවා. දේපල විනාශ කරලා තියෙනවා. මන්ත්‍රීවරුන්ට පාරට බැහැලා ගමනක් බිමනක් යන්න නිදහසේ ඉන්න බැරි තත්ත්වයක් ඇති කරලා තියෙනවා. කොළඹ දී මේ දේවල් කරන්නේ අරගලකරුවෝ කියලා වෙනම පිරිසක් උනාට ගම්වල දී මේවට මැදිහත් වෙලා ඉන්නේ සෘජුවම සමගි ජන ජනබලවේගයේ හා ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෝ. විශේෂයෙන්ම සජබෙ ආධාරකරුවන් අද අපේ ගම්වල මිනිස්සුන්ට අරගලයේ නාමයෙන් හිරිහැර කරනවා. ඩලස්ට සහයෝගය දුන්නොත් එයා අගමැති කරන්නේ සජිත්ව. සජිත් අගමැති වුණොත් අපේ මිනිස්සුන්ට මොකද්ද ගම්වල ඇතිවෙන තත්ත්වය. එහෙම නම් අපට ගමට යන්නත් බෑ, ගමේ අපේ මිනිස්සුන්ට ඉන්න බෑ. අපට මේ ත්‍රස්තවාදී අරගලයෙන් රට බේරගන්න ඕන. එහෙම නම් ඒකට නියම සුදුස්සා රනිල් වික්‍රමසිංහ විතරයි.”

මේ තර්කය දිගින් දිගටම ඇදී යද්දී කොළඹ ස්ථාන ගණනාවකම තව තවත් සාකච්ඡාවන් පැවැත්වෙමින් තිබිණි. ඒ වෙන විට බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් කොළඹ බත්තරමුල්ලේ නෙළුම් මාවත තුළ ද මෙහෙයුම් කාර්යාලයක් ක්‍රියාත්මක වෙමින් තිබුණේ රනිල් දිනවීමට ය. රනිල් වික්‍රමසිංහ ජනාධිපති කරවීම සඳහා මෙහෙයවෙන සටනේ ප්‍රධාන මෙහෙයුම් මූලස්ථානය වූයේ කොළඹ වජිර අබේවර්ධනගේ නිවසයි. ජනාධිපති රනිල්ට තම නිවස අහිමි වීම නිසාත් ප්‍රධාන මෙහෙයුම් සඳහා අවශ්‍ය සියලු පහසුකම් වජිරගේ නිවසේත් තිබුණ නිසාත් පසුගිය සතියේ ජනාධිපති රනිල් වැඩිපුරම රැඳී සිටි ස්ථානය වූයේත් වජිරගේ නිවාස යයි.

මේ අතර තමන් වෙනම ඉල්ලනවා ද එසේ නැත්නම් ඩලස් අලහප්පෙරුමගේ පිලට සහයෝගය දෙනවාද කියා අවබෝධයක් ඇති කර ගනීමට වෙනම සාකච්ඡා වටයක් පැවැත්වෙමින් තිබිණි. ඩලස්ට ජනාධිපතිකම දරන්නට ඉඩ දී අග්‍රාමාත්‍ය ධුරය සජබයට ගැනීම එහි ඉදිරිපත් වූ ප්‍රතිඵලදායක අදහසක් විය. එසේ වුවහොත් නිතැතින්ම සර්ව පාක්ෂික ආණ්ඩුවක් සෑදෙන බවට සමගි ජන බලවේගය ඇතුලේ ඒකරාශී වී සිටින බොහෝ පක්ෂවල නායකයින්ගේ අදහස වූහ.

මේ අතර පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහට කථාකොට ස්තූතියක් පළ කර සිටියහ. ඔවුන් ස්තුති කර සිටියේ පසුගිය දිනවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට පාරට තොටට බහින්නට බැරි මට්ටමට අරගලකරුවන් සමාජයේ නීතිය අතට ගෙන ක්‍රියා කරන්නට පටන් ගෙන තිබියදී ඊට එරෙහිව නීතිය ක්‍රියාවේ යොදවන්නට වැඩබලන ජනාධිපතිවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගත් එඩිතර ක්‍රියාමාර්ගය නිසා ය.

