දවස 2024 ජූලි 29 වන සඳුදාය. එය මේ රටේ දේශපාලනයේ අතිශයින් තීරණාත්මක දිනයක් විය. 2024 ජනාධිපතිවරණයේ ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්ව සිටින වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහයෝගය දෙනවාද නැද්ද යන්න තීරණය කිරීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය හෙවත් විධායක කමිටුව විජේරාම මාවතේ තම නිල නිවසට රැස් කරනු ලැබීය.
පොහොට්ටුවේ දේශපාලන මණ්ඩලයේ සාමාජිකයන් ගණන 82කි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පක්ෂයේ පූර්ණකාලීන ආරම්භක සාමාජිකයන්, පක්ෂයේ වෘත්තීය සමිති සම්මේලන 5 හි නියෝජිතයන්, තරුණ හා කාන්තා සම්මේලනවල නියෝජිතයන්ගෙන් මේ දේශපාලන මණ්ඩලයට සාමාජිකත්වය පත් කරනුයේ පක්ෂ නායකත්වයේ අභිමතය පරිදිය.
මේ අතර සඳුදා පෙරවරුවේ ජනපති රනිල් දේශපාලන කාර්යාලය වෙත පැමිණුනේ ජනාධිපතිවරණ මෙහෙයුම් කමිටුව මුණගැසීමටය. එදින සවස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තීන්දුව දැනුම්දීමට තිබුණු බැවින් ඒ ගැන ද කතාබහ ඇදී ආවේය.
“සර් අනෙක් පැත්තෙන් වැඩේ ඔක්කොම ලැහැස්ති කරලා තියෙන්නේ. පොහොට්ටුවේ දේශපාලන මණ්ඩලයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නියෝජනය 20 ක් වත් නෑ. වෙනම අපේක්ෂකයෙක් දාන ඉඩ වැඩියි.” එහි සිටි පොහොට්ටු මන්ත්‍රීවරු ජනපතිට කීවේය.
“එන ඕනෑම තීන්දුවක් අනුව ඉදිරියට යන්න අවශ්‍ය සැලසුම් සකස් කරන්න.” ජනපති තීන්දුව වූවේ එයය.
එන්න කියා තිබුණේ හවස 4.00 ට වුවත් ආරම්භ වූයේ 5.00ට පමණය. පටන් ගන්නට ඔන්න මෙන්න තිබියදී ප්‍රසන්න රණතුංග, කාංචන විජේසේකර, මහින්දානන්ද අලුත්ගමගේ ඇතුළු මන්ත්‍රීවරු එකොළොස් දෙනකුගේ කණ්ඩායමක් එකවර පැමිණියහ. ඒ අය කොහේ හෝ තැනක රැස්වී යම් අරමුණක් සහිතව සංවිධානය වී මේ රැස්වීමට පැමිණ තිබූ බව පෙනෙන්නට තිබිණි.
හිටපු ජනාධිපතිවරයාගේ පැමිණීමෙන් පසු පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම් සභාවේ වැඩකටයුතු ආරම්භ කරමින් අරමුණු පැහැදිලි කිරීමේ දේශනය කළේය.
රනිල්ගේ ලියුම ගැන පොහොට්ටුවේ මතය…
‘කවුරුත් දන්නවා අපි අද රැස් වෙලා ඉන්නේ ඇයි කියලා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉතා කෙටි ලිපියකින් අපේ පක්ෂෙට ඉල්ලීමක් කරලා තියෙනවා එතුමන්ගේ ජනාධිපතිවරණ ඡන්ද සටනට අපේ පක්ෂයේ සහයෝගය දෙන්න කියලා. ලියුම ලියල තියෙන්නේ අපේ නායකතුමාට. අපි පැහැදිලිවම කිව්වා අපි සහයෝගය දෙන්නේ අපේ මහින්ද චින්තන වැඩපිළිවෙළ පිළිගන්න, අපේ පක්ෂයේ ප්‍රතිපත්ති පිළිගන්න කෙනකුට විතරයි කියලා. අපේ කොන්දේසි කීපයක් තියෙනවා. මේ රටේ ඒකීය භාවය සුරකින්න ඕන. මේ රටේ ජාතික සම්පත් කුණු කොල්ලයට පිටරැටියන්ට විකුණන එක නවත්වන්න ඕන. ඔය වගේ කොන්දේසි ගණනාවක් අපි ඉදිරිපත් කරලා තිබියදීත් මේ ලිපියේ ඒ කිසිම දෙයක් ගැන කිසිම සඳහනක් නෑ. අපේ ඉල්ලීම් කොන්දේසි කිසිවක් නොතකා අපෙන් මේ විදියට සහයෝගය පමණක් ඉල්ලීම වැරදියි. ඒ නිසා පක්ෂය තීරණය කළා මෙවර ජනාධිපතිවරණය සඳහා වෙනම අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්න.”
ලේකම්වරයා එසේ කියා ඒ ගැන අදහස් දක්වන්නට දේශපාලන මණ්ඩලයේ සාමාජිකයන්ට අවස්ථාව විවර කළේය. එහිදී මුලින්ම කතා කරන්නට පටන් ගත්තේ මහින්ද පතිරණයි.
“ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියලා කියන්නේ පංච මහා බලවේගයේ අරමුණු මත පදනම් වෙලා මේ රටේ දේශීයත්වය ඒකීයභාවය වාමාංශික නැඹුරුව පිළිගෙන ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරමින් රටේ සම්පත් විකුණන්නේ නැති රට විකුණන්නේ නැති ප්‍රතිපත්ති රාමුවක ගොඩනැඟුණු පක්ෂයක්. යම් එකඟතාවක් මත එදා රට ගොඩනඟන්න අපේ ප්‍රතිපත්තිවලට විරුද්ධ පිලේ නායකයට සහයෝගය පළකළා. හැබැයි ඒක තාවකාලිකයි. අපේ පක්ෂයේ ප්‍රතිපත්ති හා වැඩපිළිවෙළ අමතක කරලා අපට ඒක දිගටම පවත්වාගෙන යන්න බැහැ.
අනිත් එක ජනාධිපතිතුමා අපට එවලා තියෙන ලිපියේ අපේ ප්‍රතිපත්ති ඉල්ලීම් කොන්දේසි ගැන කිසිදු තැකීමක් කරලා නෑ. නිකන්ම සහයෝගය ඉල්ලලා විතරයි. එදා අපි ඔහුට සහයෝගය දුන්නත් මේ වෙලාවේ අපිට ඔහු වෙනුවෙන් අපේ පක්ෂයේ ප්‍රතිපත්ති ඉවත දාන්න බෑ…
‘මහින්ද කියන කතාවට අපි එකඟයි. හැබැයි මේක මේ වැටිලා තිබිච්ච රට අමාරුවෙන් ගොඩනඟාගෙන ඉදිරියට ගෙන යන වෙලාව, පක්ෂයේ ප්‍රතිපත්ති ගැන හිතලා රටේ අනාගතය අනතුරේ දාන්න වෙලාවක් නෙවෙයි මේක. මේ වෙලාවේ අපි රනිල් වික්‍රමසිංහට සහයෝගය දිය යුතුයි.’ ප්‍රසන්න තර්ක කළේය. ප්‍රසන්නගේ සහායට එස්. බී. කාංචන, මහින්දානන්ද, රමේෂ්, බන්දුල ඇතුළු ඇමැතිවරුද කීපදෙනෙක්ම කතා කරන්නට වූහ… එස්. බී. කතාවට පිවිසුනේ අමුතුම ප්‍රවේශයකිනි…
‘අපේ මහලේකම්තුමාගේ ප්‍රකාශයට හා යෝජනාවට මම සීයට සීයක්ම එකඟයි. අපි පක්ෂයෙන් ජනාධිපතිවරණය සඳහා වෙනම අපේක්ෂකයෙක් දාන්න ඕන…”
දේශපාලන මණ්ඩලයේ බහුතරය ඔහුගේ ප්‍රවේශය ගැන සතුටු වී බලා සිටියහ. මේ කියන්නේ මොනවා දැයි ප්‍රසන්න කංචන ඇතුළු පිරිස එස්. බී. දෙස හැරී බැලුවේ මේකට පිස්සුදැයි කියා අසන්නාක් මෙන් නොරුස්සනා සුළු බැල්මකිනි.
එහෙත් එස්.බී. වටපිට බලා සිනා සිසී හිස සලා ඔහුගේ කතාවේ දෙවැනි කොටස පටන් ගත්තේය…
‘හැබැයි මේක ප්‍රතිපත්ති ගැන විතරක් හිතලා වෙනම අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්න වෙලාව නෙවෙයි. මේකට අපි දාන්න ඕන දිනන්න පුළුවන් අපේක්ෂකයෙක්. ගොඩනඟාගෙන ආපු රට ඉදිරියට ගෙන යන්න පුළුවන් නායකයෙක්…”
‘මොනවද තමුන්නාන්සේ ඔය කියන දිව දෙකේ කතා…” ජෝන්ස්ටන් කඩා පැන්නේය.
‘එතුමට කතා කරන්න දෙන්න. බාධා කරන්න එපා. හැමෝටම තමන්ගේ අදහස් දක්වන්න ඉඩ අරින්න…” සෙසු අය කෑ කෝ ගහන්නට වූහ.
‘දැන් අපිට ඕන දිනන්නද පරදින්නද. පරදින්න නම් ප්‍රශ්නයක් නෑ. හැබැයි දිනන්න නම් මේ වෙලාවේ ඒ රනිල් වික්‍රමසිංහ විතරයි. වතාවක් අපි හොඳටම ගුටි කෑවා. රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් වෙලා ඒ වෙලාවේ අපිව බේරගත්තා. මරණාසන්න රට සුවපත් කළා. නැවතත් අපිට ඕන රට අගාධයේ හෙලන්න නම් ඔය විදියට වෙනම අපේක්ෂකයෝ දැම්මට කමක් නෑ…
‘මහින්ද ජනාධිපතිතුමනි… අපි ඔබතුමාගේ මතයට එදත් ගරු කළා. එදා ඔබතුමා කියපු නිසයි 2015 දිත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපි අතැරලා සිරිසේනට භාර දීලා ආවේ. අපි දන්නවා ඔබතුමා එදා ඒ කළේ කා වෙනුවෙන්ද කියලා. අද ඔබතුමාලා මේ වෙලාවේ මේ යෝජනාව ගේන්නෙත් කාගේ අනාගතය වෙනුවෙන්ද කියලා අපි දන්නවා. ඒකෙන් විනාශ වෙන්නේ රටේ අනාගතය. අනාගතයේ වෙන දෙයක් ගැන හිතලා අද වෙනම අපේක්ෂකයෙක් දැම්මොත් අපි කවුරුත් පරාදයි. එහෙම වුණාම ගම්වල වැඩ කරන අපේ පාක්ෂිකයෝ ගැන බලන්නේ කවුද. එයාලගේ ආරක්ෂාව මොකක්ද…? හැමෝටම ගුටි කන්න වෙයි. ඒ විතරක්ද.
එහෙම වුණොත් අර අරගල කාලේ රට තිබුණු තත්ත්වෙට පත්වෙයි. තෙල් පෝලිං එයි. ගෑස් පෝලිං එයි. බඩු මිල ඉහළ යයි. රටේ සල්ලි නැතිවෙයි. අන්තිමේ අපිට ගුටි කන්න වෙයි. හැබැයි අපි ආයෙත් ගුටි කන්න ලෑස්ති නෑ…” මහින්දානන්ද කාට කාටත් බය හිතට කතාවක් කළේ එසේය. ඊට උත්තර දෙමින් රේණුක පෙරේරා කතාවක් කළේය.
“ඔබතුමා මතක තියාගන්න. අපිත් මේ දේශපාලනයෙන් හොඳට බැට කාපු මිනිස්සු. අපි ජේ. ආර්. ගෙනුත් ගුටි කෑවා. ප්‍රේමදාසගෙනුත් ගුටි කෑවා. ඔය කියන රනිල්ගෙනුත් ගුටි කෑවා. ගුටි කන්න වෙයි ගුටි කන්න වෙයි කියලා බයට අපි එක එක්කෙනා ගේන්න ලෑස්ති නෑ. එතුමා ගේන්න නම් එතුමා අපේ වැඩපිළිවෙළත් එක්ක ඉන්න ඕන…”
ඔව් අපි ජනාධිපති හැටියට රනිල් පත් කරගන්න ඕන එක එක එක්කෙනාට ඇමැතිකම් අරන් දෙන්න. මේ වැඩි දෙනකුට තියෙන්නේ රනිල් දීපු ඇමැතිකම් ටික ආරක්ෂා කරගන්න උවමනාව. අපි අපේ පක්ෂෙ පාවාදීලා මෙයාලගේ ජනාධිපති රැක ගන්නවා එයාලට වරප්‍රසාද භුක්ති විඳින්න.” එතන සිටි යම් අයෙක් එසේ කී කතාවට කාංචන විජේසේකරට හොඳටම කේන්ති ගියේය…
‘ඔය කතාව වැරදියි… අපිට රනිල් ජනාධිපතිතුමා දීපු මඟුලක් නෑ. අපට ඇමැතිකම් දුන්නේ ජනාධිපති ගෝඨාභය මැතිතුමා. මතකද ඇමැතිකම් කරන්න බැරුව කට්ටියක් මේවා දමල ගහලා ගියා. අන්න ඒ වෙලාවෙ අපට මේක දුන්නේ…
ගෝඨාභය කරපු දේ බැසිල් හෙළිකර දෙයි…
සාමාන්‍යයෙන් බැසිල් රාජපක්ෂ මෙවන් අවස්ථාවක කතා කරන්නට යන්නේ නැත. ඔහු සාවධානව අසා සිටිනවා පමණි. එහෙත් කංචනගේ කතාවට ඔහුට හොඳටම කේන්ති ගියේය…
කවුද ඇමැතිකම් කරන්න බැරුව දමලා ගහලා ගියේ… නිකන් බොරු කියන්න එපා. එදා ජනාධිපතිතුමා අස්වෙන්න කියලා අපිට පණිවිඩ එව්වා. මම අස්වෙන්න බෑ කියලයි කිව්වේ. ඒ වෙලාවේම ඔය කතාව දුරකථනයෙන් ජනාධිපතිතුමාට කියපු මිනිස්සුත් අද මෙතන ඉන්නවා…” බැසිල් ඒ කතාව කීවේ මහින්දානන්ද දිහා බලාගෙන නිසා ඔහු අසරණ විය.
‘ඔව් සර් මං පිළිගන්නවා. එදා මම තමයි ඒ ආරංචිය ගෝඨාභය සර්ට කිව්වේ..”
