රනිල් ඩලස් හා අරගලයේ ඇත්තෝ

263

මා ඩලස් හඳුනන්නේ 1992 පමණ සිට. රනිල් ගැන දන්නේ ඊට බොහෝ කලකට පෙර සිට. ඩලස්ගේ සහෝදරයකු කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ ඉගෙන ගත්තා. ඩලස් පුවත්පත්වල කර්තෘට ලිපි ලියමින් හිටි කාලයක ඔහු ලක්මිණේ ලේඛකයකු ලෙස බඳවා ගනු ලැබුවා. ඒ අනූ දෙකේ කියලයි මගේ මතකය. ඔහු ලක්මිණට බඳවා ගැනීමට මුල් වූයේ ගෙවිඳු කුමාරතුංග.

ඩලස් සාමාන්‍යයෙන් කියන විධියට වාමාංශිකයෙක්. ලක්මිණේ වාමාංශිකයන් කිහිප දෙනකු හිටියා. විමල් ද එකල ලක්මිණේ ලේඛකයෙක්. ඔහු ජ වි පෙ. ඔවුන් ජාතිකත්ව මතවාද පිළිගත් අය නො වෙයි. ඉතා කෙටියෙන් කියනවා නම් දෙමළ ජාතිවාදය සම්බන්ධයෙන් වම හා ජාතිකත්වය අතර වූ මතභේදය නිසා ලක්මිණ කඩා වැටුණා. පසුව ඩලස් විවිධ වමේ පත්තරවල වැඩ කළා. ඉන්පසු අයින්ස්ටයින්ගේ බසින් කිවුවොත් අප සියල්ලන්ගේ ලෝක රේඛා (world lines) එකිනෙක නිතර (කාලය සාපේක්ෂ වුවත්) හමුවුණා.

ඩලස් හිත හොඳ මිනිහෙක්. ඔහු මටත් උපකාර කර තියෙනවා. ඒ ඉතා මෑතක දී. එහෙත් පෞද්ගලික හිත මිත්‍රකම දේශපාලනයේ දී වලංගු වන්නේ නැහැ. ඩලස්ගේ පඬි කතා මට අල්ලන්නේ නැහැ. ඔය කියන සම්මුතිවාද කතා සතපහකට වැඩක් වන්නේ නැහැ. මා කියන කතාත් ඔහුට අල්ලන්නේ නැති බව දැන ගැනීමට අංජනමක් බලන්න අවශ්‍ය නැහැ. ඔහු අංජනම බැහැර කරන බුද්ධිමතකු වෙන්න පුළුවන්. මා නම් බුද්ධිමතකු නො වෙයි.

රනිල් පාසලේ කැපී පෙනෙනු ශිෂ්‍යයෙක් නො වෙයි. දිනේෂ් නම් කනිෂ්ඨ ශිෂ්‍ය භට කණ්ඩායමේ සාජන්ට් ව හිටි බවට මතකයක් තියෙනවා. මා එකල ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය භට කණ්ඩායමේ. අද ඉඳන් දිවුරුම් දීමෙන් පසු රනිල් රටේ ෆීල්ඩ් මාෂල්. සරත් ෆොන්සේකා වගේ නො වෙයි. රනිල් හොඳ මෙහෙයුම්කරුවෙක්. මා කියා ඇති ඔහු කොළඹ සමසමාජ ශිෂ්‍ය නායක එම්. ඒ. ජස්ටින් මෙහෙයවූ ආකාරය. මා එකල පේරාදෙණියේ සහාය කථිකාචාර්යවරයෙක් හා සමසමාජ පාක්ෂිකයෙක්. ශිෂ්‍යයකු කාලයේ සිට සමසමාජ ශිෂ්‍ය සම්මේලනයේ ජස්ටින් හා මා එකට කටයුතු කර තිබුණා.

මා රනිල්ටත් ඩලස්ටත් දේශපාලන වශයෙන් විරුද්ධයි. රනිල් ඉතා පැහැදිලිව බටහිර කොන්සර්වෙටිව් පන්නයේ දේශපාලනඥයෙක්. ඔහු ඒ සම්බන්ධයෙන් තම මාමා ජේ. ආර්ටත් වඩා ඉහළට ගිය අයෙක්. රනිල් ආසියා ශාන්තිකර කලාපයේ කොන්සර්වෙටිව් පක්ෂවල සම්මේලනයේ සභාපති වෙලත් හිටියා. අද එංගලන්තයේ කොන්සර්වෙටිව් පක්ෂයේ නායකත්වයට ජොන්සන්ගෙන් පසුව පොර බදන්නන් අතර ආසියාතික සම්භවයක් ඇති අය ඉදිරියෙන් ම ඉන්නවා. මට කිසිම සැකයක් නැහැ වික්‍රමසිංහලා එංගලන්තයට සංක්‍රමණ වී හිටියා නම් රනිල් කොන්සර්වෙටිව් පක්ෂයේ නායකයා වන බවට. රනිල් ගැන මෙරට බටහිර රටවල තානාපතිවරු බලන් ඉන්නවා. ඔවුන් ඊයේ පැවති ජනාධිපතිවරණයට පෙර කථානායක හමු වී තියෙනවා. ඒ ඡන්දය ගැන කතා කිරීමට.