● දයාසිරි – මෛත්‍රී මතයට දුමින්දගේ විරෝධය…

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භූමිකාව ද මෙහිලා ඉතා වැදගත් කැපී පෙනෙන එකක් විය.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පහුගිය සතිය ආරම්භයේ රැස්වුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ජනාධිපතිවරණය සම්බන්ධයෙන් තම මතය කුමක්දැයි සාකච්ඡා කළහ.

මුලින්ම පක්ෂ නායකයාගේ තීන්දුව වූයේ ඡන්දය දීමෙන් වැළකී සිටීම නුවණට හුරු බවකි. ඒ සඳහා ඔහු විවිධ හේතු කාරණා කියන්නට විය.

රාජපක්ෂවරුන්ට යටත් නොවන, රුහුණෙන් බිහි වූ තවත් පොදු ජනතාවගේ දේශපාලනඥයෙකු වන ඩලස්ට සහාය නොදෙන්නේ මන්දැයි කියා තර්කයක් ද මතු විය.

““අපි මේ වෙලාවේ පැත්තක් ගන්න හොඳ නෑ. අපි ඉන් එහාට හිතලා බුද්ධිමත්ව කටයුතු කරන්න ඕන. ඇයි බැරි අපිට මේ වෙලාවේ ස්වාධීන කණ්ඩායමක් විදියට කටයුතු කරන්න….” මෛත්‍රීපාල මෙන්ම දයාසිරි ද කරුණු දක්වන්නට වූහ.

මේ වෙලාවේ දුමින්ද දිසානායක කතා කළේය. ඔහුගේ සහායට ලසන්ත අලගියවන්න ද කතා කලේය.

“ඇයි අපි මතයක් නියෝජනය කරන්නේ නැත්තේ. ඩලස් නරක මිනිහෙක් නෙවෙයි. එයා හොඳ අවංක බුද්ධිමත් නායකයෙක්. හැබැයි මේක ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරලා රටේ නීතිය තහවුරු කරන්න ඕන වෙලාවක්. මේ වෙලාවේ අපි තෝරා ගත යුත්තේ සුදුසුම කෙනා. ඒ කෙනා නම් රනිල් වික්‍රමසිංහ.” දුමින්ද ඉදිරිපත් කළ එම අදහස ලසන්ත ද අනුමත කරමින් කතා කළේය.

මධ්‍යම කාරක සභාවේදී ඒකමතිකව තීන්දුවක් ගන්නට නොහැකි විය. එසේ වුවත් ප්‍රසිද්ධ වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙහිදී ස්වාධීනව කටයුතු කරන බවය.

එහෙත් ඇතුළාන්තයේ පැවැති සාකච්ඡාවන්වල නිමාවක් නොවීය. දයාසිරි, මෛත්‍රී, ශාන් විජයලාල් වැන්නවුන් රනිල් වික්‍රමසිංහට කිසිලෙසකත් සහාය දැක්විය යුතු නැතැයි යෝජනා කළහ. ජගත් පුෂ්පකුමාර, රංජිත් සියඹලාපිටිය වැනි කීප දෙනෙක්ගේ අදහස එළියට ආවේ ම නැත. දුමින්ද, ලසන්ත, චාමර සම්පත්, නිමල් සිරිපාල, මහින්ද අමරවීර වැනි තවත් කීපදෙනෙක් රනිල් දිනවිය යුතු බව කීහ. එහෙත් පක්ෂයෙන් නිල මතය වූයේ ස්වාධීන වීමයි.

පසුගිය සඳුදා දිනය මේ අයුරින් පැවති සාකච්ඡාවන් රාශියකි. ඒවායේ ප්‍රතිඵලයක් හැටියට අඟහරුවාදා වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන මතය තරමක් වෙනස් මගක් ගත්තේය. ඊට බලපෑ තවත් හේතුවක් තිබිණි.

සඳුදා දිනයේ ඩලස් අලහප්පෙරුමගේ පාර්ශ්වය හා සමගි ජන බලවේගය අතර පැවති සාකච්ඡාවන්හි ප්‍රතිඵලය පැමිණියේ තරමක් හවස් වීය. ඔවුන් දෙගොල්ලෝ සාකච්ඡා කළේ බලය බෙදා ගැනීමේ ව්‍යුහයක් තනා ගැනීම සඳහාය. ඒ අනුව ඩලස් අලහප්පෙරුම ජනාධිපති ලෙස ඉදිරිපත් වන්නටත් සජිත් ප්‍රේමදාස එම ආණ්ඩුවේ අගමැති ලෙස ඉදිරිපත් වන්නටත් එකඟතාවක් ඇති විය. ඒ අනුව සජිත් ජනාධිපති සටනින් ඉවත් වන්නට තීන්දු විය.

