රනිල් තර්ජනය කළේ පෙරටුගාමීන්ට නොවෙයි: මිලියන 22ක ජනතාවටයි

64

කුමාර් ගුණරත්නම් ද්විත්ව පුරවැසියෙක් නෙවෙයි
ඇත්ත දැන දැන රනිල් පාර්ලිමේන්තුව නොමග යැව්වා

– පුබුදු ජයගොඩ

අරගල කරන්නට ඉඩ තබන්නේ නැහැ යැයි කියමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු කතාවේදී තර්ජනය කළේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයට නොව මිලියන විසි දෙකක් වන රටේ සමස්ත ජනතාවට යැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා ඊයේ (24දා) පැවසීය.

එය පෙරටුගාමී පක්ෂයට කළ තර්ජනයක් යැයි සිතා කවුරුන් හෝ නිහඬ වනවා නම් එය මුළාවක් යැයි ද ඔහු කීවේය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ජයගොඩ මහතා මේ අදහස් පළ කළේය.

පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ ලේකම් කුමාර් ගුණරත්නම් මහතා ද්විත්ව පුරවැසියකු නොව ශ්‍රී ලංකික පුරවැසියකු යැයි ද සඳහන් කළ පුබුදු ජයගොඩ මහතා ඔහුගේ පුරවැසි භාවය තහවුරු කළේ රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයාව සිටි 2017 දී යැයි ද කීවේය. ඒ බව දැන දැනම වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුව නොමග යැවීමට ‘කුමාර් ගුණරත්නම් ද්විත්ව පුරවැසියෙක්’ යැයි බොරු කී බව ද හෙතෙම පැවසුවේය.

අසම්පූර්ණ අරගලයක් යනු පරාජයක් බවත් එම නිසා අරගලය ජයග්‍රහණය කරා ගෙන යා යුතු බවත් හෙතෙම සඳහන් කළේය.

ජනතා මුදල් ගසා කෑ තක්කඩින්ගේ කඳවුර ජනතාවට එරෙහිව යුද්ධයක් ප්‍රකාශ කර ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශයට පත් කළේ එය බවත් සඳහන් කළ පුබුදු ජයගොඩ මහතා එම යුද්ධය ජනතාව සීරියස් භාරගත යුතු යැයි ද සඳහන් කළේය.

ජනාධිපතිවරයාගේ ප්‍රකාශයට ජනතාව පුළුල් ප්‍රතිචාරයක් දක්වමින් 2023 වසර ද අරගලයේ වසරක් බවට පත් කරගත යුතු යැයිද ඔහු මෙහිදී සඳහන් කළේය.

මහජන අරගලයේ ඉදිරිපෙළ භූමිකාවක් කිරීමට පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඉදිරිපත් වන්නේ යැයිද ඔහු කීවේය.

ඔහු මෙසේද කීවේය.

‘බලයේ උල්පත ජනතාවයි’ යනුවෙන් දේශපාලන පොත්වල ඇති බව ද සඳහන් කළ ජයගොඩ මහතා එය යළිත් ඔප්පුකර පෙන්වීමට ජනතාව පෙරට ආ යුතුව ඇතැයිද සඳහන් කළේය.

ජයගොඩ මහතා මෙසේද කීවේය.

මෙවර අයවැයෙන් රාජ්‍ය සේවය ඔක්කොම විකුණන්න යෝජනා කළා. අවුරුදු 75ක් තිබ්බ කම්කරු නීති අහෝසි කරන්න යෝජනා කළා. නිදහස් අධ්‍යාපනය, සෞඛ්‍යය නැති කරන්න යෝජනා කළා. බදු වංචනිකයන් රැකෙන විදියට නීතිය හැදුවා. බැඳුම්කර වංචාවට වඩාත් දැවැන්ත ඖෂධ වංචාවක් කළ පුද්ගලයෙක් රාජ්‍ය ඖෂධ සංස්ථාවේ ඉහළ පුටුවකට දැම්මා. මෙහෙම කරලා දැන් කියනවා ජනතාවට අරගල කරන්න දෙන්නෙත් නෑ, ඡන්ද තියන්නෙත් නෑ කියලා. ඔන්න නීතියේ ආධිපත්‍යය ගැන කතා කරන කෙනාගේ තත්ත්වය. ඒ නිසා මීට එරෙහිව ජනතාව පෙළ ගැසිය යුතුයි.

අනුරාධ හිරිපිටියගේ

advertistmentadvertistment
advertistmentadvertistment