“ඔන්න ඔය වෙලාවේ ජනාධිපතිතුමා අගමැතිතුමාව අයින් කළා. මුළු ඇමැති මණ්ඩලයම අවලංගු වෙන්න. එහෙම නැතුව කවුරුවත් මේවා දමලා ගහලා ගියේ නෑ. නොදන්න දේවල් කියන්න එපා…” බැසිල් කංචන ට ඒ ටික කීවේ දැඩි අවවාදයක් විලසිනි. කතාබහ එසේ ඇදී යද්දී කාගේ හෝ කතාවකට පිටිපස්සෙන් සූ සූ සද්දයක් ඇති විය. ඒ වෙලාවේ කතා කරමින් සිටි අය වෙනුවෙන් මහින්දානන්ද නැගිට පසුපසට හැරී පිටුපස අයට…
‘කවුද හූ කිව්වේ. මෙතන ඔය ගොංපාට් දාන්න එන්න එපා. අපි ඔය ගොංපාට්වලට බය නෑ. ඒවට ඔට්ටු නම් අපිත් ඔට්ටුයි.. ඕවට බය නම් අපි මෙතෙන්ට එන්නේ නෑ. යක්කුන්ට බය නම් අපි සොහොනේ ගෙවල් හදන්නේ නෑ..” කියමින් මහින්දානන්ද උත්තර දෙන්නට පටන් ගනිද්දී ජොන්ස්ටන් පිටිපස්සෙන් නැඟීසිටියේ තරමක් කේන්තියෙනි…
“නිකන් බොරු කියන්න එපා මන්ත්‍රීතුමා. මෙතන කවුරත් හූ කිව්වේ නෑ. මම හිටියේ පිටිපස්සේ. තමුන්නාන්සේලාට ඕන මෙතන ගැටුමක් ඇති කරගෙන කඩාගෙන යන්න… එතන ඇතිවූ බහින්බස්වීම ගැටුමකට යන්නට නොදී බේරගත්තේ අසීරුවෙනි.
“මෙතන අපිට හරියන්නෙ නෑ අපි යමු යන්න. අපි අඳුරන් නැති අයත් මෙතන ඉන්නවා. අපිට ගේමක් දෙන්නයි ලෑස්ති…”
ඒ අතර සරත් වීරසේකර කුමක්දෝ ලොකු විවේචනයක් කියාගෙන ආවේය…
“මේ මොන ප්‍රශ්නයක්වත් නෑ එදා ගෝඨාභය මැතිතුමා අපි අමාරුවෙන් හදාගත්ත ආණ්ඩුව වික්‍රමසිංහට තෑගි නොදුන්නනම්… එයා තමයි අපිව අමාරුවේ දාලා පැනලා ගියේ…” සරත් වීරසේකරගේ කතාවට බැසිල්ට උත්තර නොදී බැරි විය…
“සරත් වීරසේකර මන්ත්‍රීතුමා. තමුන්නාන්සේ ඔය විවේචනය කරන්නේ මෙතන නැති කෙනෙක් ගැන. අපි මෙතන මේ රැස්වෙලා ඉන්නේ විශේෂ වැදගත් කාරණයක් ගැන කතා කරන්න මිස ඔය වගේ පරණ විවේචන ගේන්න නෙවෙයි…” බැසිල් තරමක් නොසන්සුන්ව සිටින බව දැනගත් සරත් වීරසේකර නිහඬ විය. මේ වෙලාවේ පක්ෂව හා විපක්ෂව ඡන්දය විමසන්නට සාගර කාරියවසම් කල්පනා කළේය..
“වෙනම අපේක්ෂකයෙක් දාන්න අපි යෝජනාවක් ගෙනාවා. මෙතන ඒකට කැමති අය බහුතරයක් ඉන්න බව පේනවා. කැමති අය අහනවාට වඩා විරුද්ධ අය ඉන්නවා නම් අත උස්සන්න..” ඒ අනුව මන්ත්‍රීවරුම එකොළොස් දෙනෙක් අත ඔසවනු දැකගත හැකි විය.
“මේ අතරමැද වෙනත් මතයක් දරන කෙනෙක් ඉන්නවද..” එහෙම අයෙක් නැති බව පෙනී ගියේය. ගැටුම් උත්සන්න වී අනවශ්‍ය ප්‍රශ්නයක් ඇතිවන්නට කලින් එදා දේශපාලන මණ්ඩලයේ වැඩ ඉවර කළේය. කෙසේ වෙතත් මේ සාකච්ඡාවට පැය දෙකකට වඩා කාලයක් ගතව තිබිණි.
“වැඩක් නෑ බං මෙතන ඉඳලා. මුං කියන දෙයක් තේරුම් ගන්නේ නෑ… මුං හදන්නෙ නාමල්ගේ අනාගතය ගැන හිතලා මේ රටේ අනාගතය පාවා දෙන්න… අපි යමු යන්න…” කියමින් මහින්දානන්ද එළියට යන්නට සූදානම් වෙද්දී ප්‍රසන්න ඇතුළු තවත් පිරිසක් ගොස් මහින්ද මහතා වට කරගෙන කතා කරමින් සිටියහ.
මහින්දගේ නිවසේ පැවති රැස්වීමෙන් පසු පොහොට්ටුවේ දෙබරයට ගල් ගැහුවාක් මෙන් විය. රට වටේම පළාත් පාලන හා පළාත් පාලන නියෝජිතයෝ ඇමැති ප්‍රසන්නට කථා කරන්නට වූහ. ඔවුන් කීවේ පක්ෂයේ මතයට තමන් එකඟ නැති බවයි.
“තමන්ගේ මතය වෙනුවෙන් පෙනී ඉන්න එක හොඳ වැඩක්. දේශපාලනයේ ගමනක් යන්න නම් එහෙම වෙන්න ඕන. අපි හෙට අනිද්දට හමුවෙමු” ඇමැති ප්‍රසන්න ඒ සියලුම දෙනාට කීය.
නෙලුම් මාවතෙන් මල්පාරට ගිය ගමන…
මහින්දගේ රැස්වීමෙන් පසු ප්‍රසන්න ඇතුළු පිරිස කෙලින්ම ගියේ මල් පාරේ රනිල්ගේ නිවසටය. එස්.බී. දිසානායක, මහින්දානන්ද, ප්‍රසන්න, කංචන, රමේෂ්, කෝකිලා, සහන් ඇතුළු මන්ත්‍රීවරු යෝජනාවට විරුද්ධ වූ මන්ත්‍රීවරු ඒ අතර වූහ.
ඔවුන් ජනාධිපතිවරයා සමග ඉදිරි පියවර සාකච්ඡා කරන අතරතුර කොළඹ මල් පාරේ පැවති රනිල්ගේ ජනාධිපතිවරණ උපාය මාර්ගික සැලසුම් කාර්යාලය පොහොට්ටු මැති ඇමැතිවරුන්ගෙන් පිරී යමින් තිබිණ. 50 – 60 කට ආසන්න පිරිසක් එම ස්ථානයට පැමිණ සිටියහ.
“අපි ජනාධිපතිතුමාට සහය පල කරනවා. හැබැයි ප්‍රශ්නෙ තියෙන්නේ සමහරු මතයක් හදනවා අපි මේ එ.ජා.ප යට යන්න හදනවා කියලා. ඒක නිවැරදි වෙන්න ඕන” එසේ කීවේ රාජ්‍ය අමාත්‍ය මොහාන් ද සිල්වාය. ඇමැති රමේෂ් ද එය අනුමත කළේය. මේ අතරදී එතනට පැමිණි ජනාධිපතිවරයාට ද එම ප්‍රශ්නය ඉදිරිපත් විය.
“ප්‍රශ්නයක් නෑ මම ඉල්ලන්නේ ස්වාධීනවනේ. මට අනුශාසක ලෙස ඉන්න පුළුවන් මේ සන්ධානය තුළ” රනිල් කීවේය.
“නෑ.. නෑ.. සර් නායකයා ලෙසයි ඉන්න ඕන” ඇමැති ප්‍රසන්න යෝජනා කළේය.
“නෑ.. නෑ.. අපි අගමැතිතුමාව මූලික කරගමු” ජනපති රනිල් යෝජනා කළේය.
“සමහරු කියනවා මම පොහොට්ටුව කැඩුවා කියලා. මේ කිසිම ඇමැතිවරයෙක්ව මම පත්කළේ නෑ.
ගෝඨාභය ජනාධිපතිතුමා පත්කරපු අයට වගකීම් දුන්නා. මේ අලුත් තරුණ ඇමැතිවරු වැඩ කරගෙන යනවා හොඳට. ඒ නිසා මම නාමල්ටත් ඇවිත් වගකීමක් ගන්න කිව්වා. ඒත් නාමල් ඒකට කැමති නෑ කියලා මහින්ද කිව්වා” රන්ල් පැහැදිලි කළේය.
පාසල් දරුවන්ගේ ඡන්ද අයිතිය සක්වලේ…
නෙළුම් මාවතත් රනිල්ගේ මල් මාවතත් ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මේ ආකාරයෙන් ගැටුම් ඇතිකර ගනිද්දී ඒ දිහා බලමින් තම ජයග්‍රහණය තහවුරු කරගන්නා පිරිසක්ද සිටියහ. ඒ සජිත් ප්‍රමුඛ සමගි ජන බලවේගයයි.
නෙළුම් මාවත මල් මාවත අතර ගැටුමේ අලුත්ම තත්ත්වය සොයාගත් සජබයේ නායකයෝ කණ්ඩායමක් පසුගිය දිනක සජිත් ප්‍රේමදාස හමුවන්නට ගියේ මේ වාතාවරණය තුළ තමන්ගේ මැතිවරණ ව්‍යාපාරයේ අලුත් තත්ත්වය ගැන සාකච්ඡා කරන්නටය… මේ පිරිස කතා කරද්දී සජිත් ප්‍රේමදාස හිටියේ තදබල විස්සෝපයකිනි. ඊට හේතුව පාසල් ළමුන්ට අප්‍රමාණ සේවාවක් සලසමින් රට පුරා ගෙන ගිය සුහුරු පන්ති කාමර බෙදාදීමේ සක්වල වැඩසටහන ජනාධිපතිවරණය හේතුවෙන් තහනම් කරන්නට මැතිවරණ කොමසාරිස්වරයා පියවර ගෙන තිබීමයි.
අපි සක්වල පටන් ගත්තේ මේ ඡන්දයක් මුල් කරගෙන නෙවෙයි. ඕක මම 2021 දෙසැම්බර් 30 වැනිදා මොණරාගල බෝධාගම විද්‍යාලයට සුහුරු පන්ති කාමරයක් දෙමින් පටන් ගත්තේ මේ රටේ දුෂ්කර පළාත්වල දුෂ්කර පාසල් දරුවන්ගේ පරිගණක සාක්ෂරතාවය දියුණු කරන්න. ඒ වගේ ඉස්කෝලවලට බස් දුන්නෙ ඒ දරුවන්ගේ ගමන් බිමන් පහසු කරන්න. නැතුව ඒ පාසල් දරුවන්ගේ ඡන්ද ටික මට ගන්න නෙවෙයි.
එදා ඉඳලා මෙය තහනම් කරන තුරු මම පාසල් 385 කට සුහුරු පන්ති කාමර 385 ක් දීලා තියෙනවා. බස් අනූවක් දීලා තියෙනවා. මගේ ඉලක්කය වුණේ මම ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න කලින් පාසල් හාරසීයකට ඔය පහසුකම දෙන්න. ඒ වුණාට මොනවා හිතාගෙනද දන්නෑ මැතිවරණ කොමිසම ඒක නතර කළා. පාසල් දරුවන්ට සර්වජන ඡන්ද බලය නැහැනේ. සක්වල වැඩසටහන එහෙමනම් ජනාධිපතිවරණයට බාධාවක් වෙන්නේ කොහොමද… අනේ මං දන්නෑ. මේක මේ ගෙවල්වලට ටකරන් බෙදන, හාල් බෙදන, සිමෙන්ති බෙදන, කකුසි කටවල් බෙදෙනවා වගේ වැඩක් නෙමෙයි. මේ බෙදන්නේ අධ්‍යාපනය. ඒකත් අඩු පහසුකම් සහිත දුෂ්කර පාසල්වල ළමයින්ට.”
සජිත් එසේ තම වේදනාව ප්‍රකාශ කරද්දී සෙසු අය ආණ්ඩු පක්ෂය ඇතුලේ ගැටුමෙහි අලුත් තත්ත්වය විස්තර කරන්නට වූහ…
“දැන් නම් පොහොට්ටුව ඉවරයි. පිපෙන්න කලින් දැන් ඒකේ පෙති ගැලවිලා. අතේ ඉතිරි වෙලා තියෙන්නේ පොහොට්ටු නැට්ටක් විතරයි…” බණ්ඩාර කීවේය.
“ඇයි ඕක අර දිලුම් අමුණුගම එළිපිටම කිව්වේ. දැන් එතන ඉතිරිවෙලා තියෙන්නේ නැට්ට. කඳ යූ.එන්.පී. එක ඇතුලේ කියලා” මරික්කාර් විස්තර කළේය…
“ඔය කතා හොඳට මතක තියාගන්න. දැන් ඔය තරුණ පරපුර තමන්ගේ පරණ නායකයෝ අමතක කරලා අලුත් නායකයෙක් ළඟට ගිහිල්ලා සිංහයෝ වගේ කතා කරනවා. ඒගොල්ලො දැනගන්න ඕන ඒගොල්ලොත් දිනුවේ කාගේ පිහිටෙන්ද කියලා. මං දැක්කා ඔය ගොඩක් අය අලුත් වහළ යටට ගිහිල්ල පරණ වහළට ගරහන විදිය. ඔය මිනිස්සු ඕක පුරුදු වුණාම ඔතෙන්ටත් කවද හරි ඔය ටිකම තමයි කරන්නේ කියලා ජනතාව තේරුම් ගන්නවා…” පරිණත මන්ත්‍රීවරයෙක් එසේ කියද්දී එය අසා සිටි සැවොම හිස සලමින් එය අනුමත කළහ.
“කතාව ඇත්ත… අපේ මිනිස්සු නෙවෙයි. ගම්වල ඉන්න ශ්‍රී ලංකාකාරයෝ පොහොට්ටු කාරයෝ තාම සලකන්නේ කාගේ නමටද කියලා ඔය තරුණයෝ අමතක කරන්න හොඳ නෑ. ගොඩක් දෙනකුට මුල මතක නෑ..”
“ඔය තරුණයෝ නම් කමක් නෑ කියමුකෝ. බලන්නකෝ අර බන්දුල කියන ඒවා. ඇමැතිකම් තුන හතරකුත් පොහොට්ටුවට පිංසිද්ධ වෙන්න දරාගෙන ඉඳලා…”
“එයා නම් කමක් නැහැ.. දිනේෂ්ට වෙච්ච දෙයක්. බොරළුගොඩ පරම්පරාවේ ගුණවර්ධන නාමය දැන් නම් තියෙන්නේ ලොකු අනතුරක…”
“ඇත්තම කියනවා නම් දිනේෂ්ට සාධාරණයක් වෙන්න තිබුණා. පොහොට්ටුවේ ඊළඟ ජනාධිපති අපේක්ෂකයා හැටියට දිනේෂ් තමයි ඉදිරිපත් කරන්න තිබුණේ. පරිණතම කෙනා. මං හිතන්නේ එයා ඒක බලාගෙන හිටියා. එහෙම වුණේ නැති වුණාම කලකිරෙන්න ඇති. අනිත් එක නාමල් ගිහිල්ල සාකච්ඡාවලදී රනිල්ට සහයෝගය දෙන්න නම් ඉදිරි ආණ්ඩුවේ අගමැතිකම තම පක්ෂයේ කෙනකුට ඕන කියලා කිව්වනේ. ඒකෙන් දිනේෂ්ගේ හිත රිදෙන්න ඇති. ඇයි දිනේෂ් පොහොට්ටුවේ නෙවෙයිනේ…”
“මම නම් දන්න විදිහට ඔය ප්‍රශ්නෙට වඩා දිනේෂ්ට බලපෑවේ යදාමනිගේ ප්‍රශ්නය. යදාමිනීට ප්‍රෙෂර් එකක් ආවා එයාගේ බිරිඳගෙන්. මොකද ඒගොල්ලන්ගේ නායකයා ප්‍රසන්නනේ…”
ඔය ආකාරයෙන් විවිධ අර්ථකථන එද්දී සජිත් ඒ කිසිවකට කිසිවක් කීවේ නැත. ඔය අතර මුජිබර් රහ්මාන් ඔහු පසුගිය දිනක ස්වර්ණවාහිනී සංවාදයකට සහභාගි වන්නට ගිය අවස්ථාවේ ඇතිවූ සංවාදයක් විස්තර කළේය.
“ඔන්න දැන් පොහොට්ටුව බෙදිච්ච එකත් ඔබතුමාගේ එකවුන්ට් එකට බැර කරලයි කතාව. ඔබතුමාට දිනන්න ඕනවට නාමල් ලව්වා පොහොට්ටුව දෙකට කැඩෙව්වලු. ඔබතුමා රෑට රෑට හොරෙන් මේ ගැන නාමල් එක්ක සාකච්ඡා කරනවාලු. ආශු මාරසිංහල, හැරිසන්ලා කියපු කතාවක් ගැන තමයි රතු ඉර වැඩසටහනේදී මාධ්‍යවේදියෙක් මගෙන් ඇහුවේ. දැන් ඉන්නෙ රනිල් රාජපක්ෂ නෙවෙයිලු සජිත් රාජපක්ෂලු… මං ඉතින් හොඳ උත්තරයක් දුන්න ඒකට…
“අපි දැක්ක ඔබතුමා අර දොළොවත්ත මන්ත්‍රීතුමත් එක්කත් ඒකෙදි හොඳටම පැටලෙනවා..”
“දොලවත්ත මන්ත්‍රීතුමා කියනවා පොහොට්ටුවෙන් අනූ දෙදෙනෙක් දැන් ඇවිල්ලා රනිල් වික්‍රමසිංහ මැතිතුමාට සහාය පළ කරනවලු. මම කිව්වේ 92ක් නෙවෙයි, එදා රනිල්ව ජනාධිපති කරන්න පොහොට්ටුවේ කට්ටිය 134ක් ඉදිරිපත් වුණා. හැබැයි දැන් එතනින් ඉන්නේ 92යි. 42ක්ම අඩුවෙලා. මම කිව්වා ඕගොල්ලන්ට මන්ත්‍රීවරු වැඩිවෙලා නෙමෙයි අඩුවෙලා කියලා. ඒ වෙලාවේ තමයි මට කිව්වේ මම පාර්ලිමේන්තුවෙ වෙච්ච දේවල් දන්නේ නෑ. ඒ දවස්වල මම පාර්ලිමේන්තුවේ නෑ කියල… ඔය කියන සිද්ධිය කාලේ මම පාර්ලිමේන්තුවේ තමයි හිටියේ. මං ඒක කියන්නයි ගියේ… එයාගේ කතාව මැද මම බාධා කළා කියලා ඊට පස්සේ වෙන පැත්තකින් ගැටෙන්න ආවා. මමත් ඉතින් උත්තර දුන්නා..”
රනිල්ට සහය දෙන්න පැමිණි රාජකීය මිත්‍රයා…
සඳුදා හැන්දෑවේ විජේරාම මාවතේ මහින්ද රාජපක්ෂගේ නිල නිවසේ සිදු වූ සිදුවීම්වලින් පසුව ජනාධිපතිවරයාට සහාය පළ කිරීම සඳහා සූදානම් වූ කණ්ඩායම ආණ්ඩු පක්ෂයේ කණ්ඩායම් රැස්වීමක් කැඳවන්නට තීරණය කළහ. ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක හැටියට ඒ වැඩේ භාරගත්තේ ප්‍රසන්න රණතුංගයි.
පහුවදා එනම් තිස් වෙනදා පැවැති කණ්ඩායම් රැස්වීමට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ද ඇතුළු විශාල පිරිසක් සහභාගි වී සිටියහ. ප්‍රසන්නලාගේ කණ්ඩායම එය අර්ථ දක්වා තිබුණේ අනූ දෙදෙනෙක් සහභාගි වූවා යැයි කියාය. අග්‍රාමාත්‍ය දිනේෂ්ට එතනට පැමිණ සිටීම ඔවුන්ට ලොකු සවියක් විය.
මෙහිදී මේ සියල්ලෝම කතාබස් කර ගත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළ කිරීම සඳහා ඒ ඒ දිස්ත්‍රික් මට්ටමෙන් පොහොට්ටුවේ දේශපාලන කමිටු කැඳවා ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළ කිරීම සඳහා යෝජනා සම්මත කරගත යුතු බවකි. අනුරාධපුරේ චන්ද්‍රසේන පහුවදාම මේ වැඩේ ඉටුකරන්නට භාරගත්තේය. අනෙකුත් දිස්ත්‍රික් නායකයෝ ද ඒ ඒ දිස්ත්‍රික්කවල එසේ යෝජනා සම්මත කරගන්නට භාර ගත්හ.
මේ අතර ප්‍රසන්න තවත් වැඩක් කළේය. ඔහු කළේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ද තම අත්සනින් යුතුව ලියුමක් යවන්නට තීරණය කිරීමයි. තමන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැර නොගිය බවත් තමන්ගේ හදවතේ නායකයා තවමත් මහින්ද රාජපක්ෂ පමණක් බවත් මේ වෙලාවේ රට ගැන සිතා දැඩි තීන්දුවක් ගන්නට තමා පෙළඹුණු බවත්, එහි දීර්ග විස්තරයක්ද සහිතව දක්වා තිබුණි. ඔහු එය හිටපු ජනාධිපතිවරයාට පමණක් යවා නිකන් සිටියේ නැත. එම ලිපියේ පිටපත් මාධ්‍යවලටද යවනු ලැබීය.
මේ අතර දිනේෂ් ගුණවර්ධන මහතාට විවිධ පාර්ශ්ව වලින් විවිධ පණිවිඩ ගලා එන්නට පටන් ගත්තේය. දිනේෂ් මහින්ද පාර්ශ්වය හැරදා ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පාර්ශ්වය වැළඳ ගැනීම ගැන ඇතැම් සිංහල බෞද්ධ දේශමාමක නායකයෝ නොසතුට පළ කරමින් සිටියහ. දිනේෂ් පවා ඒ පිළිබඳ සිතුවේ දෙගිඩියාවෙනි. එහෙත් ඔහුට රනිල්ට සහයෝගය දෙන පොහොට්ටුවේ පාර්ශ්වයෙන් පැමිණි පීඩනය ඊට වඩා වැඩි විය.
ඔහු මහජන එක්සත් පෙරමුණේ මධ්‍යම කාරක සභාව රැස්කර මේ ගැන සාකච්ඡා කරන්නට තීන්දුවක් ගත්තේ ඉන් පසුවයි.
මහජන එක්සත් පෙරමුණේ මධ්‍යම කාරක සභාවෙන් නම් අගමැති දිනේෂ්ට ඒ සම්බන්ධයෙන් දැඩි විරෝධයක් එල්ල වූයේ නැත. දිනේෂ් ගත් පියවර සාධාරණ යැයි ඔවුන් අදහස් ඉදිරිපත් කරමින් කියා සිටියහ. පක්ෂයේ ප්‍රතිපත්ති හා වටිනාකම්වලට හානියක් නොවන ආකාරයට ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පාර්ශ්වයට සහයෝගය දුන්නාට කමක් නැතැයි යන අදහස මහජන එක්සත් පෙරමුණේ දේශපාලන මණ්ඩලයෙන් සම්මත විය. ගංගාරාමේ පොඩි හාමුදුරුවෝ අපවත් වූ පුවත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත දැන්වූයේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ ඔහු කාර්යබහුලව සිටියදීය. වහාම ගංගාරාමයට ගොස් අවශ්‍ය කටයුතු පිළියෙළ කරන ලෙස රාජ්‍ය පරිපාලන ඇතුළු ආයතන රැසකට දැනුම්දුන් අග්‍රාමාත්‍යවරයා එවෙලේම උන්වහන්සේ ප්‍රතිකාර ලැබූ කොළඹ ආසිරි සෙන්ට්‍රල් රෝහලට ගියේ අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක සමගිනි.
එහි යන විට එහි වැඩසිටි විහාරාධිකාරී කිරින්දේ අස්සජි හිමියන් සමග ආදාහනෝත්සවය පිළිබඳ ඉදිරි කටයුතු කෙටියෙන් සාකච්ඡා කළේය. විදුර වික්‍රමනායක අමාත්‍යවරයාද ඒ සමගම රෝහලට පැමිණියේය.
බුලිත ප්‍රදීප් කුමාර