සජිත් ජනාධිපති තරගයෙන් ඉවත් වන්නට තීන්දු කිරීමත් සමඟම සජිත්ගේ සහයෝගය ඩලස්ට ලැබීම නිසා පාර්ලිමේන්තුවේ ලොකු ඡන්ද ප්‍රමාණයක් ගොඩගැසෙන ස්වාභාවයක් පෙන්නුම් කළේය. මේ නිසා රටට හැඟී ගියේ ඒ වන විට රනිල්ට සහාය දෙන පාර්ශ්වය පරදවා ඩලස්ගේ කණ්ඩායම විශාල බලයකින් ඉදිරියට පැමිණ ඇති බවකි.

අඟහරුවාද හවස වන විට හකීම්ලාගේ මුස්ලිම් බලවේග ද එක එල්ලේම ඩලස්ට ඡන්දය ලබා දෙන බවට විශ්වාසය පළ කර තිබිණි. කඳුකරයේ දෙමළ පක්ෂ ද ඒ වන විට සිටියේ ඩලස්ට පක්ෂපාතව ය. රිෂාඩ් බදුර්දීන්ගේ ඡන්දය මෙන්ම නැගෙනහිර නැගෙනහිර පළාතේ මුස්ලිම් නායකයින්ගේ ඡන්දද ඩලස්ගේ ගොඩට එක්කාසු වන බව පැහැදිලි විය.

මෙම පසුබිම තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පමණක් ස්වාධීන වීමේ පලක් නැතැයි ඇතැම්හු තර්ක කළහ. එතන දී ඇති වූ තර්කයෙහි ප්‍රතිඵලයක් වශයෙන් පක්ෂයේ මහ ලේකම් දයාසිරි නිවේදනයක් කළේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහයෝගය ඩලස් අලහප්පෙරුමගේ පාර්ශ්වයට ලබාදෙන බව ඔහු කියා සිටියේය.

අඟහරුවාදා රාත්‍රිය වන විට මුළු රටම පාර්ලිමේන්තුවේ ජනාධිපතිවරණ ඡන්දය නිසා උණුසුම්ව තිබිණි. එතෙක් දිනක් එම සටනේ වාසිය රනිල් වික්‍රමසිංහගේ පැත්තට බරව තිබුණත් අඟහරුවාදා සවස වන විට එහි බර සම්පූර්ණයෙන්ම ඩලස්ගේ පැත්තට කරකැවී ගොස් තිබිණි. සියලු කුඩා කණ්ඩායම්වල සහයෝගය ඩලස්ට බව මාධ්‍ය මගින් හෙළිදරව් විය. ශ්‍රීලනිපයේ මතය ඩලස්ගේ පැත්තට බරව ප්‍රකාශ විය. සමාජ මාධ්‍ය තුළින් ද ඩලස්ගේ පැත්තට වාසිදායකව මත ප්‍රකාශ වෙමින් තිබිණි.

මේ ගැන සාකච්ඡා කරන්නට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු නැවත වරක් එක්වී කතා බහ කළහ. මෛත්‍රීපාල සිරිසේනගේ ග්‍රෙගරි පාරේ පිහිටි නව නිවසේ එම සාකච්ඡාව පැවැත්විණි.

එහිදී රටේ තත්ත්වය හා පක්ෂයේ නව ස්ථාවරය ගැන නායකයා පැහැදිලි කිරීමක් කළේය. එහෙත් දුමින්ද ඇතුළු තවත් කීපදෙනෙක් තමන් රනිල් වික්‍රමසිංහට සහයෝගය දෙන බව එකහෙළා ප්‍රසිද්ධ කිරීමත් සමඟම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ ද යම් බෙදීමක් ඇති බව පැහැදිලි විය.

ග්‍රෙගරි පාරේ පැවති එම සාකච්ඡාවෙන් අනතුරුව දුමින්ද දිසානායක ඇතුළු කණ්ඩායමක් කොළඹ වජිර අබේවර්ධනගේ නිවසට ගොස් රනිල් වික්‍රමසිංහ සමග සාකච්ඡා කළහ.

“ඔබතුමා රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන්න. නීතිය හා සාමය ආරක්ෂා කරන්න. අපි ඔබතුමාත් එක්ක ඉන්නවා.” දුමින්ද ඇතුළු පිරිස ප්‍රකාශ කර සිටියහ.

● ආරක්ෂාව හා නීතිය රනිල්ට වාසිදායක වෙලා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු රාශියක් ඩලස් අලහප්පෙරුම ඇමැතිවරයාගේ ළඟම මිතුරන් වූහ. එහෙත් ඔවුන්ට මෙහිදී තීන්දුවක් ගන්නට සිදුව තිබුණි. පොහොට්ටුව ඇතුළාන්තයේ මේ පිළිබඳ පැවති සාකච්ඡාවක දී මේ ගැන ප්‍රසන්න රණතුංග අපූරු පැහැදිලි කිරීමක් කළේය.

“මම දන්නවා. මේ තරඟයට පැමිණිලා ඉන්න වැඩබලන ජනාධිපතිතුමා අපගේ මිත්‍රයෙක් නෙවෙයි. මුල ඉඳලම එතුමා අපේ විරුද්ධ පාර්ශ්වයේ කටයුතු කරපු කෙනෙක්. හැබැයි එතුමා අපේ ආරක්ෂාව තහවුරු කරන්න මේ වෙලාවේ පැමිණිලා ඉන්නවා.

පහුගිය දවස්වල අපිට එළියට බහින්න තත්ත්වයක් රටේ තිබුණේ නැහැ. අරගලකාර ත්‍රස්තවාදීන් නීතිය අතට අරගෙන තිබුණ නිසා. රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැතිකමේ ඉඳලා වැඩබලන ජනාධිපතිකම භාර අරගෙන මුලින්ම කළේ මේ රටේ ආරක්ෂාව හා නීතිය තහවුරු කරපු එක. ඒ නිසා නීතිය, ආරක්ෂාව හා රට ගැන හිතලා අපි කාටත් අද අකැමැත්තෙන් වුණත් අපේ මිත්‍රයෙකුට විරුද්ධ වෙන්න වෙලා තියෙනවා. ඒ ඔබගේත් මගෙත් මිත්‍රයා ඩලස් අලහප්පෙරුම. මුල පටන්ම ඔහු අපේ මිත්‍රයෙක්. අපේ සහෝදරයෙක්. හොඳ මහත්තයෙක්. අවංක බුද්ධිමත් නායකයෙක්. කිසිම දූෂිත චෝදනාවක් නෑ.

ඒ වුණාට එතුමා මේ වෙලාවේ ඉන්නේ එතුමා ජනාධිපති වෙලා සජිත් ප්‍රේමදාස අගමැති කරවන ස්ථාවරයක. අපිට ඒකට එකඟ වෙන්න බෑ.”

“මම මේ ගැන ඩලස් ඇමැතිතුමා එක්ක කතා කරනවා.” නිමල් ලන්සා කීවේය.

ලන්සා ඩලස් සමඟ කතා කළේය. ඔහු ඩලස්ට යෝජනාවක් ඉදිරිපත් කර සිටියේය.

“මේ වෙලාවේ ඔබතුමා දැන් වුණත් පරක්කු නෑ. ඔබතුමා එන්න අපේ පැත්තට. ඔබතුමා අගමැති අපේක්ෂකයා විදිහට ඉදිරිපත් වෙන්න. රනිල් වික්‍රමසිංහට ජනාධිපතිවරයා විදිහට තහවුරු වෙන්න ඉඩ දෙන්න. ඔබතුමා අගමැති වුණොත් අපි කාටත් සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදා ගන්න හරිම ලේසියි. ඒකට තවමත් වෙලාව තියෙනවා.” එහෙත් ලන්සාගේ යෝජනාව පල දැරුවේ නැත.

අඟහරුවාදා උදේ නාමයෝජනා ඉදිරිපත් කරන්නට සියල්ල සූදානම්ව තිබිණි.

මොන මොන යෝජනා ආවත් අවසානයේ විය යුතු දේ සූදානම් වී තිබිණි.

ජනාධිපති තරගයට රනිල්ගේ නම යෝජනා කිරීමට පවා එම පාර්ශ්වයේ දැඩි තරගයක් තිබිණි. නම යෝජනා කිරීම දිනේෂ්ට පැවරිණි. ස්ථිර කිරීමට චාමර සම්පත් ඉදිරිපත් විය.

ඒ අතර මනුෂට ආශු මාරසිංහ ගෙන් දුරකථන ඇමතුමක් ලැබුණි.

“සභානායකතුමා විදිහට දිනේෂ් නම යෝජනා කරාවි. ඔයයි ස්ථිර කරන්න…”

“කවුරු වුණත් කමක් නෑ. මට ඕන මේ වෙලාවේ අපේ මනුස්සයා ජනාධිපති වෙන එක විතරයි..”

“දැන් අයියේ නොම්බර කොහොමද ජීවන් ඇසුවේය.

“අපිට 130ක් විතර තියෙනවා. මනුෂ උත්තර දුන්නේය. ඒ මන්ත්‍රීවරුන්ගේ ගණන් සෑදීම ගැන ඇසූ ජීවන් තමන්ගේ සහාය රනිල්ට ලබාදෙන බව ප්‍රසිද්ධියේ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පැවසුවේය.

ඒ අතර හරින් මාධ්‍යයට පැමිණ මන්ත්‍රීවරුන් 130කට වැඩි සංඛ්‍යාවක සහාය ලබාගැනීමට හැකි බව කීවේ අනෙක් පාර්ශ්වයේ මාධ්‍ය මෙහෙයුමට අභියෝගයක් එල්ල කරමිනි.

මේ අතර රාත්‍රී දෙකට පමණ රනිල්ට දුරකතන ඇමතුමක් ගත් මනුෂ ඒ වන විට පවතින තත්ත්වය පැවසුවේය. මාධ්‍ය මෙහෙයුමෙන් තමන්ට අවාසියක් විය හැකිදැයි යන්න සොයා බැලු බව රනිල්ට මනුෂ කීවේය.

“බය වෙන්න එපා. මම ඒ සේරම බලාගන්නම්. රනිල් උත්තර දුන්නේය. ඡන්දය පැවැත්වෙන දිනයේදී රනිල් වජිරගේ නිවසින් ගියේ උදෑසන හතරට පමණය.

● හරීන්ගේ සංඥාව

මේ අතර ඡන්ද විමසීමෙන් පසුව ගණන් කිරීම ආරම්භ වන විට රනිල්ගේ නියෝජිතයා ලෙස එයට සම්බන්ධ වූයේ හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා ය. ඡන්ද ගණන් කරමින් තිබියදී රනිල්ගේ ගොඩ 113 පැන්නූ වහාම හරින් එක අතක් ඔසවමින් සංඥාවක් කළේය. 130 පැන්නූ පසුව අත් දෙකම ඔසවමින් සංඥාවක් දුන්නේය.

ඡන්ද ගණන් කිරීම අවසන් වූ වහාම හරින් පැමිණියේ මනුෂ සිටි දෙසටය.

“අපි දිනුම්’ හරින් මනුෂ බදාගෙන කීවේය.

ඉන් පසුව රනිල් ළඟට ගොස් හරින් සුබ පැතුවේය.

“සර් දිනුම්. ඡන්ද 134ක් සර් අරගෙන තියෙනවා” හරින් සුබ පැතුවේය.

මේ අතර ඡන්ද ගණන් කරන අතරවාරයේදී ප්‍රසන්න රණතුංග තමන්ගේ අසුනින් නැගිට ඡන්ද ගණන් කරන තැනට ඉස්සී බැලූවේය. තවත් විටකදී ඒ දෙසට ගමන් කිරීමට උත්සාහ ගත්තේය. දැඩි උනන්දුවකින් පසුවූ ප්‍රසන්න නැවත තමන්ගේ අසුනට යැවීමට පාර්ලිමේන්තු නිලධාරීන් අවස්ථා කිහිපයකදීම කටයුතු කළේය.

ඡන්ද ප්‍රතිඵල නිකුත් වූ පසු රනිල් විශේෂ කතාවක් කළේය. ඔහුගේ කතාව වඩාත් දිගු නොවූ සරල කෙටි එකක් විය. කතාව අවසානයේ ඔහු කථානායකවරයාගෙන් ඉල්ලීමක් කළේය. ඔහු කීවේ තමන්ගේ දිවුරුම් දීම සඳහා පාර්ලිමේන්තුවේ ඉඩකඩ සලසා දෙන ලෙසයි.

ජනාධිපති රනිල්ගෙන් පසුව ඩලස් අලහප්පෙරුම ද ඉතා හැඟුම්බර කථාවක් කළේය. ජනාධිපති අපේක්ෂක අනුර දිසානායක මෙහිදී ඉදිරිපත් කළේ තරමක විවේචනාත්මක අදහස් රැගත් කතාවකි. සජිත් ප්‍රේමදාස ද මෙහි දී කළ කථාව ගැන බොහෝ දෙනා කතා බහ කරනු ඇසිනි.

● ආරක්ෂාව ගැන ජනාධිපතිට ස්තුතිය

රනිල් පාර්ලිමේන්තු සංකීර්ණයෙන් පිටතට යන විට පාර්ලිමේන්තුවේ ආරක්ෂාවට යොදවා සිටි ආරක්ෂක අංශ සාමාජිකයෝ දැක වහාම වාහනය නතර කරන ලෙසට දැනුම් දුන්නේය.

එක් වරම වාහනයෙන් බැසගත් රනිල් ආරක්ෂක අංශ නිලධාරින්ට පාර්ලිමේන්තුවට ආරක්ෂාව ලබාදීම සම්බන්ධයෙන් ස්තුති කළේය. මේ රටේ නීතිය හා සාමය ආරක්ෂා කිරීම මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට

කැප වීම සම්බන්ධයෙන් ඔහු සෑම සෙබළෙකුට ම ඇසෙන සේ තැනින් තැනට ගොස් ස්තුතිය ප්‍රකාශ කිරීම විශේෂ කාරණාවක් විය.

ඡන්දයෙන් පසුව ජයග්‍රහණය වෙනුවෙන් තැන් කිහිපයකම රාත්‍රී භෝජන සංග්‍රහ සූදානම් කර තිබුණි. වජිරගේ ගෙදර එක් භෝජන සංග්‍රහයක් පැවති අතර නාමල්ගේ නිවසේ තවත් භෝජන සංග්‍රහයක් සූදානම් කර තිබුණි. මීට අමතරව තවත් තැන් කිහිපයකම භෝජන සංග්‍රහ සූදානම් වී තිබුණේය.

නාමල්ගේ නිවසේ තිබූ සාදයට ගිය ප්‍රසන්න රණතුංග ඇමැතිවරයාට මන්ත්‍රීවරුන්ගෙන් උණසුම් පිළිගැනීමක් ලැබුණේය.

“මේ ඉන්නේ මාස්ටර් ප්ලෑනර් තමයි’ මන්ත්‍රීවරු ප්‍රසන්නට කීහ.

“ඔබතුමා අගමැතිකම අරගන්න” මන්ත්‍රීවරු යෝජනා කළහ.

“ඒක හරියන්නේ නෑ. දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමාට අගමැතිකම දෙන්න ඕන” ප්‍රසන්න කීවේය.

අට වෙනි විධායක ජනාධිපතිවරයා ලෙස පාර්ලිමේන්තුවෙන් තෝරා ගනු ලැබූ රනිල් වික්‍රමසිංහයන් දිවුරුම් දෙනු ලැබූවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ය. පාර්ලිමේන්තුවේ දෙවෙනි මහලේ ජනාධිපති හා අගමැති කාර්යාල මැද පරිශ්‍රයේ දී චාම් හා අභිමානවත් අයුරින් දිවුරුම් දීමේ උත්සවය පැවැත්විණ්. සාම්ප්‍රදායිකව පැවැති කෙටි ත්‍රිවිධ හමුදා උත්තමාචාරයෙන් පසුව ජනාධිපතිවරයා දෙවන මහලට ගොස් අගවිනිසුරු ජයන්ත ජයසූරිය ඉදිරියේ දිවුරුම් දුන්නේය.

ජනාධිපති ධුරයේ දිවුරුම් දුන් රනිල් වික්‍රමසිංහ පළමුව ගියේ සිය සදාදරණීය බිරිඳ වූ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහයන් ළඟට ය. ඇය අසලට ගොස් හාදුවක් දෙද්දී රැස්ව සිටි පිරිසගේ නෙතට සතුටු කඳුළක් එක් වූවේ නිතැතිනි. අනතුරුව ඔහු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ආදී පක්ෂ නායකයන් අසලට යද්දී ඔහුගේ නෙත ගැටුණේ පාර්ලිමේන්තු බිත්තියේ එල්ලා තිබූ ඩී.එස්. සේනානායක හා එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක යන අගමැතිවරුන්ගේ ආලේඛ්‍ය චිත්‍රයන්ය.

මුලින්ම ඊට ආචාර කළ ජනාධිපතිවරයා හිටපු ජනාධිපතිවරුන් හා විපක්ෂ නායකවරුන් ඇතුළු පක්ෂ නායකයන් අසලට ගොස් ආචාර කරමින් කතාවට වැටුණේය. පැරණි කතා මෙන්ම ඉදිරි අර්බුද ගැනද ජනාධිපතිවරයා ඔවුන් සමඟ බොහෝ වේලාවක් කතා බස් කළේය. පාර්ලිමේන්තුවෙන් තෝරාගත් ජනාධිපතිවරයා ලෙස ඔහු පාර්ලිමේන්තුවේදීම දිවුරුම් දුන්නේ 45 වසරක පාර්ලිමේන්තු දිවිය ද සිහිපත් කරමිනි.

විපක්ෂ නායකවරයා ජනාධිපතිවරයා අසලට පැමිණි මුලින්ම අතිගරු (His Excellency) ලෙස ආමන්ත්‍රණය කොට පසුව “ඔබතුමා අතිගරු වචනය කියන්න එපා කියූ නිසා මම ඒක කියන්නේ නෑ.” යැයි කීවේය.

“මම අතිගරු වචනය තහනම් කර තිබෙන්නේ. ඒ නිසා ඔබතුමා ඒක කිව්වොත් තහනම් කරපු දෙයක් කීවා කියලා දඬුවම් විඳින්න වේවි.” යනුවෙන් කියද්දී සැවොම කොක් හඬලා සිනහසූහ.

“හැමෝගෙම යෝජනාව සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන්න කියන එකනේ. ඉතින් ඒකට අපි අවස්ථාව දෙනවා. මම හැමෝටම ආරාධනා කරලා තියෙන්නේ මේකට සම්බන්ධ වෙන්න කියලා. නමුත් රට පවත්වාගෙන යන්න ඕන හින්දා සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන තෙක් හිටපු ඇමැතිවරුම යළි භාරකාර රජයක් ලෙස දිවුරුම් දෙනවා.” ජනාධිපති කීවේය.

“ඉතින් අගමැති කවුද කියලා කිව්වේ නෑනේ.” නැවත මන්ත්‍රීවරු විමසුවේය.

“පාර්ලිමේන්තුවෙන් අගමැතිවරයා, ජනාධිපති ලෙස පත්වුණාම සභානායකවරයා, අගමැති කරන එක තමයි සම්ප්‍රදාය.” එසේ කියමින් ඔහු මන්ත්‍රීවරු දෙස බැලුවේ වෙනත් අදහසක් ඇති ද කියා දැනගැනීමට මෙනි.

“ජනාධිපතියි අගමැතියි දෙන්නම එකම ඉස්කෝලේ එකම පන්තියේ.” ආශු මාරසිංහ කියද්දී සභානායක දිනේෂ් ගුණවර්ධන කීවේ තවත් තනතුරුවල අපේ අය මේ විදියටම හිටියා කියාය.

“ඔව් සභානායක, විපක්ෂ නායක වගේම කථානායක වෙලත් මගේ පාසල් මිතුරෝ හිටියා.” ජනාධිපති කීවේය.

“කථානායක කවුද?” අසල සිටි අයෙක් විමසීය.

“ඇයි අනුර බණ්ඩාරනායක.” ජනාධිපති කියද්දී අමතක වූ දේ සැමට සිහිපත් වූවේ ඒ වෙලාවේදී ය.

දිවුරුමෙන් පසු ජනාධිපතිවරයා සිය මුල්ම රාජකාරිය ලෙස කළේ ආරක්ෂක අමාත්‍යාංශය වෙත ගොස් ත්‍රිවිධ හමුදාපතිවරුන් මුණ ගැසීමය. රටේ ආරක්ෂක තත්ත්වය

ගැන ඔවුන් සමඟ කතා බහ කළ ජනාධිපතිවරයා, සේනාධිනායකයා ලෙස රටේ ආරක්ෂාව පිළිබඳව ඔවුන්ට පැහැදිලිව උපදෙස් දුන්නේය.

advertistmentadvertistment
advertistmentadvertistment