ඩලස් සාමාන්‍ය වාමාංශිකයෙක්. මා හිතන්නේ නැහැ ඔහුට ජනාධිපති වීමේ දොළදුකක් තිබුණා කියා. ඔහු එතැනට තල්ලු කරනු ලැබුයේ බැසිල් හා මහින්ද රාජපක්ෂලා දේශපාලනයෙන් ඉවත් කිරීමට කටයුතු කළ ස්වාධීන පිරිසක් විසින්. මා වැඩි විස්තර කියන්න යන්නේ නැහැ. ඔවුන්ට අවශ්‍ය ව තිබුණා ඩලස්ගේ නායකත්වයෙන් පොහොට්ටුවට එරෙහිව දේශපාලන පක්ෂයක් ගොඩ නගන්න. දේශපාලනයේ සරදම් බොහෝමයි. ඩලස් ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණේ පොහොට්ටුවෙන් කියා මහින්දත් කිවුවා. ඩලස් වෙනුවෙන් ජී. එල්. පීරිස් පෙනී හිටියා. ඒත් ජී. එල්ට වඩා සාගර බලවත් වුණා. පොහොට්ටුවේ වැඩි පිරිසක් ඩලස්ට ඡන්දය දුන්නේ නැහැ. ඩලස් ඒ බව දැන සිටිය යුතු ව තිබුණා. රනිල්ට තමාට ලැබෙන ඡන්ද ගැන අවබෝධයක් තිබුණා. ඒ තමයි ඩලස් හා රනිල් අතර වෙනස. වාසු අවුරුදු හැටකට වඩා පක්ෂ දේශපාලනයේ යෙදී සිටියත් තවමත් දන්නෙ නැහැ ඡන්දය දෙන බවට දිවුරන අය ඡන්දය නොදෙන බව. කෙසේ වෙතත් ඩලස් අර ස්වාධීනයන්ගේ අතකොළුවක් වුණා.

ඒ ස්වාධීන කණ්ඩායම තමයි ආර්ථික අර්බුදය දේශපාලන අර්බුදයක් බවට පත් කෙළේ. බටහිරයන් ඒ මත පදනම් වෙලා තම රාජපක්ෂ විරෝධී නන්දිකඩාල් දේශපාලනය ඉදිරියට ගෙන යෑමට අරගලයක් ඇති කළා. එහි දේශීය නායකත්වය කතෝලික මුස්ලිම් පිරිසක් ගත්තා. ඒ අරගලයේ අවසාන අරමුණ වුණේ ගෝඨාභය මෙන් ම බුදුහාමුදුරුවන්වත් යැවීමට. බටහිරයන්ට අවශ්‍ය වුණේ පළමුව රනිල් ෆීල්ඩ් මාෂල් කරන්න. අරගලයට විවිධ අය පිය උරුමකම් කියන්න පටන් ගත්තා. ජෙප්පන් හා සෙප්පන් අතර පීතෘත්වයට තරගයක් ද තිබුණා. අද අරගල අනුගාමිකයන් නායකයන්ට එහා ගොස්. ඔවුන්ට රනිලුත් යවන්න ඕන වෙලා. රනිල් ඒ අයට දේශපාලන හෝඩිය කියා දේවි. බටහිරයන් කලින් මෙන් ඔවුන් වෙනුවෙන් පෙනී හිටින එකක් නැහැ.

ස්වාධීනයන් ඇරඹූ රාජපක්ෂලා ඉවත් කිරීමේ ක්‍රියාවලිය නිසා යම් අරාජිකත්වයක් රටේ ඇති වුණා. ඩලස් බැරි වෙලාවත් ජනාධිපති වුණා නම් අරාජිකත්වය තවත් වර්ධනය වෙනවා. ඩලස්ට එය පාලනය කිරීමේ ශක්තියක් නැහැ. එහෙත් රනිල් අවශ්‍ය දේ කරාවි. එය කළ යුත්තක්. වතුරෙන් හැදෙන ලුණු වතුරෙන් ම නැති වෙනව වගේ බටහිරයන් අතින් හැදුණු අරගලය ඔවුන් අතින් ම දියවීමට කරුණු යෙදී තියෙනවා. විශ්වවිද්‍යාලය වහල ද? ඒකත් සුම් මගින් කෙරෙනවා ද? අනිච්චා වත සංඛාරා.

මාක්ස්වාදයෙන් ඊනියා සමාජවාදයෙන් කුරුවළු නොවූ ජාතිකවාදීන්ට කාලය එළඹිලා. මේ වස්සාන කාලයයි.

ආචාර්ය නලින් ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment