රනිල් පැමිණීමෙන් මණ්ඩල දෙකම කචල්… ගම්මන්පිල රැකගන්න ජනාධිපති ආවද?… ගහට හරියන මහ ගහක් පොලොන්නරුවේ හමුවෙලා…. රනිල් එන එකට ජෝන් කියපු කතාවක්

1111

බුලිත ප‍්‍රදීප් කුමාර

කොරෝනා උවදුරින් රට නොසන්සුන් කළ තවත් සතියක් ගත විය. රටපුරා සංචරණ සීමා දැඩි කොට ජනතාව ගෙවල්වල තබා කොරෝනා පැතිරීම පාලනය කරන්නට රජය උත්සාහ කළේ පසුගිය මැයි මාසයේ තුන්වන සතියේ සිටය. මේ වන විට එම වෑයමට මසක් ගත වී තිබෙන බව සැබෑය. එහෙත් කොරෝනා පැතිර යෑමේ හා කොරෝනා මරණ සංඛ්‍යාවේ යම් වෙනසක් වීද.

පසුගිය සතියේ කිහිපවිටක්ම රැස් වූ කොරෝනා මර්දන ජනාධිපති කාර්ය සාධක බලකායේ නියෝජිතයින් මෙම ප‍්‍රශ්නය පිළිබඳ ගැඹුරින් සාකච්ඡා කරන්න පටන් ගත්හ.

එම සාකච්ඡාවලදී කරුණු දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හා සෞඛ්‍ය අංශයේ බලධාරීන් මේ පවත්වාගෙන යන සංචරණ සීමා කිරීමේ ක‍්‍රමවේදය ගැන සතුටක් දැක් වූයේ නැත. මෙම ක‍්‍රමය තුළ සංචරණ සීමාවන් ගැන ජනතාව ඒ තරම් සැලකිල්ලක් දක්වා නැති බව ඔවුන්ගේ අදහස වූහ. කොළඹ නගරයට මෙන් ම රට පුරා වෙනත් නගරවලට ඇදී එන වාහන සංඛ්‍යාවේ ද සතුටුදායක පාලනයක් සිදු වී නැති බව පෙන්වා දෙන මේ නිලධාරීන් යෝජනා කළේ මීට වඩාත් දැඩි පිළිවෙත් අනුගමනය කරමින් මහජනතාවගේ සංචරණය පාලනය කිරීමට රජය පියවර ගත යුතු බව ය.

කෙසේ වෙතත් මාසයක් පුරා වසා දමා තිබුණත් කොරෝනා පැතිර යෑමේ වේගය තරමක් අඩු වූවා මිස කොරෝනා පැතිරයෑමේ අවදානම සතුටුදායක මට්ටමට අඩු වූයේ ඇති බව සංඛ්‍යා ලේඛනවලින් ඔප්පු වූයේ ද නැත.

දිනකට හමු වන කොරෝනා රෝගීන් සංඛ්‍යාව තුන් දහසත් හාර දහසත් අතර සංඛ්‍යාවන් හි තිබී මේ වන විට 2500 ට වඩා අඩු වී තිබුණත් මසක් තිස්සේ රට වසා දැමීමෙන් බලාපොරොත්තු වන ප‍්‍රතිඵලය එය නොවීය. අනිත් අතට දිනකට හමුවන මරණ සංඛ්‍යාවේ ද සැලකිය යුතු අඩුවක් දක්නට නොලැබිණි.

මේ නිසා සෞඛ්‍ය අංශයේ ඇතැම් බලධාරීන් යෝජනා කළේ සංචරණ සීමා පැනවීම නොව, රජය වහාම ඇඳිරි නීතිය වැනි වැඩි පාලනයකට රට යටත් කොට කොවිඞ් මර්දනය සඳහා පියවර ගත යුතු බවයි.

මෙම කාරණාව පිළිබඳව පසුගිය සතිය මුළුල්ලේම සෞඛ්‍ය අංශ දේශපාලන අංශ හා ආරක්ෂක අංශ අතර විවිධ අදහස් හුවමාරු වන්නට විය. විවිධ වාද විවාද ඇති වූහ. එහෙත් බ‍්‍රහස්පතින්දා හවස් වන විටත් ඒ පිළිබඳව නිශ්චිත තීන්දුවක් ගැනීමට බලධාරීන් එකඟ වී තිබුණේ නැත.

එතන එක් දෙයක් පමණක් පැහැදිලිවම දැක ගන්නට ලැබිණි. එනම් ලබන සඳුදාට ද (21) සංචරණ සීමාවන්හි ඉවත් කිරීමක් සිදු නො වනු ඇති බවයි.

රටේ සමස්ත ව්‍යුහය පාලනය කෙරෙන යාන්ත‍්‍රණය ඒ අයුරින් ඉහළින් ක‍්‍රියාත්මක වුවත් අපගේ සාමාන්‍ය පරිදි දේශපාලන පක්ෂවල ඇවතුම් පැවතුම්වල වෙනසක් නො වී ය.

මේ අතර මහජනතාව අතර දැඩි ලෙස කතාබහට ලක්වූ තවත් සිද්ධියක් වූහ. ඒ වූ කලී පසුගිය සිකුරාදා (11) මධ්‍යම රාත‍්‍රියේ සිට රජය ඉන්ධන මිල ඉහළ දැමීමට තීරණය කිරීමයි.

ඉන්ධන මිල ඉහළ දැමීමේ තීන්දුව රජය ගනු ලැබූ ප‍්‍රතිපත්තිමය තීන්දුවක් වුවත් මුළු රටේම අවධානය ඒ වෙනුවෙන් යොමු වූයේ ඛනිජ තෙල් අමාත්‍ය උදය ගම්මන්පිල මහතා වෙතය. එදින රාත‍්‍රියේ ඉන්ධන මිල ඉහළ ගිය වග දැනගත් රටේ පොදු ජනතාව කබලෙන් ලිපට වැටුණාක් හැඟීමකින් යුතුව තුෂ්ණිම්භූත වී බලා සිටියහ. සමාජයේ යම් යම් තීරණාත්මක උණුසුම් චරිත මේ සම්බන්ධයෙන් රජයට දොස් කියනවාට වඩා දෝෂාරෝපණ එල්ල කරන්නට පටන් ගත්තේ රජයේ ඛනිජ තෙල් සම්පත් අමාත්‍යවරයාට ය.

ගම්මන්පිල රැකගන්න
ජනාධිපති ආවද?


මේ අතර තවත් ආන්දෝලනාත්මක සිදුවීමක් විය. ඒ වූ කලී ඉන්ධන මිල වැඩි වීම් එහි වගකීම එක එල්ලේම ඉන්ධන අමාත්‍ය උදය ගම්මන්පිල වෙත බැර කරමින් ආණ්ඩුව අභ්‍යන්තරයේම කණ්ඩායමක් උදය ගම්මන්පිලට එරෙහිව අභ්‍යන්තර සටනක් දියත් කරන්නට පටන් ගැනීමයි.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් සාමාන්‍යයෙන් ගත් විට දැඩි පොහොට්ටුවාදියෙකි. පොහොට්ටුව සමඟ එක් වී ආණ්ඩුව හදන්නට ඇප කැප වූ අනෙකුත් පක්ෂ කෙරෙහි ඔහු මුල සිට ම මිත‍්‍රශීලී පදනමකින් කටයුතු කළේ නැත. නිතරම එකී පක්ෂ සමග මතවාදීව ගැටෙමින් සටන්කාමීව කටයුතු කිරීම නිසා ආණ්ඩුවේ අනෙකුත් පක්ෂවල අය සාගර කාරියවසම් රිස්සුවේ ද නැත.

මෙම පසුබිම තුළ ඉන්ධන මිල ඉහළ යෑමෙන් රටේ ජනතාව විඳින දුෂ්කරතා ගැන කරුණු දක්වමින් සාගර කාරියවසම් පසුගිය සති අන්තයේ එක්තරා තීරණාත්මක නිවේදනයක් නිකුත් කළේ ය.

ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් විෂය භාර ඇමැතිවරයාත් මුදල් අමාත්‍යාංශයේ හා මහා භාණ්ඩාගාරයේ අදාළ විෂය භාර නිලධාරීනුත් එක්ව කාලයක් තිස්සේ කරන ලද සැලසුමකට අනුව අදාළ විෂය භාර ඇමැතිවරයා විසින් නොකරම බැරි අවස්ථාවක මේ මිල වැඩි කිරීම් සඳහා තීන්දුවක් ගත්තත් එය ඔහු ගත් හුදෙකලා තීන්දුවක් නොව, රජයේ තීන්දුවක් බව ජනාධිපතිවරයාගේ මතය විය. එවන් අවස්ථාවක දී ආණ්ඩුවේ ප‍්‍රධාන පක්ෂයේ මහ ලේකම්වරයා මෙසේ සාමූහික වගකීමකින් තොරව සිද්ධියේ සමස්ත වගකීම අදාළ ඇමැතිවරයා වෙත පවරමින් මාධ්‍ය නිවේදන නිකුත් කිරීම ජනාධිපතිවරයා කිසිසේත් අනුමත කළ කාරණාවක් නොවීය. තම මාධ්‍ය අංශයේ නව අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි, ජනාධිපති මාධ්‍ය ප‍්‍රකාශක කිංස්ලි රත්නායක ඇතුළු නිලධාරීන්ගේ හා ජනාධිපතිවරයා මේ ගැන විශේෂ සාකච්ඡාවක් පවත්වනු ලැබීය.

”මේක ගැන ජනාධිපති කාර්යාලය හැටියට නිවේදනයක් නිකුත් කරන්න. විෂය භාර ඇමැතිතුමා මෙම තීන්දුව ගත්තේ එයාගෙ හිතුමතයට තනිවම නොවෙයි. ඒක ජනාධිපති අගමැති වගේ විධායකයේ ඉහළ දේශපාලනඥයින් සමග කළ සාකච්ඡාවකින් පසුව ගත්තු අසීරු තීන්දුවක් බව රටට කියන්න. අපි අතර ඕන තරම් දේශපාලන මති මතාන්තර විවේචන තිබුණට කමක් නෑ. හැබැයි ආණ්ඩුවක් වැඩ කරනකොට හැමෝම සාමූහික වගකීමකින් බැඳෙන්ඩ ඕන. මේක ගැන ආණ්ඩුවේ පාර්ශ්ව අනවශ්‍ය ගැටුමක් ඇති කර ගන්න ඕනේ නැහැ කියන එක කියන්න.”

ජනාධිපතිවරයාගේ නියමය පරිදි මාධ්‍ය අංශය විසින් පසුගිය ඉරිදා මේ සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරනු ලැබීය.

බොහෝ දෙනෙකු සිතුවේ මෙම නිවේදනයෙන් පසුව ආණ්ඩුවේ දෙපාර්ශ්වය කරුණු පැහැදිලි කර ගෙන සමථයකට පත් වනු ඇත කියාය. එහෙත් එසේ සිදු වූයේ නැත.

මේ අතරතුර සාගර කාරියවසම්ගේ නිවේදනයට උත්තර සපයමින් අමාත්‍ය උදය ගම්මන්පිල ද විශේෂ ප‍්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් සාගර කාරියවසම් විරෝධී සටනට අවතීර්ණ විය. විශේෂත්වය වූයේ ඔහුට ඒ සඳහා උත්තේජනය සැපයීමට හා ආණ්ඩුව ඇතුළේ සිටින තවත් පක්ෂ නමයක ම නියෝජිතයෝ සහය ලබා දෙන්නට එකඟත්වය පළ කර තිබීමයි. විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර, වීරසුමන වීරසිංහ ඇතුළු ප‍්‍රකට දේශපාලනඥයෝ පිරිසක් ද ඒ අතර වූහ.

උදය – සාගර අරගලය මේ අයුරින් ටිකෙන් ටික උණුසුම් වෙමින් සමාජ ගත වෙද්දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිටියේ තමන් මැදිහත් වූ ප‍්‍රශ්න ගණනාවකට ම උත්තර සොයමිනි. මේ නිසා ඔහු තම සුපුරුදු දින චර්යාවෙන් පිටතට ගියේ නැත. එක් පැත්තකින් කොරෝනා මර්දන ව්‍යාපෘති ඔහුට බලන්නට තිබිණි. තවත් පැත්තකින් මේ දිනවල ඔහු අරඹා තිබෙන නියමු ව්‍යාපෘතිය වන කාබනික වගාව ගැන බලන්නට තිබිණි. මේවා පිළිබඳ රැස්වීම් සාකච්ඡා හා වාද විවාද පවතින අතරතුර ජනාධිපතිවරයාට විවේකයක් තිබුණේ ද නැත.

පසුගිය සතිඅන්තයේ කොවිඞ් මර්දනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ විශේෂ රැස්වීමක් ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි.

යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු කමිටු සාමාජිකයෝ ඒ සඳහා මහත් ඕනෑකමින් සහභාගි වී සිටියහ. පවිත‍්‍රා ඇමැතිනිය ප‍්‍රමුඛව වෙනදා පැමිණෙන දේශපාලනඥයෝද පැමිණ සිටියහ.

”අපි නොයෙකුත් නීති රීති දාලා සංචරණ සීමා දාලා ජනතාවගේ ගමන් බිමන් පාලනය කරලා මේ රෝග පාලනය වළක්වන්න හදනවා. හැබැයි සමහරුන්ට මේක ගැන හැඟීමක් නෑ. ආණ්ඩුව එපා කියන්නේ මොනවාද ඒගොල්ලො ඒකම කරනවා.

”මම හිතනවා ජනතාව මීට වඩා දැනුවත් විය යුතුයි. ජනතාවට තොරතුරු යා යුතුයි. ජනතාවට මේ ගැන හැඟීමක් දිය යුතුයි කියලා. සංචරණ සීමා දැම්මහම ජනතාව අපහසුතාවයට පත් වෙනවා තමයි. ඒත් මිනිස්සුන්ට තේරෙන්න එපැයි ඇයි අපි මෙහෙම කරන්නේ කියන එක. ජනතාව මත මොනම දෙයක්වත් බලෙන් පටවලා වැඩක් නැහැ. අපි එක ගැන මීට වඩා හිතන්න ඕන” ජනාධිපති කීවේය.

ජනතාව අමතන හැටි
ජනාධිපති කියා දීලා


”මොනවා හරි තියනවද අපේ මේ වැඩපිළිවෙළ නිසා ජනතාව මුහුණ දෙන දුෂ්කරතා පිළිබඳ ප‍්‍රශ්න..?”

”මෙහෙම දෙයක් නම් වෙනවා සර්… මේ දවස්වල මිනිස්සු වෙන වෙන රෝග නිසා ගෙවල්වල ඉඳලා මැරෙනවා. අපි හිතමු වයසට ගිහිල්ලා, අංශ භාගේ හැදිලා, දීර්ඝ කාලයක් ලෙඩ වෙලා ඉඳලා මැරුණා කියලා. ඒ වගේ අයට මරණවල අවසන් කටයුතු කිරීම මේ අලූත් තත්ත්වය මත ප‍්‍රශ්නයක් වෙලා. සමහර මරණ, අවසන් මරණ පරීක්ෂණවල දී පී සී ආර් පරීක්ෂණ වලට යොමු කරනවා. පී සී ආර් වලට ගත්තම විවිධ ප‍්‍රශ්න මතු වෙනවා. මිනිස්සු දවස් ගණන් බලන් ඉන්නවා පී සී ආර් ඉවරවෙලා රිපෝට් ඇවිල්ලා මිනිය ගන්න… සමහර ගෙවල්වලට මේක ලොකු පීඩාවක්…?” රමේෂ් පතිරණ පෙන්වා දුන්නේය.

ජනාධිපතිතුමා සෞඛ්‍ය බලධාරීන් දෙස බැලූවේ ඊට ඇති විකල්පය කුමක් ද කියා දැනගැනීමටය.

”ප්‍රොසීඩියර් එකක් තියෙනවානෙ ජනාධිපතිතුමා. අපට බෑ ඒකෙන් පිට පනින්න…”

”ඒකෙන් පිට පනින්න එපා… ප්‍රොසීඩියර් එකට වැඬේ අරන් යන්න. හැබැයි කාර්යක්ෂම කරන්න. ඒ වගේ අයගේ මරණ පරක්කු කරන්න එපා. පුංචි මිනිස්සු ඕව ගැන හරිම සංවේදීයි. ආගමික වතාවත් තියෙනවා ඉටු කරන්න. ඒවා නොකළොත් එයාලට ලොකු ප‍්‍රශ්නයක්. සමහරුන්ට තරහ යනවා” ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

”අනිත් එක තමයි ප‍්‍රාදේශීය වශයෙන් තීන්දු තීරණ ගන්න එපා. මට ආරංචි වුණා කොවිඞ් කිසිම දෙයක් නැතුව උනත් සමහර තැන්වල factory වහනවාලූ. ඒව කරන්න යන්න එපා. පුංචි ගොවිතැනක්, රැකියාවක් ව්‍යාපාරයක් කරගෙන යන අයට ඒවා අත්‍යවශ්‍ය නම් බාධාවක් නෑ. ෆැක්ටරියක කාටහරි කොවිඞ් වැලඳුනා නම් ඔහුව වෙන් කරලා ප‍්‍රතිකාර සඳහා යොදවලා පැක්ටේරිය දුවවන්න.

අනිත් එක තමයි විද්‍යාත්මක තොරතුරු. දත්ත පරිශීලනය කිරීමට අපි ප‍්‍රමුඛත්වයක් දිය යුතු යි. නිවැරදි දත්ත තමයි අපිට වැදගත් වෙන්නේ නිවැරදි තීන්දු ගන්න. හැම වෙලාවෙම නිවැරදි දත්ත එකතු කරන්න උත්සාහ කරන්න.”

මේ අතර ජනාධිපතිතුමා තවත් වැදගත් අදහසක් ඉදිරිපත් කළේ කොවිඞ් පළමු රැල්ලේදී වැඩ කටයුතු සිද්ධ වුණු ආකාරය උදාහරණයකට ගනිමිනි.

”වැදගත්ම දේ තමයි සන්නිවේදනය හා සම්බන්ධීකරණය. නිතරම අපිව සම්බන්ධීකරණය කරන්න. සත්‍ය තොරතුරුවලින් අපිව දැනුවත් කරන්න. ඒ වගේ ම රටේ ඉදිරියේදී සිද්ධ වෙන්නේ මොකක්ද කියන එක ගැන හැමදාම ගයිඞ් ලයින් එකක් දෙන්න. මම මොන වැඩක හිටියත් කොච්චර කාර්යබහුල වෙලා හිටියත් නිලධාරීන් කතා කරාම ඒගොල්ලන්ගෙ දුරකථනවලට තොරතුරුවලට ඇහුම්කන් නොදී ඉන්නෙ නෑ… මාව දැනුවත් කරන්න.

මට මතකයි මුල් වටයේ නිලධාරීන් හිටියා හැමදාම උදේට මාව දැනුවත් කරනවා. ඒ වගේ ම මාධ්‍ය ඉදිරියට ඇවිල්ලා මල් පෝච්චි දෙකක් එහෙම දෙ පැත්තකින් තියාගෙන බොහොම ප‍්‍රසන්න විදිහට ජනතාව අමතලා ජනතාවට ගයිඞ් ලයින් එකක් දෙනවා. එතකොට ජනතාව දන්නවා අද මෙන්න මේ මේ දේවල් වෙනවා කියලා. ජනතාවට පණිවිඩයක් යනවා කොහොමද මේකෙන් වැළකෙන්නේ කියලා.

මම පුද්ගලයෝ ගැන කියන්නේ නෑ. පුද්ගල සාධක වැදගත් නෑ. හැබැයි ඒ අය ළඟ සාධනීය හොඳ දේවල් තිබුණ නං, පූර්වාදර්ශ තිබුණ නං ඒවා වහාම ප‍්‍රයෝජනයට ගන්න. අරගෙන ජනතා සුභ සිද්ධිය සඳහා ඒවා ඇප්ලයි කරන්න. එදා ඒගොල්ලො මාවත් දැනුවත් කරලා සාකච්ඡා කරලා ජනතාවට කියලා හරි තීන්දු ගත්තා. ටිකක් ඒවා ගැනත් ඕගොල්ලෝ හිතන්න.”

ජනාධිපතිවරයා එසේ කීවේ එතන සිටි නිලධාරීන්ට මෙන්ම දේශපාලනඥයන්ට ද ඉතා සෞම්‍ය අවවාදයක් ලෙස ය.

පසුගිය දිනවල පැවැති ගංවතුර උවදුර නිසා ලංකාවේ අන් කවර ප‍්‍රදේශයකටත් වඩා වඩාත් දුෂ්කරතාවලට ලක් වූයේ ගම්පහ ප‍්‍රදේශයේ ජනතාව යැයි කියුවහොත් එය නිවැරැදිය.

ගංවතුරෙන් යට වූ ප‍්‍රදේශවල ජනතාව මේ පිළිබඳව ආණ්ඩුවට බැණ වැදුණත් දුක කියන්නට ප‍්‍රසන්න රණතුංග ඇමැතිවරයා මුණ ගැහෙන්නට අමතක නොකළේය. සමහර තැන්වලට ප‍්‍රසන්න රණතුංග ගොස් ජනතාව විඳින දුෂ්කරතා ඇහෙන් දැකගන්නට පියවර ගෙන තිබීම විශේෂත්වයක් විය.

ඉකුත් සෙනසුරාදා ගංවතුරට මුහුණ දුන් ජනතාව හමුවීමට ඇමැතිවරයා පැමිණියේ රත්මල්විට ප‍්‍රදේශයටයි. ඒ වන විටත් ගංවතුර තත්ත්වය පහව යමින් පැවතිනි. අමාත්‍යවරයා එහි පැමිණි බව සැලවීමත් සමඟ රත්මල්විට ප‍්‍රදේශයේ පළාත් පාලන ආයතන මන්ත‍්‍රීවරු ගොවි සංවිධාන නියෝජිතවරු ඇතුළු ප‍්‍රදේශවාසීන් එහි පැමිණියහ.

”මට වයස අවුරුදු හතළිස් අටක්. මගේ ජීවිත කාලෙම මම හිටියේ මෙහෙ. මේ විදියේ ගංවතුරක් ආව පළමු වතාව මේකයි. අනේ ඇමැතිතුමා. මේක කොහොම හරි විසඳන්න” ගොවි මහතෙක් ඇමැතිවරයා සමග පැවසීය.

”ඇමතිතුමා, අපි මේ අධිවේගී මාර්ගය ඉදිකරන එකට විරුද්ධ නැහැ. ඒ උනාට ඉඩම් ගොඩකිරීමේ දෙපාර්තමේන්තුවේ නිලධාරිනුත් මහාමාර්ග නිලධාරිනුත් අපිට නිවැරදි තොරතුරු දෙන්නේ නැහැ. බොරු කියනවා. ඒ බොරුවලට අපි විරුද්ධයි.” තවත් අයෙක් පැවසී ය.

පසුව එළඹි සඳුදා ගංවතුර තත්ත්වය පාලනය කිරීම සම්බන්ධයෙන් රැස්වීමක් ගම්පහ දී පැවැත්විණි. මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් නිසාම ගංවතුර ඇති නොවූ බව මෙහිදී නිලධාරීන් සඳහන් කළේය.

”සර්විස් රෝඞ් නිසා ගංවතුර තත්ත්වයට බලපෑමක් සිද්ධ වෙලා තියෙනවා. නමුත් මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් අවසන් වීමත් එක්ක ඒ මාර්ග ඉවත් කෙරෙනවා. එතකොට ඒවායින් වුණු බලපෑම නැති වෙනවා.” මෙහිදී නිලධාරීන් කරුණු දැක්වමින් පැවසීය.

”ගංවතුර තත්ත්වයට හේතු වුණේ අධිවේගී මාර්ගයේ නෙවෙයි නම් හේතුව මොකක්ද” ඇමැතිවරයා නිලධාරීන් ගෙන් විමසීය.

”අධිවේගී මාර්ගයේ කණු මතින් ඉදි නොවීම සමහර තැන්වලට බලපෑම් කරලා තිබුණා. තවත් සමහර තැන්වලට ිැරඩසජැ මාර්ග හේතු වුණා. ඒ හැමදේටම වැඩිය ගංවතුර බැස යෑමේ මාර්ග ඇහිරී ම තමයි හේතුව” නිලධාරීන් පෙන්වා දුන්නේ ය.

”සංවර්ධනය නිසා මිනිස්සු පීඩාවට පත්වෙනවා නම් ඒ සංවර්ධනයෙන් පලක් නැහැ. කොහොම හරි අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් නිසා ගංවතුර ඇති වුණා කියලයි දැන් ප‍්‍රචාරය වෙලා තියෙන්නේ. මධ්‍යම අධිවේගී මාර්ගයේ ගංවතුර ඇති වූ ස්ථානවල ඉදිකිරීම් මේ වෙනකොට නතර කරලා තියෙනවා. අපිට මේක නතර කරගෙන ඉන්න බැහැ. සති දෙකක් ඇතුළත ගංවතුර තත්ත්වය පාලනය කරන්න කළ යුතු දීර්ඝකාලීන වැඩපිළිවෙළක් සකස් කරලා අපිට දෙන්න” ඇමැතිවරයා කීවේය.

එම රැස්වීමට සහභාගි වූ ජනතාව අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් නිසා ගංවතුර තත්ත්වය ඇතිවූ ප‍්‍රදේශ සම්බන්ධයෙන් විශේෂ සැලකිල්ලක් දක්වන ලෙස ඉල්ලා සිටියේය.

ගහට හරියන මහ ගහක්
පොලොන්නරුවේ හමුවෙලා


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන දෙදෙනා එකට හමු වූ විශේෂ උත්සවයක් පසුගිය සතියේ පොලොන්නරුවේ දී පැවැත්විණි.

උත්සවය පැවැතියේ චීන රජයේ ප‍්‍රදානයක් ලෙස පොලොන්නරුවේ ඉදි වූ චීන ශ‍්‍රී ලංකා මිත‍්‍රත්ව වකුගඩු රෝහල ජනතා අයිතියට පත් කිරීම නිමිත්තෙනි. ජනාධිපති ගෝඨාභයගේ උපදෙස් පරිදි මෙම උත්සවයට ප‍්‍රධාන අමුත්තන් ලෙස හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාටත් ශ‍්‍රී ලංකාවේ චීන තානාපති වී වොන්ග් හොන්ග් මහතාටත් ආරාධනය කර තිබිණි.

2015 වසරේ දී එවකට ලංකාවේ ජනාධිපතිවරයා ලෙස සිටි මෛත‍්‍රීපාල සිරිසේන මහතා චීන සංචාරයක දී කරන ලද ඉල්ලීමකට අනුව චීනය මෙම රෝහල තනා දෙන්නට තීරණය කළ අතර අක්කර 16ක භූමි භාගයක් පුරා රුපියල් කෝටි 1200ක වියදමින් ඉදි කරන්නට යෙදුනු මෙම සුවිශේෂී රෝහලේ වැඩ කටයුතු නිමා වූයේ නොබෝදා ය.

මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ඉල්ලීමකට අනුව රෝහල ඉදි වූ බැවින් ඒ විවෘත කිරීමට ද ඔහුට ආරාධනය කළ යුතු බව ගෝඨාභය ජනාධිපතිවරයාගේ අදහස විය.

ජනාධිපති ගෝඨාභය මෙම උත්සවයට සහභාගී වන්නට ගියේ ජනාධිපති විශේෂ උපදේශක ලලිත් වීරතුංග මහතා සමඟ ය. ඒ හැරුණ විට සෞඛ්‍ය අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චි, උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත්, රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ, රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන ඇතුළු රොෂාන් රණසිංහ, කාංචන ජයරත්න, සිරිපාල ගම්ලත්, අමරකීර්ති අතුකෝරාල, සුරේන් රාඝවන් ඇතුළු දේශපාලනඥයෝ කිහිපදෙනකු ද සහභාගි වී සිටියහ.

උත්සවය ඉතා සරල චාම් එකක් වූයේ කොවිඞ් රෝග නිවාරණ නීති රීති අකුරටම පිළිපැදීම නිසා ය. ජනමාධ්‍යයන්ට ද මෙම උත්සවය විවෘත එකක් නො වී ය. සහභාගි වූයේ සෞඛ්‍ය ලේකම්, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් ඇතුළු ඉතාමත්ම සීමිත අත්‍යාවශ්‍ය ම නිලධාරීන් පමණක් වූහ.

පොලොන්නරුවේදී ජනාධිපති ගෝඨාභය ඇතුළු කණ්ඩායම පිළිගනු ලැබුවේ හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන ඇතුළු පොලොන්නරුවේ දේශපාලනඥයින් විසිනි.

”ඔබතුමාව අපේ ගම් පළාතට සාදරයෙන් පිළිගන්නවා…” මෛත‍්‍රීපාල සිරිසේන කීවේය.

”ඔබේ ගම් පළාත වගේම මේක ඔබතුමා ලබාගත්ත රෝහල නිසා උත්සවයත් ඔබතුමාගේ…” කියා විහිළුවක් කරමින් ජනාධිපති ගෝඨාභය උත්සවයට සහභාගි විය. එතැනට මෛත‍්‍රීපාල සිරිසේනගේ පුත් දහම් සිරිසේන ද පැමිණ සිටියේ ය. ජනාධිපතිවරයා ඔහු සමඟ ද කතාබස් කළේ ය.

රෝහලට ඇතුළු වන දොරටුව අභියස පීත්ත පටියක් කපන්නට නියමිත විය. රෝහල් අධ්‍යක්ෂ සමන් ඉන්දික කුමාර ඒ සඳහා ආරාධනා කළේ ජනාධිපතිවරයාට ය.

”මෛත‍්‍රිපාල ජනාධිපතිතුමානේ ඒකට නියම සුදුස්සා. අපි එතුමන්ට ම කියමු මේක විවෘත කරන්න…”

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන ද ඉතා ප‍්‍රසන්න ලෙස එම අවස්ථාවට සහභාගී වෙමින් මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මැද පීත්ත පටිය කපන්නට ජනාධිපතිවරයා හා එක් විය. චීන තානාපතිවරයාට ද එහිදී නිසි ගෞරවය හිමි විය.

අනතුරුව සියලූම දෙනා ශ‍්‍රවණාගාරයට කැඳවණු ලැබුවේ විශේෂ උත්සව අවස්ථාවට ය. රෝහලේ අති නවීන පහසුකම් හා සුවිශේෂී සේවාවන් පිළිබඳ හැඳින්වීමක් කරමින් රෝහල් අධ්‍යක්ෂවරයා විද්‍යුත් මෙවලම් භාවිතා කරමින් දේශනයක් ද කරනු ලැබීය.

වකුගඩු බද්ධ කළ හැකි ශල්‍යාගාර 5කින්, අති නවීන රුධිර කාන්දුකරණ යන්ත‍්‍ර 100කින් දැඩි සත්කාර ඒකක ඇඳන් 20කින් සමන්විත රෝගීන් 200ට නේවාසිකව ප‍්‍රතිකාර ලැබිය හැකි මෙම රෝහල සියලූ රසායනාගාර පර්යේෂණාගාර පහසුකම්වලින් අනූන බව ද අධ්‍යක්ෂවරයා විස්තරාත්මකව පැහැදිලි කළේය. රෝහලේ සේවය කරන සියලූ ම සේවක සේවිකාවන්ට නේවාසික පහසුකම් ද මෙම භූමි භාගය තුළ හිමි බව ඔහු පැහැදිලි කළේ ය.

ජනාධිපති ගෝඨාභයට අවශ්‍ය වූයේ දේශනවලට සවන් දෙනවාටත් වඩා රෝහලේ වාට්ටුවක් වාට්ටුවක් ගාණේ ගොස් මෙහි ඇති සුවිශේෂතා නැරඹීමට ය.

එම සංචාරයෙන් අනතුරුව විශේෂ අමුත්තන් සඳහා සූදානම් කර තිබූ තේ පැන් සංග‍්‍රහයට සියලූම දෙනා සහභාගි වූහ.

මෙම අවස්ථාවේදී අනෙකුත් මැති ඇමැතිවරුන්ට ද ජනාධිපතිවරයා සමඟ කතා බහ කරන්නට අවස්ථාවක් උදා විය. රොෂාන් රණසිංහ – මෛත‍්‍රීපාල සිරිසේන වැනි අය පවා සිනහවෙන් විහිළුවෙන් තහළුවෙන් යුතුව එකිනෙකා හා සුහදව කතා බහ කරන අයුරු මෙහි දී දැක බලා ගත හැකි විය. මේ සියල්ල සිදුවී හමාර වන්නට වැඩි වෙලාවක් ගියේ නැත.

මේ දිනවල අතිශයින් කාර්යබහුලව සිටින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉතා ඉක්මනින් ආපසු කොළඹ එන්නට පිටත් වුවත් අනිත් සියලූම අමුත්තන් වෙනුවෙන් එදා දිවා භෝජන සංග‍්‍රහයක් ද සූදානම් කර තිබිණි. රොෂාන් රණසිංහගේ අනුග‍්‍රහයෙන් පවත්වන්නට යෙදුණු මෙම භෝජන සංග‍්‍රහයට සහභාගි වන්නැයි ඔහු සියලූම දෙනාට ආරාධනා කරන ආකාරය දැක ගත හැකි විය.

සජබෙ ඇතුලෙ ආරවුල්
ගොතාපු කතාවක්ලූ

කොරෝනා නිසා පුද්ගලික රෝහලක ප‍්‍රතිකාර ගනිමින් සිටි විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස පසුගිය සිකුරාදා යළි නිවසට පැමිණියත් දින කීපයක් යනතුරු ඔහු නිවසේ ම රැඳී සිටින්නට කල්පනා කළේ වෛද්‍ය උපදෙස් මතය.

”සර් පහුගිය කාලේ දිගින් දිගටම ? දවල් මහන්සි වෙලා වැඩ කළා. කිසිම විවේකයක් ගත්තෙ නෑ. මේ දවස්වල සර් ටිකක් වැඩිපුර විවේක ගන්න. අපි වැඩ ටික ඇදගෙන යන්නම්” විපක්ෂ නායක ලේකම් රවි ජයවර්ධන එසේ කීවත් සජිත් විවේකයෙන් සිටියේ නැත.

”විවේකය නම් ඕනවටත් වඩා ගත්තනේ. දැන් අපිට වැඩ කරන්න වෙලාව ඇවිත්” සජිත් කීවේ ය.

ඉන්පසුව සජිත් අවධානය යොමු කළේ තමන් අසනීප වන්නට පෙර කරගෙන ආ වැඩ කටයුතුවල ඉතිරි කොටස ගැනය. ”විපක්ෂයෙන් හුස්මක්” වැඩසටහන් යටතේ මේ දිනවල රෝහල්වල ප‍්‍රයෝජනය සඳහා උපකරණ හා ආම්පන්න අති විශාල තොගයක් රෝහල්වලට පරිත්‍යාග කරන්නට සූදානම් කර තිබුණෙන් සජිත් උත්සාහ ගත්තේ එම වැඩකටයුතු ටික හමාර කිරීමට ය.

සති අන්තයෙන් පසුව යළි කාර්යාලයේ වැඩ පටන් ගත් සජිත් පේ‍්‍රමදාස මෙම සතියේ පිටකෝට්ටේ පක්ෂ කාර්යාලයටත් කේම්බි‍්‍රජ් පෙදෙසේ අංක 30 විපක්ෂ නායක කාර්යාලයටත් යමින් ඒවායේ වැඩ කටයුතු අධීක්ෂණය කරන්නට විය.

මේ අතර සමගි ජන බලවේගය මන්ත‍්‍රීවරු කිහිප දෙනෙකු සමග ඔහු විශේෂ සාකච්ඡාවක් පවත්වනු ලැබුවේ ය.

ශල්‍යකර්මයකට සහභාගි වීමෙන් පසුව සම්පූර්ණ සුවය ලබා සිටි හරීන් ප‍්‍රනාන්දු මන්ත‍්‍රීවරයා ද මේ සඳහා පැමිණ සිටියේ ය.

”ගිය සතියේ කණ්ඩායම් රැස්වීමේදී මමයි සරත් ෆොන්සේකා මන්ත‍්‍රීතුමයි ගැටුමක් ඇති කර ගත්තා කියලා සමහරු වාර්තා කරලා තියෙනවා මම දැක්කා…” සජිත් කීවේය.

”ඔබතුමා ගිය සතියේ කණ්ඩායම් රැස්වීමට සූම් එකෙන්වත් සහභාගි වුණේ නෑ… සමහරු මේ වගේ අතේ පත්තුවෙන බොරු මොනවට ප‍්‍රචාරය කරනවා ද හිතාගන්න බෑ…” රංජිත් මද්දුම බණ්ඩාර කියමින් සිනාසෙන්නට පටන් ගත්තේය.

”පරණ දේවල් දැන් වැඩක් නෑ… ආණ්ඩුව මේ පාර තෙල් මිල වැඩි කරපු එකෙන් මහජනතාව පුදුමාකාර විදිහට පීඩනයට පත් වෙලා… මේ වෙලාවේ අපි මොනවා හරි කරන්න ඕන ” මරික්කාර් කීවේ ය.

තෙල් මිල වැඩි කරා විතරක් නෙවෙයිනේ. ඊට පස්සේ පොහොට්ටුවේ ලේකම් ඇවිල්ලා මෙතන මහා විශාල නාට්‍යයකුත් රඟපාල ජනතාවට වෙන ම චිත‍්‍රයක් පෙන්නන්න පටන් ගත්තා.” ගයන්ත පෙන්වා දුන්නේය.

”මේ රටේ මහජනතාව අද ඉන්නේ පුදුමාකාර පීඩනයකින් හා වේදනාවකින්. ඒ අයව ගොඩ ගන්නත් මොකක් හරි ජාතික ව්‍යාපාරයක් පටන් ගන්න ඕන…” තිස්ස අත්තනායක කිව්වේය.

”අපි ආණ්ඩුවට හෝ ඛනිජ තෙල් ඇමැතිට විරුද්ධව විශ්වාසභංගයක් ගේන්න සැලසුම් කරමු. ඕගොල්ලන්ගේ අදහස මොකක් ද” සජිත් විමසා සිටියේය.

”අපි මේ වෙලාවේ ඇමැතිවරයාට විරුද්ධවයි විශ්වාසභංගය දාන්න ඕන..” මන්ත‍්‍රීවරු එක හඬින් කියන්නට වූහ.

මේ අතර මන්ත‍්‍රීවරු තවත් මාතෘකාවක් ගැන කතාබහ කරන්නට පටන් ගත්හ. මන්ත‍්‍රීවරු කතාබහ කළේ සමගි ජන බලවේගය බලවේගයේ පළාත් පාලන මන්ත‍්‍රීවරුන් ගැනය.

එක්සත් ජාතික පක්ෂය බොහොම නරක විදිහට ආණ්ඩුවත් එක්ක ඞීල් දම දමා අපේ පළාත් පාලන මන්ත‍්‍රීවරුන්ගෙන් පළිගන්නවා. අපේ අයව අයින් කර කර ඒගොල්ලන්ගේ අය දා ගන්නවා. ඒකෙන් සමහර පළාත් පාලන ආයතන ආණ්ඩුවට තල්ලූ වෙනවා. මෙම තත්ත්වය වෙනස් කරන්න මොන හරි කරන්න වෙනවා… මන්ත‍්‍රීවරු රට පුරා යම් යම් පළාත් පාලන ආයතනවල ඇති වී තිබෙන නරක බල හුවමාරුව ගැන සිය නායකයා දැනුවත් කරන්නට වූහ.

සජිත්ලා සමගි ජන බලවේගය ඇතුලේ මේ අයුරින් කතාබහ කරමින් සිටින අතර පසුගිය සතියේ තවත් විශේෂ සිදුවීමක් ගම්පොළ ප‍්‍රදේශයේ දී සිදුවිය.

ගම්පොල නගර සභාවේ බලය තිබුණේ එක්සත් ජාතික පක්ෂයට ය. එක්සත් ජාතික පක්‍ෂයේ මන්ත‍්‍රීවරු රැසක් සමගි ජන බලවේගයට එක්වීම නිසා ගම්පොල නගර සභාව සමගි ජන බලවේගයට හිමි විය. ඒ ආකාරයෙන් කලක් ගත විය.

රනිල් එන නිසාම
නගර සභාත් පෙරළිලා


පසුගිය දිනවල රනිල් වික‍්‍රමසිංහ නැවතත් පාර්ලිමේන්තුවට පැමිණ එක්සත් ජාතික පක්ෂය නගා සිටුවන්නට ගත් තීරණයත් සමඟ ම පළාත් මට්ටමේ දේශපාලනය තුළ ලොකු පුබුදුවක් ඇති විය.

අනිත් අතට එක්සත් ජාතික පක්ෂය හැර දමා සමගි ජන බලවේගය සමග එක් වූ පළාත් පාලන මන්ත‍්‍රීවරුන් වෙනුවෙන් ආරම්භ කර තිබූ විනය පරීක්ෂණවල ද ලොකු ප‍්‍රගතියක් ඇති විය. ගම්පොල නගර සභාවේ මන්ත‍්‍රීවරු සිටියේ එම විනය පරීක්ෂණය නිසා සිය මන්ත‍්‍රීකම් අහිමි වීමේ අවදානමක ය. එහෙත් පක්ෂයේ මහ ලේකම් රංගේ බණ්ඩාර ගම්පොල නගර සභාවේ මන්ත‍්‍රීවරු සමග විශේෂ රහසිගත සාකච්ඡාවක් පවත්වමින් සිටියේ ය.

එහි ප‍්‍රතිඵලයක් ලෙස පසුගිය සඳුදා (14) රංගේ බණ්ඩාර, කස්තුරි අනුරාධනායක, ශාමල් සෙනරත් ඇතුළු එජාපය කීපදෙනෙක්ම ගම්පොල බලා පිටත් ව ගොස් සිටියහ.

ඔවුනුත් ගම්පොල නගර සභාවේ පාලක පක්ෂයේ මන්ත‍්‍රීවරුත් අතර විශේෂ සාකච්ඡාවක් ගම්පොල උත්සව ශාලාවකදී රහසිගතව පැවැත්විණි. මෙම සාකච්ඡාවට අනුව ගම්පොල නගර සභාව යළිත් එක්සත් ජාතික පක්ෂය වෙත දිනා ගන්නට පාලිත රංගේ බණ්ඩාර ඇතුළු පිරිස සමත් වූහ.

මේ අයුරින් රට පුරා විනය පරීක්ෂණවලට මුහුණ දෙන යම් යම් සජබයේ මන්ත‍්‍රීවරු පාලිත රංගේ බණ්ඩාරගේ දුරකථනයට කතා කරමින් සුදු කොඩි වනන්නට වූහ. ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ විනය පරීක්ෂණ සියල්ල දිස්ත‍්‍රික් මට්ටමින් පවත්වන්නටත් ඉදිරියේ දී පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් යම් යම් තීන්දු ගන්නටත් පළාත් පාලන ආයතන වල යම් යම් වෙනස්කම් ඇති කරන්නටත් එජාප නායකත්වය හා පළාත් පාලන මන්ත‍්‍රීවරු අතර පුළුල් ලෙස සාකච්ඡා ඇති වූහ.

එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයා ලෙස රනිල් වික‍්‍රමසිංහ පාර්ලිමේන්තුවට යන්න ට ගන්නා ලද තීන්දුව සම්බන්ධයෙන් මුළු රටේ ම එජාප පාක්ෂිකයන් අතර ලොකු ප‍්‍රබෝධයක් ඇති විය. දේශපාලනයෙන් ඈත් වී විශ‍්‍රාම ගෙන ඉවත් වන්නට කල්පනා කරමින් සිටි ඇතැම් දේශපාලනඥයෝ රනිල්ගේ ආගමනයත් සමගම යළිත් දේශපාලනය ගැන සිතන්නට වූහ. ඔවුන් පාලිතටත් රනිල්ගත් කතා කරමින් අනාගතයේ දී එජාපය නගාසිටුවීමේ වැඩපිළිවෙළක් මහා පෙරළියක් රැල්ලක් ලෙස ආරම්භ කරන්නයි ඉල්ලා සිටියහ.

මේ අතරතුර රනිල් පාර්ලිමේන්තුවට පැමිණීම ස්ථිර බව කියමින්, ලබන 23 වැනිදා සිට රනිල් පාර්ලිමේන්තු පැමිණෙන බව සනාථ කරමින් එජාප මහ ලේකම් පාලිත රංග බණ්ඩාර විශේෂ ප‍්‍රකාශයක් කළේ පසුගිය 16 වැනි බදාදා ය.

ඔහු එහිදී කාගේත් හිතට වදින කතාවක් කීවේ ය.

”යන්නේ එක්කෙනයි, ඒත් ඒ එක සමානයි හැටයි.”

එක සමානයි හැටයි යනුවෙන් රංගේ බණ්ඩාර කී කතාව නිසා පසුගිය සතියේ දේශපාලන ලෝකයේ ලොකු උණුසුමක් ඇති විය. විශේෂයෙන්ම සමගි ජන බලවේගයේ මන්ත‍්‍රීවරු මේ හැට කවුරුන් දැයි කියමින් විපරම් කරමින් සොයන්නට පටන් ගත්හ.

පසුගිය බ‍්‍රහස්පතින්දා සවස සජිත් පේ‍්‍රමදාසගේ පුද්ගලික ලේකම් රවී ජයවර්ධන පාලිත රංගේ බණ්ඩාරගේ කතාව ගෙන්වා ගෙන පක්ෂ කාර්යාලයේ සිටිමින් ඒ කතාව නැවත නැවතත් වාදනය කරමින් විමසා බලන්නට විය. ඔහු විමසා බැලූවේ මේ හැට දෙනා සම්බන්ධයෙන් කුමක් හෝ හෝඩුවාවක් ඔහු විසින් ඉදිරිපත් කර ඇත්දැයි කියාය.

මේ අතර මරික්කාර් පැමිණ කෑ ගසන්නට පටන් ගත්තේය.

”රංගෙ බණ්ඩාරලාගේ කතාවලට කලබල වෙන්න එපා. එයාලා ඔය කියන දේවල් ඇත්ත නෙවෙයි. ඒ ගොල්ලෝ අපේ පක්ෂේ ඇතුළේ අවුල් ඇති කරන්නයි ඕව කියන්නේ. උන්ට අහු වෙන්න එපා. අපෙන් කවුරුවත් යන්නේ නෑ…” කියමින් ලොකු ගෝරනාඩුවක් කරන්නට පටන් ගත්තේ ය.

මේ අතර අජිත් මාන්නප්පෙරුම හා හර්ෂණ රාජකරුණා අතර ද වෙන ම ගැටුමක් සිදුවිය.

මෙම ගැටුම ට මුල් වූයේ හර්ෂණ රාජකරුණා විසින් රැගෙන ආ හසිත මුහන්දිරම් නම් පුද්ගලයෙකි. හසිත මුහන්දිරම් සමඟ අජිත් මාන්නප්පෙරුමගේ කුමක්දෝ අරියාදුවක් තිබිණි.

මුහන්දිරම් පක්ෂයේ වැඩවලට සම්බන්ධ කර ගැනීම ගැන අජිත් මාන්නප්පෙරුම සිය විරුද්ධත්වය පළ කළේ ය. හර්ෂණ රාජකරුණා එය කනකට ගත්තේ නැත.

ගැටුම දුර දිග ගියේය. අජිත් මේ අවනඩුව සජිත්ට කීවේය.

”ඔයගොල්ලන්ගේ පුද්ගලික ප‍්‍රශ්න තියෙනවා නම් ඔය ගොල්ලෝ ඒවා වෙනම විසඳ ගන්න. ඕවා මගේ ළඟට ගේන්න එපා. මට ඔය දෙපැත්තම ඕන…” සජිත් එසේ කීමත් සමගම අජිත් මාන්නප්පෙරුම යන්නට ගියේ ඒ තරම් හිත හොඳකින් නම් නොවීය.

මේ අයුරින් අභ්‍යන්තර ගැටුම් රාශියක් පවතිද්දී සජිත්, පාඨලී, ෆොන්සේකා ආදී පක්ෂයේ ඉහළ තලයේ නායකයන් අතර ද යම් යම් නොගැලපීම් පිළිබඳ කතාබහ වන්නට විය.

පසුගිය දිනවල සමගි ජන බලවේගය ඇතුලේ සජිත්ට විශ්වාසය පළ කිරීම සඳහා යෝජනාවක් සම්මත විය. මෙම යෝජනාව සම්මත කිරීම සඳහා පාඨලී චම්පික රණවක ඇතුළු සියලූ නායකයෝ සහයෝගය පළ කළහ.

එහෙත් චම්පිකට පොඩි ගැටලූවක් තිබිණි. තමන්ගේ ප‍්‍රතිරූපයට හානි කර ලෙස පුවත්පතක පළවූ පුවත සමගි ජන බලවේගය මැදිහත් වී නිවැරැදි නොකිරීම සම්බන්ධයෙන් ඔහු උරණ ව සිටියේය.

මේ අතරතුර යම් යම් සමාජ මාධ්‍ය මඟින් ද චම්පිකලා සජිත්ලා ෆොන්සේකලා සම්බන්ධ කරගෙන යම් යම් පුවත් පතුරුවා හරින්නට විය.

එක් පුවතකින් කියැ වී තිබුණේ චම්පිකට සමගි ජන බලවේගයේ නියෝජ්‍ය නායකකමත් අගමැති අපේක්ෂකත්වයත් ඉල්ලා ඇති නිසා පක්ෂයේ අනෙකුත් ජ්‍යෙෂ්ඨයන්ගේ විරෝධතාවක් මතු වී ඇති බවකි. විශේෂයෙන්ම කිරිඇල්ල, රාජිත වැනි අයගේ විරෝධය මෙයට එරෙහිව එල්ල වී ඇති බව මාධ්‍යවලින් කියවිනි.

චම්පික ඒ පිළිබඳව කිසිවක් කීවේ නැත. එහෙත් ඔහුගේ මාධ්‍ය ප‍්‍රකාශක ධනුෂ්ක රාමනායක සමාජ මාධ්‍ය හරහා ඒ ගැන ප‍්‍රකාශයක් නිකුත් කළේ ය.

චම්පික රණවක මැතිතුමා එබඳු තනතුරු ඉල්ලමින් පස්සේ යන වර්ගයේ පටු තැනක සිරවී නොසිටින බවත් ඔහු මාධ්‍ය ඔස්සේ ප‍්‍රකාශ කර තිබිණි.

මසක් පමණ කාලයක් පුරා රට වසා තැබීම හේතුවෙන් හා සංචරණ සීමාවන් පැනවීම හේතුවෙන් දුෂ්කරතාවයට පත් අය අතර විවිධ තරාතිරමේ ජන සමාජයන් ද වූහ. පුරුද්දක් ලෙස දිනපතා මත්පැන් පානය කරන්නන් ද ඒ අතර එක් කොට්ඨාසයකි. සංචරණ සීමා පැන්වූ මුල් දවස්වල ඔවුන් ඒ මේ අත යමින් හොර රහසේ වැඩි මිලට බීම වර්ග සොයා ගනිමින් තම අවශ්‍යතා සපුරා ගත්හ. එහෙත් කාලය ගත් වන විට වැඩි මිලටවත් මත්පැන් සොයාගන්නට නොහැකි විය. ලංකාවේ වැඩිම අලෙවියක් ඇති මත්පැන් වර්ගය වන රුපියල් 1600 ට අලෙවි වූ ගල් අරක්කු බෝතලය අවසානයේ රුපියල් 4000 කට වත් සොයා ගත නොහැකි විය.

එහෙත් මේ අතර එක් දෙයක් සිදුවිය. එනම් එම අරක්කු බෝතල්වල පිරවූ වෙනත් ආදේශකයක් වෙළඳපොළට ඉදිරිපත්ව තිබීමයි. හොර රහසේ පෙරන ලද නීති විරෝධී බීම වර්ග විවිධ වර්ණකයන් ගන්වමින් බෝතල් වල පුරවා රහසිගතව අලෙවි කිරීමේ ව්‍යාපෘති නාගරික ප‍්‍රදේශවල සුලබ විය.

කොරෝනා කමිටුවල සාකච්ඡාවට ලක්වූ එක් විශේෂ කාරණයක් වූයේ මෙම නීති විරෝධී විෂකාරක මත්පැන්වල හිස එසවීමයි. මේවා නිසා ඇතැම් අඩු ආදායම්ලාභී ජන කොටස් නිරපරාදේ යම් යම් උදරාබාධ හා නොයෙකුත් ආබාධවලට ලක් වනු ඇතැයි කියා කතාවක් ද ඇති විය.

මේ තත්ත්වය සමනය කිරීම සඳහා යම්කිසි පිළියමක් නැද්දැයි සාකච්ඡා කිරීමේදී සුපිරි වෙළෙඳසල් මගින් ඔන්ලයින් ක‍්‍රමයට මත්පැන් ලබාදීම සඳහා යෝජනාවක් ද පැමිණියේය.

මේ යෝජනාව සාකච්ඡාවට ලක්වූ බවට ආරංචි රටපුරා පැතිර යන්නට වැඩි වේලාවක් ගත වූයේ නැත. එකෙණෙහිම මහ සංඝරත්නයේ විරෝධය පැන නගින්නට විය. ඒ අතර කමිටුවල දී ඊට සපුරා ම විරුද්ධත්වය ප‍්‍රකාශ කිරීමට සෞඛ්‍ය අංශවල ඇතැම් වෛද්‍යවරු පියවර ගත්හ. විශේෂයෙන්ම රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ වෛද්‍යවරු මීට දැඩි ලෙස විරෝධය පළ කළහ.

සුරාසල් දිගින් දිගටම මෙසේ වසා තිබීම තුළ රජයට අහිමි වන ආදායම ද සුළුපටු නොවීය. රජය ද මෙම ආදායම් දෙස ඇස් කොනකින් බැලූවා විය හැකිය. එහෙත් පැන නැගී ආ බව ප‍්‍රබල විරෝධය හමුවේ එම යෝජනාව පසෙක දමන්නට කමිටුවේ යෝජනාව කළ පාර්ශ්වයට සිදුවිය.

රනිල් එන එකට
ජෝන් කියපු කතාවක්


රනිල් වික‍්‍රමසිංහ පාර්ලිමේන්තුවට යෑමට තීරණය කිරීමත් සමගම විපක්ෂයේ දේශපාලනය තුළ ලොකු පෙරළියක් ඇති විය.

මෙතෙක් කලක් යම් යම් කලකිරීම් මත පක්ෂ දේශපාලන කටයුතුවලින් ඉවත්ව සිටි බොහෝ දෙනෙක් එක්සත් ජාතික පක්ෂයේ දේශපාලනය ගැන යළි කතා කරන්නට පටන් ගත්තේ 23 වැනිදා සිට රනිල් පාර්ලිමේන්තු යන බවට ලැබුණු විශ්වාසදායක ආරංචි නිසා ය.

මේ පිළිබඳව එක් පාර්ශ්වයක් සතුටු වූවත් ඊට එක්සත් ජාතික පක්ෂයේම තවත් පාර්ශ්වයක් විරෝධය පළ කරන්නට ද විය.

එසේ විරෝධය පළ කළ පාර්ශ්වයේ ප‍්‍රධාන නියමුවකු වූයේ ජෝන් අමරතුංග මහතාය.

ජාතික ලැයිස්තුවේ ප‍්‍රමුඛයා හා ජ්‍යෙෂ්ඨයා ලෙස ඔහු ජාතික ලැයිස්තුව වෙත ලැබුණු මන්ත‍්‍රී ධූරයේ සර්ව සාධාරණ උරුමක්කාරයා විය. එහෙත් ඒ උරුමය රනිල් වික‍්‍රමසිංහ ලබා ගැනීමට තීරණය කිරීම තුළ ඔහු ද සිය ආවේගය පළ කරන්නට අමතක කළේ නැත.

පසුගිය සතියේ ඔහු ප‍්‍රථම වරට මේ පිළිබඳව කතා කරන්නට මාධ්‍ය ඉදිරියට පැමිණියේ ය.

මාධ්‍ය ඉදිරියේ දී ඔහු මෙම මන්ත‍්‍රී ධුරය සඳහා තමන්ට ඇති හිමිකම හා ඒ හිමිකම පිළිබඳව තිබෙන සාධාරණත්වය පෙන්වා දෙමින් කතා කළේය.

අසාධාරණයට එරෙහිව මීළඟට ගන්නා පියවර කුමක්දැයි මාධ්‍යවේදීහු ප‍්‍රශ්න කර සිටියහ.

සමගි ජන බලවේගය සමග එක් වීම හැර වෙනත් විකල්පයක් නැතැයි මාධ්‍යවේදීන් ඔහුට කටට උත්තර දුන්හ.

එහෙත් පරිණත දේශපාලනඥයෙක් වුණු ජෝන් අමරතුංග ඉක්මන් වූයේ නැත.

ඒ පිළිබඳව තමන් තවදුරටත් හිතා බලන්නට කාලය ඉතුරු කර ගන්නා බව කියමින් ඔහු නිහඬ විය.

මේ අතර පසුගිය බ‍්‍රහස්පතින්දා හවස එක්සත් ජාතික පක්ෂයේ නායකයෝ පක්ෂයේ අලූත් තීන්දු තීරණ ගැන සූම් තාක්ෂණය ඔස්සේ විශේෂ සාකච්ඡාවක් පවත්වනු ලැබූහ.

”ආණ්ඩුව ඉන්ධන මිල ඉහළ දැමීමත් එක්ක සාමාන්‍ය ජනතාව අතර මෙන්ම ආණ්ඩුව ඇතුළෙත් අර්බුදයක් නිර්මාණය වුණා. විපක්ෂයේ කට්ටියක් දැන් උදය ගම්මන්පිල ඇමැතිවරයාට එරෙහිව විශ්වාසභංගයක් ගේන්න යනවා. අපි මේ ගැන මොකක්ද කරන්නේ කියලා කියන්න වෙයි.” සංදිත් සමරසිංහ කීවේය.

”ඉන්ධන මිල අඩු කරන ලෙස බලකරමින් ජනතාවට සහනයක් ගෙන දෙන උත්සාහයේ විපක්ෂයට කාලයක් ඉන්න තිබුණා. ආණ්ඩුවේ ඇතුලේ බේදයත් මේ නිසා තව තවත් වැඩිවෙන්න තිබුණා. උදය ගම්මන්පිලගේ විශ්වාසභංගය නිසා බෙදී සිටින බැසිල් රාජපක්ෂ පාර්ශ්වයට, උදය ගම්මන්පිල පාර්ශ්වය ආරක්ෂා කරන්න වෙනවා. විශ්වාසභංගයෙන් ආණ්ඩුව ඇතුළේ පවතින බෙදීම් අවසන් වෙලා ඔවුන්ට එකතු වෙන්න හොඳ අවස්ථාවක් උදා වෙනවා. පාර්ලිමේන්තුවේ විශ්වාසභංගයට ඡුන්දයක් ගෙන අවසන් වුණාම ඉන්ධන ප‍්‍රශ්නයත් ඉවර වෙනවා. ආණ්ඩුව ඇතුළේ තියෙන ප‍්‍රශ්නත් ඉවර වෙනවා. විපක්ෂයට අහිමි වුණේ හොඳ අවස්ථාවක්. කව්රු මේ උපදෙස් දෙනවාද මන්දා?” වජිර පිළිවදන් දුන්නේ විස්සෝපයෙනි.

”ඒ මොකක් වුණත් අපි අපේ මිල සුත‍්‍රය ගැන වගේම, 2020 කොරෝනා පළමු රැල්ල අවස්ථාවේ අඩුවූ ඉන්ධන මිලෙහි වාසිය ජනතාවට දෙන්න කියන ඉල්ලීම දිගටම කරමු. 2020 අපේ‍්‍රල් සිට දෙසැම්බර් දක්වා ලෝක වෙළෙඳ පොලේ ඉන්ධන මිල ශීඝ‍්‍රයෙන් පහළ ගියා. බොරතෙල් බැරලයක් ඩොලර් 30 දක්වා අඩු වුණා. මෙරට මිල අඩු නොවුණු නිසා රුපියල් බිලියන 2 ක විතර වාසියක් ආණ්ඩුවට ලැබුණා. ඒ වාසිය ජනතාවට දෙන්න කියමු.” නායකයා පිරිස දිරි ගැන්වූවේ එලෙසිනි.

”ඔව් අපිට පුළුවන් මේක දිගටම කියාගෙන යන්න. ධීවරයන්ට, බස් රථවලට, ත‍්‍රීරෝද රථ රියදුරන්ට අඩුමිලට ඉන්ධන ගන්න කූපන් එකක් දෙන්න කියමු. ඒක අසාධාරණයි කියලා කාටවත් කියන්න බැහැනේ.” රුවන් කී දේ සැවොම අනුමත කළහ.

”අපිට 2015 ආණ්ඩුව බාර දෙනකොට පැවැති මිල ගණන්වලට ඉන්ධන මිල මේ ආණ්ඩුව ගෙනල්ලා තියෙනවා. නායකතුමා 2015 ආණ්ඩුව භාරගත් විගස පෙට‍්‍රල් ලීටරයක් 117 ට අඩු කළා. ඞීසල් 98 ට අඩු කළා. භූමිතෙල් 70 ට අඩු කළා. ඒවා මිනිස්සුන්ට අමතක නිසා මේ ආණ්ඩුව ගෑස් මිලත් වැඩිකරලම මිනිස්සුන්ට අතීතය මතක් කරලා දෙන්න යන්නේ.” රංගේ බණ්ඩාර කීවේ එවැන්නකි.

”ප‍්‍රාදේශීය සභා, නගර සභා මන්ත‍්‍රීවරු දිගින් දිගටම අපිට කතා කරමින් නැවත එකතු වෙන්න අහනවා. අපෙන් ගිය 200 ක් විතර පිරිසක් එතන ඉන්නවා. මේ අය ගැන මොකද කරන්නේ” සංදිත් ඇසුවේ මහලේකම්ගෙනි.

”ගම්පොල කට්ටිය අපට එකතු වුණා. දැන් මහනුවර ඔක්කොම ඉන්නේ අපිත් එක්ක. අරගොල්ලෝ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු දිහා බලාගෙන ඉදිද්දි අපි පහළ මන්ත‍්‍රීවරු ටික ගත්තා. ඉතිරි අයත් අපි ටිකෙන් ටික ගනිමු.” මහලේකම්වරයා කීවේ තම සියුම් මෙහෙයුම ගැන පැහැදිලි කරමිනි.

”මේ අය ගනිද්දි අපි පරිස්සම් වෙන්න ඕනේ. මොකද අමාරු වෙලාවේ වෙනත් අය එක්ක එකතු නොවී අපිත් එක්ක හිටපු පිරිසේ සිත් නොරිදෙන ලෙස තමයි කරන දෙයක් කළ යුත්තේ. ඒ ගැනත් කල්පනාවෙන් වැඩ කරන්න.” නායකයා දුන්නේ එවැනි උපදෙසකි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පසුගිය දිනවල සිය ප‍්‍රමුඛ අවධානය හා කාලය වැය කළ කාරණා අතර ප‍්‍රමුඛත්වය ගත් කාරණා දෙකක් විය. පළමුවැන්න කොරෝනා පාලනයයි. දෙවැනි තැන ගත්තේ කාබනික වගාවයි.

කාබනික වගාව හා කාබනික පොහොර භාවිතය ගැන පසුගිය සති කිහිපය මුළුල්ලේ ම අපේ රටේ ලොකු ලොකු වාද විවාද ඇති වන්නට විය. එම වාද විවාදවලට දේශපාලනය ද සම්බන්ධ විය. ජනාධිපතිවරයා ප‍්‍රමුඛ ආණ්ඩුව ම කාබනික පොහොර භාවිතය හා කාබනික වගාව ශ‍්‍රී ලංකාවේ යථාර්ථයක් කළ හැකිය යන ආකල්පය මත වැඩ කටයුතු සංවිධානය කළේ ය. ඒ සඳහා ක‍්‍රමෝපායන් සකස් කළේය. ඒ සඳහා ඇප කැප වූයේ ය.

විපක්ෂය මුළුමනින් ම ඊට ප‍්‍රතිවිරුද්ධ මතයක් දැරුවේය. ආණ්ඩුව කාබනික පොහොර භාවිතාව හා කාබනික වගාව සම්බන්ධයෙන් ගෙන යන වැඩ පිළිවෙළ මේ පොළොවේ යථාර්ථයක් කළ නොහැකි යැයි විවේචනය කළේය.

මෙය කළ යුතු දෙයක් බව කියමින් ම විපක්ෂයේ සැමගේම තර්කය වූයේ කළ යුතු වුව ද කළ නොහැකි බවය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පසුගිය කාලය මුළුල්ලේ ම රට පුරා සිටින වියතුන් උගතුන් හා කෘෂිකර්ම ක්ෂේත‍්‍රයේ නිපුණයින් සමග මේ පිළිබඳ ගැඹුරින් සොයා බලන්නට විය. මෙය කොතැනකින් හෝ දැඩි තීන්දුවකින් පටන් ගත යුතු බව ඔහුගේ මතය විය.

විපක්ෂයෙන් විවේචන
උදව් කිසිවක් නැහැලූ

පසුගිය 15 වැනි දා මේ රටේ අලූතින් කාබනික පොහොර නිෂ්පාදනය ආරම්භ කළ ස්වාධීන නිෂ්පාදකයින් හා සමාගම් රැසක නියෝජිතයෝ ජනාධිපතිවරයා හමුවන්නට පැමිණ සිටියහ. කාබනික පොහොර නිෂ්පාදන හා සේවා සඳහා ඇති බාධක සම්බන්ධයෙන් කතාබහ කළ මෙම විශේෂ රැස්වීමට විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ, කෘෂිකර්ම අමාත්‍යාංශයේ නව ලේකම් රංජිත් පේ‍්‍රමලාල් ඇතුළු නිලධාරීන් රැසක් පැමිණ සිටියහ. එහිදී ඉහත කරුණු ගැඹුරින් සාකච්ඡාවට ලක්විය.

කාබනික ගොවිතැන හා සමානවම ජනාධිපතිවරයාගේ ප‍්‍රමුඛ අවධානය දිනා ගත් අනෙක් කාරණාව වූයේ කොවිඞ් පාලනයයි. මැයි මාසයේ අවසන් සතියේ සිට මේ දක්වා දැඩි සංචරණ සීමා පනවා රට වසා තැබීම නිසා කොවිඞ් පැතිරීමේ අවදානමෙහි යම්කිසි පාලනයක් හා සාධනීය ලෙස පෙන්නුම් කරන්නට රජයට හැකි වුවත් සිදුවන මරණ සංඛ්‍යාව ඒ හා සාපේක්ෂව පහත වැටුණේ නැත. එය පහත වැටීම සිදු වූයේ මන්දගාමීවය. ඒ කෙසේ වෙතත් අවදානම් තත්ත්වය පාලනය කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා තවදුරටත් සෞඛ්‍ය අංශ කෙරෙහි විශ්වාසය තබමින් මේ වැඩපිළිවෙළ මේ ආකාරයෙන්ම ඉදිරියට ගෙන යෑම පිළිබඳ අවධානය යොමු කළේ ය.

ඒ සඳහා පළාත් මට්ටමින් සෞඛ්‍ය ක්ෂේත‍්‍රය ලබා ඇති ප‍්‍රගතිය සමාලෝචනය කිරීමට ජනාධිපති විශේෂ සාකච්ඡාවක් කැඳෙව්වේ පසුගිය 14 වැනි දා ය. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාත් පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරු 9 දෙනාත් මේ සඳහා සහභාගි වූහ.

”ජනතාව හුදෙකලා කිරීම, සංචරණ සීමා පැනවීම වගේ දේවල් කරන අතරම අපි වැඩිපුර විශ්වාසය තියන්නේ වැක්සීන් එක ලබා දීම ගැනයි. අවුරුදු 60ට වැඩි සියලූම දෙනාට අපි වැක්සීන් එක පළමුව දිය යුතුයි. ඊළඟට අනෙක් අයට වැක්සීන් එක ලබා දීමේදී ජනතාව අතරින් එන විවේචනවලටත් අපි කන් දිය යුතුයි. අඩුපාඩු පෙන්නලා දෙනවා නම් ඒවා නිවැරදි කර ගන්න. පුළුවන් තරම් විවේචන එන්නේ නැති විදියට වැඩ කරන්න.

කොයි තරම් හොඳින් මේ වැඬේ කරන්න බැලූවත් විපක්ෂයේ විවේචනවල අඩුවක් නෑ. අපි වැක්සීන් එක ගෙනල්ල මිනිස්සුන්ට ගහද්දි ඒ අයගේ දේශපාලනය මොකක්ද කියලා බලන්නේ නෑ. හැමෝටම එක සමානව සලකලා වැක්සීන් එක බෙදනවා. විපක්ෂයෙන් විවේචන විතරයි. කරන වැඬේට කිසිම සහයෝගයක් නෑ.

නිලධාරීන් විදියට ඔයගොල්ල පළාත් මට්ටමෙන් මේ වැඬේ කරද්දී කිසිම වැරැද්දක් වෙන්න දෙන්න එපා. සමහර තැන්වල වැරදි වෙලා තියෙනවා. ගාල්ලේ වුණා වගේ ඒ දේවල් ආයෙ වෙන්න දෙන්න එපා. ඒවා ගැන හොඳ අවධානයෙන් කටයුතු කරන්න.”

පළාත් මට්ටමින් සෞඛ්‍ය සේවාවන් විධිමත්ව පවත්වා ගෙන යෑමට ඇති දුෂ්කරතා ගැන ද මෙහිදී කරුණු සාකච්ඡාවට බඳුන් වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment